Home » නව සිනමා සංස්කෘතියක ආරම්භය උඩරට පාරිසරික කෙටි චිත්‍රපට තරගය සහ චිත්‍රපට උලෙළ

නව සිනමා සංස්කෘතියක ආරම්භය උඩරට පාරිසරික කෙටි චිත්‍රපට තරගය සහ චිත්‍රපට උලෙළ

by mavan
March 12, 2026 10:42 am 0 comment

පසුගිය පෙබරවාරි 6, 7 සහ 8 යන තෙදින පුරා මහනුවර නගරයේ නිමාව දුටු “උඩරට පාරිසරික කෙටි චිත්‍රපට තරඟය සහ චිත්‍රපට උලෙළ” උනUp country film competition and film festival 2025 මෑතභාගයේ පැවැත් වූ කෙටි චිත්‍රපට සිනමා උලෙළවල් අතරින් ඉතා වැදගත් සිනමා උලෙළකි. මෙම අපූරු කරතව්‍යය සංවිධානය කර තිබුණේ පරිසරය තේමාව කොටගනිමින් මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශය සහ ජාතික චිත්‍රපට සංස්ථාව හා ඒකාබද්ධව ය. මෙම කෙටි චිත්‍රපට තරඟාවලියට සමගාමීව “තෙලිතුඩෙන් පාරිසරික සිනමාව දකිමු” යන මැයෙන් පාරිසරික චිත්‍රපට පෝස්ටර් තරඟයක්ද පැවැත්විණ. 2025 වසරේ මාර්තු මස ආරම්භ කරන ලද මෙම සිනමා ව්‍යාපෘතියේ චිත්‍රපට ප්‍රදර්ශනය සහ ජයග්‍රාහි චිත්‍රපට සහ චිත්‍ර වෙනුවෙන් සම්මාන සහ සහතිකපත් පිරිනැමීම පසුගිය පෙබරවාරි 06 වැනිදා මහනුවර KCC සිනමා සංකීර්ණයේ දී උත්සවශශ්‍රීයෙන් පැවැත්විණි.

මෙම සිනමා උලෙළෙහි අවසන් වටය සඳහා නිර්දේශ වූ චිත්‍රපට වන්නේ ජීවන් කොස්වත්තගේ “බණ්ඩාර වරිගය”, ගයාන් ප්‍රනාන්දුගේ “The Paper Tree”, කේ.ඩී සමීරගේ “Birds Thoughts”, මලින්ද රසුන් සේනානායකගේ “කොළ”, ක්‍රිෂාන්ත මිල්රෝයිගේ  “Small Act” යන කෙටි චිත්‍රපට සහ ජේ.ඒ රොෂාන් පෙරේරාගේ  “Heart Of paradise”, චාමිකර බණ්ඩාරගේ “Hidden Secret of udawaththakale”, මෙහෙසුරු පෙරේරාගේ “වෙනස් මනසක් සොබා දහමක්” යන වාර්තා චිත්‍රපට වේ. එහිදි හොඳම කෙටි චිත්‍රපටය හිමි සමිමානය දිනා ගත්තේ මලින්ද රසුන් විසින් අධ්‍යක්ෂණය කළ “කොළ’’ නමැති කෙටි චිත්‍රපටයයි. අනෙකුත් සිනමා නිර්මාණ සඳහා ජුරියේ විශේෂ සම්මාන සහ සහතිකපත්‍ර හිමි විය. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන සරත් ධර්මසිරි, මොහාන් නියාස්, අජිත් පී. ධර්මසූරිය, ප්‍රවීණ චිත්‍රපට විචාරක තුසිත ජයසුන්දර මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යා⁣ලයේ ලලිත කලා අධ්‍යනාංශයේ මහාචාර්ය සුදර්ශන බණ්ඩාර මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් සහ විනිශ්චය කටුයුතුවලින් චිත්‍රපට තෝරා ගනු ලැබීය.

චිත්‍රපට උලෙළ සමාප්තිය දුටුවේ සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කරන ලද “ගැහැනු ළමයි’’ චිත්‍රපටය පිළිබඳ සංවාදය සහ චිත්‍රපට ප්‍රදර්ශනය සමඟිනි. ඊට දෙසුම් සඳහා පූජ්‍ය ඇතිපොළ මංගල හිමි, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මොහාන් නියාස්, ප්‍රවීණ චිත්‍රපට විචාරක තුසිත ජයසුන්දර, චිත්‍රපට අධ්‍යක්ෂ අජිත් පී. ධර්මසූරිය සහ මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චමින්ද අබේරත්න සම්බන්ධ විය.

මෙවැනි සම්මාන උලෙළක වැදගත්කම සහ සිනමා ප්‍රචාරණ විධියක් ලෙස කඩදාසිය හෝ කැන්වසයක අඳීන ලද පුවරු සිතුවම්, පෝස්ටර වැදගත් වේ. කොළඹින් පරිබාහිරව මහනුවර වැනි සංස්කෘතික සහ ආගමික අවකාශයක සිනමා සංස්කෘතියක් බිහි කිරීම අනාගත පරපුර සඳහා විපුල ඵල නෙළා ගන්නට තෝතැන්නක් විවර කර දෙන්නකි. කෙටි චිත්‍රපටකරණය සහ වාර්තා චිත්‍රපටකරණය සම්බන්ධයෙන් වැඩමුළුවක්  (Workshop) ගිය වසරේ ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවැත්වූයේ සිනමාකරණය සහ පරිසරය පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායාත්මක අවබෝධයක් ලබා දීම සඳහායි.

සිනමාව සම්බන්ධයෙන් නූතන තරුණ පරපුර සඳහා මෘදු කුසලතාවයක් ලෙස පෝස්ටර් ඇඳීම, පරිසරය පිළිබඳ රූප රචනය පෙරදැරිව හැකියාවන් වර්ධනය කිරීම මෙම තරගාවලිය සහ උලෙළෙහි ප්‍රධාන විය. එමෙන්ම මෙම වැඩසටහන් පෙළ හරහා මූලික වශයෙන් අරමුණු වන්නේ පාරිසරික චිත්‍රපට හා වාර්තා චිත්‍රපට නිර්මාණකරුවන් දිරිගැන්වීම උදෙසා සහ නවක සිනමා නිර්මාණකරුවන් පාරිසරික සිනමාකරණයට එකතු කර ගැනීමයි. තප්පර ගණනක කෙටි චිත්‍රපටයක් හරහා ලබා දෙන පාරිසරික දැනුම අන් ක්‍රමවේදයන්ට වඩා වැඩි ප්‍රතිඵලදායක කරතව්‍යයක් බවයි මෙම උලෙළ සංවිධානය කරන මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චමින්ද අබේරත්නගේ අදහස වන්නේ. ලංකේය කතානාද සිනමාවට වසර 79ක් සපිරෙන මොහොතක මෙවැනි සිනමා උලෙළක් වසර පාසා පවත්වන්නට හැකි වීම ලාංකේය සිනමාවේ උන්නතිය උදෙසා කරන කදිම ව්‍යායාමයක් බව සඳහන් කළ යුතුමය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT