ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ සතියේ දිනවල රාත්‍රි 7:30ට විකාශය වන “මගේම දෝ” ටෙලි නාට්‍යය මේ දිනවල වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගනිමින් විකාශය වන වෙනස් ආකාරයේ ටෙලි නිර්මාණයකි. ප්‍රේක්ෂක ආදරය දිනාගත් අත්දැකීම් බහුල රංගන ශිල්පීන් රැසක් සම්බන්ධ වී සිටින “මගේම දෝ” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණය ඇසුරේ සිදු වන ආකාරය පසුගියදා අප කැමරා නෙතට හසුකරගත හැකි විය.කුෂාන් ටෙලි ෆිල්ම්ස් ආයතනයේ 60+ නිෂ්පාදනයක් ලෙසින් එළි දැක්වෙන මෙය ප්‍රේක්ෂක ජනාදරය දිනූ ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් දායක වන වෙනස් ටෙලි නිර්මාණයක් ලෙස ද අවධානයට යොමු වී තිබේ. අප දර්ශන තලයට ළඟා වන විටත් සොයිසාපුර මහල් නිවාසයේ නිවෙස් දෙකක් මේ වෙනුවෙන් සකස් වී තිබුණු අයුරු දක්නට ලැබුණ අතර කලා අධ්‍යක්ෂවරයා ලහි ලහියේ මෙම නිවස සකස් කරන අයුරැත් වෙනමම ස්ථානයක වේශ නිරූපණ ශිල්පියා නළු නිළියන් වෙස්ගන්වන අයුරු කැමරා කණ්ඩායම දර්ශන තලයේ ආලෝකය සකසමින් සිටින අයුරුත් දක්නට ලැබිණ. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා වූ ප්‍රවීණ අධ්‍යක්ෂ ජී.නන්දසේන සිය සහාය අධ්‍යක්ෂවරයාට යම් යම් විධාන දෙමින් සිට අපගේ පැමිණීමත් සමඟ අපව සාදරයෙන් පිළිගත්තේය.
මේ නාට්‍යයේ සේපාලගේ චරිතය නිරූපණය කරනුයේ ප්‍රවීණ රංගන ශිල්පී සරත් කොතලාවල විසිනි. 
“ ‘සේපාල’ කියන්නෙ විශ්‍රාමික තාත්ත කෙනෙක්. ඒ විශ්‍රාම දිවිය ඇතුළෙ තම පුත්‍රයා හා මුනුබුරා සමඟ ඔහුගේ වර්තමාන දිවියට මුහුණ දෙන ආකාරය තමයි ප්‍රේක්ෂකයන් මෙහිදි දකින්නෙ. ඒ වගේම සේපාල කියල කියන්නෙ ජීවිතය මධ්‍යස්ථව දකින කෙනෙක්. ඒ ඇතුළෙ තමයි ඔහු මේ සියලු දේට මුහුණ දෙන්නෙ.
බොහෝ දෙනෙක් කතා වෙනව වගෙම මේක වෙනස් විදියෙ පිටපතක්. ඒ වගේම ජී.නන්දසේන මහත්තයගෙ අධ්‍යක්ෂණයත් වෙනස්. ඊට අමතරව මීට සම්බන්ධ වී ඉන්න රංගන ශිල්පීන් ඇතුළු තාක්ෂණ ශිල්පී කණ්ඩායම මේ හැම දෙනාගෙන්ම ලැබෙන එකිනෙකට වෙනස් වූ හැඩයන් එක්ක මේ නිර්මාණයටත් විශේෂ හැඩයක් එක් වෙලා තිබෙනව කියල මට හිතෙනවා. කොටස් සියය නොඉක්මවන ප්‍රමාණයක් ඇතුළෙ නිෂ්පාදනය වන මේ ටෙලි නාට්‍යය මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර හොඳ අවධානයක් දිනා ගෙන තිබෙනවා කියල අපට ලැබෙන ප්‍රතිචාරත් එක්ක තේරුම් ගන්න පුළුවන්.

සරත් සමඟ පිළිසඳරේ යෙදේදී දර්ශන තලයම යළි නිහඬ වූයේ ටෙලි නාට්‍යයේ ‘ඉන්ද්‍රජිත්’ ගේ දර්ශනගත කිරීමක් වෙනුවෙනි. මෙහි ඉන්ද්‍රජිත්ගේ චරිතය නිරූපණය කරනුයේ රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක විසිනි. මදකින් නිම වූ දර්ශනගත කිරීමෙන් පසු අප ඔහු සොයා ගියේ ඔහුගේ චරිතය පිළිබඳ විමසුමකටය.
“අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයකු වශයෙන් තමයි මම රඟපාන්නේ. මේ වගෙ චරිතයක් කරන පළමුවැනි අවස්ථාවත් මේ. ජී. නන්දසේන මහත්මයත් එක්ක මීට කලින් මම වැඩ කරල තිබුණත් එතුමාගේ පුතා කුෂාන් එක්ක වැඩ කරන පළමුවැනි වතාව මේ. මේ පිටපත ගැන කිව්වොත් හරි විශේෂ පිටපතක්. මොකද මේ නාට්‍යය විකාශය වෙන්න පටන් අරන් ටික කාලයක් ඇතුළත ප්‍රේක්ෂකයන්ට ගොඩක් සමීප වෙලා තියෙනවා එහි සිදුවීම් හා තේමාවන් එක්ක.
විශේෂයෙන්ම මේ පිටපතේ තිබෙන ප්‍රබලත්වයත් ඉවහල් වෙලා තිබෙනවා කියල මට හිතෙනවා මෙහි ජනප්‍රියත්වයට. මොකද පිය පුතු සම්බන්ධතා ඇතුළෙ සිදුවන අතිශය යථාර්ථවාදී කාරණා මේ නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂකයන් දකිනවා. ඇත්තටම ප්‍රේක්ෂකයන්ට මේ කාරණා සමීපයි. සතියේ දින පහේම විකාශය වන නාට්‍යයක් ඔස්සේ එවැනි පසුබිමක තමයි මගෙම දෝ ටෙලි නාට්‍යයට මේ වගෙ ප්‍රේක්ෂක අවධානයක් ලැබී තිබෙන්නෙ.
මේ ටෙලි නිර්මාණය කොටස් සියයකට අඩුවෙන් නිර්මාණය වන ටෙලි නිර්මාණයක්. කතාව අනවශ්‍ය ලෙස දිග්ගැස්සීමෙන් ප්‍රේක්ෂකයන් වෙහෙසට පත් නොකොට මතක හිටින ලස්සන නිර්මාණයක් බවට පත් කරන්න ඒකත් හොඳ හේතුවක් වේවි. විශේෂයෙන්ම හැම නිවෙසකම පාහේ සිටින මව්පියවරුන්ට මේක ගොඩක්ම දැනෙන කතාවක් වේවි.”
දර්ශන තලයේ ඈතින් දුටුවේ සරසවියට හොඳට හුරුපුරුද මුහුණකි. ඔහු පසුගිය සරසවිය සම්මාන උලෙළෙ හොඳම නළුවා ලෙසින් සරසවිය සම්මානයට පාත්‍ර වූ ධනුක දිල්ෂාන්. මේ ටෙලි නාට්‍යය ඇතුළේ ඔහු නිරූපණය කරනුයේ ‘තිරු’ කියන සම වයසේ තරුණයකුගේ චරිතය ය.
“මගේම දෝ ටෙලි නාට්‍යයෙ ‘තිරු’ කියන චරිතය ඇතුළෙ තමයි මම ජීවත් වෙන්නෙ. තිරු කියල කියන්නෙ අපි අතරෙම ජීවත් වෙන අපේම ජීවිත ඇතුළෙ ඉන්න තරුණයෙක්. ඔහුගේ ජීවිතයට මොකක්ද සිදු වී තිබෙන්නෙ කියන දේ ප්‍රේක්ෂකයන්ට දැනගන්න ලැබේවි. මේ නිර්මාණය ඔස්සේ.

ඇත්තටම ලස්සන ‘අර්ථවත් කතා’ තේමාවක් ඔස්සේ ගොඩනැගෙන මගේම දෝ ටෙලි නාට්‍යය ස්වාධීන රූපවාහිනියේ රෑ 7:30ට නරඹන්න ලැබෙන හොඳ ටෙලි නිර්මාණයක් බව ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔස්සේ හඳුනා ගන්න පුළුවන් වුණා.
මේක පවුලේ කතාවක්. ඒ ඇතුළෙ ආදරය, ගැටුම, ආත්මාර්ථය හැමදේම තිබෙනවා. ඒ නිසා හැමෝටම මේ නිර්මාණය ගොඩක් සමීප නිර්මාණයක් බවට පත් වේවි.
තිරූගෙ නිවස පිහිටා තිබෙන මේ දර්ශන තලයෙ තමයි අද රූගත කිරීම් සිදු වන්නෙ. තිරූගෙ නිවසට අමතර මේ නිර්මාණය ඇතුළෙ ජීවත් වන ශ්‍රද්ධාගෙ නිවසත් මේ දර්ශන තලයෙමයි තිබෙන්නෙ. ඊට අමතරව තවත් ප්‍රදේශ කීපයකම මෙහි රූපගත කිරීම් සිදු වෙනවා. ඉතින් තිරූ කියන චරිතය ඇතුළෙ මට කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ පසුබිමත් එක්ක මම මගෙ අනිත් සහෝදර ශිල්පීනුත් සමඟ ගොඩක් සතුටින් මේ නිර්මාණයට දායක වෙනවා.
ධනුක දිල්ෂාන් සමඟ අපේ පිළිසඳර නිම වෙන්නටත් පෙර සහාය අධ්‍යක්ෂවරයාගෙන් කැඳවීමකි.
“ ධනුක ඊළඟ දර්ශනය සූදානම් වෙමින්.” අපෙන් සමුගත්තේය. මීළඟට අපේ පිළිසඳරට එක්වූයේ මෙහි ප්‍රධාන චරිත කිහිපය අතරට එක්වූ සජිනි රෝයි ය.
“මගේම දෝ ටෙලි නාට්‍යයේ ශ්‍රද්ධා කියල කියන්නෙ හැඩකාර කටකාර දඟකාර චරිතයක්. ඒවගේම ශ්‍රද්ධා තමාගෙ ජීවිතයේ වැඩියෙන්ම සමීප, ඇය ආදරය කරන චරිතය තමයි ‘තිරූ’ කියල කියන්නෙ. කුඩා කල සිට ඈ සමඟ එකට කා බී එකට හැදී වැඩෙන ඒ තට්ටු නිවාසයේම සිටින තරුණයෙක් තමයි තිරූ කියන්නෙ. ශ්‍රද්ධා කියන්නෙ තිරූගෙ සිතුම් පැතුම් හොඳීන් තේරුම් අරන් ඉන්න ගෑනු ළමයෙක්. ඔහුට ගොඩක් සමීප කෙනෙක්. ඒ වගේම තිරූට ගොඩක් ආදරය කරන, හැබැයි තාමත් ඒක ප්‍රකාශ කරල නැති ගෑනු ළමයෙක්. තිරූ ඒ ගැන දන්නෑ වගේම අපි හැමෝමත් ඉදිරියේදී බලා ඉන්නව ශ්‍රද්ධා ගේ ආදරය වෙනුවෙන් තිරූගෙ ප්‍රතිචාරය මොකක් වේවිද කියන එකත්.
මේ නාට්‍යයේ විශාල වැඩ කොටසක් කරන කුෂාන් සමීර අයියා කියන්නේ ඉතා හොඳ පිටපත් රචකයෙක්. ඔහු මේ පිටපත හරිම ලස්සනට රචනා කරල මේ නිර්මාණය ඉදිරියට අරන් යනවා. ඉතින් ඒ නිසා මේ කතාව ප්‍රේක්ෂකයන් අතරට ගිය හොඳ නිර්මාණයක් බවට පත් වෙයි කියල මම විශ්වාස කරනවා.”
ජී.නන්දසේන අධ්‍යක්ෂවරයාගේ විධානයන්ට නළු නිළියන්ට තම හැඟීම් මුදා හරින අයුරු පැත්තක සිට අපි බලා සිටියෙමු. මේ මොහොතේ මෙහි පිටපත් රචක හා නිෂ්පාදක කුෂාන් සමීර දර්ශන තලයෙන් මඳකට ඉවත්ව ගොස් සිටි බැවින් අපේ කතාබහට එක්වූයේ දුරකතනයෙනි.
මේක පරම්පරා තුනක සාමාජිකයන් නියෝජනය වන පවුලේ කතාවක්. සීයා තාත්තා පුතා වශයෙන්. එක පැත්තකින් ගැහැනු කෙනෙක් නැති ගෙදරක පසුබිමක ගොඩනැඟෙන කතාවක් ඒ වගෙ පසුබිමක කුටුම්බයක් තුළ ඇතිවන අනේකවිධ අර්බුද වගේම ඔවුන්ගෙ මානුෂවාදි ගුණාංග හැමදේමත් මේ කතාව ඇතුළෙ තිබෙනවා. නිවෙසක ඇතිවන පිය පුතු විරසකවීමක් ඇතුළෙ එක් පැත්තකින් ‘සේපාල’ කියන වියපත් පියා කොහොමද තමාගෙ පුතා වගේම මුනුබුරා සමඟ මේ සියලු දේට මුහුණ දෙන්නේ කියන දේත් මේ නිර්මාණය ඇතුළෙ තිබෙනවා. ඊළඟට ‘දාස්’ කියන චරිතයත් (චරිත් අබේසිංහ) මේ නිර්මාණය ඇතුළෙ අලුත් හැඩයක් එක් කරනවා.
ඊට අමතරව සුවිශේෂ රංගන ශිල්පීන් පිරිසක් මේ නිර්මාණය එක්ක එක්වී ඉන්නවා. ඔවුන්ගෙන් මේ නිර්මාණයට ලැබෙන ආලෝකයත් සහයෝගය විශාලයි.
මේක මගේ පළමුවැනි පිටපත් රචනය වගේම හත්වැනි නිෂ්පාදනය.
මේ නිර්මාණය අපි කොටස් සියයට අඩුවෙන් සම්පූර්ණ කරන්නයි සැලසුම් කර තියෙන්නෙ. ඒවගේම ලොකු පිළිවෙළකට සැලසුම් කරල විශාල පිරිවැයක් දරල කරන නිර්මාණයක්. එතනදි මේ නිර්මාණයේ ඉතා කුඩා අංශයේ සිට හැමදෙයක් ගැනම සැලකිලිමත් වෙනවා. මේ නිර්මාණයේ කලර් ග්‍රේඩිං අපට උදාහරණයක් විදියට ගන්න පුළුවන්.
ඒ වගෙ විශාල පරාසයක සැලසුම් කළ නිර්මාණයක් නිසා මෙහි රංගන ශිල්පීන් ඇතුළු සියලු දෙනා ඉතා සහයෝගයෙන් මේ නිර්මාණයට දායකත්වය ලබා දෙනවා. ඇත්තෙන්ම මේ වන විට මගේම දෝ ටෙලි නාට්‍යය වෙනුවෙන් ලැබෙන ඉහළ ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි. නිර්මාණයේ අවසානයට එද්දි ප්‍රේක්ෂකයන්ට හිතන්න ඉඩක් තැබූ අපූරු අවසානයක මිහිර විඳගන්න අපි මේ නිෂ්පාදනයෙන් කටයුතු කර තිබෙනවා.
දීලීප පුස්සැල්ල මේ ටෙලි නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂවරයාය. මේ දර්ශන තලයේ භාරදුර කාර්යය භාරයක් හිමි පුද්ගලයාය. අපේ කතාබහට නොයෙක්වර අප උත්සහ දැරුවුද කැමරාව අසලින් ඉවත්වන්නට ඔහුට විවේකයක් නොවිණ. එක් දර්ශනයක් අවසන් වන විට තවත් දර්ශනයක්.
“මගේම දෝ කියන මේ වෙනස් ටෙලි නිර්මාණය, නිර්මාණකරුවකු විදියට මට අලුත් දේවල් ටිකක් කරන්න වගේම, ඒකෙන් මේ නිර්මාණයට හොඳ හැඩයක් එක් කරන්නත් ලැබුණ අවස්ථාවක් විදියටයි මම දකින්නෙ. විශේෂයෙන් මේ නිර්මාණයට දායක වෙලා ඉන්න ප්‍රවීණයන් එක්ක වැඩ කරද්දි මට කැමරා අධ්‍යක්ෂවරයකු විදියට වෙනස් දේවල් ටිකක් කරන්න පසුබිමක් හැදුණා. මේ නිර්මාණයේ මම අලුත් රූප රාමු ගැන අවධානයක් යොමු කරමින් නිතරම වැඩ කරන්නේ. ඒ කියන්නෙ මම කැමරාව පාවිච්චි කරන විදිය පවා මේ නිර්මාණය ඇතුළෙ වෙනස් කළා. උදාහරණයක් විදියට කැමරාව මම මගෙ අතේ තබාගෙන හසුරුවමින් මෙතෙක් සියලු රුපගතකිරීම් කළේ. ඒක විශේෂත්වයක්. මෙහි එකිනෙක චරිතවල විවිධත්වය හා විශේෂත්වය අනුවත් කැමරා කෝණ ගැන අවධානය යොමු කළා. සමස්තයක් ලෙස කණ්ඩායමක් විදියට අපි හැමෝම ගොඩක්ම මහන්සි වෙලා ඉදිරිපත් කරන නිර්මාණයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.
මගේම දෝ නාට්‍යයේ අංග රචනා ශිල්පියා ලෙස කටයුතු කරණුයේ සුදත් මන්දාරම්නුවරය.
“මම මීට පෙර ටෙලි නිර්මාණ දොළහකට වගෙ අංග රචනා ශිල්පියකු විදියට දායක වෙලා තියෙනවා. ඒ වගේම එක් චිත්‍රපට නිර්මාණයකටත් දායක වෙලා තියෙනවා. මගේම දෝ ටෙලි නාට්‍යය වෙනස් නිර්මාණයක්. සමාජයට වැදගත් පණිවිඩයක් ලබා දෙන නිර්මාණයක්. ඒ ඇතුළෙ මම අංග රචනා ශිල්පියකු විදියට හොඳ දෙයක් කරන්න නිතරම උත්සාහ කරනවා.මේ නිර්මාණයේ අංග රචනය වගේම කොණ්ඩා සැකසුම් කටයුතු ගැනත් මම අවධානය යොමු කරනවා. වෙනස් ටෙලි නිර්මාණයක් විදියට බොහෝ දෙනෙක් කතා කරන මගේම දෝ ටෙලි නිර්මාණයට දායක වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.
මෙම නිර්මාණයේ කලා අධ්‍යයක්ෂවරයා වනුයේ ගයාන් ගලේවලය. ටෙලි නාට්‍ය පිළිබඳ ඔහුගේ අදහස් බෙදාගත්තේ මෙලෙසිනි.
“කලා අධ්‍යක්ෂවරකු විදියට කාලෙකින් වැඩ කරන්න ලැබුණ හොඳ නිර්මාණයක්. සමාජයට පණිවිඩයක් දෙන නාට්‍යයක්. ඒ වගේම ආසාවෙන් වැඩ කරන නිර්මාණයක්. ඇත්තටම මේ නිර්මාණයේදී මගේ කාර්‍යභාරය සාර්ථක කර ගන්න මෙහි අධ්‍යක්ෂවරයාගෙන් වගේම නිෂ්පාදකවරයාගෙන් හොඳ සහයක් ලැබෙනවා. ඒ පසුබිමත් එක්ක කලා අධ්‍යක්ෂවරකුගෙ භූමිකාව ඇතුළෙ ලස්සන වැඩක් කරන්න අවස්ථාවක් මට ලැබිල තියෙනවා. මොකද මේ නිර්මාණයේ පිටපත අතට ගත් මොහොතේ සිට අපට හිතන්න දෙයක් තිබෙනවා. මගේ වෘත්තීය ජීවිතයේ වසර විස්සක විතර අත්දැකීම් වගේම විදෙස් නිර්මාණවලට දායක වී ලද අත්දැකීම් සමඟ මේ නිර්මාණය ඇතුළෙත් මට හොඳ දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වී තියෙනවා කියල මම විශ්වාස කරනවා.”
සමුද්‍රිකා වර්ණකුල
සේයාරූ – නිශ්ශංක විජේරත්න
