Home » මං නැවත සිනමාවට එක්වූයේ හොඳම කාලයේදී

මං නැවත සිනමාවට එක්වූයේ හොඳම කාලයේදී

ප්‍රවීණ රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධන

by mavan
February 26, 2026 12:50 pm 0 comment

අපේ සිනමාවට මතක සැමරුම් රැසක් තිළිණ කළ විශිෂ්ට රංග ශිල්පිනියක වූ ඩිලානි අබේවර්ධන එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පදිංචියට ගියේ ඈ මෙරට කළා ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන වකවානුවකය. චිත්‍රපට පණහකට වැඩි ප්‍රමාණයකට දායක වෙමින් ඇය එදා පළ කළ රංග කුසලතාව වෙනුවෙන් එදත් අදත් ප්‍රේක්ෂකයන් ඇයට ආදරය කරනුයේ ඈ තිරයේ මැවූ චරිතාංග රංගනය නිසාමය. අසූව දශකයේ අග භාගයේ සිනමාවට ප්‍රවිෂ්ට වූ ඩිලානි ඉතා කෙටි කලක් තුළ ප්‍රබලම චරිතාංග නිළියක් බවට පත්වුයේ ඇය තිරයේ මැවූ ආදරණීය රංග ප්‍රතිභාව නිසාමය. අනුව 2000 දශකයේ රට අතහැර විදෙස් ගත වූ ඈ වසර විසිතුනකට පසු යළිත් ලංකාවට පැමිණියේ ඉඩ ලැබෙන ඕනෙම මොහොතක යළිත් රංගනයේ නියැළීමේ බලාපොරොත්තුවෙනි. දීර්ඝ කාලයක් විදෙස් ගතව හිඳිමින් කලාවෙන් ඈත්ව සිටි ඩිලානි මීට මාස හයකට පෙරාතුව යළිත් ලංකාවට පැමිණියේ් උදයකාන්ත වර්ණසුරියගේ මේඝවර්ෂා චිත්‍රපටයේ රංගනය සඳහා ලැබූ ආරාධනාවකටය. ඒ ආගමනේ ඇය චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කීප පලකගේ නිර්මාණ සඳහා දායක වීමක් ද සිදු කරනු ලැබුවාය. මේ කතා බහ සම්මානනීය රංගවේදිනියක වූ ඩිලානි අබේවර්ධන සමඟිනි.

ඉතිං ඩිලානි කාලෙකට පස්සේ?

ඔව්. මම ලංකාවෙන් ගියාට පස්සේ අවුරුදු 23කට පස්සේ තමයි මේ ආයෙත් ලංකාවට ආවේ. දැනට මාස හයකට පෙරාතුව තමයි මම ලංකාවට ආවේ. ආයෙත් මම සති කීපයකට අමෙරිකාවට යනවා මගේ පුද්ගලික වැඩවගයකට. ඊට පස්සේ ආයෙත් මම සති කීපයක් ඇතුළත නැවත ලංකාවට එනවා ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කරන සමහරු සහ සමාගම චිත්‍රපටයේ රඟපෑමට.

දිගටම ලංකාවේ රැදෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

ජයන්ත චන්ද්‍රසිරිගේ සමහරු සහ සමාගම චිත්‍රපටයේ මුහුරත් උලෙළ තිබුණා. අපේ ස්ක්‍රීන් ටෙස්ට් කළා. රූපගත කිරීම් ආරම්භ කරන්නේ මාර්තු 07 වැනිදා ඒ අතරතුර කාලයක් තියනවා පොඩි විවේකයක් ඒ නිසා මම තීරණය කළා. මගේ පුතා කවිදු කවිශ්කත් මහත්තයා සමන් පුෂ්ප වර්ණත් බලල මගේ ව්‍යාපාරයේ වැඩවගයකටත් එක්ක ගිහින් ආවොත් හොඳයි කියලා.

දීර්ඝ කාලයකට පස්සේ ලංකාව තුළ මාස හයක කාලයක් ගත කළ අවධියේ මොන වගේ කටයුතුවලද නියැළියේ.

මේ කාලය තුළත් මම චිත්‍රපට කීපයක ටෙලි නාට්‍යයක රඟපෑවා ඒ අතරේ තමයි සමහරු සහ සමාගම චිත්‍රපටයේ රඟපෑම සඳහාත් ගිවිසුම් ගත වුණේ.

මොනවාද ඔබ වසර විසිතුනකට පස්සේ හා පුරා කියලා දායක වූ නිර්මාණ?

මම ලංකාවට එන්නේම උදයකාන්ත වර්ණසුරියගේ මේඝවර්ෂා චිත්‍රපටයේ රඟපාන්න. ඊට පස්සේ මට ආරාධනාවක් ආවා එරංග සේනාරත්නගේ දැනට නමක් නොදා ඇති චිත්‍රපටයක රඟපාන්න. ඒ චිත්‍රපටයේ සියලු වැඩ අවසන් කරල තියෙන්නේ. ඊට පස්සේ ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ගගන චිත්‍රපටයේ රඟපෑවා ඔය අතරේ මාවෝ ලක්ෂිත අධ්‍යක්ෂණය කළ සිත නිවන කතා ඒකාංගික ටෙලි නාට්‍යයක රඟපෑවා.

කලා ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන වකවානුවක සම්මාන පිට සම්මාන ලබන අවධියක ඔබ ක්ෂේත්‍රය හැර දමා කලාවෙන් ඈත්වීම පිළිබඳ අද පසුතැවීමක් නැද්ද?

නිළියක් ලෙස මමත් මුලින්ම හිතන් හිටියේ ඒක මම කරගත්ත ලොකු පාඩුවක් කියලා. නමුත් මම එහෙම දෙයක් කරගත්තේ නෑ කියලා මගේ සහෝදර කලා ශිල්පීන් කියනවා මොකද මම ක්ෂේත්‍රයෙන් ඈත් වුණ වකවානුවේ හොද ච්ත්‍රපට හැදුණේ නැති තරම් ලොකු පසුබෑමක් චිත්‍රපට කර්මාන්තයේ තිබුණා සිනමා නිළියක් ලෙස මම වැඩි දායකත්වයක් ලබල දීලා තිබුණේ ච්ත්‍රපට සදහා පසුගිය කාලය තුළ වැඩිපුර ච්ත්‍රපට නිෂ්පාදනය වුණේ නැති තරම් හැදුණු ච්ත්‍රපට වුණත් රසිකයෝ ලොකුවට වැලඳ ගත්තේ නෑ. නමුත් දැන් මම දිගු කාලයකට පසු මෙරටට පැමිණ රඟපාන්න පටන් ගන්න කාලයේ ආයෙත් අපේ සිනමාවට ස්වර්ණමය යුගය උදාවෙලා. මම හිතනවා මම ආයෙත් රංගන ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ හොඳම වෙලාවේ කියලා.

ඔබ විදෙස් ගත වී සිටි කාලය තුළ සතියකට දෙකකට පවා ලංකාවට පැමිණියා නේද?

එහෙම ආවා නමුත් කිසිම නිර්මාණයකට දායක වීමක් කළේ නෑ. එහෙම දායක වීමක් කරන්න මම දීර්ඝ කාලයක් මෙහි රැඳීලා හිටියේම නෑ. මෙවර මම ලංකාවට ආවේ මගේ රැකියාවෙන් දිගු නිවාඩුවක් අරගෙන. ඒ රටේ ජීවත්වෙනකොට රැකියාවක් කරන්න ඕනේ. ජොබ් එකත් එක්ක ලොකු කාලයක් මේ රටට ඇවිත් රැඳී ඉන්න බෑ. ඉක්මනට යන්න සිදුවුණා.

නිව්යෝර්ක් නුවර පදිංචි වෙලා ඉන්නකොට මොනවත් කලා කටයුතු වෙනුවෙන් දායක වුණේ නැද්ද?

අපේ ශශ්‍රී ලාංකිකයන් සමඟ එක්ව ඒ රටේ අවුරුදු උත්සව සංවිධානය කළා.

දිගු කාලකට පසු රඟපෑ කිසිදු නිර්මාණයක් මේ වෙනකොට ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබුණේ නැද්ද?

මාවෝ ලක්ෂිත ජාතික රූපවාහිනියට නිර්මාණය කළ ඒකාංගික ටෙලිනාට්‍ය පමණක් විකාශය වුණා. ඒ ඇරෙන්න චිත්‍රපට කීපය තවම තිරගත වුණේ නෑ.

ලංකාවෙන් බැහැරව යනකොට ඔබ අවසන් වරට සිනමා ප්‍රේෂකයන්ට තිළිණ කරලා ගියේ මොන සිනමා නිර්මාණයද?

බොරදිය පොකුණ

ඔබ පීක් එකේ වැජඹෙන කාලයේ සිනමාවෙන් ඈත්වීම තුළ ඔබත් සමග ක්ෂේත්‍රයට ආ සමකාලීනයන් සේම ඉන්පසු පැමිණි අය ඔබ නොමැති රික්තය තුළ ජනප්‍රියත්වයක් ලැබුවා නොවේද?

මගේ සමකාලීන කෙනෙක් තමයි දිල්හානී අශෝක මාලා. මට පසුව ක්ෂේත්‍රයට ආ කෙනෙක් තමයි සංගීතා වීරරත්න මේ අයත් සමඟ මටත් තරගකාරී නිළියක් වෙන්න තිබුණා මමත් මෙහි රැඳී හිටියා නම් ඔවුන් මට පසුව ලංකාවේ හොඳම නිළිය හැටියට සම්මාන ලබනවා. මම ලංකාවෙන් යනකොට හොඳම නිළිය හැටියට සරසවිය සම්මානය පවා ලබලයි තිබුණේ. ලංකාවේ සිනමා නිළියක් ලෙස ලබන ඉහළම සම්මානය තමයි සරසවිය සම්මානය. හොඳම නිළිය ලෙස මේ සම්මානයෙන් පවා මම ඇගැයීමකට ලක්වෙලා ඉන්න මොහොතක තමයි මම ක්ෂේත්‍රයෙන් සමුගන්නේ.

මගේ රංගනය පිළිබඳ හොඳ පිළිගැනීමක් හොඳම නිළිය ලෙස අභිෂේක ලබා ඇති මොහොතක මම හිතුවා දැන් මම මගේ පවුල වෙනුවෙන් කැපවෙන්න ඕනේ කියලා. ඒ ගත්ත තීරණයට තමයි මම කලාවෙන් ඈත් වුණේ.

ආරංචියක් ලැබුණා දැන් ඩිලානි ආච්චි කෙනෙක් කියලා?

ඔව් ඒක ඇත්තක්. මගේ දුව කවිෂා කාවින්දි දැන් විවාහ වෙලා බබෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් මමත් දැන් ආච්චි කෙනෙක්.

එදා මෙන් අදත් රූමත් දුටුවන් වසග කරන රූප ස්වභාවයෙන් පිරී. ඩිලානි අද මිත්තනියක් බව පැවසුවත් අදත් ඔබ තිරයේ පෙම්වතිය වෙන්නද කැමති?

මම පසුගිය දවස්වල ලැබුණු චිත්‍රපට කීපයේම රඟපෑවේ දැන් රඟපාන නළු නිළියන්ගේ යාළුවන් හැටියට හැබැයි මට වයසක චරිත නම් තවම හම්බ වුණේ නෑ. චරිත ලැබුණොත් රංගන ශිල්පිනියක් ලෙස එවැනි චරිත මම රඟපාන්න භාර ගන්නවා බොහොම කැමැත්තෙන්. ඕනෙ චරිතයක් කරන්න මම ලෑස්තියි.

කලකට පස්සේ ඔබේ රංගන හැකියාව මුවහත් කරගන්න මේඝ වර්ෂා චිත්‍රපටය සඳහා ආරාධනාව කොයි ආකාරයෙන්ද ලැබෙන්නේ?

මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ රූපහල කියන ආයතනය ඒ ආයතනයේ මාධ්‍ය වේදිනියක් ලෙස මගේ මිතුරියක වූ හංසලී සමරවික්‍රම කටයුතු කරනවා ඇය තමයි මට කතා කරලා කිව්වේ අක්කේ පොඩි කැරැක්ටර් එකක් තියෙනවා කරමු නේද කියලා ඒ අනුව තමයි මම මේඝ වර්ෂා චිත්‍රපටයේ රඟපෑමට සම්බන්ධ වෙන්නේ. මම කළ චරිතය පිටපත ලියනකොට මාව ඉලක්ක කරල ලියවිලා තිබුණේ නෑ. පොඩි චරිතයක් ඕනෙම කෙනෙක්ට කරන්න පුළුවන් චරිතයක්. නැවත රඟපාන්න තිබුණු ආශාව නිසාම ඇවිත් කරල යන්න තමයි මට ආරාධනා කළෙත්.

ප්‍රධාන භූමිකා රඟපෑ හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ ඩිලානි අද දිගටම සුළු චරිත ද රඟපාන්න අපේක්ෂාව?

මට එරංග සේනාරත්නගේ සිනමා නිර්මාණයේ ඊට වැඩි ඉඩක් තියන රංගනයක් කරන්න ලැබුණා. ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් කරන්න ලැබුණා. ජයන්ත චන්ද්‍රසිරිගේ සිනමා නිර්මාණයක වැඩ කරන්න මගේ හීනයක් තිබුණා. මට ඒ අවස්ථාවක් මීට කලින් ලැබුණෙ නෑ. මේ චිත්‍රපටයේත් මට ලැබුණේ උප චරිතයක්. මමත්, සේමිණි ඉද්දමල්ගොඩ, කුසුම් රේණු අපි තුන්දෙනාම තමයි මෙහි එකට රඟපාන්නේ

ලංකාවෙන් දුරස් වෙලා දශක දෙකකට වැඩි කාලයක් විදෙස් ගතවෙලා හිටිය ඔබ මෙරට තැනුණු චිත්‍රපට ගැන අවධියෙන් හිටියාද? ඒ කාලය තුළ තැනුණු චිත්‍රපට ගැන මොකද හිතන්නේ?

චිත්‍රපට හැදුණා. විමසිලිමත්ව හිටියා. සමහර චිත්‍රපට රසිකයන්ගෙන් ප්‍රතික්ෂේප වූ අවස්ථා තිබුණා. අදත් ඒ තත්ත්වය වෙනස් වෙලා. ප්‍රේෂකයෝ පොර කනවා චිත්‍රපට බලන්න.

ඔබ කියන්නේ අද හැත්තෑව දශකයේ තිබුණු සිනමා උන්මාදය යළිත් ඇතිවෙලා කියලාද?

ඔව්. ඒ යුගයේ පෙර ලකුණු පහළ වෙලා. අද වෙනස්ම විදියේ සිනමා නිර්මාණ බිහිවෙනවා. එකිනෙකට වෙනස් තේමා ඔස්සේ සිනමා නිර්මාණ හැදෙනවා. අපේ නළු නිළියෝ ගොඩක් දක්ෂයි. ඒ අයට දක්ෂතා පෙන්වන්න නිර්මාණ තමයි බිහිවෙන්න ඕනේ. අද ආවට ගියාට චිත්‍රපට කරල රසිකයෝ රවට්ටන්න බෑ කියලා අධ්‍යක්ෂවරු තේරුම් අරන් තියෙනවා. අද රසිකයෝ බලන කෝණ වෙනස්. ඔවුන් ලෝකයත් සමඟ සම්බන්ධ වෙලා ගනුදෙනු කරන්නේ අපිත් යමක් කරන කොට ඒ හා සමාන දෙයක් ප්‍රේක්ෂකයන්ට දිය යුතු වෙනවා. මම හිතනවා අපේ නව පරපුරේ තරුණ අධ්‍යක්ෂවරුත් ඒ දේ හරි ආකාරව ඉෂ්ට කරනවා.

අද තරුණ අධ්‍යක්ෂවරු සමඟ ගනුදෙනු කිරීමේදී ඩිලානිට මොන වගේ අත්දැකීමක් ද දකින්න තියෙන්නේ?

ගැටලුවක් නෑ. මම රංගන ශිල්පිනියක් විදියට මගේ කාර්ය තිර පිටපතේ තියන විදිහට අධ්‍යක්ෂවරයාට අවශ්‍ය විදියට ඉදිරිපත් කිරීම එතනදී මට චරිතය තේරුණු විදියයි අධ්‍යක්ෂවරයට අවශ්‍ය විදියයි ගැළපුනාම කිසිම ප්‍රශ්නයක් නෑ. අධ්‍යක්ෂවරයා තරුණද මහලුද කියලා මට ප්‍රශ්නයක් නෑ.

සරසවිය සම්මානය දිනූ හොඳම නිළියක් ලෙස අද ඔබ ආපසු හැරිලා බැලීමේදී අද නිළි පරපුර තුළ ඔබට අභියෝග කළ හැකි නිළියන් බිහිවෙලා ඉන්නවාද?

අනිවාර්යනේ ඉන්නවා එක්කෙනෙක් නොවෙයි නිළි පරපුරක්ම. ඒ ගැන හරිම සතුටුයි. එයාලගේ දක්ෂතා අපි හොඳ නිර්මාණ හරහා එළියට ගන්න ඕනේ. හොඳ දක්ෂ නිළියෝ අපිට ඉන්නවා. දිනක්ෂි, ශනුද්‍රි දිනෙති, තරින්දි වගේ. තව ගොඩක් අය ඉන්නවා. මම කීප දෙනෙක් විතරයි කිව්වේ.

නවීන තාක්ෂණය කැටි වූ සිනමා නිර්මාණකරණය තුළ එදාට වඩා අද පහසුවෙලා ද රඟපාන එක?

මම හිතනවා එදා මීට වඩා හොඳ පහසුවක් අපට තිබුණා කියලා. අද රඟපාන එක හරි වෙහෙසකරයි. අද හරි ඉක්මනින් ආටිස්ලා පාවිච්චි කරලා වැඩ කරගන්න උත්සාහ කරනවා.

නිෂ්පාදනය පැත්තෙන් හිතලා. නමුත් එදා හරිම නිදහසකින් අපි රඟපෑවා. අපිට ලැබෙන චරිත ගැන හුඟක් හිතල බලලා ඉස්සර අපි රියසල් කරලා කරලා තමයි හොඳම රඟපෑමකට යන්නේ. එතකොට අපිට හරි මහන්සියි. නමුත් අද අපට වැරදුණොත් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක ඩිලීට් කරලා ආයේ ගන්න පුළුවන්. එදා අපිට වැරදුණොත් රීල් අපතේ යනවා. ඒ වෙලාවට අධ්‍යක්ෂවරයාගේ මූණ ඇඹුල් වෙනවා. අද තාක්ෂණත් එක්ක ඒ වැඩ කටයුතු පහසුවෙලා තියෙනවා.

ආනන්ද වික්‍රමසිංහගේ සටන චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට එක් වූ ඩිලානි කෙළිමඩල, සයනයේ සිහිනය, සඳ මඬල, සෙයිලම, තුන්වෙනි ඇහැ, බිතු සිතුවම්, ඉන්ද්‍රකීලය, සීතල ගිනිකඳු, බොරදිය පොකුණ ආදී චිත්‍රපට වල කල අභියෝගාත්මක රංගනයන් ද අද බිහිවන සිනමා නිර්මාණ සඳහා කරන්න බලාපොරොත්තුව?

මම ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. මාව මගේ රසිකයන්ට මිස් වෙච්ච ලොකු කාලයක් තිබුණා. අන්න ඒ කාලයට සාධාරණයක් රසිකයන්ට කරන්න ලැබෙන චරිත කරනවා. චරිතය නෙමේ මට වැදගත් ලැබෙන චරිතය හරියට කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

ඩිලානි සිනමාවේ පමණක් නොවෙයි. පුංචි තිරයේත් ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ වැජඹුණු නිළියක්ද?

මම චිත්‍රපට වගේම ටෙලි නාට්‍යයත් රගපෑවා. මේ දෙක අඩු නැතුව සමබරව කරගෙන ගියා. ඒ කාලේ හුඟක් චිත්‍රපට නිළියෝ ටෙලි නාට්‍යවල රඟපෑවේ නෑ. නමුත් මම රඟපෑවා. මගේ ටෙලි නාට්‍ය රංගනයට හොඳම සාක්ෂි සෙනුරි, චරිත තුනක්, සකිසඳ එළියස්, සකිසඳ පබිලිස්, උතුරු කුරු සටන, රන්දෝලි මේ වගේ අතිශයින් ජනප්‍රියවූ ටෙලි නාට්‍ය රැසක් මගේ ටෙලි නාට්‍ය රංගන ජීවිතයේ සිහිවටන.

එක්තරා කොටුවීමක් තුළ රංගනයේ නියැළි නිළියක්ද ඔබ?

නෑ. මම විවිධ චරිත රඟපෑ කෙනෙක් කොයි පැත්තකටවත් කොටු වුණේ නෑ. සීතල ගිනිකඳු, සුජාතා, බිතු සිතුවම් චිත්‍රපටවල මම කළ රඟපෑමට මම ගොඩක් කැමතියි. ඒ වගේම උතුරු කුරු සටන, සකිසඳ එළියස්, රන්දෝලි ටෙලි නාට්‍යවල මම කළ චරිතවලටත් මම බොහෝම කැමතියි.

හොඳම නිළිය ලෙස සරසවිය සම්මානයට පාත්‍රවීම ගැන මොකද හිතෙන්නේ?

1987 වසරේ තමයි මම සටන චිත්‍රපටය රඟපාමින් සිනමාවට එක් වන්නේ. මුලදී වාණිජ ධාරාවේ සිනමා නිර්මාණ සඳහා තමයි මම වැඩි වශයෙන් දායක වුණේ සටන චිත්‍රපටයේ රංගනය උදෙසා මට මුල්වරට 1990 වසරේ පැවැති 17 වැනි සරසවිය සම්මාන උළෙලේ දී හොඳම නැගී එන නිළිය සරසවිය සම්මානය මුල්වරට මට හිමිවෙනවා. 1993 වසරේ සයනයේ සිහිනය චිත්‍රපටයේ රංගනය උදෙසා සරසවිය කුසලතා සම්මානයට පාත්‍ර වුණා. 1998 වසරේ 25 වැනි සරසවිය සම්මාන උළෙලේ දී බිතු සිතුවම් චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳම නිළිය ලෙස සරසවිය සම්මානය ලබන්න මම වාසනාවන්ත වුණා. 2003 වසරේ සීතල ගිනි කඳු චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සරසවිය කුසලතා සම්මානය ලබා ගන්නත් මම වාසනාවන්ත වුණා.

ඔබේ රංගනයේ හැරවුම් ලක්ෂ්‍යය චරිත තුනක්?

ඔව්. ඊට කලින් මම වාණිජ ධාරාවේ සිනමා නිර්මාණ වලට තමයි දායක වුණේ. චරිත තුනක් ටෙලි නාට්‍ය රංගනය දැක්කට පස්සේ මට වැඩි වශයෙන් චිත්‍රපට රංගනයට දොරටු විවර වුණා. මම ගැන ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිවුණා. රසික ප්‍රතිචාර ගලා එන්න පටන් ගත්තා.

සිනමා ප්‍රේක්ෂකයෝ ඉල්ලන කොට ඔබ ඔවුන්ව අතහැර යාම තුළ ඇත්තෙන්ම දුකක් ඇති වුනේම නැද්ද?

නැතුවාම නොවෙයි. ඒ දුක මගෙන් අද තුනි වෙලා ගිහින් තියෙනවා. මගේ පවුල අද ඉන්න තැන දැක්කම මගේ දුව කවිෂා කාවින්දි ප්‍රේම බන්දු, ව්‍යාපාර සහ ගිණුම්කරණය පිළිබඳ උපාධිධාරිනියක්. එයා විවාහ වෙලා ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය සමඟ පුතා කවිදු කනිෂ්ක ප්‍රේමබන්දු කොම්පියුටර් සයන් උපාධියක් කරනවා ඇමරිකාවේ.

වේදිකාවේ ඩිලානි වැඩි වශයෙන් දකින්න ලැබුණේ නෑ නේද?

මම සිසිල් ගුණසේකරගේ උකුස්සා, ගුවන් කරනම් වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් දායක වුණා. ඒ ඇරෙන්න වෙන නිර්මාණ සඳහා මට දායක වෙන්න කාලයක් තිබුණෙ නෑ චිත්‍රපට ටෙලි නාට්‍ය නොකැඩී ලැබෙනකොට නමුත් නිර්මාණ දෙකකින් හරි වේදිකාවේ අත්දැකීම ලැබුවානේ කියන තෘප්තිය මට තියෙනවා. හැබැයි තව කීපයක රඟපාන්න තිබුණා නම් හොඳයි කියලත් හිතෙනවා.

සම්මානනීය නිළියක් විදියට අපේ වර්තමාන නළු නිළි පරම්පරාවටම ඔබ දෙන පණිවිඩය?

තමන් කරන වෘත්තියට මීට වඩා ගරුත්වයක් දක්වන්න වෘත්තියක් විදිහට අනිවාර්යෙන් එයට කැපවෙන්න ඕනේ. රසිකයෝ ඔබගේ ඒ කැපවීම දකින්න නැති තැන ඔවුන් ඔබව දකින්නේ හිස් පිරිසක් විදියට. ඒකට ඉඩ දෙන්න එපා. නිරන්තරයෙන් තමන් කරන කියන දේ කරගෙන යන දේ පිළිබඳ හොඳ පරිකල්පන ඇසකින් බලන්න.

ඩිලානි ඇත්තටම රංගනයට ආයුබෝවන් කියා. අමෙරිකාවට ගිහින් අවුරුදු විසිතුනක් මොනවද කලේ?

මම රූපලාවණ්‍ය උපදේශිකාවක් ලෙස වැඩ කළා. රූපලාවණ්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා.මේකප් බ්රෑන්ඩ් එකක් මම හැදුවා. ච්ධ්අ එර්‍ණඅඹ්ච් කියලා අද මේ රටේ ඒ මේකප් බඩු නෑ. අවශ්‍ය වුණොත් පිටරටකින් ගෙන්න ගන්න ඕනේ. මම අදහස් කළා මගේ ලංකාවේ යාලුවන්ගේ ඉල්ලීම පරිදි මම හදපු ඒ බ්‍රෑන්ඩ් එකේ. මේකප් බඩු ලංකාවටම ගෙනවිත් අපේ රටේ අයවත් මිලදී ගන්න වැඩපිළිවෙළක් හදන්න. ඒ වගේම මම ඒ රටේදී ගොඩක් රූපලාවණ්‍ය ගැන ඉගෙන ගත්තා. මම ආසයි ඒ දැනුම දැන් අපේ රටේ අයට ලබා දෙන්න.

අද තිබ්බා ගැහුවා නිර්මාණකරණයේ ඩේලිපේ මට්ටමින් කරන කැපකිරීම තක්සේරු කරන යුගයක හැදෙන නිර්මාණ කරණය ගැන ඔබට මොනවාද කියන්න තියෙන්නේ?

නිර්මාණයේ ගුණාත්මකභාවයට ලොකු බලපෑමක් තියෙනවා. නමුත් ඒ අය සමඟ කතා කිරීමේදී කලා නිර්මාණ බිහිකරන්න. ඒ නිර්මාණ සල්ලි වලට විකුණ ගන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒ අය බොහෝ විට අවදානමක් ගන්නවා. අතපය දිගහැරලා වියදම් කරන්න ශක්තියක් නෑ. ඒ නිසාම ඔවුන්ට අනුකම්පා කරනවා. අපිට ඕනෙ හොඳ නිර්මාණ ටිකක් බිහිවෙන්න. නමුත් මේ යන විදිහට චිත්‍රපට දුවලා නිෂ්පාදකයෝ පොහොසත්, වුණොත් ඒ අයගේ ඊළඟ නිර්මාණකරණයේදී අතපය දිග හැර වියදම් කර නිර්මාණකරුවන්ට අතපය දිග හැර ලිහිල්ව සැහැල්ලුවෙන් වැඩක් කරගන්න අවස්ථාවක් ලබලා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT