Home » මට රඟපෑමට සුදුසු චරිත තෝරා දෙන්නේ ශානි නැන්දා

මට රඟපෑමට සුදුසු චරිත තෝරා දෙන්නේ ශානි නැන්දා

යොවුන් රංගන ශිල්පිනී- කුෂේන්යා ෙ චන්දන දයාසිරිවර්ධනෆාන්සේකා

by mavan
January 29, 2026 1:23 pm 0 comment

ඉතින් කොහොමද කුෂේන්යා?

හොඳීන් ඉන්නවා. ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ රසික රසිකාවන්ගේ ආදරණීය ප්‍රතිචාර ලබමින්.

ඒ ප්‍රතිචාර කුෂේන්යාටද?

මම හිතන්නේ ඒ ප්‍රතිචාර චනුලිට කියලා. මේ දවස්වල ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගනිමින් සිනමාශාලා වල තිරගත කෙරෙන මලකි දුවේ නුඹ චිත්‍රපටයේ මම රංගනයේ නියැළෙන චනුලිට තමයි ඒ ආදරණීය ප්‍රතිචාර.

මේ චිත්‍රපටය කුෂේන්යාගේ කීවෙනි කඩඉමද?

සංඛ්‍යාත්මකව ගත්තොත් මගේ රංගනය එක්වූ තුන්වෙනි නිර්මාණය. මුලින්ම මම චිත්‍රපටයකට කියල රඟපෑවේ මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ ‘දැකල පුරුදු කෙනෙක්’ චිත්‍රපටයේ. ඊට පස්සේ මගේ දෙවන රංගන අභිෂේකය සිදුවුණේ කල්පන ආරියවංශ, වින්දන ආරියවංශ අධ්‍යක්ෂණය කළ රූකඩ පැංචි චිත්‍රපටයේ. තෙවන වරට මගේ රංගනය එක්වූණේ මේ දවස්වල තිරගත වන කල්පන හා වින්දන ආරියවංශ දෙසොහෝයුරෝ අධ්‍යක්ෂණය කළ මලකි දුවේ නුඹ චිත්‍රපටයට.

සිනමාව හැරුණුකොට වේදිකාව හෝ පුංචි තිරයට මේ වන විටත් ඔබ රංගනයෙන් දායක වෙනවද?

තවම නෑ. ටීවී කොමර්ෂල් කීපයක් වෙනුවෙන් දායක වීමක් පමණක් සිදු කරලා තියෙනවා.

ආරංචියක් තියෙනවා කුෂේන්යා අත දරුවෙකුව සිටියේදීම කලාවට පා තැබූ තැනැත්තියක් කියලා?

2007 වසරේ තමයි මම මුලින්ම ටීවී කොමර්ෂල් එකක් වෙනුවෙන් දායක වීමක් සිදු කරලා තියෙන්නේ. ඒ වෙනකොට මම වයස අවුරුදු එකක දැරියක්. මුලින්ම දායක වීමක් කරලා තිබුණේ මෙරට ජනප්‍රිය සබන් වර්ගයක දැන්වීමක් වෙනුවෙන්. ඊට පස්සේ සබන් දැන්වීම්, කිරි සම්බන්ධ දැන්වීම් ඇතුළු දැන්වීම් කීපයක් වෙනුවෙන් පෙනී සිටීමක් සිදුකළා.

හා පුරා කියා මලිත් හෑගොඩගේ දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයේ රංගනයට එක්වනවිට ඔබ පාසල් ශිෂ්‍යාවක්?

පාසලට යන්න පටන් ගත්ත මුල් කාලයේදීම තමයි මට ඒ චිත්‍රපටයේ රඟපාන්න ලැබුණේ. ඒ වෙනකොට මට වයස අවුරුදු පහක් හයක් විතර ඇති. රූකඩ පැංචි චිත්‍රපටයේ මම රඟපානකොට මම පාසලේ හතේ අටේ පන්තිවල ශිෂ්‍යාවක්.

කුෂේ්න්යා පදිංචි වගේම පාසල් ගියේ?

මම පදිංචි 51/ඒ, ධර්මා ලෝක මාවත, වරාගොඩ කැලණිය ලිපිනයේ. පාසල් දෙකක මම අධ්‍යාපනය ලැබුවා. මුලින්ම කැලණිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා.

චිත්‍රපට නිළියක් වීමේ භාග්‍යය ඔබට කොයි ආකාරයෙන්ද උදා වීම සිදුවන්නේ?

දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයට මාව තෝර ගත්තේ කොහොමද කියලා මට මතකයක් නෑ. මම හිතනවා සමනලී නැන්දගෙන් මම ගැන දැනගෙන මලිත් අංකල් මාව ගන්න ඇති කියලා. ඒ චිත්‍රපටයේ නළු නිළියන් වූ බිමන් ජයකොඩි අංකල්ගෙත් සමාධි ලක්සිරි ඇන්ටිගෙත් පුංචි දරුවෙකුට තමයි මම රඟපෑවේ. හැබැයි මට දෙබස් මොනවත් කියන්න තිබුණේ නෑ.

රූකඩ පැංචි චිත්‍රපටයට මට ආරාධනය ලැබුණේ මගේ සීයා ඒ කියන්නේ ආනන්ද ෆොන්සේකා. මගේ ෆොටෝ වගයක් ගත්තා කැමරා චෙක් එකකට. ඒ ෆොටෝ ටික ශානි නැන්දා ෆේස්බුක් දාලා. ඒක දැකලා කල්පන අංකල්, වින්දන අන්කල් ශානි නැන්දගෙන් අහලා තමයි මාව රූකඩ පැංචි චිත්‍රපටයට අරගත්තේ.

රූකඩ පැංචි රඟපාන්න ලැබුණේත් දෙබස් නැතුවද?

නෑ. ඒ චිත්‍රපටයේ දෙබස් තිබුණා. මගේ අම්මට හිටියේ දිල්හානි අශෝකමාලා ආන්ටි. තාත්තට හිටියේ නිරෝෂන් විජේසිංහ අංකල්. මම ඒ අයගේ දුව හැටියට රඟපෑවා. චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනී අංකල් එක්ක මට ගොඩක් අවස්ථාවල රඟපාන්න තිබුණා. දෙබස් කියමින් මම මුල්වරට රඟපෑවේ රූකඩ පැංචි චිත්‍රපටයේ.

ඔබ කියන ශානි නැන්දා කවුද?

වෙන කවුරුවත් නොවෙයි සමනලි ෆොන්සේකා. මට ඇයව නෑදෑකමට නැන්දා. මම ආදරේට කියන්නේ ශානි නැන්දා කියලා.

“මලකි දුවේ නුඹ” චිත්‍රපටය තිරගත වෙන්න කලින් කුෂේන්යා වඩාත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වන්නේ?

සනුක වික්‍රමසිංහගේ මියුසික් වීඩියෝව. මේ මියුසික් වීඩියෝව 2024 වසරේ තමයි කරන්නේ. මේ වීඩියෝව කරන්න කලින් මම මලකි දුවේ නුඹ චිත්‍රපටයේ රඟපානවා. නමුත් ඒ චිත්‍රපටය රීලීස් වෙන්න කලින් සනුකගේ මියුසික් වීඩියෝව එළියට එනවා.

ඔබ රඟපෑ සනුකගේ මියුසික් වීඩියෝව මෙතරම් ජනප්‍රිය වන්න හේතුව ලෙස ඔබ දකින්නේ?

සනුක මේ වනවිට ලබා තිබෙන ජනප්‍රියත්වය එක හේතුවක්. අනික ඒ මියුසික් වීඩියෝව තුළ තිබුණ කතාව පාසල් ගුරුවරයකුට පෙම්බදින ශිෂ්‍යාවක්. ශිෂ්‍යාවට පෙම්බඳීන ගුරුවරයෙක් දෙදෙනාටම හොරා මුනිවත රකිමින් කරන ප්‍රේමයක් පාදක වූ කතාවක් තමයි මියුසික් වීඩියෝව ඇතුළේ කතාබහක් ලෙස ගොඩනැගී තිබුණේ.

සැබෑ ජීවිතයේ ෆොන්සේකා පරපුරේ තුන් ඈඳුණු පරම්පරා තුනක් නියෝජනය ඇතුව රංගනයන් ඉදිරිපත්වන අවස්ථාවක් චිත්‍රපටය පුරා දැක ගන්න තියෙනවා?

සමනලී ෆොන්සේකාගේ (ශානි නැන්දගේ) ලොකු නැන්දා තමයි මාලීනි ෆොන්සේකා. මගේ එකම නැන්දා තමයි සමනලි ෆොන්සේකා. (ශානි නැන්දා) මාලනී ෆොන්සේකා කියන්නේ මගේ සීයා ආනන්ද ෆොන්සේකාගේ අක්කා කෙනෙක්. මට ඇය නෑකමට ලොකු ආච්චි. නමුත් අපි පවුලේ අය හැටියට එතුමියට ආමන්ත්‍රණය කළේ ඕ ආච්චි කියලා.

ඔබ ආමන්ත්‍රණය කරන ඕ ආච්චි ඔබත් සමඟ මීට පෙර එකට රඟපාලා නැද්ද?

තියෙනවා. රූකඩ පැංචි චිත්‍රපටයේ ඕ ආච්චි පාසලේ විදුහල්පතිනිය ලෙස මට තෑග්ගක් ලබා දෙනවා. නමුත් මලකි දුවේ නුඹ චිත්‍රපටයේ ඇය මගේ ආච්චි ලෙසත් සමනලී ෆොන්සේකා (ශානි නැන්දා) මගේ අම්මා ලෙසත් රඟපානවා.

“මලකි දුවේ නුඹ” චිත්‍රපටයේ ඔබේ චරිතය?

මම චනුලි

චනුලිට මේ දවස්වල මොනවද ප්‍රේක්ෂකයෝ කියන්නේ?

හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ අතර එක එක අයගේ පොඩි පොඩි අදහසුත් තියෙනවා. හැබැයි ගොඩක් හොඳ ප්‍රතිචාර තමයි තියෙන්නේ. චිත්‍රපට හෝල්වල තිරගත වෙන අතරේ රඟපෑ ශිල්පීන් හැටියට අපිත් ඒ සඳහා ගිය අවස්ථා තිබුණා. ඒ වෙලාවට ප්‍රේක්ෂකයොත් සර්ප්‍රයිස් වන අවස්ථා තිබුණා. සමහරු චිත්‍රපටයේ සංවේදීකමට අඬනවා. සමහරු මගේ රංගනය එයාලගේ ජීවිතවල කොටසක් කියලා හිතන අවස්ථාත් තියෙනවා.

නිළියක ලෙස ඉදිරියේදී වෘත්තිමය නිළියක් ලෙස කටයුතු කරන්නද ඔබේ සැලසුම?

තවම මම ඒ ගැන හිතලා නැහැ ඉගෙනගන්න පැත්තෙන් ඉදිරියට යනවද රඟපානවද කියලා. මම දැනට හිතාගෙන ඉන්නවා මා ඉගෙන ගන්න පැත්තෙන් මානව සම්පත් ක්ෂේත්‍රයේ වෘත්තියක නියැළෙන්න. රඟපෑම වෘත්තියක් කරගන්න මම තවම හිතලා නෑ.

රඟපෑ චිත්‍රපටය තිරගත වන අතරේ වෙනත් අධ්‍යක්ෂවරු නිර්මාණ සඳහා කතාබහ කරලා තියෙනවාද?

ඔව් මේ වෙනකොට අලුත් චිත්‍රපටයක් වෙනුවෙන් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

වේදිකා නාට්‍ය වගේම ටෙලි නාට්‍ය පැත්තට නැඹුරු වෙන්න අදහසක් නැද්ද?

මම වේදිකා නාට්‍ය කොහෙත්ම කරල නෑ. හැබැයි ටෙලි නාට්‍ය සඳහා කතාකරලත් තියෙනවා. කොයි දේ කරන්නත් මට ශානි නැන්දගෙන් අනුමැතිය ලැබෙන්න ඕනේ.

එතකොට අද ඔබ රඟපානවද නැද්ද කියලා තීරණය කරන්නේ ශානි නැන්දා?

එයාගෙන් තමයි කවුරුත් මා ගැන අහන්නේ. එයාට සුදුසු නෑ කියලා හිතෙනවා නම් එතැනින්ම හරවලා යවන්න ශානි නැන්දා දෙවරක් හිතන්නෙ නෑ. ඒ ගැන මට කියන්නෙත් නෑ. හැබැයි හොඳ වැඩක් ආවොත් මට කියනවා කරන්න කියලා.

ෆොන්සේකා පවුලේ තිදෙනෙක් එකට එකතුවීම තුළ චිත්‍රපටයේ රඟපෑම ඔබට සාමාන්‍ය දෙයක් වෙන්න ඇති?

ඔව්. අපි තුන්දෙනාම දන්න අය නිසා ලොකු අමුත්තක් දැනුණේ නෑ. හැබැයි ශානි නැන්දා ඕ ආච්චි කලින් එකට නිර්මාණ කීපයකම රඟපාලා තිබුණා. ආකාස කුසුම්, කෙම්මුර සිනමා හා ටෙලි නිර්මාණවල. මටත් ඕ ආච්චි එක්ක රූකඩ පැංචි වල රඟපාලා තිබුණා සුළු වශයෙන් හරි. අපි තුන්දෙනාම පවුලේ අයවීම නිසා අපහසුවක් ඇති වුණේ නෑ.

කුෂේන්යා රඟපානවාට අම්මයි තාත්තයි කැමතිද?

එයාල කැමතියි මම රඟපානවා නම්. මොකද මගේ ශානි නැන්දා රඟපාන්න තෝරලා බේරලා දෙන හින්දා. එයාලට බයකුත් නැහැ මට බයකුත් නෑ.

ඔබ රුචිකත්වයක් නොදැක්වුවත් වේදිකාව නේද රංග ශිල්පියෙකුට හොඳම තක්ෂිලාව?

ඔව් මම ඒක පිළිගන්නවා. මම පොඩි කාලේ ඉඳන් කලේ ඩාන්සින්. මම හිතාගෙන හිටියේ ඩාන්සින් පැත්තෙන් ඉස්සරහට යනවා කියලා. දැන් ඒ ඩාන්සිනුත් අත ඇරලා අවුරුදු 13ක් විතර. මම ඩාන්සින් කළා පාසලේ පළමු ශ්‍රේණියේ ඉඳලා චන්න විජේවර්ධන සර් යටතේ. ඩාන්සින් පැත්ත මම හැදෑරුවා මිසක් නාට්‍ය පැත්තට මගේ හිත යොමුවීමක් කළේම නෑ. හැබැයි දැන් නම් ශානි නැන්දා කියනවා ක්ලාස් එකකට යන්න කියලා. මට මතකයි පුංචි දවස්වල සරසවිය සිනමා සම්මාන උලෙළේ, රීදි රැයක් ප්‍රසංගයේ මම චන්න සර්ගේ නැටුම් කණ්ඩායමේ ඩාන්සින් පවා කරලා තියෙනවා.

“මලකි දුවේ නුඹ” දියණියන්ගේ පටන් මිත්තණියන් දක්වා සෑම කාන්තාවකගේම සිත් කඳුළින් සනසන පවුලේ දරා ගැනීමේ සිනමා නිර්මාණයක් බවට හුවා දක්වන චිත්‍රපටය නරඹා සිනමා ශාලාවෙන් එළියට එන ප්‍රේක්ෂකයාගේ දෙනෙත් කඳුළින් තෙත් කරන්නට සමත් නිර්මාණයක් වීමට හේතුව ලෙස ඔබ දකින්නේ?

මගේ යාළුවොත් පවුලේ කවුරුවත් මෙහෙම නෑ. චිත්‍රපටයේ කතාවේ තියන තේමාව ලංකාවේ සමාජයේ ගොඩාක් තියෙන දෙයක්. හැබැයි කතා නොවන දෙයක් අපි ගොඩක් දැකපු දෙයක් තමයි චිත්‍රපටය බලන්න ආපු අය අතරින් හිටියේ අම්මා දුව සමාජය තුළ කොතෙකුත් මේ වගේ ඛේදනීය තත්වයන් බොහොමයි එවැනි දෙයක් බලනකොට ඒක තමාගේ ජීවිතයටත් කොහෙන් හෝ සම්බන්ධයක් ඇති කරනවා නම් සංවේදී වීම වළක්වන්න බෑ.

මේ චිත්‍රපට රංගනයද ඔබේ ප්‍රධාන රංගනය වන්නේ?

නෑ මීට කලින් රූකඩ පැංචි චිත්‍රපටයේත් මම ජැක්සන් ඇන්තනි අන්කල් සමඟ මේන් කැරැක්ටරය කළා. මේ චිත්‍රපටයේ මමත් ශානි නැන්දත්, ඕ ආච්චිත් තුන්දෙනම මේන් කැරැක්ටර් කරනවා.

නිළි රැජනගෙන් ඔබට ලැබුණු ගුරුහරුකම් කොහොමද?

අපි දෙන්නට සතියකටත් අඩු කාලයක් වගේ එකට රඟපාන්න ලැබුණේ. මගේ නිදහසටත් මගේ කැමැත්තටත් ඈ ඉඩ දුන්නා. මට හැරෙන්න ඕනේ තැන් සීන් ගන්න කොට මීට වඩා මේකට මෙහෙම කළා නම් හොඳයි කියලා වගේ ගුරුහරුකම් ලබාදීමක් කළා.

වාණිජ සිනමාවට ද සම්භාව්‍ය සිනමාවටද ඔබේ රංගන වපසරිය එක් කරන්න රුච්කත්වයක් දක්වන්නේ?

මගේ බෙදීමක් නෑ හොඳ ස්ක්‍රිප්ට් එකක් කරනවා නම් ශානි නැන්දා කියනවා නම් කරනවා

රඟපානවාද නැද්ද තීරණය කරන්නේ ශානි නැන්දා. ඔබ නොවෙයිනේ. කවුරුන් හෝ අධ්‍යක්ෂවරයෙක් ඔබව චරිතයකට ගන්න ඕනෙනම් හමුවිය යුත්තේ ඔබ නොවෙයි ශානි නැන්දව කියලද ඔබ ඔය කියන්නේ?

අම්මගෙන් තාත්තගෙන් අවසර ගන්නත් කලින් ශානි නැන්දගෙන් තමයි අවසර ගන්න ඕනේ.

පවුලේ තොරතුරු කොහොමද?

තාත්තා අසංග ෆොන්සේකා අම්මා ඉමල්කා සමරවීර. මට සහෝදර සහෝදරියන් නෑ. අම්මටයි තාත්තටයි ඉන්න එකම දුව මම.

ජනප්‍රියත්වය හඹා යන්න ඔබේ අදහසක් නැද්ද?

කොහෙත්ම නෑ. රඟපාන ගොඩ වැඩිකරගන්න මට ඕනේ නෑ. හෙමින් ගමන් සැහැල්ලුවෙන් යන එක තමයි මම හොඳයි කියලා හිතන්නේ.

චනුලි හැටියට ප්‍රධාන භූමිකාව රඟපාමින් මලකි දුවේ නුඹ චිත්‍රපටය ඔස්සේ ඔබ සමාජයට දෙන පණිවිඩය මොකක්ද?

චනුලි කියන්නේ ගෙදර නිරන්තරයෙන් අම්ම සමග රණ්ඩු වෙමින් තාත්තව හොයන දරුවෙක්ගේ චරිතයක්. මම මෙතනදි ළමයින්ට හොඳ උපදෙසක් දෙනවා අම්මත් එක්ක තරහා වෙන්නේ නැතුව ඉන්න ඕනෙ කියන අදහස තමයි දෙන්නේ. මොකද අම්මා කියන්නේ කරන්නේ යම් දෙයක් දරුවාගේ හොඳටනේ.

“මලකි දුවේ නුඹ” රඟපාන ගිහින් ෆොන්සේකා පරපුරේ පරම්පරා තුනේ සාමාජිකයෝ තිදෙනාම හොඳහැටි රණ්ඩු වුණා කියලත් කසුකුසුවකුත් තියෙනවා. ඇත්ත ද ඒ කතාව?

එහෙම දෙයක් වුණා. චිත්‍රපටයේ සීන් එකකට. මමත් මගේ අම්මට රඟපෑ ශානි නැන්දත් හරි හරියට පාරේ රණ්ඩු වෙන සීන් එකක් තිබුණා. මේ සීන් එක දකින වෙනත් අයකු මගේ ආච්චි අම්මට රඟපෑ ඕ ආච්චිට කියනවා. ඒ ආරංචියට ඕ ආච්චි ඇවිත් මගේ අම්ම එක්ක ඒ කියන්නේ ශානි නැන්දා එක්ක හරි හරියට රණ්ඩු වෙනවා. මෙන්න මේ සීන් එක ගැන තමයි ඔය කසුකුසුව ගිහින් තියෙන්නේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT