නිහාල්සිංහයන්ගේ ප්‍රඩක්ෂන් හවුස් එකට මාව හඳුන්වලා දෙන්නේ රංජිත් පෙරේරා විසින්. ඒ කාලේ ඔහු වැඩකළේ ඒ ප්‍රඩක්ෂන් හවුස් එකේ. නිහාල්සිංහයන් යුනික් රේඩියෝ ඇඩ් එකට අලුත් ගර්ල් කෙනෙක් හොයනකොට ඔහු තමයි මම ගැන කියලා තිබුණේ.
ඒ කාලේ ගුවන්විදුලි මාධ්‍යය හරියට ජනප්‍රිය නිසා ගුවන්විදුලි යන්ත්‍රත් වෙළෙඳපොලට ආවා. යුනික් නමින් ආපු ඒ වගේ ගුවන්විදුලි යන්ත්‍රයක් වෙනුවෙන් කැලැන්ඩරයක් නිර්මාණය කරන්නට නිහාල්සිංහයන්ට පැවරෙනවා. නිහාල්සිංහයන් අලුත් තරුණියක් හොයාගෙන එන්න පවරන්නේ රංජිත් පෙරේරාට
‘රංජිත්…. කවුද අලුතින් ෆිල්ඩ් එකට ඇවිත් ඉන්නේ….?
ඇයි නිහාල් මහත්තයා….
නෑ අර යුනික් කැලැන්ඩර් එක කරන්න ඕනනේ….
තලතා අක්කගේ දුව නම් ඇවිත් ඉන්නවා….
එක්කන් එනවකෝ බලන්න……
නිහාල්සිංහයන් ගෙන් රංජිත් අයියට ලැබුණු විධානයට රංජිත් අයියා අපේ ගෙදර හොයාගෙන එනවා. ඔහු මාව එලිබැන්ක් පාරේ නිහාල් අයියගේ ප්‍රඩක්ෂන් හවුස් එකට එක්කගෙන යනවා. ඒකාලේ අද වගේ මොඩ්ල් බෑන්ක් එහෙම තිබුණේ නැති නිසා ඔහොම තමයි කට්ටිය හොයා ගත්තේ.
නිහාල් අයියගේ ප්‍රඩක්ෂන් හවුස් එකේ දොර ඇරගෙන මම ඇතුළට ගියා. ඇතුලෙ තිබුණ ලොකු මේසයක් ළඟ පුටුවක නිහාල්සිංහයන් ඉදගෙන හිටියා. මාව දැක්ක ගමන්ම ඔහු නැගිට්ටා. මේ මම නිහාල්සිංහයන් දකින් පළවෙනි අවස්ථාව. ඔහු මම දොර ඇරගෙන ඇතුළට ඇඅවිදගෙන එන අයුරු බලාගෙන හිටියා.
කොහොමද අම්මා…?
‘හොදින් ඉන්නවා නිහාල් අයියා…. මම උත්තර දුන්නා.
ඒවුණාට මට තේරුණා ඔහු මා දිහා බලාගෙන මාව හොඳින් නිරීක්ෂණය කරන බව.
මාව යුනික් කැලැන්ඩරයට තෝරාගෙන අපි කැලැන්ඩරය කළා. නමුත් නිහාල්සිංහයන් ගෙන් මට ලැබුණු හොම තිළිණය වුණේ රිදී නිම්නය චිත්‍රපටයේ ‘කුසලා.
ඔහු පස්සේ කාලෙක මට කියනවා, එදා මුල්ම හමුවීම ට ඔහුගේ ප්‍රඩක්ෂන් හවුස් එකේ දොර ඇරගෙන මා ඇතුළට ආපු දවසේ තමයිලු ඔහු හිතුවේ ‘කුසලා’ හම්බවුණා කියලා. ඒ වනවිටත් ඔහු රිදී නිම්නය සැලසුම් කරමිනුයි ඉදලා තියෙන්නේ.
මට මතකයි කැලැන්ඩරේට මාව තෝරගෙන ආපහු මාව ගෙදර බස්සන්න යනවිට නිහාල් අයියත් මාත් එක්ක අපේ ගෙදර යන්න ආවා. අම්මා මුන ගැහෙන්න ඇවිත් ගොඩාක් වෙලා කතා බහ කරකර ඉදලා ගියේ. මට රිදී නිම්නයේ කුසලා ලැබෙන්නේ එහෙම.
රිදී නිම්නය නිර්මාණය වෙන්නේ කරුණාසේන ජයලත් ගේ එනමින් යුත් නවකතාව ආශ්‍රය කරගෙන. මාත් සමග ස්වර්ණා මල්ලවආරච්චි, සනත් ගුණතිලක, ශාන්ති ලේඛා, සෝමසිරි දෙහිපිටිය, වික්ටර් රාමනායක, නීල් අලස්, දයානන්ද ජයවර්ධන, ගීතා කාන්ති ජයකොඩි, ජයරත්න රූපසිංහ, දේවිකා මිහිරාණි, නවනන්දන විජේසිංහ, සුනේත්‍රා රණසිංහ, මැණිකේ අත්තනායක, සුනිල් විජේසිංහ, මහේන්ද්‍ර පෙරේරා, මාලා ලියනගේ, නිහාල් ජයවර්ධන, ඒ.එම්. පොඩිමැණිකේ, මානෙල් ජයසේන මේ චිත්‍රපටයේ රගපෑවා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ විජය රාමනායක.මේ අය අතරින් බහුතරයක් දෙනා සිනමාවට අලුතින් ආ අය.
සිනමාව ඇතුළෙ අපි මේ විදියට පෙළ ගැහෙන්නේ ඒ පිළිබද පාඨමාලා හදාරල නොවෙයි. අඩුම තරමින් සිනමා කැමරාවක් වත් දැකලා නැතුව. නමුත් ඒ අතින් මම හිතනවා මම හරි වාසනාවන්තයි කියලා. ඒ කාලේ අපිට මුණ ගැහුණු බොහෝ අධ්යක්ෂවරුන් අපිට උපදෙස් දීලා අපි රගපාන හැටි කැමරාවෙන් බලාගෙන හිටියා.
රිදී නිම්නයේ විව් පොයින්ට් එක වුණේ ‘කුසලා’. කුසලාගේ චරිතය පටන් ගත්තේ අවුරුදු 12න්. ඒ වනවිට මගේ වයස අවුරුදු 18- 19ක් විතර වෙලා. මට හොදටම මතකයි නිහාල් අයියා මට කුසලා ගේ චරිතය විග්රහ කරලු හැටි. කන්න බොන්න නැති දරිද්‍රතාවයේ අඩියටම ගිය චරිතයක් විදියට නිහාල් අයියා කුසලාව මට විග්රහ කළා. අපි සියලු දෙනාම ෂූටිං වලට ගිහින් නැවතුණේ ‘ කුරුවිට ප්‍රදේශයේ. මමයි ස්වර්ණා අක්කයි තමයි එක කාමරේ හිටියේ. අපි දෙන්නට එක කාමරේ ඉදලා හොදට පුරුදුයි. ඒ දවස්වල ස්වර්ණා අක්කා අපේ ගෙදර ආවමත් අපි දෙන්නා ඉන්නේ එක කාමරේ . ඇත්තටම කියනවා නම් ඒ කාලය හරිම සුන්දරයි. ඒදා ඇතිවුණ ඒ බැදීම අද මේ මොහොත වනවිටත් අපි අතර තිබෙනවා.
නිහාල් අයියා සෙට් එකට එනවාට හරිම ප්රතාපවත් අපිට දැනෙන්නේ හරියට හොලිවුඩ් ෆිල්ම් එකක ඩිරෙක්ටර් කෙනෙක් එනවා වගේ ඒ වගේම තමයි හරිම ආදරණීයයි. ඔහු කතා කරන්නේ හරිම හෙමින්. පස්සේ කාලෙක අපි දැක්කා හඬ නගලා කෑ ගහන අධ්යක්ෂවරු සිනමාවේ ඉන්නවා. නමුත් වාසනාවකට මට නම් එහෙම අධ්යක්ෂවරු මුණ ගැහුණෙ නෑ.
නිහාල් අයියා ළගට ඇවිත් තමයි හැම දෙයක්ම කිව්වේ. ‘කුසලාට අවුරුදු 12යි මතකයි නේද හිනාවෙනකොට….
ඔහු මගේ ළඟට ඇවිත් හිමිහිට කියලා යනවා. චිත්‍රපටයේ මැද හරියට එනකොට කුසලාට අවුරුදු 15ත් පහු වෙනවා.
නිහාල් අයියා කවදාවත් මට නදීකා කියලා කතා කරලා නෑ. එයා මට කතා කරන්නේ ගුණසේකර කියලා. සිනමා ක්ෂේත්රයේ ගුණසේකර කියලා මට කතා කරපු එකම එක්කෙනා නිහාල් අයියයි.
දවසක් මට මතකයි නිහාල් අයියා කැමරාව තියලා ලෙෆ්ට් එක බලන්න කිව්වා. මම හිතුවේ මගේ ලෙෆ්ට් එක කියලයි නිහාල් අයියා එකපාරටම
‘ලෙෆ්ට් රයිට් අදුනන්නේ නැත්ද? කියලා ඇහුවා.
ඒ වෙලාවේ නම් මගේ ඇස්වලට කදුළු ආවා. මම නිහාල් අයියට හරිම ආදරෙයි. ඒ වගේම මම ඔහුට හරියට ගෞරව කළා. ඒනිසා මට ඔහුගේ ඒ වචන ටිකවත් දරා ගන්න බැරි වුණා. ෂූටිං ඉවර වුණාට පස්සේ ඔහු මගේ ළඟට ඇවිත් කතා කළත් මම කතා කළේ නැතුව හිටියා. මට මතකයි.
ඉස්සර නිහාල් අයියා හැම අවුරුද්දකම මට නිව් ඉයර් කාඩ් එවනවා.
ඊධ ථර ටචමධභපඪබඥඵ චජබපඥඵඵ’’ කියලා තමයි ඔහු හැමදාමත් මට ලියලා එවන්නේ. පස්සේ කාලෙක ස්වර්ණා අක්කා සහ අනෝජා අක්කා එහෙමත් නිහාල් අයියගේ හොඳ යාළුවෝ වුණා. එතකොට ඔවුන් කියන්න ගත්තා නිහාල් අයියා අපිටත් ෆේවරිට්ස් ඇක්ට්‍රස් කියලා කියනවනේ කියලා. එතකොට නිහාල් අයියා කියලා තිබුණා
‘කිව්වට ලියලා නෑනේ…. කියලා
කොහොම වුණත් රිදී නිම්නය රූ ගත කරපු කාලයත් සුන්දරව ගෙවිලා ගියා. නමුත් චිත්‍රපටය තිරගත වුණාම අපි හිතපු තරම් තලයකට ගියේ නෑ. නමුත් ඒ වසරේ ඕ සි අයි සි සිනමා සම්මාන උලෙළේ හොඳම වනිතා සම්මානයේ සම සම්මානය මටයි ස්වර්ණා අක්කටයි ලැබෙනවා.
රිදී නිම්නයෙන් පස්සේ නිහාල් අයියත් එක්ක මම වාර්තා චිත්‍රපට රැසකට සම්බන්ධ වෙනවා. ඉන්පසු ඔහු නිර්මාණය කළ ‘සුදු සහ කළු ටෙලිනාට්‍යයට මට කතා කරනවා. නමුත් ඒ කාලය වනවිට මම හිටියේ ඇමරිකාවේ. ඔහුගේ දිනවලට මට එන්න විදියක් තිබුණේ නෑ. ඒ නිසා මට ඒ චාන්ස් එක මිස් වෙනවා.
ලබන සතියේ
චංචල රේඛා අත්දැකීම්

