Home » මනෝ සංකීර්ණතාවලින් හෙබි චරිත අපේ සමාජයේ සිටිය හැකියි

මනෝ සංකීර්ණතාවලින් හෙබි චරිත අපේ සමාජයේ සිටිය හැකියි

කථිකාචාර්ය සුදේශ් කවීශ්වර

by mavan
December 11, 2025 12:13 pm 0 comment

අද අපගේ කතාබහට යොමු වන්නේ සාහිත්‍ය කෘතියක් සහ එහි නිර්මාණකරුවා පිළිබඳවයි. ඔහු, නමින් සුදේශ් කවීශ්වර. “ඇගේ කුඩා කෙස් වැටිය” නමින් ඔහු කෙටිකතා පොතක් ලියා තිබෙනවා. කවීශ්වර කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයෙහි ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවයෙහි නිරත වේ. වෘත්තීය ජීවිතයට අමතරව නිර්මාණකරුවකු ලෙස, ඔහු අත්දැකීම්වලට මුහුණ දෙන ආකාරය හා ඒවා ප්‍රතිනිරූපණය කරන ආකාරය විමසා බැලීමට තමයි මෙවර අප උත්සාහ ගත්තේ. සමහර විට මෙම කෙටිකතාවල තේමා සියල්ලම ඔහුගේ අත්දැකීම් නොවන්නට පුළුවන. වන්නට ද පුළුවන. ඒ පිළිබඳව ඔහුගෙන්ම අසා දැන ගැනීමට මෙය හොඳ අවස්ථාවක් යැයි හිතනවා. මෙම කෙටිකතා සංග්‍රහය සරසවි ප්‍රකාශනයකි.

කෙටිකතා සංග්‍රහය ගැන කතා කරන්න කලින් ඔබ ගැන කෙටි හැඳීන්වීමක් කළොත්.

මම සුදේශ් කවීශ්වර. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ තමයි සේවය කරන්නෙ. සිංහල සහ සාහිත්‍ය විචාර යන විෂය ක්ෂේත්‍ර දෙකෙහිම විද්‍යාර්ථීන්ට දේශන කිරීම වෘත්තීය වශයෙන් ප්‍රමුඛව සිදු වෙන කාර්යයි. ඒ කියන්නෙ ඉගැන්වීම, ඇගයීම සහ පර්යේෂණ කටයුතුවල නිරත වීම තමයි අපේ ප්‍රධාන කාර්යයන් වෙලා තිබෙන්නේ. මේ සියල්ලත් සමඟ කාලය ගතවෙලා යන අතරතුරේ තමයි නිර්මාණකරණයට අත තබන්නේ. එය ඉතින් ඉඩ ලැබෙන හැටියකට කරන දෙයක්.

ඔබ ඇයි එසේ සඳහන් කරන්නේ. ? ඉඩ ලැබෙන හැටියකට කියා.

නිර්මාණකරණය වගේ දෙයක් හැමවිටම කළ නොහැකි ය කියන එකයි මගේ අදහස. එය හැඟීම් එක්ක කරන ගනුදෙනුවක්. වෘත්තීය ජීවිතයත් සමඟ අපට ඉටුකළ යුතු වගකීම් සමුදායක් තිබෙනවා. එය නොපිරිහෙළා

ඉටු කළ යුතුයි. ඉඩ ලැබෙන හැටියකට කියා කීවේ, ඒ හැඟීමත් නිදහසත් දෙකම එකට එකතුවෙන්නට වුවමනා නිසා.

ඒ කියන්නේ නිදහස ලැබෙන හැම විටම ඔබ කරන්නට කැමති නිර්මාණකරණයෙහි යෙදෙන එකද ?

අපෝ නැහැ. පැත්තකට වෙලා පොතක් බලන එක තමයි මම කැමතිම. එය මානසිකවත් කායිකවත් සුවදායකයි.

ඔබගේ නිර්මාණ කටයුතුවලට පවුලෙන් ලැබෙන දායකත්වය මොන වගේද?

නිර්මාණ කටයුතුවලට පමණක් නෙවෙයි, ජීවිතයේ සෑම අවස්ථාවකටම පවුලෙන් ලැබෙන දායකත්වය කියා නිම කළ නොහැකියි. අම්මා, අප්පච්චි, අයියා සහ නෑනා (අයියගෙ බිරිඳ) යන පවුලෙහි අය නිතරම මේ කටයුතුවලට උපකාර කරනවා. ඒ වගේම අපේ ගුරුවරු සහ සහෝදර ආචාර්යවරු. ඇයි? අමතක කරන්නම බැරි යාළුවෝ. ඒ එක්කම ළඟින් ඉන්න වෙනත් හිතවතුන්. මේ හැමෝගෙම සහයෝගය අවශ්‍යයි කියා මම හිතනවා.

ඔබේ කෘතිය ගැන කතා කළහොත්. ඉතා හුරුබුහුටි නිමාවකින් යුත් “ඇගේ කුඩා කෙස් වැටිය” ඔබේ පළමුවැනි කෙටිකතා සංග්‍රහය නේද?

ඔව්. එය මගේ කුලුඳුල් කෙටිකතා සංග්‍රහය. එය කෙටිකතා නවයකින් සමන්විතයි. දළුක් කිරි, ගුරුවරයකුගේ පෙම්පුවත, වෙස් මුහුණ, ඇගේ කුඩා කෙස් වැටිය, මැටි රූප, චක්කරේ, යළිත් වරක් හැරී, සුද්දිගේ ගිරවා සහ නගුල යන කෙටිකතා එහි ඇතුළත්. ඒ වගේම ඒ කතා පිළිබඳ මහාචාර්ය ජිනදාස දනන්සූරිය මහතාගේ පසුවදනකුත් තිබෙනවා. හුරුබුහුටි නිමාව ගැන කියන විට මතක් කළ යුතු දෙයක් තිබෙනවා. මෙහි අලංකාර පිටකවර සිතුවම ඇඳ දුන්නේ අශාන් ඉසුරංග පෙරේරා. ඒ වගේම මෙහි පිටකවර නිර්මාණය කළේ කල්ප රොෂේන් පෙරේරා. ඒ දෙදෙනාව කෘතඥතා පූර්වකව සිහිකරන්න ඕනෑ.

මෙම කෙටිකතා නවයෙහි ගමේ සුන්දරත්වය වගේම එහි කටුක බව ඔබ නිරූපණය කර තිබෙනවා. ඔබ එවැනි අත්දැකීම්වලට මුහුණ දී තිබෙනවාද?

අපට අත්දැකීම් නැතුව නිර්මාණකරණයේ යෙදෙන්න බැහැ. සමහර විට මට වුණ අත්දැකීමක්, එසේත් නැතිනම් මං එහි වෙන පාර්ශ්වකරුවෙක්, නැතිනම් අසන්න ලැබූ දෙයක් වෙන්නත් පුළුවන්. එලෙස එකතු වුණු අත්දැකීම් තමයි ඔය කෙටිකතා සංග්‍රහයේ තිබෙන්නේ. නිර්මාණකරුවකු ලෙස මා පෙනී සිටින්නේ කෙසේ ද? මගේ නියෝජනය මොනවගේ ද? යන්න තමයි මේ කතා මගින් දිග හැරෙන්නේ. එකක් නෑරම මගේ අත්දැකීම් කියලා මට කියන්න බැහැ. නමුත් යම් යම් ආකාරයෙන් මමත් සහසම්බන්ධ වුණා ය කියන හැඟීම මට තිබෙනවා. මෙහි එන “දළුක්” කෙටිකතාවේ තිබෙන්නේ, ගල් බෝරයක් දැමීමෙන් තාත්තා කෙනෙකු ඔත්පළ වෙන සිදුවීමක්. ඒ කතාවට පාදක වුණේ මා මිත්‍රයකුගේ නිවසට ගිය අවස්ථාවක එහි පැමිණි පුද්ගලයෙකුයි. ඔහු බෝරයකට අසු වීමෙන් රෝහල් ගතව සිට ඒ වන විට සුවයෙන් පසු වන අයෙක්. නමුත් ඔහුට කය වෙහෙසා වැඩ කරන්න බැරි බව කිව්වා. ඔහුගේ මුහුණ මලානික බවකිනුත් අපේක්ෂා භංගත්වයකිනුත් පිරිලා තිබුණු බව මට එදා වැටහුණා. සිය අසනීපය සුව වුණත් ඔහුට ජීවිකාව කර ගැනීමට නොහැකි වේදනාව ඒ මුහුණේ රැඳීලා තිබුණා. ඉතිං ඔහුගේ ඒ වේදනාව එදා මගේ සිතට කිඳා බැස්සා. මේ තාත්තා කාගෙත් තාත්තා. කාටත් මෙවැනි දෙයක් වෙන්න පුළුවන් කියන හැඟීම මට ඇති වුණා. ඔහොම කාලයක් ගතවූ පසු අර මම කලින් කියපු මිත්‍රයාගේ තාත්තා වෙනත් රෝගයකින් මරණයට පත්වුණා. ඒ මරණයත්, එදා මම ඒ නිවසෙදි දුටු සිදුවීමත්, මාව තව තවත් කම්පනය කළා. මෙය නිර්මාණයක් හැටියට එළියට එන්නෙ ඉන් පසුවයි.

මෙවැනි ග්‍රන්ථයක් එළි දැක්වීම සඳහා ඔබට යම් කාලයක් ගත වන්නට ඇතැ යි කියා සිතනවා. එම කාලය ඔබ සැලසුම් සහගතව කළ දෙයක් ද?

නැහැ. එය සැලසුම් සහගතව කළ දෙයක් නෙවෙයි. මෙම කෙටිකතා සංග්‍රහයේ තිබෙන නිර්මාණ මා කාලයක් තිස්සේ ලියූ ඒවා. මං

විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ සහ ආධුනික කථිකාචාර්යවරයෙක් ලෙස සේවයට බැදුණු පසුවත් විටින් විට ලියූ කතා ප්‍රමාණයක් තිබුණා. මේවායෙන් පොතක් මුද්‍රණය කරන්න ඕනෑ ය කියන හැඟීම මට තිබුණා. එය ඉතිං සාහිත්‍ය කලාවට තිබෙන ඇල්ම නිසා ඇති වුණු දෙයක්. මෙම සංග්‍රහයෙහි එන “ඇගේ කුඩා කෙස් වැටිය” කියන කතාව කැලණිය විශ්වවිද්‍යාලයේ තරඟයකටත් ඉදිරිපත් කර තේරුණු කෙටිකතාවක්. තව මෙහි එන “මැටි රූප” කෙටිකතාව ලංකාදීප පුවත්පතෙහි “වීමංසා” අතිරේකයෙහි පළ වුණා. පුවත්පතට යවන කෙටිකතාවලින් තෝරා ගත් කතා තමයි එකල එම පිටුවෙහි පළ කළේ. ඒවගේම වෙනත් සඟරා ආදියට ලියූ කෙටිකතාත් මෙම සංග්‍රහයෙහි තිබෙනවා. නමුත්, කොහෙවත් පළ නොවුණු ඒවා වැඩිපුර තිබුණා. ඉදිරියේ දී තව තව නිර්මාණ සිදු කරන්න නම් ඊට පෙරාතුව මේ කිහිපය මුද්‍රණ ද්වාරයෙන් නිකුත් කර තිබෙන්න ඕනෑ ය කියා මට හිතුණා. නැතිනම් අත්දැකීම් වුණත් ඊළඟ නිර්මාණයක් ලියන විට නැවත නැවත මතු වී එන්න පුළුවන්. දැන් මට එහෙම අවශ්‍ය වුණත් ලියන්න බැහැ. මේ පොතෙහි ඒව තිබෙන නිසා.

පැරණි සමාජයෙහි ග්‍රාමීය ජනතාව අතර එකමුතු බව හා සුහදතාව වර්ධනය වී තිබුණා. මෙහි එන ඇතැම් චරිත මගින් ඔබ පෙන්වා දෙන්නේ නූතනයෙහි ජීවන තරඟකාරීත්වය මත කලානුරූපීව ඒවා වෙනස් වී ඇති බව ද ?

ගමේ තිබෙන පාරසරික සෞන්දර්යය හා අතීත සමාජ ක්‍රමය මිනිසුන් කටපාඩමින් වර්ණනා කරන බව අපි දන්නවා. ඇත්තටම ඔය කියන සුන්දර ගම දැන් කොහෙවත් තිබෙනවාද? එහි තත්ත්වය සියුම්ව සිතා බැලුවොතින් එහි අසුන්දර දෙයකුත් තිබෙන බව පැවසිය හැකියි. මම මේ දිහා බලන්නෙ මානවහිතවාදී දෘෂ්ටියකින්. එකල සාමාන්‍ය මිනිසුන් ගත කළේ පීඩාකාරී ජීවිතයක්. එක්කෝ කුල ක්‍රමය හා රාජකාරී ක්‍රමය මත සංවිධිතව (වැඩවසම් යුගයේ ලාංකේය හැඩය) ගොඩනැගී පැවතුණා. නැතිනම් යටත්විජිතය තුළ සුද්දන් හා කළු සුද්දන් නිසා පීඩාවට හසුවුණා. මේ ගත වන්නේ ඊට හාත්පසින් වෙනස් ධනේශ්වර සමාජ ක්‍රමයයි. ගම ඉතා ඉක්මනින් ධනේශ්වරයේ වසඟයට පත්වුණා. නියම්ගම්. ඒත් එහෙමයි. දැන් ගමේ පාරිසරික සෞන්දර්යයත් නෑ. ඊටත් වඩා කටපාඩමින් නිතර කියන ෆැන්ටසි, උත්කෘෂ්ට මානව සබඳතාත් නෑ.

වර්තමානයේ අපේ ගම් වුණත් අර්ධ නාගරිකයි. මේ යුගයේ සුළුධනේශ්වර ආකල්පවලින් ඔද්දල් වුණ මිනිස්සු හැල්මේ දුවන්නේ ඉඩකඩම් ලබා ගන්න, ගෙවල් දොරවල් හදාගන්න. “වෙස්මුහුණ” කෙටිකතාව ඊට නිදසුනක්. නමුත් එහි හමුවන චිත්‍ර කර්ම සිත්තරා පිටස්තර චරිතයක්. එනම්, පවතින සමාජ ක්‍රමය යටතෙහි යම් පිටස්තර බවක් නිරූපණය කරන්නෙක්. එවැනි පිටස්තර චරිතවලට ගම්වල ජීවත් වෙන්න අසීරුයි. නමුත් ඔහුට පිටස්තර බව ඇතුළෙහිම ඉන්නත් බැහැ. ඔහුගේ දරු මල්ලන් ගැන බලන්න ඕනෑ. නිවසෙහි කුදු මහත් කටයුතු කරන්න ඕනෑ. සමාජය සමඟ ගැටෙන්න ඕනෑ. ඔහු පිටස්තර වෙන්නේ ඔහුගේ කලාව ප්‍රගුණ කිරීමත් සමඟ. නමුත් ගම දිවෙන්නේ පොඩි මුදලාලිලා වගේ සමාජීය රටාව අනුදත් මිනිසුන්ගෙන්. ගමේ එක් කෙනෙකුට එක් කෙනෙක් පරයා ගොඩනැගෙන තරඟකාරීත්වය තිබෙන්නේ ඒ අය අතරේ. ඔබ පවසන නූතන ජීවන තරඟකාරීත්වය යනු මෙහි එක් කොටසක් පමණයි. අපි තේරුම්ගත යුත්තේ යටි තලයයි.

මෙහි බහුතරයක් කෙටිකතාවල කථානායකයා නිරූපණය කරන දෘෂ්ටි කෝණය උත්තම පුරුෂ නේද?

ඔව්. බහුතරයක එසේ තමා. එය කතාව ඉදිරිපත් කරන්නා “මම” කියන දෘෂ්ටි කෝණයෙන් කතාව පැවසීමයි. උත්තම පුරුෂයෙන් කතාව කියන විට, පාඨකයා එය තමන්ගේම එකක් බවට පත් කරගැනීම එක් සාහිත්‍ය උපක්‍රමයක්. අනෙක් අතින් එයම ඊට හානියක් වෙන්නත් පුළුවන්. නමුත් මට හිතෙනවා පාඨකයා එම අත්දැකීම්වලට තවදුරටත් සමීප වන්න ඇතැ යි කියා. ඒවගේම, පාඨකයා කතාව ඉදිරිපත් කරනන්නා බවට පත් කිරීම එක්තරා හැටියක නරුම බවකුත් තියෙනවා. අදාළ චරිතයට මම නැතුව “සුනිල්, නිමල්, කමල්” හෝ වෙනත් නමක් යෙදුවා නම් පාඨකයා මෙයට සහභාගී වන්නේ දුරක සිට. ඒ කියන්නෙ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. නමුත් මේ තත්ත්වයේ දී එසේ නොවෙයි. තමා ම තමයි එය විඳගන්නේ- තමාට වුණ දෙයක් වගේ. එය සාර්ථකද අසාර්ථකද යන්න මට කිව නොහැකියි.

“ඇගේ කුඩා කෙස්වැටිය” නම් කෙටිකතාව විශ්වවිද්‍යාල තරුණයෙකු තරුණියකගේ කුඩා කෙස් වැටියකට ආදරය කරනවා. ඇය එය දැන ගැනීමෙන් අනතුරුව කෙස් වැටිය වවනවා. ඉන්පසු ඔහු ඇගෙන් දුරස් වෙනවා. මෙහෙම පිරිස් සමාජයේ සිටිය හැකිද?

එවැනි මනෝ සංකීර්ණතාවලින් හෙබි චරිත අපේ සමාජයේ සිටිය හැකියි. කෙනෙක් තව කෙනෙකුට ආකර්ෂණය වන්නේ, ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ හෝ එක් විශේෂ ශාරීරික ලක්ෂණයක් නිසා විය හැකියි. එය මානසිකව බලපාන්නේ දෙවනුවයි. මෙය හැමෝගේම තත්ත්වය නොවුණත්, එවැනි සංකීර්ණතා මිනිසා තුළ තිබෙනවා. ථේරි ගථාවක එන සුබා තෙරණියගේ කතාවස්තුව ගැන සිතන්න. එහි සිටින සල්ලාල මානවකයා තෙරණින් වහන්සේගේ නෙත්වලට වශීකෘත වී ඇයව වර්ණනා කරන සැටි බලන්න. ‘ ඔබට තිබෙන්නේ ලස්සන කිඳුරියකගේ මඳලස බැල්මක්. ඔබ තරම් මගේ සිත බැඳී ගිය අන් කෙනෙක් නෑ. ඔබගේ නෙත් දෙස බලා සිටින විට, මගෙ සිතෙහි ආශාව ඇති වෙනවා.’ ආදි ලෙස වර්ණනා කළා. මහගම සේකරයන් විසින් එය “ඔබේ දෑසයි ඔබේ දෑසයි නීල උත්පල දිගටි දෑසයි” යනුවෙන් ගීයකට නැඟුවා. ජී. බී. සේනානායකගේ “කාන්ති” නම් කෙටිකතාවෙහි කථකයා ආකර්ෂණය වන්නේ ගැහැනු ළමයාගේ කකුල් දෙකටයි. ගුණදාස අමරසේකරගේ “ඔබේ රතු මල් එක්ක දිග ගවුම ඇඳ එන්න” වැනි පද්‍ය පන්තියක අදහසත් මෙයට සමානයි. ජනප්‍රිය ගීතයකින් උදාහරණයක් ගතහොත්, ඔබ අසා ඇති “කිරි කවඩි සිනා නොදැක බැදුණු ආදරේ- ඇගේ අහංකාර බැල්මට බැඳී ආදරේ” යන ගීතය. මේ හැම එකකම සාකච්ඡා කරන්නෙ එම සංකීර්ණතාවයි. ඉතිං මිනිස්සු හරි සංකීර්ණයි. මේ කතාව සඳහා මට ජී. බී. සේනානායක මහතාගේ ශෛලිය බලපාන්න ඇතැ යි කියා මට හිතෙනවා. ඒ වගේම එඩ්ගා ඇලන් පෝගේ කතාන්දරවලත් තිබෙනවා යම් ස්නායු තත්ත්ව හෝ මානසික සංකීර්ණ තත්ත්වයන්ට යටත් වුණු මිනිස් චරිත. ඒවා මානසික රෝගයන් යැයි සිතිය නොහැකියි. කිසියම් මානසික තත්ත්වයන් ලෙසයි මා ඒවා දකින්නේ.

කෙටිකතාවක් නිර්මාණය කිරීම අනෙකුත් නිර්මාණයන්ට සාපේක්ෂව අපහසු යැයි ඔබ පෙරවදනෙහි ප්‍රකාශ කරනවා. එය ඒ තරම් අපහසු කටයුත්තක් වන්නේ ඇයි?

කෙටිකතාවක් ලිවීම අසීරුයි කියන අදහසෙහි තමා මම ඉන්නෙ. එයින් අදහස් කරන්නේ නෑ අනිත් ඒවා පහසුයි කියා. අපි හිතමු නවකතාවක්

ලියන්න අපහසු නම් කෙටිකතාවක් ලියන්න ඊට වඩා බිංදු කාලක් හෝ අපහසුයි. කෙටිකතාවක් කියන්නේ කතාන්දරයක් නෙවෙයි. කෙටිකතා බිහිවුණු කාලයේ සිට මේ දක්වා එය දියුණු වෙමින් පැවත තිබෙනවා. අප ඕන තරම් කෙටි කතාන්දර කියවා තිබුණා. පුරාණෝක්ති, පුරාවෘත්ත, ජාතක කතා, බණ කතා, ජන කතා, සුරංගනා කතා, ආදිය. ඒවත් කෙටි කතන්දර තමා. නමුත් ඒවා කෙටිකතා නොවෙයි. එය වෙනම ශානරයක් බව මේ වන විට සාහිත්‍ය ලෝකය තුළ මුල් බැසගෙන අවසන්. එහි අන්තර්ගතයත්, ආකෘතියත් යනු එකකට එකක් පෑස්සී පවතින්නක්. මේ දෙපාර්ශ්වය ගැන නොසිතුවොත් කෙටිකතාව අසාර්ථක වෙනවා. ඉතිං ආධුනිකයෙකු හැටියට කිසියම් බයකුත් මට තිබුණා. මේ ලියන කතා, හුදු කතාවකට පමණක් සීමා නොකරන්න උත්සහ ගත්තා කියා මම හිතනවා. ආකෘතිය කෙරෙහිත් මම අවධානය ලබා දුන්නෙ ඒ ඒ අත්දැකීමේ හැටියටයි. නමුත් ඒවායෙහි සාර්ථක අසාර්ථක භාවය කොතරම්ද කියා මට තක්සේරු කරන්න බැහැ.

මෙම කෘතියට ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?

මෙහි පසුවදන ලියන්නේ මහාචාර්ය ජිනදාස දනන්සූරිය මහතා. එතුමාගේ පසුවදන මට ඉතා වටිනවා. එතුමා මෙහිදී ගුණ නුගුණ දෙකම සඳහන් කරනවා. ඊට අමතරව මගේ ඇතැම් හිතවතුන් කියවා ප්‍රතිචාර දැක්වූවා. සාහිත්‍ය කලා ක්ෂේත්‍රවලට සම්බන්ධ කිහිප දෙනෙක් එය කියවා අගය කළා. විශේෂයෙන්ම, මම ඉතාම ගරු කරන අපේ විශ්‍රාමික ආචාර්යවරයකු වන, විශ්ව සාහිත්‍ය පිළිබඳව ඉතා පුළුල් ඥානයක් තිබෙන ලක්ෂ්මන් ප්‍රනාන්දු ඇදුරුතුමාගේ විචාරය මට බොහොම වටිනවා. ඒවා මගේ නිර්මාණ ජීවිතයට ඉතා වැදගත් උපදෙස් වගේම විවේචන. තව දෙයක් තිබෙනවා කියන්න; බහුතර පාඨක අවධානය දිනාගන්න නම් ෆේස්බුක් ආදී සමාජ මාධ්‍යවල බොළඳ හා ජනප්‍රිය විදිහට මේවා අලෙවි කරන්න ඕනෑ. වැළහින්නියෝ වගේ හඬා වැලපෙමින් හෑලිපිට හෑලි ලියන්න ඕනෑ. ඉතින් ඒවා කරන්න මට හිරිකිතයි. නමුත් අතරතුරෙහි ඇතැම් අය මෙය කියවන බව සමාජ මාධ්‍යයෙන්ම මම තහවුරු කරගෙන තිබෙනවා.

“ඇගේ කුඩා කෙස් වැටිය” හැරුණු විට ඔබේ වෙනත් නිර්මාණ මොනවාද ? කවි පොතක් කළා නේද?

ඔව්. මම “පිං ඇත්තෝ ගල් ගැහුවෝ” යනුවෙන් කාව්‍ය ග්‍රන්ථයක් කළා. එය කොරෝනා වසංගතය හෝ එවක රටේ පැවති ආර්ථික ප්‍රශ්නය නිසා හෝ අවුරුදු දෙකක් පමණ ප්‍රමාද වුණා. එය මුද්‍රණය වූයේ 2022 දී ගොඩගේ ප්‍රකාශනයක් හැටියට. මම උසස් පෙළ පංතිවල සිටින කාලයේ “දෛවයෝගය” නමින් යොවුන් නවකතාවකුත් ලිව්වා. දැන් නම් එහි අඩුපාඩු බහුලයි කියා හිතෙනවා. තුරුණු වියේ නිර්මාණකරණයට තිබුණු ඇල්ම නිසා තමයි ලියන්න පෙලඹෙන්න ඇත්තෙ.

වසුන්දරා කුමාරී ධර්මරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT