Home » ‘පව්කාරයෝ’ ඔස්කාර් සම්මාන උලෙළෙහි අණසක පතුරවයි…

‘පව්කාරයෝ’ ඔස්කාර් සම්මාන උලෙළෙහි අණසක පතුරවයි…

by mavan
March 26, 2026 11:50 am 0 comment

ලෝක සිනමාවේ ⁣මහා මෞලි මංගල්ලය වන ඇකඩම් හෙවත් ‘ඔස්කාර් සම්මාන උලෙළ’ පසුගිය මාර්තු 15 වැනිදා ආකර්ෂණීය ලෙස අති උත්කර්ෂවත් අන්දමින් පැවත්වුණේ සිනමා ලෝලීන්ගේ අවධානය මොහොතකට ඩැහැ ගනිමින්. වර්ෂ 1929 මැයි 16 වැනි දින ප්‍රථම වරට ඔස්කාර් සම්මාන උලෙළ පැවැත්වුණු අතර ලෝකයේ විවිධ රටවල වසර පුරා තිරගත වු චිත්‍රපට සම්මාන උලෙළේ විවිධ අංශ සඳහා තෝරා ගැනෙයි. මෙවර 98වැනි වරට පැවැත්වුණු ඔස්කාර් සම්මාන ප්‍රදානෝත්සවය සුපුරුදු පරිදි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ඩොල්බි රඟහලේදී පැවැත්විණ. පැය තුනයි විනාඩි 44ක කාලයක් පුරා පැවති සම්මාන උලෙළ නිවේදනයෙන් සත්කාර කරනු ලැබුවේ විකට නළු ‘කොනන් ඕ බ්‍රයන්’ විසිනි.

ඔස්කාර් සම්මාන උලෙළේ සැමගේම දැඩි අවධානය යොමු වූ සම්මාන ත්‍රිත්වයක් වඩාත් කැපී පෙනෙන ලෙස ඉස්මතු වී තිබුණි. ඒ 2024 වසරේ ‘හොඳම චිත්‍රපටය’, ‘හොඳම නළුවා’ සහ ‘හොඳම නිළිය’ යන සම්මාන ත්‍රිත්වය හිමි කරගන්නේ කවුරුන්ද? යන වග බොහෝ දෙනා වෙත ඇති කළේ කුතුහලයකි. 2025 වසරට අදාළව හොඳම චිත්‍රපටය අංශය යටතේ “One Battle After Another”, “F1”, “Bugonia”, “The Secret Agent”, “Frankenstien”, “Sinners”, “Train Dreams”, “Hamnet”, “Marty Supreme” සහ “Sentimental Value” යන චිත්‍රපට නමය තේරී පත් විය. ඒ අතරින් 2025 වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ  “One battle after another’’ චිත්‍රපටයයි. ‘වන් බැට්ල් ආෆ්ටර් එනදර්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ‘පෝල් තෝමස් ඇන්ඩර්සන්’ වසරේ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානය දිනා ගත්තේය. හොඳම සහය නළුවා සම්මානය ද හිමි වූයේ “වන් බැට්ල් ආෆ්ටර් එනදර්” චිත්‍රපටයේ දුෂ්ටයාගේ චරිතය සඳහා පණ පෙවූ සම්මානනීය නළු ෂෝන් පේන් විසිනි. එමෙන්ම හොඳම සංස්කරණය, හොඳම අනුවර්තිත තිර රචනය, හොඳම රංග වින්‍යාසය තේරීම යන සම්මාන සමඟින් “වන් බැට්ල් ආෆ්ටර් එනදර්” චිත්‍රපටය හිමි කරගත් මුළු සම්මාන සංඛ්‍යාව හයකි. “සීනර්ස්” හෙවත් “පව්කාරයෝ” නමැති Horror ශානරයේ චිත්‍රපටය නිර්දේශ නාම 16කට හිමිකම් කියමින් හොඳම නළුවා, හොඳම කැමරාකරණය, හොඳම තිර රචනය, හොඳම පසුබිමි සංගීතය සම්මාන හතරක් දිනාගැනීමට සමත්වීම කැපී පෙනෙන සිදුවීමකි.

මෙවර 98වැනි ඔස්කාර් සම්මාන උලෙළෙහි හොඳම කැමරාකරණය (Best Cinematography) සම්මානය දිනාගත්තේ “Autumn Durald Arkapaw නමැති ඇමරිකානු ජාතික කැමරා අධ්‍යක්ෂවරිය”. ඇය මේ සම්මානය දිනාගන්නේ “Sinners” චිත්‍රපටයේ කැමරාකරණය වෙනුවෙන්. මෙම අවස්ථාව ඓතිහාසික වේ. මන්ද ඔස්කාර් සම්මාන උලෙළ ඉතිහාසයේ මීට පෙර හොඳම කැමරාකරණය සම්මාන සියල්ලම දිනාගත්තේ පිරිම් පාර්ශවය විසිනි. ප්‍රථම වතාවට හොඳම කැමරාකරණය සම්මානය කාන්තාවකට හිමිවේ. ඇය මේ සම්මානය ලබන්නේ ඇය සමඟ නිර්දේශ වුණු අත්දැකීම් බහුල හොඳම කැමරා අධ්‍යක්ෂවරයන් සියල්ලම පරදවමින්. ඒ නිර්දේශ නාම ලබපු කැමරා අධ්‍යක්ෂවරයන් සියල්ලම පිරිමින් ය.

“Autumn” සම්මානය හිමි කරගත් මොහොතේ තමන් සමඟ සිටි සියලුම කාන්තාවන්ට ස්තුතිපූර්වක විය. ඇය නිහතමානීව තම කෘතඥතාව පළ කළේ මෙයාකාරයෙනි.

“මේ කාමරයේ ඉන්න හැම ගෑණු කෙනෙක්ම නැගිටින්න ඕන, මොකද මට හිතෙන්නේ ඔයාලා නැතුව මට මෙතනට එන්න බෑ කියන එක. මේ මුළු ප්‍රචාරක ව්‍යාපාරයේම ඉන්න හැම ගෑනු කෙනෙක්ගෙන්ම මට ගොඩක් ආදරයක් දැනිලා තියෙනවා. මේ වගේ අවස්ථාවක් සිද්ධ වෙන්නේ ඔයාලා නිසා වෙනවා කියලා මට දැනෙනවා.”

එමෙන්ම “Hamnet” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ අයර්ලන්ත ජාතික ‘ජෙසී බක්ලි’ හොඳම නිළියට හිමි සම්මානය හිමි කර ගැනීමට සමත් වීම බොහෝ දෙනාගේ සතුටට හේතු විය. හොඳම සහය නළුවාට හිමි සම්මානය “සීනර්ස්” චිත්‍රපටයේ රඟපෑ නවක නළුවකු වන ‘මයිකල් බී ජෝර්දන්’ වෙත හිමි විය. හොඳම සහාය නිළිය සඳහා වන සම්මානය “Weapons” චිත්‍රපටයේ එම් මැඩ්ගන් වෙත හිමිවිය. හොඳම පසුතල නිෂ්පාදන සැලසුමිකරණය හෙවත් කලා අධ්‍යක්ෂණය සම්මානය, හොඳම වේශ නිරූපණය, හොඳම ඇඳුම් නිර්මාණය යන සම්මාන ත්‍රිත්වයම ‘ෆ්‍රැන්කන්ස්ටයින්’ චිත්‍රපටයට හිමි විය.

හොඳම දෘශ්‍ය ප්‍රයෝග සඳහා සහ හොඳම ශබ්දකරණය සඳහා වන ඔස්කාර් සම්මානය දිනා ගැනීමට “Avatar: Fire and Ash” සිනමාපටය සමත් වූ අතර හොඳම අන්තර්ජාතික සිනමාපටය (Best International language Movie) සඳහා පිදෙන සම්මානය “Sentimental Value” චිත්‍රපටයත්, හොඳම වාර්තාමය චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය ”Mr Nobody Against Putin” චිත්‍රපටයත් දිනාගැනීමට සමත් විය. එමෙන්ම හොඳම ඇනිමේෂන් චිත්‍රපටය සඳහා වන සම්මානය “KPop Demon Hunters”   දිනාගනු ලැබී ය. මෙවර ඔස්කාර් සම්මාන උලෙළ සමස්තයක් ලෙස සම්මාන බෙදී යාම පිළිබඳ බහුතරයක් දෙනා එතරම් සතුටට පත් වූයේ නැත. විශේෂයෙන් හොඳම නළුවා සම්මානය මයිකල් බී. ජෝර්දාන් වෙත හිමිවීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධි ප්‍රතිචාරයකි. කළු ජාතිකයන් වෙත දැඩ් අවධානයක් යොමු කරන බවත් සම්මාන හිමවන්නේ දක්ෂතාවය වෙනුවෙන් කරනු ලබන අවංක ඇගයීම නොසලකමින් බවත් ⁣පැහැදිලි දේශපාලනයක් වත්මන් ඔස්කාර් සම්මාන උලෙළ සඳහා පවතින බව ප්‍රේක්ෂකාගාරයේ අදහස විය.

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT