කිරි දුන්නේ දරුවන්ටයි සිරුරින් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුණේ බලයෙනි ඈගේ
මේ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
ලංකාවේ ගීත ඉතිහාසයේ අමතක නොවන ගීතයක් විදිහට මේ ගීතය ඉතිහාස ගතවෙනවා. ගායනය කළේ මෙරට ප්‍රකට ගායකයකු ව සිටි කලකට ඉහත අපි අතරින් වෙන් වූ ප්‍රවීණ ගායන ශිල්පීන් නිහාල් නෙල්සන් විසිනි. ඒ යුගයේ මේ ගීතය නිසාම ගව මස් කෑමෙන් වැළකුණ පිරිස් බොහෝ විය. ගීතයේ රචනා කරන ලද්දේ නිහාල් නෙල්සන් ගායන ශිල්පියාගේ අති ජාත මිත්‍රයෙකු වූ එවකට ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු හා නිවේදකයෙකු වූ සරත් මුණසිංහ විසිනි.
පසු කලෙක එනම් සුනාමි ව්‍යසනයෙන් පසු සරත් මුණසිංහයන් මීගහවෙල සුමන ශාන්ත නමින් පැවිදි දිවියට එක් වූයේය. ඉන් අනතුරුව ගායන ශිල්පීන් නිහාල් නෙල්සන් සහ මීගහවෙල සුමන ශාන්ත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුගත අභයදාන සංගමය පිහිටුවා ගැනුණේ, මරණයට කැප වූ ගවයන්ට අභය දානය දෙනු පිණිස සහ ඉන් තවත් බොහෝ සමාජ සත්කාරක සිදු කරනු පිණිසය. මින් වසර විස්සකට ඉහතදී පිහිටුවා ගන්නා ලද මෙම සංගමය මගින් ගවයින් සිය ගණනකට අධික සංඛ්‍යාවකට අභය දානය ලබාදුන් අතර, දුෂ්කර ප්‍රදේශයන්හි දූ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා නංවාලීමට ආධාර උපකාරද අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම මෙන්ම කලා ක්ෂේත්‍රයේ විවිධ හැකියාවන් දක්ෂතාවයන් ප්‍රකට කළ කලාකරුවන් වෙත ඇගැයීම් සම්මාන ප්‍රදානය කිරීම්ද සිදු කරන ලදී. පුරා වසර ගණනාවක් අති සාර්ථක අන්දමින් වසරක් පාසා මෙම පුණ්‍ය මහෝත්සවය නිහාල් නෙල්සන් කලාකරුවාණන් හා පූජ්‍ය මීගහවෙල සුමන ශාන්ත හිමියන් විසින් සිදු කරගෙන ආහ. මේ සඳහා අනුග්‍රාහක දායකත්වය පිරිනැමුණේ දේශමාන්‍ය වසන්ත නානායක්කාර සහ චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂ සුනිල් අරුණ වීරසිරිගෙනි.
එහෙත් කොවිඩ් ව්‍යසනයෙන් රට වෙලාගත් සමයේ පූජ්‍ය මීගහවෙල සුමන ශාන්ත හිමියන් අපවත් වීමත්, ප්‍රවීණ ගායන ශිල්පීන් නිහාල් නෙල්සන් අප අතරින් සමුගැනීමත්, සමගම මෙකී සත්කාරයන් සහ අභයදානය සංගමයේ ක්‍රියාකාරිත්වය අඩපණව ගියේය.
පසුගියදාට යෙදුණ සුමන ශාන්ත හිමියන්ගේ ජන්ම සමරුවත් නිහාල් නෙල්සන් කලාකරුවාගේ සමරුවත් සිහිපත් කරමින් මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළ දේශමාන්‍ය වසන්ත නානායක්කාර හා සුනිල් අරුණ වීරසිරිගේ මැදිහත්වීමෙන් නැවත වතාවක් මෙම සත්කාරයන් ආරම්භ කෙරිණ. වර්තමානයේ නිහාල් නෙල්සන් කලාකරුවාගේ ආදරණීය පුත් තරංග නෙල්සන් මේ වෙනුවෙන් මැදිහත්ව කටයුතු කරන අතර පූජ්‍ය මීගහවෙල සුමන ශාන්ත හිමියන්ගේ ගිහිකල දියණියද සිය පියාගේ උරුමය රැගෙන යන්නට මේ සඳහා එක්වී සිටී.
