සියලු කලාවන්ට අධිපතිනිය ශශ්‍රී සරසවතී දේවියයි. යම් පුද්ගලයෙකුට කලාව පිහිටන්නේ නම් ඔහුට හෝ ඇයට එය සරස්වතී දේවියගේ ඇල්ම බැල්ම නිසා හිමිවූවකි. විවිධ ශානරයන් ස්පර්ශ කරමින් කලාකාරිනියක් හෝ කලාකරුවෙක් වීමම ජීවිතයට ලැබෙන භාග්‍යයක්. එවන් කලාකාරිනියක් පසුගිය දා සරසවිය හමුවට පැමිණියාය. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී නිරංජනී ශන්මුගරාජාය. ඇය රංගන ශිල්පිනියක්ම පමණක් නොවේ. ඇය මධ්‍යවේදිනියක, නිවේදිකාවක සහ නර්තන ශිල්පිනියක ලෙසද කටයුතු කරන්නීය. ඇයට ලැබෙන ඕනෑම චරිතයකට ඇය උපරිම සාධාරණ ඉෂ්ට කරන්නියකි. තමාට ලැබෙන චරිතය ප්‍රධාන චරිතයක්ද , සුළු චරිතයක්ද යනවග ඇයට අදාළ නැත. ලැබෙන සුළු චරිතයකින් වුවද ප්‍රේක්ෂකයාට තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට ඇයට මනා හැකියාවක් ඇත.
මේ දිනවල අති සාර්ථකව තිරගත වන ‘ ෆාදර්’ චිත්‍රපටයේ ඇය දෙමළ තරුණියකගේ චරිතයකට පණ පොවන්නීය. ඇගේ චරිතය චිත්‍රපටයේ විහිදෙන්නේ ඉතා සුළු කාලයක් වුවත් ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගැනීමට නිරංජනී ශන්මුගරාජා රංගන ශිල්පිනිය සමත් වුවාය. අද සරසවියෙන් ඇය කතා කරන්නේ ඒ ගැනයි.
හරිම සතුටින් මම මේ දවස්වල කාලය ගතකරන්නේ. මේ දිනවල මම රංගනයෙන් දායක වූ චිත්‍රපටය අතිසාර්ථකව තිරගත වෙනවා. ෆාදර් චිත්‍රපටය ඉතා ඉහළ ප්‍රතිචාර සහ ජනාකර්ෂණයක් ලැබෙමින් පවතිනවා. මම එහි රඟපාන්නේ දෙමළ තරුණියකගේ චරිතයක්. ඉතාමත් සුළු කාලයකට සීමා වූ රංගනයක් තමයි මට තියෙන්නේ. දර්ශනයේ පෙනී සිරින කාලය වැදගත් නැහැයි කියලයි මට හිතෙන්නේ. ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කළ හැකි නම් , ඒ චරිතයට ප්‍රේක්ෂකයා වැළඳ ගන්නවා නම් එතන තමයි රංගන ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ සාර්ථකත්වය රඳා පවතින්නේ. එයට කදිම උදාහරණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන් ‘ ෆාදර්’ චිත්‍රටපටයේ මගේ චරිතය. මා රඟපෑ දෙමළ තරුණියගේ චරිතය ප්‍රේක්ෂකයන්ට දැනුණු බව මට හොඳීන්ම තේරුණා. මට ලැබෙන ප්‍රතිචාරවලින් මම එය අවබෝධ කරගත්තා. තිරයේ පෙනී සිටීමට ලැබෙන සුළු කාලයෙන් වුවත් උපරිම හැකියාව පෙන්විය හැකි බවට මගේ රංගන ජිවිතයට ලැබුණු කදිම උදාහරණයක් ‘ ෆාදර්’ මට ලැබුණු චරිතය. මට ඒ චරිතයට ආරාධනා කළේ චමින්ද ජයසූරිය අයියාගෙන්.
” නංගී මම කරන චිත්‍රපටයේ දෙමළ ගීතයක් තියෙනවා. ඒ ගීතයේ දෙමළ තෙරණියගේ චරිතය කරන්න ඕන ඔයාමයි”
එහෙම තමයි චමින්ද අයියා මට ආරාධනා කළේ. මම එක පාරින්ම කැමති වුණා. ඒ ගීතය කුමක්ද කියලවත් මම ඇහුවේ නැහැ. මම හිතුවේ සිංහල ගීතයක් ඇතුළෙ දෙමළ ගීතයක් තිබීම වැදගත් දෙයක් කියලා. එවැනි දේක වටිනාකම වැඩියි. ඒ චරිතයට මාව තෝරාගත් එකටත් සතුටුයි. ගීතය ඇහුවාම මට හිතුණා ඒ දර්ශනයට පෙනී සිටි එක හොඳයි කියලා. ඒ වගේම සාධාරණයි කියලා. ඇත්තටම මට එයින් වටිනාකමක් ලැබුණා.
මම ‘ ෆාදර්’ ෆිල්ම් එකේ සත්‍ය කතාව දැනගෙන හිටියේනැහැ. මම ඉපදිලා තියෙන්නත් ඒ කියවෙන සිදුවීම සිදුවූ අවුරුද්දේ. ‘ ෆාදර්’ චිත්‍රපටය වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්. මට හිතෙන්නේ සිංහල සිනමාවේ අලුත්ම විස්වාසය පූජන දන්දෙනිය. මම චිත්‍රපටය බලලා එළියට ආපු ගමන්ම කිව්වේ සිංහල සින්මාවේ ඊළඟ සුපර් ස්ටාර් අපිට හමුවුණා කියලා. මේ චිත්‍රපටයේ මම දකින විශේෂත්වයක් තියෙනවා. ‘ ෆාදර්’ ෆිල්ම් එකේ රඟපාන සෑම දෙනාම පාහේ වේදිකාවෙන් රංගනය ගැන පන්නරය ලැබූ අය වීමයි. චමින්ද අයියට ඕන වෙලා තිබුණේ මේ ෆිල්ම් එකට වෙළඳ වටිනාකමක් දිය හැකි රංගන ශිල්පීන්ව තෝරාගන්න නෙවෙයි. ඔහු බැලුවේ නළුවන්ගේ ලස්සනද , ආකර්ෂණීය බවද නෙවෙයි. ඔහු හිතුවේ තමන් ගොඩ නඟපු කතාවේ චරිතවලට අදාළ වෙන්නේ කවුරුන්ද, ඒ චරිතවලට නිසියාකාරව සාධාරණයක් ඉටු කරන්නේ කවුද කියන කාරණය පමණයි. චරිත තෝරාගැනීමේදී වැදගත්ම කාරණය වන්නේ එයයි. සුදුසු කෙනාට සුදුසු තැන ලැබුණ ෆිල්ම් එකක් ‘ ෆාදර්’ කියන්නේ. බාහිර කාරණා සොයන්නේ නැතිව අවශ්‍ය පිරිස, සුදුසු පිරිස පමණක් තෝරා ගත් එක තමයි ‘ ෆාදර්’ ෆිල්ම් එක මෙතරම් සාර්ථක වෙන්න හේතුව.
ඒ සඳහා බලපාන තවත් හේතුවක් තියෙනවා. ෆ්ල්ම් බලන ප්‍රේක්ෂකාගාරය අපිට වඩා සිනමාව ගැන දැනුම්වත් වෙලා ඉන්නේ. අපි සමාජය සමඟ ගනුදෙණු කරද්දි ඒ විදිහට තමයි සිතන්නට ඕනේ. අපි කවදාවත් සිතන්න හොඳ නැහැ ප්‍රේක්ෂකයා අපි දෙන කරන ඕනෑම නිර්මාණයක් නරඹයි කියලා. එහෙම හිතුවොත් එතන තමයි අපේ කඩා වැටීම. ප්‍රේක්ෂකයන් එන්නේ සල්ලි වියදම් කරලා. ඒ නිසා එයට සාධාරණයක් ඉෂ්ට කිරීම නිර්මාණකරුවාගේ වගකීමයි. චමින්ද ජයසූරිය අයියා ‘ ෆාදර්’ චිත්‍රපටයෙන් එය ඔප්පු කර පෙන්නුවා.
‘ ෆාදර්’ චිත්‍රපටයට මම දායක වුණේ දෙමළ තරුණියක් විදිහට. අපේ රටේ දෙමළ චිත්‍රපට තැනෙනවා. සමහරු අහනවා ඇයි දෙමළ චිත්‍රපට පෙනී සිටින්නේ නැත්තේ ඇයි කියලා. ඔවුන් සිතාගෙන ඉන්නේ මම සිංහල සිනමාවේ නිළියක් කියලා. ඒත් මම ශශ්‍රී ලාංකික නිළියක්. ඔවුන් සිතනවා ඇති මම සිංහල චිත්‍රපටවල රඟපාන නිසා දෙමළ චිත්‍රපට වලට මාව අවශ්‍ය නැහැ කියලා. ඒ ගැන මගේ පසුතැවීමක් නැහැ. මාව අවශ්‍ය කෙනා මාව ගනීවි. ඔවුන් වාසනාවන්ත නැහැ මාත් එක්ක වැඩ කරන්න.
මට ඉන්දියානු නිර්මණ වලටත් කතා කරල තියෙනවා. ඒත් මම ඒ සඳහා එතරම් කැමැත්තක් නැහැ. ඒකට හේතුව 2015 අවුරුද්දේ මට මුහුණ පාන්නට සිදුවූ එක්තරා සිදුවීමක් නිසා. එදා මට කතාකළ හැමෝම වගේ හිතුවේ නිළියක් කියන්නේ වෙනස් භාණඩයක් වගේ කියලා. ඒ නිසා මම එවැනි ආරාධනා ප්‍රතික්ෂේප කළා. අපේ රටේ සිනමාවෙන් මට හොඳ චරිත ලැබෙනවා නම් මම මොකටද වෙන රටවල නිර්මාණ පසුපස දුවන්නේ. මම මට ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක්. මේ රටේ ප්‍රේක්ෂකයන්ගෙන් මට ගෞරවය, පිළිගැනීම, ආදරය මට ලැබෙනවා. කිසිදු බලපෑමක් නැතුව මට නිදහසේ රඟපාන්න ආරාධනාවක් ලැබුණොත් පමණක් සම්බන්ධ වෙනවා. නැතුව ඒවා පස්සේ දුවන්නේ නැහැ.
බොහෝ අය අහනවා ඇයි මම නර්තන ශිල්පිනියක් ලෙස සිනමාවට දායකත්වය නොදෙන්නේ කියලා. නර්තනාචාර්‍ය චන්දන වික්‍රමසිංහයන්ගේ ‘ කුවේණි’ මුද්‍රා නාට්‍යයට මම සම්බන්ධ වුණා. ඒත් සිනමාවේ දී නර්තනයට සම්බන්ධ චරිත ලැබිලා නැහැ. ඒකට හේතුව හැමෝම මාව දැක්කහම හිතන්නේ දෙමළ තරුණියගේ චරිතයට පමණයි මාව ගැළපෙන්නේ කියලා. මාව ගැළපෙන්නේ දුක්බර, කටුක චරිත වලට පමණයි කියලා. මම ආසයි විවිධ චරිත කරන්න. නිරංජනී ශන්මුගරාජා කියන රංගන ශිල්පිනිය ගෙන් නිර්මාණකරුවන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් තවම වැඩ අරගෙන නැහැ.
ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘ ආදරේ ඇත්තමයි’ චිත්‍රපටයේ මම රංගනයෙන් දායක වෙනවා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වෙන කීත් රංග සමඟ. ඔහුගේ බිරිඳ විදිහට තමයි මම රඟපාන්නේ. එහි තිබෙන්නේ මගෙ හඬමයි. කීත් රංග නිෂ්පාදකවරයෙක් වුණාට ඔහු රංගනයටත් දක්ෂයි.
මා රඟපෑ තවත් චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබී තියෙනවා.
මට ලැබෙන අවස්ථාවලින් මම උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක්. බොහෝ අයට නොලැබෙන අවස්ථාවක් තමයි අපට ලැබී තියෙන්නේ. මම වැඩ කරන වෙලාවට කම්මැළි වෙන්නේ නැහැ. සරසවිය සමඟ කතා කරන මේ මොහොතේත් මට ඉතා වටිනවා. කලාව කියන්නේ ආශීර්වාදයක්. ඒ ආශීර්වාදය මඟහැරිය යුතු නැහැ. මම පාසල් කාලයේ ක්‍රීඩිකාවක්. ඒ නිසා අලස නැහැ. ගෙදර ඉන්න වෙලාවට විවේක ගන්න පුළුවන්. රංගන ශිල්පිනියක්, කලාකාරිනියක් වූවිට ක්‍රියාශිලී විය යුතුයි කියලයි මා සිතන්නේ. ඒ නිසා මට ලැබෙන වටිනා අවස්ථාවලට උපරිම කැපවෙමින්, උපරිම සාධාරණයක් කිරීම තමයි මගේ බලාපොරොත්තුව.
නයනාංජලි දෙහිපිටිය
