Home » ප්‍රේක්ෂකයන් ලබන සතුට මගේ වෘත්තියේ ජයග්‍රහණයයි නිවේදක ප්‍රසන්න ගුණවර්ධන

ප්‍රේක්ෂකයන් ලබන සතුට මගේ වෘත්තියේ ජයග්‍රහණයයි නිවේදක ප්‍රසන්න ගුණවර්ධන

by mavan
April 2, 2026 12:54 pm 0 comment

වර්තමාන කලා ක්ෂේත්‍රයේ කටයුතු කරන කලාකරුවන් එකිනෙකට වෙනස් මං පෙත් ඔස්සේ ගමන් කරමින් සිය අනන්‍යතාව ප්‍රකට කරන අයුරු අපට හඳුනා ගැනීම අපහසු නොවේ. ඒ අතර නූතන සම්ප්‍රවේශකයකු ලෙස අවධානය දිනාගනිමින් කටයුතු කරන සන්නිවේදකයකු වන ප්‍රසන්න ගුණවර්ධන අපට හමුවේ.

ශශ්‍රී ලංකා නාවික හමුදාවේ නැව් බඳ ඉංජිනේරු නිලධාරියකු වශයෙන් මින්පෙර කටයුතු කර මේ වනවිට ඉන් විශ්‍රාම ගෙන කලා ක්ෂේත්‍රයේ හොඳ ගමනක් ආරම්භ කර සිටින ප්‍රසන්න ගුණවර්ධන සිය කලා දිවිය පිළිබඳ අප හා කළ කතාබහකි මේ.

මම මින් පෙර සේවය කළේ ශශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු අංශයේ. ඒ අතරතුරදීම තමයි මම නිවේදකයකු ලෙස වැඩ කරන්න පටන් ගත්තේ. දෙදහස් දහයෙ වගෙ ඉඳන් තමයි මුලින්ම මම ක්ෂේත්‍රයේ කටයුතු කරන්න ගත්තේ. එහිදී ප්‍රසංග වේදිකාවේ නිවේදන කටයුතු,එළිමහන් හා ඇතුළත උත්සව අවස්ථා ආවරණය කිරීම් රාශියක් නාවික හමුදාවේ සේවය කරන කාලයේ මා විසින් කර තිබෙනවා. අවසන් කාලයේදී නාවික හමුදාවෙන් බාහිර උත්සව අවස්ථා ආවරණය කිරීම සඳහාත් මම දායක වුණා. ඒ නාවික හමුදාවේ පූර්ණ අවසරය සහිතවයි. මේ වනවිට මම සිංහල හා ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම නිවේදන කටයුතුවල නියැළී සිටිනවා.

ඉතින් ඇත්තෙන්ම ක්ෂේත්‍රයට මම අලුත් නැහැ. මොකද දැනටමත් මම වසර පහළොවක් පමණ මේ කටයුතුවල නියැළි ඉන්න නිසා. නමුත් නාවික හමුදාවේ මූලිකත්වයෙන් කෙරුණු උලෙළ, උත්සව අවස්ථා නියෝජනය කිරීම තමයි එවකට වැඩිපුරම සිදු වුණේ.

මේ වනවිට මම පූර්ණකාලිනව නිවේදන කටයුතුවල නිරත වී ඉන්නවා.ඒ සඳහා නාවික හමුදාවේ මාධ්‍ය අංශය හා සම්බන්ධ වෙමින් නිවේදකයකු ලෙස ලබා ගත් අත්දැකීම් මට බෙහෙවින් ඉවහල් වුණ බව සිහිපත් කරන්න ඕන.

මගෙ කලා ජීවිතයට අඩිතාලම වැටෙන්නෙ ඇත්තෙන්ම පාසල් අවධියේදී යි. උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරුවත් කලාවට තිබුණේ ඉහළ කැමැත්තක්. ඒ මත අපිට හැකිවුණා. ඒ අවධියේ පාසලේ කලා උලෙළක් සංවිධානය කරන්න. ලයනල් රංවල සූරීන් තමයි එදා එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වුණේ. එදාත් මමයි නිවේදන කටයුතුවල යෙදුණේ. ගණිත අංශයෙන් ඉගෙනුම ලැබුවත් කලාව තමයි කවදත් හදවතේ තිබුණේ.

නාවික හමුදාවට බැඳුණට පස්සෙ මම මුලින් ම පුහුණුව සඳහා යන්නෙ ඉන්දියාවටයි. ලංකාවට පැමිණි පසු නාවික හමුදාවේ කටයුතු කරන අතරතුරේ විවිධ උත්සව අවස්ථා සඳහා මගේ කථන හැකියාව මත නිවේදකයකු ලෙස කටයුතු කරන්න අවස්ථාව ක්‍රමයෙන් හිමි වුණා. ඉන්පසුව නාවික හමුදාවේ මාධ්‍ය අශයේ කටයුතු සඳහා දිගටම සම්බන්ධ වුණා. ලංකාවේ යුද්ධය නිමා වීමෙන් පසු වඩා පුළුල් ව මට කලා කටයුතුවල යෙදෙන්න අවස්ථාවක් ලැබුණා.

මම නාවික හමුදාවේ සේවය කළේ නැව් බඳ ඉංජිනේරු නිලධාරියකු විදියටයි. නැව් අලුත්වැඩියා කිරීම, කුඩා යාත්‍රා නිපදවීම වගෙ කටයුතු තමයි ඒ යටතේ ඉලක්ක වෙන්නෙ. ඉතින් නිරන්තරයෙන් ඒ කටයුතු අපේ සේවා අංශවලින් සිදු වන දෙයක්. ඒවා කුමන අවස්ථාවකදීවත් නතර වෙන්නෙ නැහැ.ඒ වගෙ කාර්‍යබහුල කාලසටහනක් එක්ක වැඩ කරන අතරතුරත් මම මේ කලා කටයුතුවල යෙදෙන්න අවස්ථාව හදාගන්න මහන්සි වුණා. නමුත් ඒ හැම අවස්ථාවකම රැකියාවේ වගකීම මුල් තැන තබාගෙනයි මගෙ කලා කටයුතුවල නියැළුණේ. විශේෂයෙන් නාවික හමුදාවේ ඉන්න අවධියේ එහි මාධ්‍ය අශයේ කටයුතු කරන්න අවස්ථාව ලැබීමෙන් වගේම මාධ්‍ය අංශය ඔස්සෙ ලද පුහුණු වැඩසටහන් හා අවස්ථා මඟින් මම සන්නිවේදකයකු ලෙස ලද පෝෂණය ගොඩක් ඉහළයි.

විශේෂයෙන් පසුගිය ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ජාතික රූපවාහිනිය සහ මීගමුව සංචාරක සංගමය එක්ව සංවිධානය කළ ව්ඥඨධථඡධ ඡඥචජඩ ජචපදඪමචත හි අවසන් දින රාත්‍රියේ නිවේදන කටයුතු මෙහෙයවීමට හැකි වීම නිවේදක දිවියේ විශේෂ අවස්ථාවක් ලෙස මා සලකනවා.

ඇත්තෙන්ම මේ කලාව හරිම තරගකාරී එකක් වර්තමානයේ. අභියෝග වැඩියි. මම අපේ රැකියාවේ ස්වභාවය එක්ක විනය ගරුක පසුබිමකයි ගොඩනැගුණේ. ඒක අපි කරන මේ කලාවෙන් පවත්වාගෙන යන්න මම කැමැතියි. අපි ස්ටේජ් එකට ගිහින් සුන්දර ව ඒ වැඩේ කරනවා වාගෙම අප සමඟ ඉන්න මිනිසුන්ගෙනුත් ඒ සුන්දරත්වය දකින්න, විනයවත් පසුබිමක වැඩ කරන්න ආසයි. විශේෂයෙන් ම අද සමාජ මාධ්‍ය නිසා ඇති වී තිබෙන තරගකාරීත්වය වැඩියි. ඇත්තටම එය හොඳ තරගකාරීත්වයකට වඩා අහිතකර එකක් බවයි මට නම් හිතෙන්නේ. අපි අපේ කලා මාධ්‍ය තුළ එකිනෙකා වෙත ගෞරවය ඇතිව මේ ගමන යා යුතුයි. විශේෂයෙන් එකම ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිසක් එකිනෙකා වෙත විවේචන එල්ල කරගනිමින් සමාජ මාධ්‍යයේ හැසිරීම වෘත්තියභාවයට නොගැළපෙනසුලුයි. මම හිතන්නෙ එහෙමයි. එකම ක්ෂේත්‍රයක වැඩ කරන අප එකිනෙකා වෙත ගරු කරමිනුයි ඒ ගමන යා යුතු වන්නේ.

ඉතින් මූලික ව මම මේ ක්ෂේත්‍රයට වඩාත් කැමැතියි. ඊළඟට මම සහභාගි වන වැඩසටහනක් අසන නරඹන ප්‍රේක්ෂකයන් ලබන සතුට තමයි මගෙ රැකියාවේ තෘප්තිමත්භාවයේ අංක එක. මේ කලාවේ නියැළෙද්දි මට අනන්‍ය වු හැකියා ඇති බව මා හඳුනාගෙන තිබෙනවා. ඒ ඔස්සේ වඩා දීප්තිමත් ව මේ ගමන යන්න මම කැමතියි. විශේෂයෙන් නිවේදකයකු ලෙස ලොකු ස්ටේජ් එකක නිවේදකයකු ලෙස කටයුතු කරනවා හා සමානව ලැබෙන ඕනෑම අවස්ථාවක් විශේෂ අවස්ථාවක් ලෙස සලකමින් එහි උපරිමය කිරීම වැදගත් කියන දේයි මම විශ්වාස කරන්නෙ.

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT