ජූඩ් නීල් ශ්‍රියන්ත මෙන්ඩිස් උපත ලබන්නේ 1957 ඔක්තෝබර් 25 වෙනිදාය. පාසල් කාලයේ කිසිදු කලා කටයුත්තකට සහභාගී නොවූ ඔහු තරුණ අවධියට පා තබා ප්‍රථම වරට වේදිකාවට පා තබන්නේ ඉල්ලීස වේදිකා නාට්‍යයෙනි. ඉන්පසු මානවයෝ, සතුරෝ වැනි වේදිකා නාට්‍යවල රඟපෑ ශ්‍රියන්ත මෙන්ඩිස් රංගනය පිළිබඳ නිසි හැදෑරීමකට යොමු වූයේ ජර්මානු නාට්‍යවේදී නෝබට් ජේ. මයර් හමු වීමත් සමඟය. ඉන්පසු නෝබට් ජේ. මයර්ගේ ” අනේ අබ්ලික්” නම් නාට්‍යයේ රඟපෑ ශ්‍රියන්ත මෙන්ඩිස් තම රංගන හැකියාව කෙමෙන් කෙමෙන් ඔප මට්ටම් කර ගත්තේය. නාට්‍යවේදී ධම්ම ජාගොඩ විසින් ටෙලි තිරයට සිත්තම් කෙරුණු “පළිඟු මැණිකේ ” ටෙලි නාට්‍යයේ “සූරසේන” චරිතය සමාජයේ බහුලව කතා බහට ලක්වූ චරිතයක් විය. “සූරසේන” චරිතයට මනාව පණ පෙව්වේ ශ්‍රියන්ත මෙන්ඩිස්ය. ඔහු ඒ චරිතය තුළින් අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්විය. එය කෙතරම් ජනප්‍රියද කිවහොත් සූරසේන චරිතයේ දෙබස් අනුකරණය කරන තත්ත්වයට පත්විය.
ගාමිණි ෆොන්සේකාගේ සාගරයක් මැද චිත්‍රපටයෙන් ඔහු සිනමාවට ප්‍රවිෂ්ට වන්නේ පසුව ඔහු එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ මංගල තෑග්ග චිත්‍රපට රඟපෑවේය. ජයන්ත චන්ද්‍රසිරිගේ “මෝරා” නාට්‍යයේ කළ රංගනය වෙනුවෙන් සම්මානනීය වූ ශ්‍රියන්ත මෙන්ඩිස් ඉන්පසු වේදිකාවේ කිහිප වතාවකදීම සම්මානයට පාත්‍ර විය. ටෙලි තිරයේ චරිතාංග නළුවෙකු වූ ඔහු දෑකැති මුවහත, මිහිකතගේ දරුවෝ, ඉංගම්මාරුව, හිරු සඳු හමුවේ, දඬුබස්නාමානය, චල අචල, බැද්දෙගෙදර, අකාල සන්ධ්‍යා, ධවල කඩුල්ල, වෙද හාමිනේ වැනි ටෙලි නාට්‍යවල නොමැකෙන චරිත නිරූපණය කළේය.
ටෙලි තිරයේ දස්කම් පෑ ශ්‍රියන්ත සිනමාවේදී කැපී පෙනෙන චරිත නිරූපණය කළ රංගවේදියෙකි. මංගල තෑග්ග, පාලම යට, භේරුණ්ඩ පක්ෂියා, මිල්ලේ සොයා, අබා, ගින්දරී, භවතරණය ඇතුළු තවත් චිත්‍රපට ගණනාවක තම රංග ප්‍රතිභාව විදහා දැක්වීය.
ශ්‍රියන්ත මෙන්ඩිස් රංගවේදියා මේවන විට ඔහුගේ රංගන ජීවිතයේ පනස් වැනි වසර සමරන්නේය. ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උලෙළක් ඔක්තෝබර් විසිපස් වැනි දින සවස හයට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී අති විචිත්‍රවත් අන්දමින් පැවැත්වීමට මේ වන විට සියල්ල සූදානම්ය. එහි සියලු කර්තව්‍යයන් තම උරහිස මතට ගෙන සංවිධානය කරනු ලබන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් රංගවේදියාගේ බිරිඳ වන රංගන ශිල්පිනී කුසුම් රේණුය.
ඉතාමත් කාර්‍යබහුල අවස්ථාවක වුවද ශ්‍රියන්ත මෙන්ඩිස් රංගවේදියා, කලාවට කවදත් සවිය සපයන සරසවිය සමඟ කතාබහ වීමට අමතක නොකළේය. ඔහුගේ කලා ජීවිතයේ ආරම්භය පිළිබඳ ඔහු සරසවිය සමඟ පවසා සිටියේ මෙවන් දෙයකි.
මගේ කලා ජීවිතය ආරම්භ වී තිබෙන්නේ මව්කුසේ සිටියදී. මගේ මව එවකට ගුරුවරියක්. ඇය ගැබ්බර අවධියේ හේවුඩ් එකේ සංගීතය හැදෑරුවලු. ඇය වයලීනය වාදනය කරන විට ඇගේ කුසතුළ සිටි දරුවා දැඟලීමට පටන් ගත්තලු. ඇය වයලීනය වාදනය කරන බෝ එකෙන් තම කුසට සෙමෙන් තට්ටු කර ආදරණීය හඬින් මෙසේ කියා තිබෙනවා.
” මට මේ වැඩේ කරගන්න පොඩ්ඩක් ඉඩ දෙනවද?
ඒ වෙලාවට පමණක් සන්සුන් වූ දරුවා නැවතත් දඟලන්න පටන් අරගන්නවලු”
මගේ මව හිතාගෙන ඉදලා තියෙන්නේ තම කුසතුළ සිටින්නේ දියණියක් කියලා. දියණියක් පවුලක වැඩිමහල් වුණහම පවුල බලාකියා ගන්නවා. පවුලට ආදරය, ආරක්ෂාව සපයනවා. මගේ මව්තුමියත් ඒ සංකල්පය හිතේ තබාගෙන ඉන්න ඇති. ඇය තම කුසතුළ සිටින්නේ දියණියක යැයි සිතා ” ශාන්තී ” යන නම යොදන්නට බලාපොරොත්තුවෙන් ඉඳලා තිබෙනවා. එහෙත් ඇගේ කුසින් මෙළොව එළිය දුටුවේ පුතෙක්. ඒ තමයි ජූඩ් නීල් ශ්‍රියන්ත මෙන්ඩිස්. එහෙත් ඒ පුතාට ඇය අමතලා තිබෙන්නේ ”ශාන්ති” නමින්. නිවසට ශාන්ති වූ මා අද පෙනී සිටින්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් නමින්. මගේ මව්තුමිය තමයි මා කුසතුළ සිටියදීම සංස්කෘතික මිනිසෙක් බවට පත්කළේ. ශාන්ති නමින් නිවසේදී හැඳීන්වුණු මා ගමේ මිනිසුන්ටත් ශාන්ති අයියා, ශාන්ති මල්ලී වුණා.
පාසලේදී මා කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. රජයේ රැකියාවල නිරත වූ මගේ මව්පියන් අපව උනන්දු කළේ අධ්‍යාපනය පැත්තට. එයට මුල්තැන දිය යුතුයි කියා ඔවුන් සිතන්නට ඇති. එහෙත් අපව සංස්කෘතික මිනිසුන් බවට පත් කරන්නට යැයි සිතා සෑම මසකම විසිපස් වන දින අපව චිත්‍රපටයක් බලන්නට රැගෙන ගියා. විසිපස් වෙනිදා තමයි ඔවුන්ට රජයෙන් වැටුප් ලැබෙන දිනය. අධ්‍යාපනය අවසන් වු පසු සේනක පෙරේරා මැදිහත්ව ඉල්ලීස නමින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළා. එය වේදිකා ගත කළාට පසුව රංගනය පිළිබඳ හැදෑරීමක් කළ යුතුයැයි මට සිතුණා. ඒ අතර තුර තමයි ජර්මානු නාට්‍යවේදී නෝබට් ජේ. මයර් ලංකාවට පැමිණියේ. මම ඔහු යටතේ නාට්‍ය සහ රංගකලාව ඉගෙනීම ආරම්භ කළා. මගේ සමකාලීනයන් වන ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි, ජූඩි ශ්‍රීමාල් , චිත්‍රා කුමාරි කළුබෝවිල, යූ.ආර්.ඩී. ද සිල්වා අපි සියලු දෙනාම රංගනය හැදෑරුවේ එකට. පසුව අපි කට්ටියම එකතු වෙලා ” අනේ අබිලික්” නාට්‍ය නිර්මාණය කළා. මේ ආකාරයට තමයි මගේ රංගන ජීවිතයේ ආරම්භය ඇතිවුණේ. මේ වන විට මගේ රංගන ජීවිතයට පනස් වසරක් සපිරෙනවා. ඒ වෙනුවෙන් සැමරුමක් කළ යුතුයැයි යෝජනා කරන්නේ මගේ බිරිඳ කුසුම් රේණු. එළඹෙන විසිපස් වෙනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ඒ වෙනුවෙන් විචිත්‍රවත් සැමරුමක් සිදුවන බව මට ආරංචියි. ඊට සමගාමීව මාගේ අපදානය අලළා ග්‍රන්ථයක් එළිදැක්වීමද එදිනට සිදු කෙරෙනවා. ඒ වගේම අපේ විවාහ සංවත්සරය, මගේ උපන්දින සැමරුමත් එදිනම සැමරීමට නියමිත බව පමණයි මා දන්නේ. මගේ බිරිඳ සහ සංවිධායක කමිටුව මේ වෙනුවෙන් තව බොහෝ දේ සිදුකරමින් සිටින බව මට පෙනී යනවා. එහෙත් ඒ සම්බන්ධව කිසිවෙක් මා දැනුම්වත් නොකරන්නේ මන්දැයි ගැටලුවක්. එසේ කරන්නේ එදිනට මා පුදුමයට පත්කරන්නටත්, සතුටට පත්කරන්නටත් වන්නට ඇති. එදින අමුතුම සැදෑවක් වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා. එදිනට සිදුවන දේ ගැන මටත් නොකියා, සංවිධාන කටයුතු කරගෙන යන පිරිසක් සිටිනවා. උලෙළේ නිර්මාණ අධ්‍යක්ෂණය අමිත්ත වීරසිංහගෙන්. ආචාර්ය ධම්මික දිසානායක, මාලි ජයවීරගේ, නිහාරි සෝමසිරි, මෙවන් සිල්වා, ශර්මිලා ගෝනවල සහ රසාදරී පීරිස්, දුමින්ද මුණසිංහ යන මගේ සහෘදයන් ඉතා ඕනෑකමින් එම උලෙළ සංවිධානය කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතු හිතවතියක සිටිනවා. ඇය මේ සරසවිය පුවත්පතේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියක් වන හේමාලී විජේරත්න අතින් මගේ අපදානය ලියවෙන අතර එදිනට එම කෘතිය එළි දැක්වීමට සූදානම්.
ඉතින් ඒ විචිත්‍රවත් සැන්දෑවේදී ඔබ හා සතුට බෙදා ගන්නට හමුවෙමු සෙනෙහසින්.
නයනාංජලි දෙහිපිටිය
