නිර්මලාට ඕන වෙන්නේ තමන්ගේ ආදරවන්තයත් එක්ක සාමකාමී ආදරණීය පවුල් ජීවිතයක් ගෙනියන්න. දෙදෙනා විවාහ වෙලා නගරයේ තට්ටු නිවාසයක පදිංචියට එන්නේ අනාගතය පිළිබඳ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන. කොයි තරම් ආදරය කරලා විවාහ වුණත් එක වහලක් යට ජීවත් වෙන විට තමයි නොගැළපීම් පිළිබඳ ගැටුම් පිළිබඳ දැනෙන්නේ. නිර්මලාටත් විවාහ ජීවිතය තුළ දැනෙන වේදනාකාරී අත්දැකීම් ගැටුම් එක්තරා වෙලාවකදී උහුලගන්න බැරිවෙන තත්ත්වයකට එනවා. නිර්මලාගේ තීන්දුව වෙන්නේ සියල්ල අතහැරලා නැවත මවුපියන් ගාවට යන එක. ඒත් ඒක එතනින් කෙළවර වෙන්නේ නෑ. ආදරය විවාහය එහෙම ක්ෂණික තීන්දු තීරණ වලින් වෙනස් වෙන්නේ නෑ. ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න නම් මේ දිනවල තිරගත වෙන ශමීර නාඔටුන්නගේ වයිෆ් චිත්‍රපටය බලන්නම වෙනවා.
නිර්මලා අපට හමුවන්නේ වයිෆ් චිත්‍රපටයෙන්. ඇයට ජීවය දෙන්නේ සිනමා තිරයට අලුත් මුහුණක් නොවෙයි. මෙරට සිනමා ක්ෂේත්‍රයේ සිය දක්ෂතාවයන් හැකියාවන් විවිධ සිනමාපටවලින් රැගෙන ආ ඇය උදාරි වර්ණකුලසූරිය. මෙවර අපේ කතාබහට එක් වූයේ නිර්මලාට ජීවයදෙන ඇයයි.
උදාරි අපිට මේ දිනවල හමුවන්නේ නිර්මලා ලෙසින්. නිර්මලාව ඔයා දකින්නේ කොහොමද?
ඇත්තටම නිර්මලාගේ චරිතය මම හුඟාක් සතුටින් බාරගත්ත එකක්. මට හිතෙනවා ඒක මගේ රංගන දිවියේ මට ලැබුණු තවත් සුවිශේෂී අවස්ථාවක් කියලා. මම මේ චරිතය හරහා බොහෝ දෙනෙක් නියෝජනය කරනවා කියලා මට හිතෙනවා. නිර්මලා වගේ බිරින්දෑවරු, පෙම්වතියෝ, දියණිවරු, කාන්තාවෝ වර්තමාන සමාජයේ ඕන තරම් ඉන්නවා. නිර්මලාට වගේම ඔවුන්ටත් ජීවිතයේ විවිධ අවස්ථාවල මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ඒ අවස්ථාවන්වල ඔවුනුත් නිර්මලා වගේම කේන්ති ගනීවි, නිර්මලා වගේම රණ්ඩු කරාවි, දුක් වේවි, අඬාවි, දොඩාවි, වැලපේවි. සමහර විට නිර්මලා වගේම ගෙදරින් යන්නත් යාවි. ඉතින් මට හිතෙනවා නිර්මලා හරහා මම මේ නියෝජනය කරන්නේ මේ රටේ ජීවත්වන සමස්ත පෙම්වතියෝ, බිරින්දෑවරු කියලයි. අපි හැමෝගෙම පවුල් ජීවිත ගත්තම සර්ව සම්පූර්ණ පවුල් ජීවිත අපි හැමෝටම ඇති කියලා මම විශ්වාස කරන්නේ නෑ. පවුල් ජීවිතයක් තුළ ලුණු ඇඹුල් දෙකම තියෙනවා.
නිර්මලා කියන්නෙත් බිරිඳක්. උදාරි කියන්නෙත් බිරිඳක්. බිරිඳ කියන සංකල්පය මෙතනදී මතු කරන්නේ කොහොමද? ඔබටත් ඒ ගැන සමීප අත්දැකීම් ඇති.
ඇත්තටම විවාහ ජීවිතයකදී හැමෝටම පොදු ප්‍රශ්න තිබෙනවා. අපි කොයි තරම් ගැළපෙනව කිව්වත් ජීවත් වෙනකොට තමයි දැනෙන්නේ අපි අතර කොයි තරම් නොගැළපීම් තිබෙනවද කියල, ඉතින් මට හිතෙනවා උදාරිගේ සමහර ගති පැවතුම්, චරිත ලක්ෂණ නිර්මලා තුළත්, නිර්මලාගේ චරිත ලක්ෂණ උදාරි තුළත් තිබෙනවා කියලා. මේ කතාවේ සමහර තැන්වලදී නිර්මලා ඉවසපු ඉවසිල්ල උදාරි ඉවසන්නේ නෑ කියලත් මට හිතුණා. කොහොම වුණත් බිරිඳක් වශයෙන් මම මගේ පෞද්ගලික ජීවිතයේ ලද අත්දැකීම්, හැසිරීම් රටා, හැඟීම් සියල්ල මේ චිත්‍රපටයේ නිර්මාලාගේ චරිතය තාත්විකව ඉදිරිපත් කරන්න මට බොහෝ සෙයින් උපකාරී වුණා කියලා මට විශ්වාසයි.
නිර්මලා ඔබට ලැබෙන්නේ කොහොමද?
මට මේ චිත්‍රපටයට ආරාධනා කරන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වුණු ශමීර නාඔටුන්නමයි. මම මීට කලින් ඔහුත් එක්ක වැඩ කරලා තිබුණේ නැති වුණාට ඔහුගේ නිර්මාණ කාර්යයන් ගැන දැනගෙන හිටියා. ඔහු මීට ප්‍රථම නිර්මාණය කළ ‘මෝටර් බයිසිකල්’ සහ ‘සිහින නෙළුම් මල්’ කියන චිත්‍රපට දෙකම මම නරඹලා තිබුණා. අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔහුගේ සිනමා භාවිතයට මගේ හිතේ ලොකු කැමැත්තක් තිබුණා. ඒ කැමැත්ත පැහැදීම නිසා ඔහුගේ මේ ආරාධනය නොපැකිළව පිළිගන්න මට සිද්ධ වුණා. චිත්‍රපටයේ තිර පිටපත බැලුවම තවත් ඒ සඳහා ආශක්ත වෙන්න හේතු කාරණා මට තිබුණා. මේ තිර පිටපත ඇතුලේ නිර්මලාගේ චරිතයට කරන්න බොහෝ දේවල් තිබුණා. රංගනයෙන් කිසියම් උච්ච අවස්ථාවකට නිර්මලාව රැගෙන යාමේ පාර මේ තිර පිටපත තුළ තිබුණා. ඒ නිසා කිසිදු පැකිළීමකින් තොරව මම මේ චිත්‍රපටය බාරගත්තා.
මෙවරත් ඔබේ පාට්නර් වෙන්නේ හේමාල් රණසිංහ. හේමාල් – උදාරි සුසංයෝගය නැවතත් සිංහල සිනමාවට වයිෆ් හරහා රැගෙන එනවා. කොහොමද ඔහුගෙන් ලැබුණ සහයෝගය?
හේමාල් සමඟින් මින් ඉහතත් කිහිප වතාවක් මම රංගනයේ යෙදිලා තිබෙනවා මම හිතන්නේ මේ අපි දෙන්නා එකට රඟපාන හතරවෙනි චිත්‍රපටය. මුලින්ම මම ඔහුත් එක්ක රඟපාන්නේ ආදරණීය කතාවක් චිත්‍රපටයේ. ඉන්පසු මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘ක්ෂීර සාගරය කැලඹිණ’ සහ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘දේවී කුසුමාසන’. මේ හැම නිර්මාණයකදීම ඔහු විසින් ලබා දෙන දායකත්වය අති විශිෂ්ටයි. පෙර නිර්මාණ වලදී හමුවෙලා ඇතිවෙලා තිබෙන සුහදත්වය නිසාම අපට මේ නිර්මාණය සාර්ථකත්වය කරා ගෙන ඒමට පහසුවක් වුණා. මේ නිර්මාණයේදී අපි දෙන්නා අඹුසැමියන් ලෙස රඟපාන්නේ. ඒ නිසා ඒ සුහදත්වය මාධව සහ නිර්මලා කියන චරිත ද්විත්වය ගොඩ නගන්න පහසු වුණා. හේමාල් දර්ශන තලයේදී ඉතාමත්ම දක්ෂ වෘත්තීය රංගන ශිල්පියෙක්. හැම විටම චරිතය තුළම ජීවත් වෙනවා. ඒ නිසා ඔහුගේ ප්‍රතිචාර මගේ චරිතය ගොඩ නගන්නත් අඩු වැඩි වශයෙන් බලපෑවා.
නිර්මලාගේ චරිතය උදාරිට කිසියම් වටිනාකමක් ලබලා දුන්නා කියලා ඔබට හිතෙනවාද?
අනිවාර්යයෙන්ම විශාල වටිනාකමක් ලබල දුන්නා. මේ චිත්‍රපටයේ ප්‍රධාන වෙන්නේ මගේ චරිතය. ඒ චරිතය වටා මට රඟපාන්න විශාල දෙයක් තිබුණා. බිරිඳක් විදිහට පවුල් ප්‍රශ්න ගැටලු එද්දි හැසිරෙන ආකාරයේ විවිධ අවස්ථාවල විවිධ වුණා මට හිතෙනවා චිත්‍රපටය තුළ නිර්මලාගේ චරිතය කැපී පෙනෙනවා කියලා. ඒ වගේම මගේ පැත්තෙන් මම ඒ වෙනුවෙන් උපරිම සාධාරණත්වය ඉටු කළා කියලා මට හිතෙනවා. අපි චිත්‍රපට කණ්ඩායමක් විදිහට හරිම ආදරණීයව එකමුතුව කටයුතු කළා. කොළඹ අවට තමයි අපිට රූගත කිරීම් සිදු කළේ.
ඔබ පසුගිය දිනවල දෙමළ චිත්‍රපටයකට සම්බන්ධ වුණා නේද?
ඔව්. පසුගියදා එහි මුහුරත් උලෙළ යාපනයේදී පැවැත්වූවා මාර්තු මාසයේදී එහි රූගත කිරීම් ආරම්භ වීමට නියමිතයි මේ චිත්‍රපටයේ රූගත කිරීම් රටවල් හතරක කිරීමට නියමිතයි. ලී මුරලි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මේ චිත්‍රපටය මගේ රංගන ජීවිතයේ තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි කියලා මට හිතෙනවා. මේක මම රඟපාන පළමු දෙමළ චිත්‍රපටය මට රඟපාන්න තිබෙන්නේ අනුක්‍රමික අපරාධකාරියකුගේ (ඵඥපඪචත ඬඪතතඥප) චරිතයක්. දෙමළ භාෂාවෙන් තමයි කෙරෙන්නේ. අධ්‍යක්ෂවරයාට පමණයි යම් තරමින් හෝ සිංහල කතා කරන්න පුළුවන්. මට සහායිකාවක් විදිහට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් දීලා ඉන්නවා. ලංකාව, ඉන්දියාව, නේපාලය, මැලේසියාව යන රටවල් වල මේ චිත්‍රපටය රූගත කරනවා.
ඉදිරියේදී එන්න තිබෙන චිත්‍රපට මොනවාද?
ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ‘’එකගෙයි සොකරි’ චිත්‍රපටය තිබෙනවා. ඒ වගේම ජැක්සන් ඇන්තනී මහත්මයාගේ දේවි සම්බුලා චිත්‍රපටයත්, ‘සම්බුලා’ ඉංග්‍රීසි චිත්‍රපටයත් එන්න තිබෙනවා. හේමාලි විජේරත්න