නැවත ආරම්භ කෙරුණු මෙම සමාජ සත්කාරයන් මෙවර පැවැත්වූයේ අලුත්ගම දර්ගා නගරයේ දුෂ්කර පාසලක් වූ ආද්‍රාඩාගල කනිෂ්ඨ විද්‍යාලයේ දූ දරුවන්ට පාසල් උපකරණ ඇඳුම් පැලඳුම් පරිත්‍යාග කිරීමෙනි. අති උත්කර්ෂවත් අයුරින් සිදු කරන ලද මෙම උත්සවය නැටුම් ගැයුම් වැයුම් වලින් සුසැදි ප්‍රසංගාත්මක අවස්ථාවක් ලෙසින් පවත්වුණු. ආඳාගල කනිෂ්ඨ විද්‍යාලයේ දූ දරුවන්ගේ දක්ෂතාවලින් සමන්විත වූ ප්‍රසංගය තුළ මෙරට ප්‍රකට කලාකරුවෝ රැසක් ද ගීත ගායනයෙන් එක්වූහ. විශේෂයෙන්ම මෙහිදී නිහාල් නෙල්සන් පුතු තරංග එපා එපා මස් කන්නට කිරි අම්මාගේ ගීතය ගායනා කරමින් සමස්ත සභා ගර්භයම අතිශය සංවේදී මුහුණුවරකට ළඟා කළේය. එදින ප්‍රධාන ආරාධිත අමුත්තන් අතර සිටි ප්‍රවීණ ගායනවේදී රෝහණ සිරිවර්ධනයන් සිය ප්‍රේමනීය හඬ පෞරුෂයෙන් සියල්ලෝම ප්‍රමුදිත කරවූයේය. ප්‍රවීණ නිවේදක ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ විසින් සභාව මෙහෙයවන ලද අතර දේශමාන්‍ය වසන්ත නානායක්කාර යුවළ, සුනිල් අරුණ වීරසිරි, ලක්දාස් ප්‍රනාන්දු, දොන්ගයි, චන්දු ඉඹුලාන, වසන්ති සෙනරත් රංගනය ශිල්පිනී දමයන්ති වීරවර්ධන ඇතුළු පිරිසක් ආරාධි සමුත්තන් වශයෙන් සහභාගි වූහ.
දර්ගා නගරයේ ආඳාගල කණිෂ්ඨ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය වූ රේණුකා මහා විතාන ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සංවිධානත්වයෙන් මෙම උලෙළ පැවැත්විණ. ඉදිරි වර්ෂයන්හිදී ද මෙම උලෙළ තවත් විවිධාංග එක් කරමින් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙසින් සහ නිහාල් නෙල්සන් කලාකරුවාණන් සහ පූජ්‍ය මීගහවෙල සුමන ශාන්ත හිමියන් රැගෙන ආකාරයන් ඉදිරියටත් මීට වඩා විචිත්‍රවත් අන්දමින් සිදු කරන්නට ඇප කැප වන බව නිහාල් නෙල්සන් කලාකරුවාණන් වෙනුවෙන් ඔහුගේ පුත් තරංග නෙල්සන් පොරොන්දු විය. එසේම මේ සඳහා පූර්ණ අනුග්‍රාහක දායකත්වය සඳහා වසන්ත නානායක්කාර සහ සුනිල් අරුණ වීරසිරිද ඉදිරි වසරේදී මෙම උලෙළ තවත් අලංකාරවත්ව පවත්වන බවට මෙහිදී සඳහන් කෙරිණ.


හේමාලි විජේරත්න
ඡායාරූප – ලක්දාස් ප්‍රනාන්දු
