ඔහු චරිත් බෝම්බුවලගේය. තවමත් තරුණ වියෙහි පසුවන ඔහු කලා ක්ෂේත්‍රයේ විවිධ අංශයන්හි දස්කම් පාන්නෙකි. ‘ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත’ යන කියමන බැහැර කරමින් කලාවේ විවිධ අංශයන්ගෙන් පෝෂණය වූ චරිත් සැබෑවටම දක්ෂයෙකි. ඔහු නර්තන සහ රංගන ශිල්පියෙකි, නිවේදකයෙකි, නර්තන අධ්‍යක්ෂවරයෙකි. නුදුරේදීම ඔහු කෙටි සිනමාපට නිෂ්පාදකයෙකු සහ සිනමා රංගන ශිල්පියෙකු ලෙස කලඑළි බැසීමට නියමිතයි. ඔහු ක්ෂේත්‍රයේ ජනප්‍රිය රැල්ලට හසු නොවූ කලා ශිල්පියෙකි. සේම ඉතාමත් ඉවසීමෙන් සහ කල්පනාවෙන් කලා ලෝකයේ පියමං කරන චරිතයකි. චිරාත් කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කුඩා අවදියේය. ඔහු කලා ලොවට පා තබා මේ වනවිට වසර විසිදෙකකි. රංගනය, නර්තනය, නිවේදනය, අධ්‍යක්ෂණය යන අංශයන් කෙරෙහි දස්කම් දැක්වුවද ඔහු ජනප්‍රිය රැල්ලට හසු නොවූ කලාකරුවෙකි. ජනප්‍රියතාවයට වඩා දක්ෂතාවලින් පිරිපුන් චිරාත් බෝම්බුවලගේ වැනි දක්ෂයින්ගේ නම්ද කරළියට ගෙන ආ යුතුයි. සරසවිය සවිය සපයන්නේද එවැනි දක්ෂයන්ටය. මෙය චරිත් සරසවිය සමඟ කරන පළමු කතාබහ වේ. ඔහුගේ දක්ෂතා මෙන්ම කලා ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ ගැන චරිත් තම අදහස් දැක්වූයේ මෙසේය.
පුංචි කාලේ පටන් මම ආශා කළේ නර්තනයට. පාසලේ හය වසරේ සිට මම නර්තනය හදාරන්න උනන්දු වුණා. ප්‍රාථමික අධ්‍යාපනය කළුතර පොතුවිල් නවෝද්‍යා පාසලේත් කළුතර ඥානෝදය මහා විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරුවා. පාසලේ සමස්ත ලංකා නර්තන අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තා. පාසලේදී කලා කටයුතු වලට මගේ වැඩි නැඹුරුවක් තිබුණා. ඒ හේතුවෙන් පාසලට පැමිණීම විමසා බලන 80% සුදුසුකම සපුරාලන්නට මට නොහැකි වුණා. උසස්පෙළ හදාරන කාලේ මම සුදර්ශියට නාට්‍ය සහ රංග කලාව හදාරන්න සෑම සිකුරාදා දිනකම ගියා. ඒ නිසා මට ඒ දිනවල පාසල් යාම මඟ හැරුණා. එහෙත් එවකට විදුහල්පතිතුමා වූ එල්. බී. වීරසිංහ මහතා මට විශේෂ සහනයක් ලබා දුන්නා. එතුමා කිව්වේ ” කවදා හෝ මේ පුතා ලංකාවේ දක්ෂ කලාකරුවෙක් වේයැයි කියලා. ඒ නිසා මගේ කලා කටයුතු වලට එතුමාගෙන් අගනා සහයෝගයක් මට ලබා දුන්නා. එය මා ඉතා ඉහළින් අගය කරනවා. මම උසස් පෙළට හැදෑරුවේ නර්තනය. මම නිතරම සිතන්නේ අපි මොන දේ ඉගෙන ගත්තත් එය මාකට් කරන්නත් අපි දැනගෙන ඉන්න ඕන. ඒ නිසා මම ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකසා ගත්තා. ඒ අනුව මම මාධ්‍යකරණය පැත්තට යොමුවුණා. ජාතික රූපවාහිනී අභ්‍යාස ආයතනයට සම්බන්ධ වුණේ ඒ නිසා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ ප්‍රවෘත්ති නිවේදනය ” මම එහිදී හැදෑරුවා. එහි අවසන් අදියරේදී ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවකින් මට ආරාධනා ලැබුණා. මම එය භාර ගත්තා. එහි කටයුතු කරමින් සිටින විට තවත් ජනප්‍රිය ගුවන් විදුලි නාළිකාවකින් මට ආරාධනා ලැබුණා. නිවේදකයෙකු සහ අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස කටයුතු කරන්න. ඒ අනුව මම නාලිකා හතරක පමණ වැඩ කළා. පසුව මම තීරණය කළා නිදහස් නිවේදකයකු ලෙස වැඩකරන්න.
මේ අතරතුර මට “වෙල්ලස්සේ වෙඩිහඬ” වේදිකා නාට්‍යයේ රඟපෑම සඳහා ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාව මට ලැබුණේ අසංක මහතාගෙන්. ඔහු මට ලබාදුන් ඒ අවස්ථාව වටිනා එකක්. එය මගේ රංගන ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වුණා. ප්‍රමුඛපෙළේ අන්තර් ජාතික පාසලක මම බටහිර නර්තන ගුරුවරයෙකු ලෙස රැකියාව කළා. එහෙත් පසුකාලයක මම එයින් ඉවත් වුණේ පූර්ණකාලීනව කලාවට යොමුවීමේ අදහසින්. මේ වන විට මම වේදිකා නාට්‍ය ශිල්පියෙකු, කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, නිවේදකයෙකු සහ නර්තන අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කරගෙන යනවා.
මම වෙස් නර්තන ශිල්පියෙකු ලෙස කලඑළි බැස්සේ 2003දී. 2003 වසරේදී මම වෙස් පැළදුවා. මේ වන විට මම නර්තනය වෙනුවෙන් යෞවන සම්මාන හතකුත් , රාජ්‍ය සම්මාන තුනකුත් හිමිකර ගෙන තිබෙනවා. අපේ දේශීය නර්තන සම්ප්‍රදායන්ට අමතරව හිපොප්, ලතින් ඇමරිකානු සහ ෆ්‍රී ස්ටයිල් වැනි විදේශීය නර්තන සම්ප්‍රදායන් මට පුළුවන්. “ෆ්‍රී ස්ටයිල් ” මම තනිවම ඉගෙන ගත් නර්තන කලාවක්. නර්තනයට හැකියාව, දැනුම, දක්ෂතාවය තිබෙන නිසාම සිනමා නර්තන අධ්‍යක්ෂණයට යොමු වෙන්න මට සිතුණා. ඒ නිසා මේ දිනවල ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඒ සඳහා පවත්වාගෙන යන National Diploma (Choreography) පාඨමාලාවක් හදාරමින් ඉන්නේ. එය වසර එකහමාරක පාඨමාලාවක්.ඒ සඳහා මාව උනන්දු කළේ නර්තනාචාර්‍ය ආචාර්ය රවිබන්දු විද්‍යාපති ශූරීන්.
මම කුමන නර්තන ශිල්පයක් හැදෑරුවත් මුල්තැන දෙන්නේ අපේ දේශීය නර්තන කලාවට. අදවන විට අපේ අභිමානවත් නර්තන කලාව වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා. වර්තමානයේ අපේ නැටුම් කලාව වෙළදාමක් බවට පත්වෙලා. නර්තනය හැකියාව නොමැති අය අතින් තමයි ඒ වැරැද්ද සිදුවන්නේ. ඔවුන් වේදිකාවට නැඟලා පෙන්වන්නේ නිරුවත. නිරුවත කියන්නෙත් කලාවක්. එහෙත් ඔවුන් නර්තනයට වඩා ඉස්මතු කරන්නේ නිරුවත. රූපවාහිනී නාලිකා වලින්ද කරන්නෙත් ඒ දෙයමයි. ඔවුන් නර්තනය මුවාවෙන් නිරුවත අලෙවි කරනවා. නිර්මාණයක් කරන විට භාවිතා කළයුතු මාධ්‍ය කුමක්ද කියා හොඳීන් අධ්‍යයනය කළ යුතුයි. බොහෝ අය ඒක දන්නේ නැහැ. අපි මොනදේ කළත් පාරේ බැහැලා යද්දී ගල්මුල් ප්‍රහාර වලට ලක්නොවන ආකාරයට කටයුතු කළ යුතුයි.
අපේ පැරණි නර්තන සම්ප්‍රදායන් රැකගෙන ඉදිරියට යන්න මට කළහැකි දේ මම කරනවා. ඒ සම්බන්ධව මම මගේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඒ ගැන කතා කරනවා. නර්තනාචාර්‍ය රවිබන්දු විද්‍යාපති සමඟ කතා බහේදී එතුමා නිර්මාණය කළ “ද්‍රපදී” මුද්‍රා නාට්‍යය ඇතුළු තවත් නිර්මාණ පිළිබඳ වටිනා සාකච්ඡාවක් කළා. මම ඒ දේවල් කරන්නේ මූල්‍ය පරමාර්ථයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම මගේ යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන යන්නේ කලාව ගැන කතා කරන්න. අපට ප්‍රසිද්ධ වේදිකාවේ කතා කරන්න නොලැබෙන දේ යූ ටියුබ් නාලිකාවක හෝ කතාකළ යුතුයි.
අපට ලැබී තිබෙන්නේ ඉතා වටිනා සංස්කෘතිකයක්. උසස් නර්තන කලාවක්. චලනයන් මාධ්‍යකරගත් අපේ නර්තන කලාව ලෝකයට ගෙනියන්න මම උත්සාහ කරනවා. දැනටමත් අපේ ප්‍රවීණ නර්තනාචාර්යවරුන් එය ඉටුකරමින් ඉන්නවා. මේ පුංචි රට ඇතුළේ අපිට මොනවද කරන්න බැරි. ලංකාව පුරා පැතිරුණු සංස්කෘතිකාංග රැසක් අප සතුයි. ඒ ඔස්සේ අපිට බොහෝ දේ කළ හැකියි. අපේ රටේ නර්තන කලාව අන්තර්ජාතික මට්ටමට ගෙනයාමට ආර්ථික සවියකුත් තිබිය යුතුයි.
මේ වනවිට මට දෙවරක් යුනෙස්කෝ හි සී.අයි.ඩී කියන ඩාන්සින් ඇකඩමි එකෙන්. ඒ ගමනට ලක්ෂ අටක් වැය වෙනවා. මා සතුව එතරම් වත්කමක් නැහැ. ඒ හේතුවෙන් අවස්ථාවන් දෙකම මඟහැරුණා. එවැනි කටයුත්තකට අපේ රටෙන් සහනයක් නැහැ. ලෝකයේ ඇතැම් රටවලින් ඒ ගමන් වියදමින් භාගයක් හෝ ලබා දෙනවා. මේ පිළිබඳ එයට අදාළ අංශයන් දැනුම්වත් කළත් එයට ප්‍රතිචාර ලැබුණේ නැහැ. අපේ රටේ නර්තන කලාව ලෝකයේ අනෙක් රටවලට වඩා ඉහළින් තැබිය හැකියි. ඒ වගේම නර්තන ශිල්පීන්ද යාවත්කාලීන විය යුතුයි. නිර්මාණශීලී විය යුතුයි. අපේ පහතරට නර්තනය ඉතා විචිත්‍රවත් එකක්. නර්තනයේ භාෂාව වන්නේ චලනයයි. ඒ චලනයන් උපයෝගී කරගෙන අපිට අලුත් නිර්මාණ බිහිකිරීමට පුළුවන්.
වර්තමානයේ ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව පිබිදීමක් තිබෙනවා. ලංකාවට පැමිණෙන සංචාරකයන් අපේ රටේ නර්තන කලාවට ප්‍රිය කරනවා. වෙස් නැටුමෙන් තමයි පිරිමි පෞරුෂය කැපී පෙනෙන්නේ. එහි ඇඳුමත් විචිත්‍රවත්. සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගන්නේ වෙස් නර්තනය. සංචාරකයන් ගැවසෙන හොටල් අශ්‍රිතව අපේ සංස්කෘතික අංග වලින් සමන්විත ප්‍රසංග පැවැත්වෙනවා. එවැනි දේ නිසා අපේ කලාව ලෝකයට ගෙනියන්න එයද රුකුලක් වෙනවා.
මම රංගනයටත් යොමු වෙලා ඉන්නවා. මම කලා ක්ෂේත්‍රයට පැමිණ දැනට වසර විසි දෙකක් වෙනවා. මුලින්ම රඟපෑවේ ” කළුවර ගෙදර ” ටෙලි නාට්‍යයේ. ඒ වන විට මම හයවසරේ. ඉන්පසුව මට දිගටම ආරාධනා ලැබුණත් අධ්‍යාපන කටයුතුවලට බාධා වන නිසා රංගනයෙන් මදක් ඈත්වුණා. ඒ ගත්ත තීරණය ගැන මම අද සතුටු වෙනවා. අද ටෙලිනාට්‍ය රැල්ලට හසුවෙලා. ගුණාත්මක බවින් යුත් ටෙලිනාට්‍ය නිර්මාණය වනවා අඩුයි. නිසියාකාරව ලියවූ පිටපතක් නැහැ. රූගත කිරීම් වලට ගියවිට තමයි දෙබස්ටික ලැබෙන්නේ. නවක ශිල්පීන් තුළ හැදියාවක් නැහැ. ජ්‍යේෂ්ඨ කලාකරුවන්ට ගරු කිරීමක් නැහැ. එහෙම තැනක රැඳෙන්න මම නම් කැමති නැහැ. ඒ නිසාම තමයි මම කෙටි චිත්‍රපට පැත්තට යොමු වුණේ. මම ප්‍රවීණයන් සමඟ වැඩ කරල තියෙනවා. ඔවුන් මට ආදරෙයි. රංගනයට හැකියාව තිබුණත් අපට අවස්ථාවන් ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඒ නිසා මම හිතුවා කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. එහි නම ‘නැට්ටුවෙක්’ සම්මානනීය සිනමාකරුවෙකු වූ දනුෂ ප්‍රනාන්දු විසින් එහි අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා ලෙස කටයුතු කරනවා. එහි කතාව ප්‍රබලයි. චරිත තිබෙන්නේ බොහෝම අඩුවෙන්. ප්‍රධාන චරිතය රඟපාන්නේ මම. එම චරිතය අසාමාන්‍ය ගතිපැවතුම් ඇති පිරිමි ළමයෙකුගේ චරිතයක්. ඔහු නැට්ටුවෙක්. ඒ චරිතය සඳහා මගේ රූපයෙන් , ශරීරයෙන් පවා මම වෙනස් වෙනවා. ඒ සඳහා මට කැපකිරීමක් කරන්න වෙනවා. රූපයෙන් පමණක් නෙවෙයි මානසිකවත් මට වෙනස් වෙන්න සිදුවෙනවා. චිත්‍රපටයේ වැඩ නිමවූ පසු චිත්‍රපට සංස්ථාවට අයත් තරංගනී ශාලාවේදී මංගල දර්ශනය සංවිධානය කරන්න කටයුතු කරනවා. මෙම චිත්‍රපටය කිරීමේ මූලික අරමුණ වන්නේ විදේශීය චිත්‍රපට උළෙල නියෝජනය කිරීම. මා මෙහි කලින් සඳහන් කළා මේ චිත්‍රපටයට මුදල් යොදවන්නේ මම බව. ඒ සඳහා නිෂ්පාදකයන් සොයා ගන්න මම උත්සාහ කළා. නමුත් ඔවුන්ගේ යෝජනා වලට මම එකඟ නැහැ. මෙහි රූගත කිරීම් සිදුකරන්නේ කොළඹ අවටමයි. මෙහිදී රංගන ශිල්පීන් සොයා ගැනීමේදී සිදුවූ සිදුවීමක් මෙහි සඳහන් කළ යුතුමයි. මගේ කෙටි චිත්‍රපටය සඳහා දක්ෂ රංගන ශිල්පිනියක් වූ නිල්මිණී කෝට්ටේගොඩ මහත්මියට මම කතාකළා. ඇයට මම ‘ නැන්දා’ කියලයි කතා කරන්නේ ඇයට මගේ යෝජනාව කරලා ඇයගේ ගාස්තුව කොහොමද කියා ඇසුවා. ඒ අවස්ථාවේ ඇය මෙසේ කිව්වා.
” උඹ සල්ලි ගෙවන්න හදනවා නම් වෙන නිළියක් ගනින්”
මට පුදුම හිතුණා. ඒ තමයි මම උපයා ගත් වත්කම. ඒ ආදරය , මට තියෙන සැලකිල්ල මට මහ මෙරක්. අපේ රටේ සිටින ප්‍රවීණතම රංගන ශිල්පියෙක් වන අනෝජා වීරසිංහ මහත්මිය ගැන නොකියාම බැහැ. ඇය විසින් මෙහෙයවන ‘අභින’ රංගන පාසලෙන් මම රංගනය හැදෑරුවා. ඇය කිසිම දෙයක් සඟවා ගන්නේ නැතුව රංගනය පිළිබඳ සියලු දේ අපට කියා දුන්නා. එංගලන්තයේ ලැම්ඩා ආයතනයෙන් ඉගෙන ගත් සියලු දේ ඇය අපට දායාද කළා. අනෝජා මහත්මිය මම කියන කරන සෑම දේකදීම ආශීර්වාදය කරනවා.
පසුගිය කාලයේ ප්‍රීති රන්දෙණිය මහත්මියගේ ‘ දිගැසි’ කියන ගීතයේ රූප රචනාවට මට පෙනී සිටින්නට ආරාධනා කළා. එහි රඟපාන්න සහ නර්තනයට. ‘ දිගැසි’ ගීතය ගායනා කළේ විශාරද එඩ්වඩ් ජයකොඩි. සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. එවැනි දැවැන්තයන් සමඟ මට වැඩ කරන්න ලැබීම සතුටක්. එය කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.
වර්තමානයේ සිටින ඇතැම් නළු නිළියන් කලාව කුමක්ද කියා දන්නෙ නැහැ. ඒ පිළිබඳ දැනුම අඩුයි. ඔවුන් සමාජ මාධ්‍යය පමණක් මුල් කරගෙන කටයුතු කරන කොටසක් බවට පත්වෙලා. ඔවුන් අද ටෙලිනාට්‍යයක රඟපානවා නම් එහි කොටස් වීඩියෝ කරල සමාජ මාධ්‍යයට මුදා හරිනවා. ඒකෙන් වෙන්නේ ඉදිරියට පෙන්වන්න තියෙන කොටස් කලින්ම ප්‍රේක්ෂකයන්ට නරඹන්න හැකිවීම. එයින් හානිය වන්නේ නිර්මාණයට. ඒවාට වගකිය යුත්තන් නිසි පියවර නොගන්නේ ඇයි? එසේ කිරීමෙන් ටෙලිනාට්‍ය කලාවත් හෑල්ලුවට ලක්වෙනවා. සමාජ මාධ්‍ය නරකයි කියනවා නොවෙයි.එය හොඳ විදිහට පාවිච්චි කළොත් හොඳ ආදායම් මාර්ගයක් බවට පත්කරගන්නත් පුළුවන්. අද තරුණ කලා පරපුරේ සමහරෙකුට අවශ්‍ය කුමක් හෝ දෙයක් සමාජ මාධ්‍යයට දාල එයින් ප්‍රසිද්ධ වෙන්න. එය නරඹන පිරිස වැඩිකරගන්න. අපි නිතරම හිතන්න ඕන ගුණාත්මක දේ සමාජගත කරන්න. එසේ කරන්නට හැකි වෙන්නේ තමන් කරන දේ ගැන මනා දැනුමක් තිබිමෙන් පමණයි.
වර්තමානයේ නිවේදන කලාවත් හෑල්ලුවට ලක්වෙලා. එසේ වීමට හේතු තිබෙනවා. කතා කරන්න පුළුවන් වුණාට හැමෝටම නිවේදන කටයුතු කරන්න බැහැ. එහෙත් වර්තමානයේ තිබෙන ඇතැම් මාධ්‍ය නාලිකා දෙස බැලුවොත් කණගාටුවක් ඇතිවෙනවා. නළු නිළියන් ගායක ගායිකාවන් නිවේදකයන් බවට පත්වෙලා. ප්‍රවෘත්ති කියවීම වගකීය යුතු රාජකාරියක් . එහෙත් ඒ සඳහාත් නිළියන් යොදාගෙන තිබෙනවා අපි පහුගිය කාලයේ දුටුවා. මම නිවේදකයෙකු ලෙස කටයුතු කරන්නේ ඒ පිළිබඳ හොඳීන් ඉගෙන ගත් නිසා. මා විවිධ උත්සව , විශේෂ අවස්ථාවන් වලදී නිවේදකයෙකු ලෙස කටයුතු කරනවා. රූපවාහිනී අභ්‍යාස ආයතනයෙන් ලබා ගත් පුහුණුව තමයි ඒ සඳහා ඉවහල් වුණේ. කිසිම දැනුමක් නැතිව නිවේදකයන් බවට පත්වූ අය නිසා දැනුමක් තිබෙන පිරිසට වෙන්නේ අසාධාරණක්.
කුඩා කාලයේ සිටම දරුවන්ව කලාවට යොමු කිරීමෙන් දැනුමෙන් පොහොසත් කලාකරුවෙකු බිහිකරන්නට පුළුවන්.
විවිධ රූපවාහිනී නාලිකා වල කුඩා ළමුන් සඳහා රියැලිටි වැෆසටහන් තිබෙනවා. ඒවායින් දිනන ළමුන්ට තෑගිභෝග ලැබෙනවා. එහෙත් ඒ දෙන තෑගිභෝග වෙනුවට කලාවට සම්බන්ධ විෂයයක් ඉගෙන ගැනීමට ශිෂ්‍යත්වයක් පිරිනමනවා නම් කොතරම් වටිනවද.
කුඩාකල සිට ලැබෙන දැනුමෙන් තරුණ වියේදී කලාවේ බොහෝ ඉසව් සොයා යාමට හැකියි. මම නර්තනය ඉගෙන ගත්තෙ කුඩාකල පටන් බව මම කතාබහ පටන් ගත් අවස්ථාවේදීම සඳහන් කළා. ඒ නිසා තමයි මම මේ වනවිට නර්තන අධ්‍යක්ෂවරයෙකු බවට පත්වුණේ. අපි වැනි අයට පුළුවන් වාණිජ ධාරාවේ චිත්‍රපට වලට හොඳ දායකත්වයක් සපයන්න. ඒත් සිනමා අධ්‍යක්ෂවරු අපෙන් හරියට වැඩක් ගන්නේ නැහැ. සිනමාපටයකට නර්තනය නිර්මාණය කිරීමේදී එය සෑම අතින්ම සාර්ථක විය යුතුයි. එහෙත් ඇතැම් අධ්‍යක්ෂවරුන් කියන්නේ ” චිරාත් ඔයා ගාව තියෙන ඇඳුම් අන්දවල නැටුම කරන්න කියලා. ඒ කියමනෙන්ම එය අසාර්ථකයි. මම කිසි විටෙකත් එසේ කරන්නේ නැහැ. මම නර්තනය කරන්නේ ප්‍රමිතියකින් යුතුවයි. සිනමාපටයක් නිර්මාණය කිරීමේදී ප්‍රොජෙක්ට් එකට බජට් හදනවා වෙනුවට අද කෙරෙන්නේ බජට් එකට ප්‍රොජෙක්ට් එක සෑදීම. ඒ හේතුවෙන් තමයි ඇතැම් නිර්මාණ අසාර්ථක වන්නේ.
මට අවශ්‍ය සෑම විටම කරන දේ සාර්ථකව කරන්න. ඒ සාර්ථකත්වය පිටුපස මගේ අම්මා, තාත්තා වගේම බිරිඳ ඉන්නවා. මගේ බිරිඳ නර්තන ගුරුවරියක්. ඇය ශානි බෝම්බුවලගේ. ඇයගෙන් මගේ කලා කටයුතු වලට ලැබෙන්නේ අනගි සහයක්. මගේ ඇඳුම පැලදුම ගැන පවා සොයා බලන්නේ ඇය.
මම තවම තරුණයි. මේ යන ගමන අතර නවතා දමන්න මගේ අදහසක් නැහැ. සිනමා අධ්‍යක්ෂවරයෙකු, නර්තන ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු සහ නිවේදකයෙකු යන භූමිකාවලට පණ දෙන මම උඩුඟං බලා යන කෙනෙක්. කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස ඉදිරියේදී ප්‍රේක්ෂකයන් අතරට එන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මිනිසුන්ට මතක සිටින නිර්මාණ තුළින් ඉදිරිගමනක් යන්න මම උත්සාහ කරනවා. එවිට මා ජීවිතයෙන් සමුගත් දවසට මගේ ගැන නොව, මා කළ නිර්මාණ ගැන ඔවුන් කතා කරාවි.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
නයනාංජලි දෙහිපිටිය
