Home » මගේ උත්සාහය සමාජයට ආදර්ශවත් ගී ලියන්නයි

මගේ උත්සාහය සමාජයට ආදර්ශවත් ගී ලියන්නයි

ගේය පද රචිකා, ලේඛිකා සංජා කල්පනී ගුණවර්ධන

by mavan
December 11, 2025 11:11 am 0 comment

සංගීතයට සාමූහික ක්‍රියාවලියක් තිබේ.ගීතයක අරුත්බර වචන මාලාවට සංගීතය අපූරුවට හැසිරවිය හැකිය. ජනප්‍රිය ගායික ගායිකාවන් රැසකගේ සංගීතය අර්ථවත් කරන ගේය පද රචකාව, දක්ෂ කිවිඳීය, ඒ වගේම ලේඛිකාවක හැටියට කෙටි කතා ගණනාවක් ජන ගතකර සමාජ සුභ සිද්ධිය වෙනුවෙන්ම තම කලාව මෙහෙයවන ඇය නමින් සංජා කල්පනී ගුණවර්ධනය. අලුත් නිර්මාණ දැයට දායාද කරන ඇය සමග කළ පිළිසඳරකි මේ.

ගීත රචකාවක් ලෙස ජනාදරයට පත්ව ඇති ඔබ කොහොමද මුලින්ම එයට අවතීර්ණ වුණේ ?

පොඩි වයසෙ ඉඳලම මගේ හිතේ ලොකුම ලොකු හීනයක් තිබුන ගීත රචිකාවක් වෙන්න. ඒත් ඒ කොහෙන් ආපු ආශාවක්ද කියන්න මට මතක නැහැ. ඒ කාලෙ මම ගීත ලියල එක එක ගායක ගායිකාවන්ට තැපැල් කරනවා.සමහරු මට ඒව කියවල කතාකරනවා.ලස්සනයි තව හොඳට ලියන්න කියල කියපු අය හිටියා.. එහෙම කෙනෙක් තමයි රොහාන් ශාන්ත බුලේගොඩ අයියා.. කොහොම වුණත් ඉතිං ඒ හීනය ඉටුකරගන්න මට අවස්ථාව ලැබෙන්නෙ අහම්බෙන් ගුවන් විදුලි වැඩසටහනකට යවපු කවිපෙළක් හරහා.. එය පසුව ගීතයක් බවට පත්කරනවා.. ඒ 2021 වර්ශයේදී

දැනට ඔබ ගීත රචනා කොපමණ ප්‍රමාණයක් ලියල තියෙනවද? ගායනා කරන ගායක ගායිකාවන් හා ඒවා අතර ජනප්‍රිය වී ඇති ගීත මොනවාද?

දැනට මම ගීත තිහකට වඩා ලියල තියෙනවා..මේවා අතරින් වැඩිපුරම ජනප්‍රිය වූ ගීතය මම මුලින් කියූ මගේ පළමුවන ගීතය වූ ” හැමරෑම සිහිනයක නුඹ දකිනවා ” කියන ගීතය.ඒක ගායනා කරන්නෙ සුභාණි හර්ෂණී මුතුකුමාරණ මහත්මිය.එහි තනු නිර්මාණය විමල් දයානන්ද මහතා..

ඒ වගේම රෝහණ බෝගොඩ මහත්මාගෙ “රැයෙත් නෙතු නිදිවරන” ගීතය,

මෑතකදී ජනගත වූ “ඉතිං අවසන කියා යන්නම් ” හංසක කෝනාර මල්ලී ගැයූ කපිල අපරැක්ක අයියා තනු නිර්මානය කලගීතය , පුන්සඳා මියැසි ගායනා කළ සුසන්ත මදුරප්පෙරුම අයියා තනු නිර්මාණය කළ” දන්නවද නුඹ මහන්සියි මට සඳට තාමත් කවි ලියා ” ගීතය, ඉරූශි ජයරත්න ගායනා කළ ගජමන් නෝනා ගීතය, වාසනා සේරසිංහ ගැයූ ” ආස නෑ මං ” ගීතය වගේම රෝහණ බෝගොඩ මහත්මා හා අපූර්වා ආශාවරී ගැයූ “ආදරෙන් හැදු අපේ කූඩුව වුණේ කොහොමද බර වැඩී ” ගීතය (මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි අයියගෙත් මගෙත් ගේය පද නිර්මාණයක්), රංගන ශිල්පිනී මාධනී මල්වත්ත හා රංගන ශිල්පී චන්ද්‍රසෝම බින්දුහේවා මහතා ගැයූ ” පින්න මල් පිපුනාට වැට ගාව අද්දර ” ගීතයත් මිනිසුන් ආදරෙන් වැලඳගත් ගීත. ඒ වගේම තවත් නවක ගායක ගායිකාවන් බොහොමයක් මගේ ගීත ගයා තිබෙනවා.

තරංග ජයා, කෝසලා අධිකාරී, වෛද්‍ය සංජීවනී සේරසිංහ, තිසුරි මාපටුන, නදීශා දිල්හානි, සංජීව ගුණවර්ධන, දුලිප් කාරියවසම්, මින් කිහිපදෙනෙක්.

ඒ අතර ගේය පදවලට ඔබ තෝරා ගන්නා තේමාවන් මොන වගේද ? ඒවා තෝරා ගැනීම සඳහා කිසියම් හේතුවක් තියෙනවද ?

එහෙම විශේෂම හේතුවක් කියල දෙයක් නම් නැහැ.. නමුත් වැඩිපුරම මම ලියා තිබෙන්නේ ආදර හා විරහ ගීත..මම හිතෙන්නෙ ඒකට හේතුව බහුතරයක් මිනිසුන් ආදරය හා විරහව විඳීන නිසා ගායකයා හෝ ගායකයා ඉල්ලන්නෙත් ආදර හෝ විරහ ගීත..ඉතිං ඉල්ලන විදියට ලිවීම තමයි මම කරන්නෙ.ඊට අමතරව මං අතින් ඉබේ ලියවුනු ආදර ගීතත් තියෙනවා..

දුක හිතුණම ලියවුණු විරහ ගීතත් තියෙනවා…

වෙනත්ම විදියේ ගීත කිහිපයක් එන්නත් තියෙනවා…

කිවිඳීයක් ලෙස ඔබ කර ඇති නිර්මාණ ගැන ඔබට මොකද හිතෙන්නේ. ඒ වගේම පාඨක ප්‍රතිචාර මොන වගේද ?

බොහෝ වෙලාවට මුහුණුපොතේ මා කවි ලියනවා. පුවත්පත්වලට කවි ලියනවා..බොහෝ දෙනෙක් ආදරයෙන් ඒව කියවන බව පේනවා..

මා ලියූ කවිවල එකතුවක් කාව්‍ය සංග්‍රහයක් ලෙස ” තතකි ඔබ මඟහැරුණ ” නමින් 2023 වර්ශයේදී එළිදැක්වූවා. එය බොහෝ දෙනෙක් ආදරයෙන් කියෙව්වා.. ආදරණීය අදහස් දැක්වූවා..මගේ මී ළඟ කාව්‍ය සංග්‍රහය ලබන වර්ෂයේදී එළිදක්වන්න හිතාගෙන ඉන්නවා.

ඔබ මේ වන විට නව පරපුරට දායාද කරන එසේ නැත්නම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින නිර්මාණ මොනවාද?

ගිය මාසයේ මාගේ අලුත් නිර්මාණයක් ජනගත කළා..හංසක කෝනාර ගැයූ “ඉතිං අවසන කියා යන්නම් එපා හදවත රිදෙන්න ” යන ගීතය ..එය බොහෝ ආදරණීය ප්‍රතිචාර ලැබූ ගීතයක්.. බොහොමයක් යොවුන් දරුවන් එය ආදරෙන් වැ‍‍‍ලඳගත්තා කිව්වොත් නිවැරදියි..

තව ඉදිරියේදී ටිකක් වෙනස් නිර්මාණ කිහිපයක් අහන්නට හැකිවේවි.

වෘත්තියෙන් ගුරුවරියක් විදියට කටයුතු කරනකොට ඔබේ කලා කටයුතුවලට ඇතිවෙන සීමාවන් මොන වගේද ?

ඒක හොඳ ප්‍රශ්නයක්..

මොන දේ කළත් ගුරු වෘත්තිය කියන දේ මුලින්ම ඔළුවෙ තියාගෙනයි මම නම් වැඩකරන්නෙ..අපි ලියන කියන දේ ආදර්ශවත් වෙන්න ඕනෙ කියන තැන මම ඉන්නවා..අද සමාජෙ ලියවෙන කවි, ගීත නාට්‍ය, චිත්‍රපටි දිහා බැලුවම සමාජයට ආදර්ශයක් දෙන දේවලට වඩා සමාජය නොමඟ යවන දේවල් වැඩී..ඉතිං මම හිතන්නෙ මම ලියන කියන දේවල් සමාජයට අයහපතක් නොවෙන දේවල් විය යුතුයි කියල.

මට ටෙලිනාට්‍ය සඳහා ඇරයුම් ලැබිල තියෙනවා..ඒවගෙ චරිත තෝරාගැනීම් නිසා සමහර ඒව මඟහරින්න වෙලා තියෙන්න එක හේතුවක් ගුරුවරියක් වීම.එය මගේ කැමැත්ත හෝ අකැමැත්තයි.

නමුත් ගුරුවරියක් කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. අනික් හැමෝටම වගේ අවස්ථාවට සුදුසු විදියට අඳීන්න ප‍ලඳීන්න නටන්න, ගයන්න ඇයටත් නිදහ‍ස තිබිය යුතුමයි.

ඔබේ පවුලේ තොරතුරු වගේම ඔවුන්ගෙන් ලැබෙන සහය මොන වගේද ?

මම ආදරණීය පුතුන් දෙදෙනෙකුගේ සහ දියණියකගේ මවක්. මගේ මහත්තයා වැඩකරන්නෙ තක්සේරු දෙපාර්තමේන්තුවේ.

ඉතිං මගේ කලා කටයුතුවලට නම් ඔහුගෙන් කිසිම සහයක් ලැබෙන්නෙ නෑ..ඒකට හේතුව ඔහු කාර්‍යබහුලවීම..ඒ නිසාම මගේ කලාකටයුතුත් බොහෝ අතපසුවීම් වලට ලක්වෙනවා. දරුවන්ගේ වැඩනිසාම බොහෝ දේවල් මඟහරින්නට සිදුවෙනවා.

නව පරපුර වෙනුවෙන් ඔබ ලබා දෙන පණිවිඩය කුමක්ද ?

නව පරපුර වෙනුවෙන් දෙන්න තියෙන ලොකුම පණිවුඩය තමයි කලාකරුවෙක් වුණාම සමාජයට යහපතක් වගේම යහපත් පණිවිඩයක් දෙන්න පුළුවන් නිර්මාණ කලාකෙතට දායාද කරන එක…එකිනෙකා කෙරෙහි ‍තරහක් ඇතිවීම වෙනුවට සමාව දීම, ආදරය කිරීම, තරහවකින් තොරව අතහැරීම, විරහවක් වුණත් දරාගැනීමට හුරුකරන පණිවිඩය සමාජගතකරන නිර්මාණ, ගීත හරහා මෙන්ම සියලු නිර්මාණ හරහා කරන්නට උත්සාහ දරන්න කියන දේ.

ඇම්.ඒ.සී.රංජන් මඩගම්මන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT