Home » මගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක්

මගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක්

නර්තන, ගායන, රංගන, නිවේදන ළමා ශිල්පිනී ඔසාදි විහඟි

by mavan
October 23, 2025 9:35 am 0 comment

ගායනයෙන්, නර්තනයෙන්, නිවේදනයෙන් දස්කම් පෙන්වන පුංචි දියණිය ඔසාදි විහඟි සිය කලාවෙන් දිගු ගමනක් යෑමට බලාපොරොත්තුවෙන් පසුවන්නීය. දැනටමත් දක්ෂතා රැසක් විවිධ ඉසව්වලින් පෙන්වමින් සිටින ඇය තවමත් පාසල් අධ්‍යාපනය ලබන සිසුවියකි.. ඔසාදි විහඟි සිය කලා හැකියාවන්, දක්ෂතා පිළිබඳ කතා කිරීමට සරසවිය හා මෙසේ එක්වූවාය.

ඔසාදි, ඔබ තුළ සැඟව තිබූ කලා හැකියාවන් මුලින්ම හඳුනාගන්නේ කොහොමද …..?
මගේ හැකියාවන් මුලින්ම හඳුනාගත්තේ මගේ අම්මා. ඇය තාත්තාට මගේ හැකියාවන් ගැන කියලා මට නර්තනය ඉගෙනගැනීමට යොමු කෙරෙව්වා. මම ඉස්සර ඉඳන්ම කොහේහරි ගමනක් ගියත් පාරේදීත් නර්තනයේ යෙදෙන පුරුද්දක් තිබ්බා. මොන්ටිසෝරියේ ටීචර්ස්ලාත් අම්මාට කියලා තියෙනවා මෙයාව ස්ටේජ් එකක විතරයි තියන්න ඕනේ, ඕනැම නැටුමක් ටක් ගාලා අල්ලගන්නවා කියලා. ඒ විදිහටයි මගේ කලා හැකියාවන් මුලින්ම අම්මාත් , පෙර පාසල් ගුරුවරුනුත් හඳුනාගත්තේ.
ඔසාදිගේ ගම් පළාත් කොහේද?
මගේ ගම නුවරඑළිය. දැන් ඉන්නේ කුරුණෑගල. අනාගතයේදී කොළඹට ඒමේ බලාපොරොත්තුවක් අම්මලගේ තියෙනවා. අපි කලිනුත් හිටියේ කොළඹනේ. තාත්තාගේ රැකියාවට අදාළව ස්ථානමාරු සමඟ කුරුණෑගලට එන්න වුණා.
ඔයාට ඔයාගේ කලාහැකියාවන් ඔප්නංවාගන්න පාසලෙන් ලැබුණු සහාය මොනවගේද …?
මගේ මුල්ම ආදරණීය පාසල මේ වේලාවේ මතක් කරන්න කැමැතියි. ඒ බොරැල්ලේ බ්‍රිටිෂ් ජාත්‍යන්තර පාසල.. ඒ පාසලේ සිටි අවධියේ මගේ ගමනට ඉරේෂා මැඩම්ගෙන් ලොකු සහායක් ලැබුණා. මගේ ගුරු මණ්ඩලයත්, විදුහල්පති සුදත් මොහොට්ටාල මහතාත් ආදරයෙන් සිහිපත් කරනවා. ඒ පාසලෙන් ලැබුණු ආදරයට, සහයෝගයට මම තවමත් ආදරෙයි. දැන් මම කුරුණෑගල සසෙක්ස් ජාත්‍යන්තර පාසලේ ඉගෙනගන්නේ. එහි විදුහල්පතිනි සුධර්මා විජේසිංහ මහත්මියයි. ඒ පාසලෙනුත් මගේ කලාදිවියට ලොකු සහායක් ලැබෙනවා .
හිරු kids star තරගාවලිය ඔබේ ගායන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් කියා මට සිතෙනවා ……?
ඔව්, මට හිරු kids star තරගාවලියෙන් ලැබුණු ශක්තිය , පන්නරය ඉතා වටිනවා. එතැන තමයි මගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. ඒ තුළින් මට ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් වුණා. හිරු නාළිකාවේ සභාපති රෙනෝ සිල්වා මහතාටත්, kids star වැඩසටහනේ චින්තක මාමා, අකලංක මාමා ඇතුළු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අද මට ළමා ගායන ශිල්පිනියක් විදිහට දොරටවඩින්න අවස්ථාව ලැබුණේ මේ වැඩසටහන නිසයි . හිරු kids star මගේ ජීවිතයට හොඳ වටිනාමකම් ලබාදුන්නා.
නර්තනය ඉගෙනගන්න පන්ති යනවද….?
නර්තනය මම යූටියුබ් මාර්ගයෙන් හදාරනවා. නොතේරෙන තැන් ගැන අම්මාගෙන් අහගන්නවා. පාසලේත් නර්තනය හදාරනවා.
රංගනයට අඩිතාලම වැටුණේ කොහොමද ….?
මගේ අම්මා තමයි රංගනයටත් මාව මුලින්ම සම්බන්ධ කරවන්නේ. ඇය ටෙලිනාට්‍ය සහ චිත්‍රපට වේශ නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක්. ඇය දැන්නම් ටිකක් ක්ෂේත්‍රයෙන් ඉවත්වෙලා ඉන්නේ. අම්මා ඒ කාලයේ කලාකටයුතුවලට යද්දි මාවත් ඒවාට සම්බන්ධ කරවනවා. ඒ නිසා මට රංගනය කියන දේ නුහුරු දෙයක් නෙවෙයි.
කලා ලොවේ ඉදිරියට යන්න ගුරුහරුකම් දෙන පිරිසකුත් ඇති….?
මගේ අම්මයි තාත්තයි තමයි මට කලා ලොවේ වගේම සැබෑ දිවියේත් ඉදිරියට යන්න අතහිත දුන්නේ. ඒ දෙන්නව මුලින්ම මතක් කරන්න ඕනේ. මගේ පසුපසින් සිට මට ශක්තියක් වුණේ Voice Academy එකේ බුද්ධික දයාරත්න සර්. ඔහු තමයි මගේ සංගීත ජීවිතයේ ශක්තිය. එසේම මගේ රංගන කටයුතුවලට ගුරුහරුකම් දෙන සුමිත් ගල්හේන සර්වත් ආදරයෙන් මතක් කරනවා. දිනූෂි අක්කි, රමීෂා අක්කි ඇතුළු අක්කලාත් මට නොයෙක් අවවාද , උපදෙස් දුන්නා සහ උදව් කළා. එසේම නම් නොකිවූ බොහෝ දෙනෙක් මගේ කලාදිවියට ගුරුහරුකම් දුන්නා.
ගායනය, රංගනය, නර්තනය යන අංශවලින් ඔසාදි වඩාත්ම කැමැති කුමන අංශයටද….?
මම මේ අංශ 3ටම කැමැතියි . ගොඩාක්ම කැමැති ගායනයටයි. දක්ෂ ගායිකාවක් වීම මගේ අනාගත බලාපොරොත්තුවයි.
ගුවන්විදුලි සංස්ථාවේ ‘රුවනාර’ ළමා සමාජයේ ඔබේ භූමිකාව මොනවගේද …..?
ඔව්, ගුවන්විදුලි සංස්ථාවේ අපේ ‘රුවනාර’ ළමා සමාජයේ මම ඉදිරියට යන්නේ ජන ගී අංශයෙන්. එහි අධ්‍යක්ෂිකා ප්‍රියන්ති යහම්පත් මිස් ඇතුළු කාර්යමණ්ඩලය මෙහිදී මතක් කරනවා.
මුලින්ම කැමරාවකට මුහුණදුන් දවස මතකද…..?
ඔව්, ඒ රශ්මි සුමනසේකර නැන්දාගේ ‘තිත්ත පැණිරස’ නමැති පෝය ටෙලිනාට්‍යයෙන්. උපුල් ප්‍රියාන් මාමා තමයි එහි කැමරාකරණය කළේ. කැමරාවකට මුහුණදෙන්න ඕන කොහොමද, මොන මොන ඉරියව්වලින් ද ඉන්න ඕනේ කියලා බොහෝදේ එදා මම ඉගෙනගත්තා
මෙතෙක් රංගනයෙන් දායක වූ නිර්මාණ ගැන කියනවානම් …….?
මුලින්ම ‘තිත්ත පැණිරස’ ටෙලිනාට්‍යය. ඉන්පසු ‘මතකය පුරාණගමනය ඇවිත් යන්න එන්න, අනුපමා’ වැනි ටෙලි නිර්මාණ රැසකට රංගනයෙන් දායක වුණා.
වේදිකා නාට්‍යවලට දායක වුණේ නැද්ද….?
දැනට නම් වේදිකා නාට්‍යවලට ආරාධනා ලැබිලා නැහැ . පාසලේ වේදිකා නාට්‍ය නිර්මාණවලට දායක වී තිබෙනවා . ආරාධනා ආවොත් භාරගන්නවා.
සිනමාවට ආරාධනා ලැබුණද…..?
ඔව්, ‘ලකයි සිකයි’ නමින් හඳුන්වන මාමලගේ පළමු චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ චිත්‍රපටයේ නම ‘සුර දෙටුවෝ’. අලුත් චිත්‍රපටයකටත් ආරාධනා ලැබී තිබෙනවා . යසිත අබේවික්‍රමවර්ධන මාමාගේ සහ එරංග සේනාරත්න මාමගේ “සාරා'” නමැති නවතම චිත්‍රපටයකට ද ආරාධනා ලැබුණා . අලුතින් රූගතකිරීම් අරඹන නවතම චිත්‍රපට දෙකකටත් ආරාධනා ලැබුණා .
විවිධ කටහඬ තුළින් ශබ්ද නිකුත්කිරීමේ විශේෂ හැකියාවක් ඔබට තිබෙනවා නේද….?
මම යූටියුබ් බලබල ඉන්නගමන් මටත් සිතුණා විවිධ සතුන්ගේ හඬ අනුකරණය කරන්න ඕනෙ කියලා . ඒක දැන් පුරුදුවෙමින් යනවා. කුඩා කුඩා හඬවල් අනුකරණයට මම පුංචි කාලයේ ඉඳන්ම උත්සාහ කරනවා. විවිධ හඬ අනුකරණය කියන්නේ බිඩි බොක්ස් වගේ දේවල්, විවිධ හ¼ඬ, ශබ්ද කටින් කරන්න පුරුදු වෙනවා විනෝදාංශයක් විදිහට.
හඬකැවීම් කලාවට යොමුවෙන්න අදහසක් නැද්ද…..?
තවමනම් හඬකැවීමට අදහසක් නැහැ . අවස්ථාවක් ආවොත් උත්සාහ කරනවා.
වර්තමානයේ තිබෙන රියැලිටි තරග ගැන මොනවගේ අදහසක් ද තියෙන්නේ ….?
මට සිතෙන්නේ රියැලිටි කියන්නේ දක්ෂතා තිබෙන නවකයන්ගේ සැබෑ දක්ෂතා හඳුනන වේදිකාවක් කියලා. ඒක බොහෝ වටිනා අවස්ථාවක්.
ඔසාදිගේ මුල්ම රූප රචනය එළිදක්වන්න මූලික කටයුතු සකසමින් නේද තිබෙන්නේ …..?
ඔව්, මගේ මුල්ම රූප රචනයේ වැඩකටයුතු බුද්ධික දයාරත්න සර් ආරම්භ කරලයි තියෙන්නේ . ඒකට මගේ සීයාත් (අම්මගේ තාත්තා) මුල ඉඳන්ම උදව් කළා. රූප රචනයේ වැඩ කොටසක් අවසන් කර තියෙන්නේ . ඉතිරි වැඩකටයුතු නිමකරන්න තවත් මුදල් අවශ්‍ය වෙනවා. පවුලේ කට්ටිය, ඥාතීන් එයට උදව් කරමින් ඉන්නවා. රුප රචනය එළිදක්වන්න මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ.
එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ ඔසාදිගේ භූමිකාව විස්තර කළොත් ….?
එළිමහන් වේදිකාවට ආරාධනා ලැබෙනවා . පුළුවන් ආකාරයට ඒවාට දායක වෙනවා. මම වේග රිද්ම ගීත තමයි ගායනා කරන්නේ. අධ්‍යාපන කටයුතු සමඟ කාර්යබහුල වන නිසා තෝරාබේරාගෙන එළිමහන් සංදර්ශනවලට සහභාගි වෙන්නේ.
ඔබේ කලා හැකියාවන්ට පවුලේ අයගේ ආභාසයත් බලපෑවාද…..?
ඇත්තෙන්ම ඔව්. මගේ තාත්තාත් ගායන ශිල්පියෙක්. ඔහු රැකියාවත් සමඟයි කලා කටයුතුත් කරන්නේ. අම්මා රංගන ශිල්පිනියක් වගේම ටෙලිනාට්‍ය , චිත්‍රපට වේශ නිරූපණ ශිල්පිනියක්. මගේ සීයාටත් ගායන හැකියාව තිබෙනවා. ඒ නිසා මගේ පවුලේ ආභාසය මට ලැබී තිබෙනවා කියලා මම තරයේම විශ්වාස කරනවා.
නර්තනය, ගායනය, රංගනය වැඩිදුර ඉගෙනීමට අදහසකුත් ඔසාදිට ඇති….?
ඇත්තෙන්ම, ඒ විෂයයන් වැඩිදුර ඉගෙනීමට මම ගොඩක් කැමැතියි. ඒ සඳහා ඉදිරියේදී යොමුවෙන්න අදහස් කරගෙන ඉන්නේ.
නිවේදන කටයුතුවලටත් දායකවෙනවා නේද….?
ඔව්, මට නිවේදන හැකියාව තිබෙනවා. මම බොහෝ අවස්ථාවල, බොහෝ ස්ථානවල දැනටමත් නිවේදන කටයුතු සිදුකරනවා.
ඉදිරි නිර්මාණ කටයුතු ගැන කියනවානම්….?
ඉදිරියේදී අධ්‍යාපන කටයුතු හොඳීන් කරන ගමන් අපේ රටේ දක්ෂ ගායිකාවක්, නිවේදන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වීමට කැමැත්තෙන් ඉන්නවා. මට ගැළපෙන නිර්මාණ එළිදක්වන්න උත්සාහ කරනවා.
ඔසාදිගේ නිර්මාණ දිවියට පවුලෙන් ලැබෙන සහායත් මතක් කළොත් ….?
අම්මා නිතරම මගේ ළඟින් ඉඳලා කලාවට අදාළ දේවල් කියාදෙනවා. තාත්තා ගීත ගායනා කරමින් සංගීතය පිළිබඳ දැනුම ලබාදෙනවා. අපේ සීයා තමයි පවුලේ ලොකුම ශක්තිය. රුවන් සංජය සහ යසන්ත මධුරංග මාමලා දෙන්නා , මගේ ආච්චි, ධනේෂි නැන්දා, එයාගේ අම්මා ආදීන් මගේ කලා කටයුතුවලට සෑහෙන්න උදව් කරනවා.

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT