Home » “මනුෂ්‍යත්වයේ සිහින පිළිබඳ සිනමාත්මක පරාවර්තනය” – Eden

“මනුෂ්‍යත්වයේ සිහින පිළිබඳ සිනමාත්මක පරාවර්තනය” – Eden

by mavan
October 16, 2025 11:01 am 0 comment

සිනමාකරුවකුගේ දෘෂ්ටිය සහ පරිකල්පනය, ප්‍රතිභා ශක්තිය ඇසුරින් මැවෙන සිනමානුරූපි රූපපෙළ සහ යථාර්ථය සංකලනය වීම සිනමාපටය යනුවෙන් සංකල්පගත වෙයි. මෙනයින් බැලු කල ‘Eden’ සිනමාපටය යථාර්ථවාදී බවින් පොහොසත් කතාන්තරයක සිනමාත්මක රූප පෙළහරක් සහිත වියමනකි. හොලිවුඩ් සිනමාකරුවන් සත්‍ය පුවත් ඇසුරින් චිත්‍රපට නිර්මාණය කිරිමෙහි ලා ශූරයන් බව අප සැවොම දනිමු. මේ වසරේ තිරගත වූ ‘Eden’ සිනමාපටය ද සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ කදිම චිත්‍රපටයකි. 1929 වසරේ ආචාර්ය ෆ්‍රෙඩික් රිටර් සහ ඩෝර් ස්ට්‍රෝච් ජර්මනියෙන් ඉක්වදෝරයේ ගැලපගොස් දූපත් වෙතට සේන්දු වන්නේ මානවයා සතුව උප්පත්තියෙන් උරුමවන්නා සේ වන සාම්ප්‍රදායික ජීවිතය උඩුගංබලා යනු පිණිස ය. සුඛෝපභෝගී නිවසක් සහ වාහනයක්, හැම් බේකන්, මස් බුදිම්න්, යහමින් වයින් පානය කරම්න් ගෙවන සාම්ප්‍රදායික දිවිය අත්හැර කිසිම මිනිස් පුලුටක් ගැවස නොගත් ගැලපගෝස් දූපතේ වාසය කරන්න මොවුන් තීරණය කරයි. දූපතේ වාසය කරන එකම පිරිස වන්නේ ද මොවුන් ය.

කලක් ඇවැමෙන් ඔවුන් සමඟ ජර්මානුවන් වන මාග්‍රට් සහ හයින්ස් විට්මර් සහ හයින්ස්ගේ බාල පුත් හැරී ද එක් වෙති. මොවුන් කිසිම ගැටමුක් හෝ ආරවුලක් නොමැතිව සාමකාමීව මෙම දූපතේ දිවි ගෙවයි. සාමකාමී ජීවිතයට දිගු විරාමයක් තබන නපුරක් ළග ළඟ පැමිණෙන බව මොවුන් කිසිවිටෙකත් දැන සිටියේ නැහැ. හරිත කොළ පැහැයෙන් සිරියගත් මෙම දූපතේ හෝටලයක් ඉදි කරන්නට එක්තරා සමූහයක් පැමිණේ. වංශාධිපති කාන්තාවක් ලෙස හඳුන්වාගත් ‘එලොයිස් බොස්කෙට්’ නම් රූමතිය ද, ඇගේ පෙම්වතුන් දෙදෙනා වන රොබට් සහ රූඩොල්ෆ් ද මෙම දූපත වෙත අවිචාරවත් සිරිත් විරිත් කැන්දාගෙන එති.

කූඩාරම් ගසා දූපතේ ඉඩම් අල්ලා ගන්නා එලොයිස් ඇතුළු සමුහය සැමවිටම ඊර්ෂ්‍යාව පෙළෙන්නේ මාග්‍රට් සහ හයින්ස් පවුල වෙත ය. දූපතේ කිසිදු ආහාරයක් නැත. අඩුම තරමින් පළතුරු ගෙඩියක්වත් දක්නට නැත. මාග්‍රට් සහ හයිසන්ස් තම දෙඅතින් පොළව හාරා බීජ පැළ කර එළවළු සහ ධාන්‍ය වගා කරති. නමුත් ඒවා සොරකම් කරන්නේ එලොයිස් ඇතුළු සමූහයයි. ගැටුම්, ආරවුල් ආරම්භවන්නේ මෙතැන් සිට ය. භෞතික සහ ද්‍රව්‍යමය වශයෙන් කෙතරම් දියුණුවට පත් වූවත් මිනිසාගේ ගෝත්‍රවාදී අවිචාරවත් හැසිරීම් ප්‍රකට වෙයි. එකිනෙකා රණ්ඩු සරුවල් කර ගනිති. අවසානයේ විශාල අනර්ථදායක තත්ත්වයක් නිර්මාණය වෙන්නේ ප්‍රේක්ෂකාගාරය දැඩිව කම්පාවට පත් කරමිනි. සැබෑ ලෙසම මෙවැනි ආකාරයේ කතන්දර ද මානව ඉතිහාසයේ සිදුව ඇති බව සිනමාකරුවා සන්නිවෙිදනය කරයි. කැමරාකරණය සහ වර්ණ සංයෝජනය යන සිනමා තාක්ෂණික අංශ දෙක විසින් චිත්‍රපටයේ නිරූපණය වන කතාවට සහ චරිත සඳහා මනා වූ දායකත්වයක් ලැබෙයි.

‘ඊඩන්’ සිනමාපටයේ තිර පිටපත රචනා කර ඇත්තේ 1930 දශකයේ ෆ්ලෝරියානා දූපතේ පදිංචි වීමට උත්සාහ කළ යුරෝපීයයන් පිරිසකගේ සත්‍ය කතාවක් ඇසුරිනි. මෙම සත්‍ය කතාව සිනමානුරූපිව තිරයට ගෙන එන්නේ හොලිවුඩයේ සුප්‍රකට සහ සම්මානනීය සිනමාපට රැසක් අධ්‍යක්ෂණය කළ ‘රොන් හොවාර්ඩ්’ විසිනි. රොන් හොවාර්ඩ් මීට පෙර අධ්‍යක්ෂණය කළ ‘අ බියුට්ෆුල් මයින්ඩ්’, ‘සින්ඩ්‍රෙල්ලා මෑන්’, ‘ද ඩාවින්සි කෝඩ්’, ‘ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස්’, ‘තර්ටීන් ලයිව්ස්’ සම්මානනීය චිත්‍රපට වෙයි. හොලිවුඩ් සිනමාවේ මහා ගාන්ධර්වයකු වන හාන්ස් සීමර් මෙහි සංගීත අධ්‍යක්ෂණය කර තිබීම කැපී පෙනෙන ශිල්පීය ලක්ෂණයකි. නූතන හොලිවුඩ් සිනමාවේ සුප්‍රකට නිළියන් තිදෙනකු වන ‘ඇනා ඩී අර්මාස්’, ‘වැනේසා කර්බි’ සහ ‘සිඩ්නි ස්විනී’ රංගනයෙන් දායක වීම ප්‍රේක්ෂකාගාරයේ අවධානය නතු කරගන්නට සමත් වෙයි. සම්මානනීය රංගධරයකු වන ජූඩි ලෝ ද චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන ආචාර්ය ෆෙඩ්‍රික් රිටර්ගේ චරිතය නිරූපණය කරයි. සිනමාපටයේ සියලු රූගත කිරීමි සිදු කර ඇත්තේ ඔිස්ට්‍රෙිලියාවේ ගෝල්ඩ් කෝස්ට් වෙරළ තීරයේදී ය. මානව දුර්වලතාවය සහ සදාචාරාත්මක දූෂණයට එරෙහිව මනෝරාජික විඥානවාදය ගවේෂණය කරන චිත්‍රපටයක් ලෙස ‘Eden’ හැඳීන්වීම සාධාරණ බව විචාරකයන්ගේ මතයයි. ‘Eden’ මනුෂ්‍යත්වයේ පරිමාව සහ සාමයේ මිල කොපමණද? යන්න ප්‍රශ්න කරන චිත්‍රපටයක් සේම මානවයාගේ චලනය වන මානසික තත්ත්වයන් පිළිබඳ හෙළිදරවි කරන සිනමාපටයකි.

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT