Home » පයිලට් කෙනෙක් වෙන්න සිහින මවා කැමරාකරුවකු වූ එම්. එස්. ආනන්ද
ශ්‍යාමා ආනන්ද පිය ගුණ සමරයි

පයිලට් කෙනෙක් වෙන්න සිහින මවා කැමරාකරුවකු වූ එම්. එස්. ආනන්ද

by sachintha
August 28, 2025 1:03 am 0 comment

‘ අපෙ තාත්තාට සිනමාවෙන් තොර වූ ජීවිතයක් තිබුණේම නැහැ. ඒ තරම් අපෙ තාත්තා අපේ හෙළ සිනමාවට ආදරය කළා. ඒ නිසාම තාත්තා අදටත් මේ රටේ සිනමාලෝලී හැම හදවතකම ජීවත් වෙනවා..”

මෙවර සරසවියෙන් ඔබ හමුවට එන සොඳුරු කතා නායකයාණෝ සැබැවින්ම සිනමා රස මතකයෙන් බැහැරව ගොස් නොමැති ප්‍රකට සිනමාකරුවෙකි..හයහතර තේරුම් ගියදා පටන් ඔහුගේ සිනමා කැමරාවටම පෙම්බැඳී හෙතෙම පසුකලෙකදී ඒ තුළින් සිනමාවේ ඉහළම තැනකට පැමිණේ යැයි කිසිවකු හෝ නොසිතන්නට ඇත.. කුඩාවියෙහි සිටම සිත පැළපදියම් වූ සිහිනයට ජීවය දෙන්නට තරම් සමතකු වූයේය..

හෙළ සිනමාවට අපේ ආදරණිය කතා නායකයා ලැබදුන් මහඟු දායකත්වය පිළිබඳ කතාබහ කරනු රිසියෙන් අප ගොඩවැදුනේ ඔහුගේ දියණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණියක වන ජනකාන්ත රංගන ශිල්පිනී ශ්‍යාමා ආනන්ද මහත්මියගේ සොඳුරු නිවහනටය..

කාටත් හුරුපුරුදු නිහතමානී පැවතුමින් යුතු ඕ තොමෝ අප පිළිගනු ලැබුවෙි ‘ අපෙ තාත්තාව තවමත් මතක තියෙන සරසවිය අගය කරනවා යැයි කීයේ මුවපුරා නැඟුණු ආදරණිය සිනහවකිනි.

මේ අපේ සොඳුරු කලකරුවා හෙළ සිනමා සිරිතෙහි සම්මානිත කැමරා ශිල්පියකු, අධ්‍යක්ෂකවරයකු ලෙසින්ද නම් දැරූ එම්..ඇස්. ආනන්ද හෙවත් එම්. එම්. ඒ. එන්. එම් එස් ආනන්දයන්ය. පසුකලෙකදී වඩාත් ප්‍රකට ව හුන් එම්. එස් ආනන්දයන් පාසල් අධ්‍යාපනය පිණිස පාසල් කිහිපයකටම ගිය බව අපට කීයේ ආදරණිය ලොකු දුව ශ්‍යාමා ආනන්දය.

‘අපේ තාත්තා මුලින්ම ගිහින් තියෙන්නෙ මරදානෙ සහිරා විද්‍යාලයට. පස්සෙ එතැනින් මාරිස්ටෙලා විද්‍යාලයට, වගේම මහනුවර කුරුණෑගල පළාත්වලත් පාසල්වලට ගිහින් තියෙනවා..”

ශ්‍යාමා කියන්නීය.

කෑගල්ලේ උපත ලද ඔහුගේ පියාණන් රජයේ සේවකයකු වූ අතර රැකියාවේ ස්වභාවය අනුව ස්ථාන මාරුවීම් ලැබීමෙන් ඔහුටද සිදුවූයේ වරින්වර පාසල් මාරු කරන්නටය.

1933ක්වූ අප්‍රේල් මස 22 වන දා මෙලොව එළිය දුටු අපේ කතා නායකයා සොහොයුරියන් දෙදෙනකුගේ සහ සොහොයුරන් තිදෙනකු අතර තෙවැන්නාය.

