Home » නිළි රැජන මාලිනි ෆොන්සේකා මෙහෙයවීමමා ලද භාග්‍යයක්

නිළි රැජන මාලිනි ෆොන්සේකා මෙහෙයවීමමා ලද භාග්‍යයක්

ආයු අධ්‍යක්ෂ චත්‍ර වීරමන්

by mavan
October 23, 2025 1:06 pm 0 comment

මේ දිනවල තිරගත වන ‘ ආයු චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වනුයේ චත්‍රය. ඔහු සිනමාවට ප්‍රවිෂ්ට වනුයේ 2017 වර්ෂයේ ‘ ආලෝකෝ උදපාදී‘ චිත්‍රපටය නිර්මාණය කරමිනි. ‘ ආයු යනු

ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණයයි. බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මේ දිනවල තිරගත වන ‘ආයු‘ චිත්‍රපටය ගැනත් සිනමාව ගැනත් කතා බහකට පසුගියදා අප චත්‍ර විරමන් කැදවා ගත්තෙමු.

ආයු ඔබේ දෙවැනි සිනමා නිර්මාණය. ඒ සඳහා පසුබිම සැකසෙන්නේ කොහොමද?

ආයු නිර්මාණය කරන්න කලින් මම සිනමාවට පිවිසෙන්නේ ‘ ආලෝකෝ උදපාදි‘ චිත්‍රපටය නිර්මාණය කිරීමෙන්. ඒ චිත්‍රපටය තිරගත වුණාට පස්සේ ඊළඟට මොකක්ද කරන්නේ කියලා හිත හිත ඉන්නකොට තමයි මට ආයු කතාව ලැබෙන්නේ. ඇත්තටම මේ අදහස අරගෙන එන්නේ මගේ තාත්තා සමන් වීරමන්.

ආයු චිත්‍රපටයේ කතාව ඔබේ පියාගේ ද?

කතාව කියලා කිව්වට මේ සිනමා නිර්මාණයට පාදක වෙන්නේ කතා කිහිපයක එකතුවක්. චිත්‍රපටයක් කරන්න ඕන කියන අදහස තාත්තා අරගෙන එනවා. මේ කතා කිහිපය ඇතුළත තිබෙන මිනිස් සම්බන්ධකම් , මනෝවිද්‍යාත්මක පැත්ත, ගැටීම් , පරිත්‍යාගය වෙනස් විදියේ ආදර කතාවක් පිළිබඳ හිතනකොට මට හිතුණා මේ කතා ඇතුළේ මට ලොකු අභියෝගයක් තියෙනවා සහ එය වෙනස් විදියේ කතාවක් වෙයි කියලා. එතනින් එහාට මට තිබුණේ මේක සිනමා කාව්‍යයක් විදියට වර්ධනය කරන එකයි. ඒකට මාත් එක්ක සම්බන්ධ වෙනවා මගේ මිත්‍රයා ශක්ති විරසිංහ .

තිර රචනය කරන්න ඔබ විසින්ද ?

මම විතරක් නොවෙයි මම සහ ශක්ති විසින් තමයි මෙහි තිර රචනය සිදුකරන්නේ. මේ කාලය ඇතුළත තමයි මේ චිත්‍රපටයේ ආකෘතිමය වශයෙන් සිදුවෙන වෙනස් කම් අපි සිදු කරන්නේ.

මේ චිත්‍රපටය නරඹන විට අපි දුටු විශේෂ ලක්ෂණයක් තමයි එහි ආකෘතිමය වශයෙන් දැකපු වෙනස්කම්. මේ සිනමා භාෂාව ඔබ හඳුනා ගන්නේ කොහෙන්ද?

මම උසස්පෙළ හදාරන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ. ඉන්පසුව මම උපාධිය හදාරන්න මැලේසියාව බලා පිටත් වෙනවා. මම එහෙදි ඉගෙන ගත්තේ සිනමාව සහ සජිවිකරණය. ඒ අතරිනුත් විශේෂයෙන් කළේ ඇනිමේෂන්. මම ලංකාවට ඇවිත් කරන්න බලාපොරොත්තු වුණෙත් ඇනිමේෂන්. නමුත් ඉතින් ලංකාවට ඇවිත් මම සිනමාකරණය පැත්තට තමයි නැඹුරු වුණේ.

මේ ආභාෂය ඔබට ලැබෙන්න ඇත්තෙ ඔබේ පියාත් සිනමාකරුවෙක් වූ නිසාවෙන් වෙන්න ඇති?

ඇත්තටම ඔව්. පුංචිකාලේ ඉඳලම අපේ නිවසේ නිතර දකින්න ලැබුණේ සිනමාකරුවන්. අපි පුංචිකාලේ ඉඳන්ම තාත්තා අපිව සිනමා ශාලා වලට රැගෙන ගියා. තාත්තා කලා කටයුතු කරන කොට අපිත් ඒවාට සම්බන්ධ වුණා. පොඩිකාලේ පටන්ම ඒනිසා මේ ක්ෂේත්‍රය පිළිබඳ ඇල්මක් ඉබේම ඇතිවෙන්න ඇති. තාත්තා ඒකාලේ ‘මානසවිල‘ නිෂ්පාදනය කරන කාලේ ඒ රෙකෝඩින් වලට පවා මම ගියා මට තවමත් මතකයි. ඊට පස්සේ පොඩි පොඩි ටෙලිනාට්‍ය වැඩ වලටත් මම සම්බන්ධ වුණා. එතනින් එහාට අපේ අයියගේ ආභාසය තමයි මට බොහෝ දුරට බලපාන්න ඇත්තේ කියලා මම හිතනවා. එයා නිතරම සම්භාව්‍ය ගණයේ සිනමා නිර්මාණ , සාහිත්‍ය නිර්මාණ වගේම සීත නිර්මාණත් නිතරම පරිහරණය කරන්න පටන් ගත්තා. ඔහුගේ ආභාසයෙන් මගේ හිත තුළත් මේ නිර්මාන කෙරෙහි කිසියම් ආසාවක් ඇතිවුණා. මම ආස කරපු ගමන යන්න මේ මාවත් දෙකම මට එක තැනකින් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. කලාත්මක බව ජනප්‍රියත්වය කියන කාරණා සන්සන්දනාත්මකව විග්‍රහ කරමින් ඉගෙන ගන්න සහ නිර්මාණ පරිහරණය කරන්න මට අවස්ථාව හිමිවුණා.

ආයු ඇතුළෙ ඔබ ගොඩනගන මේ මානවීය ගුණාංගයෙන් යුතු කතාව සහ චරිත ගොඩනඟන්න ඔබ සංවේදි වුණේ කොහොමද?

මම ගොඩාක් නිරික්ෂණය කරන කෙනෙක්. මගේ විෂය වන ඇනිමේෂන් ඇතුළත් අපි බොහෝ දුරට සලකා බලන්නේ නිරික්ෂණය තමයි වැදගත් වෙන්නේ කියලා. මම කොහේ ගියත් ඒ නිරීක්ෂණය මගෙන් ගිලිහිලා යන්නේ නෑ. මම කොහේ හරි පාටිඑකකට ගියත් පැත්තකට වෙලා මිනිස්සු දිහා බලා ඉන්න පුරුද්දක් මට තිබෙනවා. මම හරි කැමතියි මිනිස්සුන්ගේ තිබෙන විවිධ ලේයර්ස් හඳුනා ගන්න. කෙනෙකුගේ එළියෙන් පේන දෙයට වඩා ඇතුළතින් පේන දේ ගැන අධ්‍යයන කරන්න මගේ කැමැත්තක් තිබෙනවා. සමහර චිත්‍රපට ඇතුළෙත් මම දැකලා තිබෙනවා නිර්මාණකරුවෝ කොහොමද ඒ චරිත ඇතුළේ තිබෙන අභ්‍යන්තර හැගීම් එළියට ගන්නේ කියලා. අන්න ඒ වගේ දේවල් මම වැඩිපුර අධ්‍යයනය කළා. මේවත් එක්ක තමයි ‘ආයු‘ චිත්‍රපටයේ චරිත ගොඩනඟන්නේ . මෙහි ප්‍රධාන චරිතය වන ‘ විශ්මි‘ කියන්නේ කාන්තා චරිතයක්. අනෙක් පිරිමි චරිත ගත්තත් ඒවා එකිනෙකට වෙනස් ලක්ෂණ පෙන්නුම් කරන චරිත. මේ චරිත සියල්ලම එකිනෙකට වෙනස් ආකාරයකින් යුතුයි කියලා තමයි මම හිත්නනේ.

ඔබ ඔබේ ප්‍රධාන නිළි චරිතය සඳහා රැගෙන එන්නේ සිනමාවට ආධුනික නිළි පෞරුෂයක්. ඒ බය නැති කම ඇතිවුණේ කොහොමද?

ඒක තීන්දු වෙන්නේ ඇයත් සමඟ මට තිබුණ ගනුදෙනුවත් එක්ක. ඇය සිනමාවට ආධුනික නිළියක් වුණාට ඇයට මේ ක්ෂේත්‍රය පිළිබඳ වෙනත් අත්දැකීම් රාශියක් තිබුණා. ඇය මුලින්ම සම්බන්ධ වෙන්නේ ඉංග්‍රිසි වේදිකනාවට අනිත් පැත්තෙන් ඇය දැන්වීම් කලාව ඇතුළත විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඇති කෙනක්. මේ සියල්ලත් සමඟ ඇය නියෝජනය කළ සමාජයත් මේ චරිතයට බොහෝම ළඟ බවක් මම දැක්කා. මේ චිත්‍රපටය පටන් ගන්නෙම නාගරික පරිසරයක. අපිට මේ චරිත දකින්න වෙන්නේ ඒ පරිසරය තුළින්මයි. ඒනිසා සැන්ඩ්‍රා ඒ සමාජය නියෝජනය කරන කෙනක් විදියට ඒ චරිතය කරන්න හොඳටම ගැළපුණා කියලා මම විශ්වාස කරනවා.

ඔබට බයක් හිතුණෙ නැද්ද ඇයව යොදා ගන්න?

කෙහෛත්ම නෑ. ඇයත් සමඟ සාකච්ඡා කරනවිට මට දැනුණා ඇය තමයි මේ චරිතයට සුදුසුම කෙනා කියලා. ඇගේ සාමාන්‍ය හැසීම් රටාවම මේ චරිතයට ප්‍රමාණවත් කියලා මට හිතුණා. නමුත් රංගනයේදි සැන්ඩ්‍රා ඊට වඩා යමක් මේ චරිතය වෙනුවෙන් දුන්නා. අපේ සාකච්ඡාවලදි මට දැනුණ අනිත් කාරණය තමයි ඇය ඉතාමත් බුද්ධිමත් රංගන ශිල්පිනියෙක් කියන කාරණාව. අපේ සාකච්ඡාව ඇතුළේ මේ චරිතය වටා ගොඩනැගෙන ස්තර ටික ඇයට හඳුනා ගන්නට හැකි බුද්ධිමත් බවක් තියෙනවා කියන එක මට දැනුණා. මම මොකක්ද මේ චරිතය හරහා කියන්න හදන්නේ කියන එක ඇයට හොඳීන් තේරුම් ගොස් තිබුණා. ඒ නිසා මට මේ කාර්යය ඇය ලවා කර ගැනම වඩාත් පහසු වුණා.

චිත්‍රපටය නැරඹිමෙන් පසු බොහෝ දෙනෙක් කියපු කාරණය තමයි ඔබ නළුවරණය යන්න මැනවින් සිදුකර තිබුණා කියන එක ඒ පිළිබඳ ඔබේ අදහස් මොනවාද?

ඇත්තටම මේ චිත්‍රපටයේ තිර පිටපත ලියත්දිම තමයි ජගත් මනුවර්ණගේ රූපකාය බිච් බෝයි ගේ චරිතය වෙනුවෙන් අපේ හිතේ මැවෙන්නේ. ඒ වගේම තමයි අශාන් ඩයස් ගේ චරිතයත් පිටපත රචනා කරත්දිම මනසේ මැවුණු චරිත. ප්‍රියන්ත සිරිකුමාරගේ චරිතය ගත්තම ඔහුට විවිධ අයුරින් වෙනස් කරන්න පුළුවන් නළුවෙක් හැටියට තමයි මම හඳුනාගෙන තිබෙන්නේ. ඔහු රහස් කියන කඳු චිත්‍රපටයේ රඟපාන දැඩි බවත් , මේ චිත්‍රපටයේ රඟපාන අයුරුත් හාත්පසින්ම වෙනස් . මට හිතුණා එයා මේ චරිතයට උපරිම සාධාරණත්වය ඉෂ්ට කරයි කියලා.

නිළි රැජින මාලිනි ෆොන්සේකා මැතිනිය අභාවප්‍රාප්ත වීමට කලින් අවසන් වශයෙන් කළ චිත්‍රපට කිහිපයෙන් එකක් මේ චිත්‍රපටයත්. ඇයත් සමඟ අධ්‍යක්ෂවරයෙකු විදියට ඔබ ලත් අත්දැකීම් මොනවාද?

ඇත්තටම මට ලොකු ඕනකමක් තිබුණා මගේ නිර්මාණයකට ඇයව සම්බන්ධ කර ගැනීමට. ඒ අනුව තමයි මවගේ චරිතයට ඇයව තෝරා ගත්තේ. ඇයව අධ්‍යක්ෂණය කරන්න ලැබීම මට ලැබුණු විශාල භාග්‍යයක් හැටියට සලකනවා. ඇය කවදාවත් ආධුනිකයෙක් එක්ක වැඩ කරනවාය යන හැගීම කොයිම මොහොතකවත් අපට පෙන්නුවේ නෑ. ඇය ඉන්නකොට මුළු සෙට් එකටම ලොකු ආලෝකයක් ලැබුණා. ඈ හරිම ප්‍රබෝධයකින් අපිත් එක්ක වැඩ කළා. අධ්‍යක්ෂවරයෙකු විදියට මට හිතෙනව මගේ ජිවිතේ එය එක්තරා අන්දමක සන්ධිස්ථානයක් වුණා කියලා.

සිනමාවේ ඔබේ මාවත මොකක්ද කියලා අපි ඇහුවොත් ඔබේ පිළිතුර කුමක්ද?

මම හැමවෙලේම බලන්නේ සිනමාත්මක අත්දීමක් ලබා දෙන්න. සිනමාව ඇතුළේ ප්‍රේක්ෂකයාට මට ලබාදිය හැකි අත්දැකීම කවරේද යන්න. ඒ සඳහා වන ශානරය කුමක්ද මම ඒක ඇතුළේ ඉන්නවා. එකම විදියක නිර්මාණ කරන්න මගේ කැමැත්තතක් නෑ. සමහරු විට මගේ මීළඟ නිර්මාණය විද්‍යා ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්. මම හැමවෙලේම මේ හැම කාරණයක්ම දිහා බලන්නේ සිනමාත්මක භාෂාවක් තුළ ඉඳගෙන.

ආයු වලින් පස්සේ ඔබේ දිශානතිය කොයිබටද?

විවිධ ගණයේ පිටපත් තිබෙනවා. හරිම එක හරිම වෙලාවට සිද්ද වෙයි කියලා මම හිතෙනවා. ආයු චිත්‍රපටය වුණත් ටික කාලයක් වෙනවා අපි නිර්මාණය කරලා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මගේ පාසල් මිතුරෙකු වන යසස් රත්නායක සමඟ ඔහුගේ පියා වන දයා රත්නායක විසින්. ඔවුන් මේ චිත්‍රපටයට මුදල් ආයෝජනය කරලා සැහෙන කාලයක් බලාගෙන හිටියා චිත්‍රපටය නිදහස් කරන්න. මේ වෙලාවේ ඔවුනට විශේෂ ස්තුතියක් පිරිනමන්න ඕන ඒ වෙනුවෙන්.

 

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT