අපට අසල්වැසි ඉන්දියාව කලාවෙන් පරිපූර්ණය වූ රටකි. එරටින් පැවත් ආ කලා මාධ්‍යයන් පසු කලෙක ශශ්‍රී ලංකාව තුළ මුල් බැස ගන්නා ලදි. එය අපට ලැබුණු වටිනා නිධානයක් බඳුය. එම කලාවන් අතර ඉහළින්ම වැජඹෙන්නේ නර්තනය සහ සංගීතයයි. අපේ රටෙන් ඉන්දියාවට ගොස් එහි කලා විශ්වවිද්‍යාලවලින් සහ ආචාර්යවරුන්ගෙන් නර්තන ශිල්ප සහ සංගීත කලාව ප්‍රගුණ කළ ප්‍රවීණයන් ලංකාවට සම්පතකි. එහෙත් අප රට තුළ ඔවුන්ගේ දස්කම් පෙන්වීමට තරම් අවස්ථාවන් හිමි නොවීම කනගාටුවට කරුණකි. එහෙත් එළඹෙන මාර්තු 4 සහ 5 දෙදින එම ශිල්පීන් හට මහඟු අවස්ථාවක් හිමිකර දීමට අපේ රටේ සිටින ප්‍රවීණ භරත නාට්‍යම් ශිල්පිනි සහ නර්තන ශාස්ත්‍රීය කතුවරියක වූ ප්‍රීති ගනේගොඩ සූදානම් වෙමින් සිටින්නීය. තමා ඉන්දියාවට ගොස් ලැබූ ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන කලාව මෙරට සිටින දරු පරපුරට දායාද කිරීමට පසුබට නොවූවාය. ඇය නර්තන ශිල්පිනියක මෙන්ම නර්තන ගුරුවරියක ලෙස කටයුතු කර ඇත. ‘ පරම්පරා ‘ ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන සහ සංගීත මහෝත්සවය තුළින් මතු පරපුරට නිවැරදි කලාව හඳුන්වා දීම ඇගේ එකම අරමුණ වී ඇත. මෙවර ඇය සරසවිය සමඟ කතා බහට එක්වූයේ ‘ පරම්පරා’
පිළිබඳ ලක්වාසී කලාවට සිතැති සියලු දෙනාට දැනුම් දීමටයි.
මේ දිනවල මම අලුත්ම වැඩ කටයුත්තකට ලක ලැහැස්ති වෙනවා. ඒ තමයි ‘ පරම්පරා’ ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන සහ සංගීත මහෝත්සවය. මෙවැනි උත්සවයක් පැවැත්වෙන්නේ ලංකාවේ ප්‍රථම වතාවට. එය මාර්තු හතරවෙනිදා සහ පස්වෙනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පවත්වන්න සියලු කටයුතු සූදානම්. මෙහි මූලික අදහස මගේ. මෙවැනි මෙවැනි උත්සවයක් පවත්වන්න කාලයක සිට මගේ අදහසක් තිබුණා. ඒ නිසා මගේ සිතේ ඇතිවූ ඒ සංකල්පය සැබෑ කරගන්න තමයි මේ දිනවල අපි වෙහෙසෙන්නේ. මම ඉන්දියාවට ගොස් භරත නාට්‍යම් හදාරපු කෙනෙක්. ඉන්පසු ලංකාවට ඇවිත් නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කළා. පසුව ගුරුවරියක් ලෙසත් කටයුතු කළා. දැන් එයින් ඉවත් වි සිටියත් කලාවට තිබෙන ලැඳීයාව, ආදරය එසේමයි. පසුගිය වසරේ මම ග්‍රන්ථ දෙකක් එළිදැක්වූවා. ඉන්දීය නර්තන ලාලිත්‍ය සහ තෞර්‍ය්ත්‍රිකම් නමැති ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙක. එදා එළිදැක්වීමේ උලෙළට ඇවිත් හිටියේ මේ රටේ සිටින ශාස්ත්‍රීය කටයුතුවලට උනන්දුවක් දක්වන විද්වතුන්, ප්‍රවීණයන් සහ කථිකාචාර්‍යවරුන්. එදා මට දැනුණා මේ ශිල්ප දකින්න, අහන්න කැමති ප්‍රබුද්ධ පිරිසක් ලංකාවේ සිටින බව.
අපේ රටේ ඉන්නවා ඉන්දියාවට ගොස් නර්තනය, ගායනය, සංගීත ශාස්ත්‍රය ප්‍රගුණ කරලා ලංකාවට ආ පිරිසක්. එහෙත් ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. ලංකාවේ ප්‍රබුද්ධ ප්‍රේක්ෂකාගාරය කැමතියි ඔවුන්ගේ දක්ෂතා නරඹන්න. අහන්න. රූපවාහිනි නාලිකාවලිනුත් ඔවුන්ට අවස්ථා ලැබෙන්නේ අඩුවෙන්. සමහර වෙලාවට ලැබෙන්නේ නැති තරම්. අද ප්‍රේක්ෂකයා රූපවාහිනියෙන් ඈත්වෙලා. ඔවුන් යූ ටියුබ් වැනි සමාජ මාධ්‍යවලට ලංවෙලා. එයින් පුළුවන් ඔවුන් කැමති දේ තෝරාගෙන නරඹන්න. ඇත්තටම කිව්වොත් මම ඊඍ බලන්නෙත් නැහැ. එයින් මම ඈත්වෙලා බොහෝ කල්.
පරම්පරා’ ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන සහ සංගීත මහෝත්සවයේ සංවිධාන කටයුතු සඳහා මා සමඟ අත්වැල් බැඳගත් ප්‍රවීණයන් කිහිප පළක් ඉන්නවා. කලාකීර්ති රවිබන්දු විද්‍යාපති, නර්තනාචාර්‍යනී සමන්ති විද්‍යාපති, නර්තනාචාර්‍ය චන්දන වික්‍රමසිංහ මා සමඟ සංවිධාන කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා.ඔවුන් මේ උත්සවය සාර්ථක කරගන්න මට නිතර උපදෙස් දෙමින් මට ශක්තියක් වෙනවා. මේ සඳහා නර්තන සහ සංගීත ශිල්පීන් සොයා ගන්න වෙහෙසෙන්න අවශ්‍ය වුණේ නැහැ. අප වටාම සිටින ප්‍රවීණ පිරිස මේ සඳහා නොමිලේම දායකත්වය ලබා දෙනවා. ඔවුනුත් ඉතාම ආසාවෙන් සිටියේ මෙවැනි කටයුත්තකට සම්බන්ධ වෙන්න.
මෙම මහෝත්සවයවයට ඇතුළත් වන්නේ ඉන්දියානු ශාස්ත්‍රීය නර්තනාංග සහ සංගීතය. මාර්තු 4 වෙනිදා තමයි නට මහෝත්සවය තියෙන්නේ. ඉන්දියාවේ ශාස්ත්‍රීය නර්තනාංග අටක් තියෙනවා. එයින් ලංකාවේ භාවිතා නොවන නර්තය ශෛලීනුත් තියෙනවා. ඒ සඳහා එයට ප්‍රවීණත්වය උසුලන ශ්ල්පීන් ඉන්දියාවෙන් එනවා. ඔවුන් මේ උත්සවයට දායකත්වය ලබා දෙන්නේ නොමිලේ. ගුවන් ටිකට්පත් පවා ගන්නේ ඔවුන්ගේ මුදලින්.ඔවුන් දන්නවා අපි ලංකාව තුළ ප්‍රචලිත කරන්නේ , ප්‍රවර්ධනය කරන්නේ ඔවුන්ගේ ශාස්ත්‍රීය කලාවන් බව.
මේ උත්සවය සඳහා කිසිදු දේශපාලන සබඳතාවයක් නැහැ. එහෙත් තානාපතිවරුන්ට ආරාධනා කරනවා. ඉන්දියානු මහකොමසාරිස් කාර්‍යාලයේ සහය මේ වනවිට ලැබෙමින් පවතිනවා. ඒ වගේම මේ සඳහා විශේෂ අනුග්‍රාහකභවතුන් නැහැ. අනුග්‍රහය සඳහා එවැනි සහයක් ලබාගන්න අපි උත්සාහ කළා. එහෙත් එය ලැබුණේ නැහැ. ඒ නිසා මගේ වියදමින් තමයි මෙම මහෝත්සවය පවත්වන්නේ.
මාර්තු 4 වෙනිදා පවත්වන්නේ නර්තන මහෝත්සවයේදී භරත නාට්‍යම්, කථක්, ඔඩිසි, කථකලි සහ මෝහිණියාම් යන නර්තනාංග එදිනට වේදිකාව මත රඟ දක්වනවා. මා ඉහත දැක්වූ නර්තනාංග අටෙන් මනිපූරි , සත්ත්‍රියා, ඔඩිසි, කථකලි, කුච්චිපුඩි සහ මෝහිණියාට්ටම් යන ශෛලීන් සඳහා ලංකාවේ ශිල්පී හිඟයක් තියෙනවා. එහෙත් ඔඩිසි, කථකළි සහ මෝහොණියාට්ටම් නර්තන මහෝත්සවයේදී දක්නට ලැබෙනවා. තවත් විශේෂ නර්තන ශෛලියක් එදාට ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන්. ඒ තමයි චවි කියන නර්තනය. එය යුද නර්තනයක් ආකාරයෙන් රඟදැක්වෙන්නේ. හරිම ලස්සනයි. ලංකාවේ කවුරුත් මින්පෙර එය දැකලා නැහැ. මාර්තු පස්වෙනිදා පැවැත්වෙන්නේ සංගීත් මහෝත්සවය. එදිනට සිතාර් වාදනය , උත්තර භාරතීය ගායනා , කර්ණාටක සංගීතය, බටනලා වාදනය, වීණා වාදනය, බෙර වාදනය දැකගන්න, රසවිඳීන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම ප්‍රවීණ කර්ණාටක සංගීත කණ්ඩායමක් එදිනට සහභාගී වෙනවා. මෙය පැය දෙකහමාරක ප්‍රසංගයක්.
අපේ රටේ නර්තනය, සංගීතය තුළ ලොකු හිඩැසක් පවතින බව පේනවා. නර්තනය සහ සුභාවිත සංගීතය අවභාවිතා වන බවක් පේනවා. ජනතාවට නර්තනය සහ සංගීතය හරි දේ ලැබෙනවාද කියන එක ප්‍රශ්නයක්. ප්‍රබුද්ධ නර්තනය සහ සංගීතය කියන දේ ජනතාව හඳුනන්නෙ නැති තත්වයට පත්වෙමින් තියෙනවා. රටක ප්‍රබුද්ධ සංගීතයක්, නර්තනයක්, සිනමාවක්, වේදිකාවක් තිබිය යුතුයි. අතීතයේ ලංකාවේ ප්‍රබුද්ධ කලාවක් තිබුණා. එකල සංගීතය, නර්තනය, වේදිකාව, සිනමාව ඇතුළු අනෙකුත් කලාවන් ඉහළ මට්ටමක තිබුණා. ඒත් අද එවැනි තත්ත්වයක් නැහැ. මේ තත්ත්වය කොතනින් අවසන් වේවිද කියන්නත් බැහැ. අපේ රටේ ඉන්නවා අන්තර් ජාතික මට්ටමට අපේ කලාවන් ගෙනයා හැකි පිරිසක්. ඒත් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව නැහැ. ඉන්දියාවේ ගිහින් ඉගෙන ගත් පිරිසක් ඉන්නවා. එහෙත් ඔවුන්ගේ හැකියාවන් පෙන්වන්න අවස්ථා නැහැ. අපේ රටේ බොහෝ දෙනා ඉන්දියානු විලාසිතා වලට ප්‍රියයි. ඒ විදිහට අඳීනවා,
පලඳීනවා. එහෙත් ඉන්දියානු ශාස්ත්‍රීය කලාව ගැන එතරම් දැනුමක් නැහැ. අපට ඒ සම්බන්ධව සම්පත් තියෙනවා. ඒ නිසාම තමයි නම මෙවැනි කටයුත්තකට මුල පිරුවේ.
අද අපට දකින්න ලැබෙන නර්තනය අසන්න ලැබෙන සංගීතය වෙනස්ම තලයක තියෙන්නේ. ප්‍රේක්ෂකයා ඔවුන්ට දකින්නට, අසන්නට ලැබෙන දේ වැලඳ ගන්නවා. එහෙත් අපි ඔවුන්ට දිය යුත්තේ ඔවුන්ගේ රස වින්ඳනය ඉහළ නංවාලන්නට හැකි දේවල්. එය සිදුකළ හැක්කේ ප්‍රවීණ ශිල්පීන් විසින්මයි. ඒ නිසා මේ ඉන්දියානු නර්තනය , සංගීත මහෝත්සවය ඔස්සේ යහපත් දෙයක් ඉදිරි පරපුරට තිළිණ කරන්නට අපිට් හැකිවේවි. මගේ එකම බලාපොරොත්තුවත් එයයි.