‘ අපෙ තාත්තාට මුලින්ම ආසාව තිබිල තියෙන්නෙ නම් පයිලට් කෙනෙක් වෙන්න. ඉතින් ඒ රස්සාවට යනවානම් දෙමවුපියන්ගේ හෝ භාරකරුවාගේ අත්සන අත්‍යවශ්‍යමයි කියල තිබුණලු.. ඒකට අපෙ සීයා..අපෙ තාත්තාගෙ තාත්තා කිසිම කැමැත්තක් තිබිලාම නැතිලු. ඒ හින්දා ඒ අවසරය තාත්තාට ලැබිල නැහැ. ඉන්පස්සේ තාත්තාගෙ හිතේ තිබුණු කැමරා හීනයට පෙරැත්ත කරල තියෙන්නෙ. පයිලට් සිහිනය එහෙමම අතහැරිලා තියෙනවා.

” හරි..එහෙනම් මට කැමරාකරණය ඉගෙන ගන්න මට ඉන්දියාවට යන්න උදවු කරන්න..” යි තම පුතු කළ ඉල්ලීමට සවන්දුන් තාත්තා ඊට එකහෙළාම ඇවැසි උපකාරය ලබා දුන්නේය.

අපේ කතා නායක කැමරාකරණය පිළිබඳ ඉගෙනුමට රිසියෙන් ඉන්දියාව බලා ගියේ ඒ අයුරිනි.

ආදරණිය ශ්‍යාමා දියණිය හිඳසිටි අසුනේ තවත් හරිබරි ගැහෙමින් යමක් කියන්නට සැරසෙයි.

” අපෙ තාත්තා ඉන්දියාවට ගිහින් අවුරුදු පහකටත් වැඩිය හිටියා. ඒ අතරේ ලංකාවටත් ඇවිදින් ගියා. පස්සෙ, සිනමා කැමරාකරණය ගැන ඉහළින්ම සමත්ව ලංකාවට ආවා..”

එකල සිලෝන් තියටර්ස් සමාගම හිමිකාර සර් ගාඩිනර් මහත්මයා එතුමාගෙ කිරුළපන පැත්තෙ තිබුණු සිලෝන් තියටර්ස් සමාගමට තාත්තාව බඳවා ගත්තා. එතැනින් තමයි තාත්ති වැඩ කටයුතු ආරම්භ කළේ..”

එම්.එස් ආනන්දයන් හාපුරා කියා ප්‍රථමවරට කැමරාව මෙහෙයවුයේ ‘ බණ්ඩා නගරයට පැමිණීම ‘ නමැති සිනමා සිත්තමෙනි. ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වූයේ ‘ සිතක මහිම ” සිනමා සිත්තමය.

මුව අයා සිනාසුණු ගමනින් ශ්‍යාමා කියන්නට වූයේ ” මට මතක හැටියට ගාමිණි ෆොන්සේකා මහත්තයා රඟපෑ ඒ චිත්‍රපටය ඔලිම්පියා සිනමාහලේ ගේට්ටුත් කඩාබිඳ දාගෙන තමයි රසිකයො ඇතුළු වෙලා තියෙන්නෙ..’

ඔහුගේ කැමරාකරණය රැගත් චිත්‍රපටවලට මෙන්ම ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ද ඉහළම ජනප්‍රියත්වයෙන් අනූන වූයේය.

ප්‍රවීණතම කැමරා ශිල්පියකු වූ එම්.එස් ආනන්දයන් තම චිත්‍රපට සඳහා දායක කරගන්නට බොහෝ නිෂ්පාදකවරුන් ඔහු සොයා ආහ.

‘ හඳපාන ‘ සිනමා සිත්තම වෙනුවෙන් හෙතෙම දීපසිඛා සම්මානයෙන් හා තවත් කිහිපයකදීම විශිෂ්ට කැමරාකරණය වෙනුවෙන් සම්මානිත වූයේය. අප සමීපයේම පසුවෙමින් තම පියාණන් පිළිබඳ අප සමඟ කතාබස් කරනා දියණිය ශ්‍යාමා ද ප්‍රධාන චරිතයට දායක කරගනිමින් හෙතෙම මුල්වරට තැනුවේ ‘ චණ්ඩි ශ්‍යාමා ” චිත්‍රපටයය..එහි ඇය රඟපෑවේ ගාමිණී ෆොන්සේකා සමගිනි. එයද ඉහළම රසික ආදරයෙන් සිරිමත් විය..

හෙළ සිනමාවේ මෙතෙක් බිහිව ඇති විශිෂ්ටතම සිනමා සිත්තම වන ‘ නිධානය ” චිත්‍රපටයේ කැමරා ශිල්පියා වූයේද ඔහුමය..වෘත්තීය කැමරා ශිල්පීන් සමග කරටකර සිය ප්‍රතිභාව විදහාලූ ඔහුගේ ප්‍රවේසම්වන්න චිත්‍රපටයේ ද්විත්ව රංගනයක යෙදුණේ මා අසුනට සමිපයේ පසුවන දියණිය ශ්‍යාමාය. සතපනහ , ගෙළු හදවත සිනමා නිර්මාණයන්ද මතකයෙන් බැහැරව නොයේ..

‘ මම පුංචිකාලෙ පටන් හිටියෙ තාත්තා කියනදේම අහගෙන. ඔය චණ්ඩි ශ්‍යාමා හදන කාලේ මම පාසල් යන කාලෙනෙ. නිතර නිතර චිත්‍රපටවලට සම්බන්ධ ගොඩක් ඈයො අපෙ ගෙදරට එනවා. යන⁣වනෙ. ඉතින් ඒව ඇහිලම මටත් සිනමාව ගැන රඟපෑම් ගැන යම් තරමකට අවබෝධයක් ලැබිලයි තිබුණෙ. ”

ශ්‍යාමා තවත් යමක් ඊට එකතුකරමින් මෙසේද කියන්නීය.

‘ ඔය චිත්‍රපට හදනවාය කියන්නෙ සල්ලි හම්බ කරන්න කරන වැඩක්නෙ. කොටින්ම ඒක බිස්නස් එකක්නෙ..කොයි කවුරුත් ට්‍රයි කරන්නෙ තම තමන්ගෙ චිත්‍රපට පෙන්වලා ආදායම අතින් ඉහළටම එන්නනෙ. බිස්නස් ගැන බැලුවාම මාත් එහෙම තමයි.’

ඕ සිනාසෙන්නීය.

අපේ කතා නායකයාගේ ආදරණිය බිරිඳ වයලට් මහත්මියය. ඇයද කෝට්ටේය. ඕ තොමෝ හැමවිටම සිය ස්වාමියාගේ එකම අත්වැල වූවාය..තම හිමි වෙහෙසෙන චිත්‍රපට කාරියකදී ඕ රෑ දාවල් නොබලා ඔහු සමීපයේම සිට වෙහෙසෙන්නීය..තමන්ට හැඟෙන දේ කියා හිමි දැනුම්වත් කරන්නීය..එහෙත් ඇය කිසිම විටෙක සිනමා කැමරාවක් ඉදිරියේ පෙනී සිටීම තරයේම ප්‍රතික්ෂේප කරන්නීය.

‘ ඔව් ඒක ඇත්ත. මොකද්දෝ එක චිත්‍රපටයකදි පැත්තකට වෙලා ඉඳගෙන හිටිය අපෙ අම්මාවත් කැමරාවට වැටිලා..ඒක දැකපු ගමන් අපෙ අම්මා එකහෙළාම විරුද්ධ වෙලා…ඇයි මාව ගත්තේ කිය කියා කලබල කළා..පස්සෙ ඒ රූප රාමුව අපෙ තාත්තා එහෙමම ඉවත් කරල දැමුවා. ඒ අපෙ අම්මාගෙ හැටි තමයි.’

එකල පිහිටි නන්දන සිනමාහල අපේ කතා නායකයාගේය. ඒ නාවල ප්‍රදේශයේය. ඒ අසලම පිහිටියේ ක්‍රීඩා පිටියකි. එහි ඔහුද ඇයද ක්‍රීඩා තරඟ නැරඹීමට පැමිණ යති. එදවසකදී ඔවුනොවුන් දැනහඳුනාගත් අතර දෙදෙනා ප්‍රේමණීය විවාහයකට අස්සන තැබුවේ 1958 දී පමණය.

‘ මට තේරෙන දා ඉඳන් අපෙ තාත්තා වැඩ..වැඩ..වැඩ…චිත්‍රපට වැඩවලමයි රැඳීල හිටියෙ. තාත්තාට වෙන ලෝකයක් තිබුණේම නැහැ..අම්මා මා ගැනයි මගෙ එකම නංගි කාන්ති ගැනයි උපරිමයෙන් සොයා බැලුවා. ඉගෙනුමට ටියුෂන් පන්තිවලට යොමු කරවූවා. ඒ වුණත් තාත්තාත් අප ගැන අවධානයෙන් හිටියේ..”

ආනන්ද පවුලෙන් බිහිවූ චිත්‍රපට නිෂ්පාදනයන් පහකි.

” ඔව්..හෝම් ප්‍රොඩක්ෂන්. චණ්ඩි ශ්‍යාමා, හලෝ ශ්‍යාමා, ප්‍රවේශම්වෙන්න, ඇතුල්වීම තහනම්, මං බය නැහැ ශ්‍යාමා ‘ මට වයස අවුරුදු විස්සක් වෙද්දි රටේ ජනප්‍රිය ම නිළියක විදිහට ඉහළම ජනප්‍රියත්වයක් ලබන්න පින්කර තිබුණා වගේම සම්මාන වලින් පවා සම්පූර්ණ වී උන්නෙ. මේ අහන්නකෝ…පස්සෙ..පස්සෙ වෙනත් නිෂ්පාදක අධ්‍යක්ෂකවරුන් තාත්තාගෙන් එයාලගෙ චිත්‍රපටවලට මාව ඉල්ලුවා. තාත්තා අකැමැති බව නොකියා. නෑ..නෑ..දැන් දුව රඟපාන්නෙ නැහැ..එයා විවාහ වෙන්න සුදානමින් ඉන්නෙ කියලා කියල තියෙනවා.”

තම පියාණන් වගකීම් තම ඉහටම අරන් කටයුතු කරන්නකු බවද පැවසූ ශ්‍යාමා වැඩකටයුතු වලදී රැයක් දවාලක් කියා බැලුවේ නැති බවද ඔහු චිත්‍රපට තිහකට අධික සංඛ්‍යාවක කටයුතු කළ බවද කියන්නීය.

අපේ ආදරණිය එම්.එස් ආනන්දයන් තදින්ම දුම්වැටියට පෙම් බැන්දේය.

විවේක ලද දිනවලදී හේ වහා දිවයන්නේ එන්.සී.සී එකට පිහිනන්නටය .එහි විවිධ උසස් වෘත්තීන්හි නිරත බොහෝ ඇත්තන්ද පැමිණ ව්‍යායාමවල යෙදෙති. ඒ අතර අපේ කතා නායකයාද වෙයි. ඔව්හු කුලුපග මිතුරෝය.

” අපෙ තාත්තා එන්.සී.සී එකේදි හමුවුණ යහලුවන්ගෙ අවවාද පිළි අරන් වයස තිස්පහේදි දුම්පානය නවත්තලා තියෙනවා..’

‘ අපේ තාත්තා ගැන තවමත් මතක් වෙනවා. අපට තාත්තා වගේම ළඟම හිටපු අම්මාවත් මතක් වෙනවා..අපෙ තාත්තාට ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කළා..කා ගැනවත් අපෙ තාත්තා දොසක් කියන්නෙ නැහැ.. හැමෝම එක්ක හරිම සුහදයි.මිත්‍රශීලියි. ‘

අපේ සොඳුරු කතා නායකයාණෝ…එම්.එස් ආනන්දයන් රෝගාතුර වූයේය. වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යයේ තවත් කලක් යම් සුවයකින් පසුවූයේය. ඔහුට හිතැති වෛද්‍යවරුන් ඔහු වෙත පැමිණ සොයා බැලුහ..

එහෙත්…එදා 2016 වසරේ හැඬුම්බර දිනෙක තමන්ට පෙමැති සියල්ලන් අතැර දා එම්.එස් ආනන්දයන් නොඑනා ගමන් යන්නටම ගියේය…

ප්‍රේමනීය ඔහු බිරිඳ වයලට් ඔහු නොමැති අඩුව සපුරාලන්නට වෙහෙසෙමින් තවත් වසර කිහිපයක් සුජීවත්ව පසුවෙමින් 2025 ක්වූ මේ වසරේ මීට මාස කිහිපයකට පෙරාතුව අවසන් නින්දට වැටුණේය..

‘ අපෙ තාත්තා තවමත් හැමෝගෙම හිත්වල ජීවත් වෙනවා…ඒක මට විස්වාසයි..’

සරසවිය පුවත්පතටත් කර්තෘතුමාටත් මටත් මුව නොසෑහෙනසේ ස්තුතිවන්ත වූ අපේ ආදරණිය ශ්‍යාමා ආනන්ද මහත්මිය.. ඇයගෙන් අප සමුගත් මොහොතේදී කීයේ ඒ ටිකය.

අමල් යශෝමන් ජයසිංහ
[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT