Home » නවක කලාශිල්පීන්ට දිරියක් වීම අපේ අරමුණයි

නවක කලාශිල්පීන්ට දිරියක් වීම අපේ අරමුණයි

රන්ධීර් සිසිර විතානගේ රෑන ක්‍රියේෂන්ස් නිර්මාතෘ සහ සභාපති

by mavan
January 8, 2026 11:34 am 0 comment

අද වන විට ලංකාව තුළ පැවැත්වෙන සම්මාන උලෙළ ගණන දිනෙන් දින වැඩි වෙමින් පවතී. එයින් පිළිගත් සම්මාන උලෙළ මෙන්ම විවිධ ආයතන සහ සංවිධාන මඟින් කරනු ලබන සම්මාන උලෙළ ලෙස වර්ග කළ හැකිය. මෙම ජනවාරි 17 වන දින විශේෂ සම්මාන උලෙළක් පැවැත්වීමට කලාව වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් සූදානමින් සිටී. ඒ පිළිබඳ දැනුම් දීමට එම සංවිධානයේ නිර්මාතෘ මෙන්ම එහි සභාපති සරසවිය සමඟ මෙසේ කතාබහට එක්වූයේය.

මම රන්ධීර් සිසිර විතානගේ. පදිංචිය කුලියාපිටියේ. කලාව සම්බන්ධව වැඩ කටයුතු පටන් ගෙන දැනට අවුරුදු දහයක් පමණ වෙනවා. ඒ අතරේ රැකියාවකත් නිරත වෙනවා. මම කලා ලෝකය ඇතුළේ ගැවසෙන්න ප්‍රිය කරන කෙනෙක්. ඒ නිසාම තමයි මෙවැනි සංවිධානයක් පිහිටුවා ගත්තේ. එය ආරම්භ කළේ 2019 ජනවාරි 29 වෙනිදා. නම් කළේ රෑන ක්‍රියේෂන්ස් නමින්. කුලියාපිටිය ප්‍රාදේශීය කාර්යාලය හරහා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ සංවිධානයක්. රෑන ක්‍රියේෂන්ස් ආරම්භ කරන්න මගේ මිතුරන් තුන් දෙනෙකු වන දිලන් දුරුතු,සුගත් පතිරණ සහ විනෝත් සම්බන්ධ වුණා. ඔවුන් සෑම වෙලාවෙම මාව දිරිමත් කළා. මේ සංවිධානය පිහිටුවා ගන්න. මේ සංවිධානය පිහිටුවා ගන්න ප්‍රධාන අරමුණක් තියෙනවා. නවකයන්ට ක්ෂේත්‍රයට එන්න අමාරුයි. මට තේරුම් ගියා මේ කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින්න කොතරම් අමාරුද කියලා. දක්ෂතාවය තියෙන නවකයන් ඉන්නවා. ඒත් ඔවුන්ට අත්වැලක් සපයන්න කවුරුවත් නැහැ. දක්ෂ වුවත් ඇගයීමක් නැහැ. ක්ෂේත්‍රයේ රැඳී සිටින්නට වෙහෙසක් දැරිය යුතුයි. කැපවීමෙන් වැඩ කළ යුතුයි. ඉතින් ඒ අයට ශක්තියක් වෙන, දිරිමත් කරන විදිහේ වැඩ පිළිවෙළක් යොදන්න මම තීරණය කළා. ඒ අනුව 17 වෙනිදා තිබෙන සම්මාන උලෙළ මඟින් නවක කලා ශිල්පීන් ඇඟයීමකට ලක් කරනවා. අපට අවශ්‍ය දක්ෂතාවය තිබෙන තරුණ පිරිසට ඉදිරියට යාමට ඉඩහසර ලබාදීම.

අපි මේ සම්මාන උලෙළ පවත්වන්නේ තුන්වන වතාවට. මුලින්ම පැවැත්වූයේ 2020 දී. කොවිඩ් වසංගතය නිසා අවුරුදු කිහිපයක් මඟ හැරී ගියා. එහෙත් මාර්ගස්ථ ක්‍රමය යටතේ විනිශ්චය කර සම්මාන ලබා දුන්නා. ඒත් රංගනය ට විතරයි සම්මාන ලබා දුන්නේ.

2024 වසරේ අපි මෙම සම්මාන උලෙළ පුළුල් කරන්න සැලසුම් කළා. නර්තනය, ගායනය, රංගනය,පිටපත් රචනය, හඬ කැවීම් , නිවේදන, කෙටි චිත්‍රපට යන අංශ ගණනාවක් යටතේ සම්මාන ලබා දෙන්න තීරණය වී තිබෙනවා. අපි මුලින්ම සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කරනවා. ඉන්පසු තමන් නිරතවන අංශයට අදාළව ඉල්ලුම් කරන්න අවස්ථාව ලබා දුන්නා. මේ අයව තෝරා ගන්න විශේෂ විනිශ්චය මණ්ඩලයක් ඉන්නාවා. චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ශාන් ජයරත්න, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ප්‍රගීත් මාලින්ද, අධ්‍යක්ෂ චාමර රාජපක්ෂ, සංගීත ආචාර්ය ගයා ක්‍රිෂාණි, තිරපිටපත් රචක රොනල්ඩ් දසනායක, රංගන ශිල්පී රුක්මන් තිලකරත්න, රංගන ශිල්පී මෙනුක ප්‍රේමරත්න, හඬ කැවීම් සහ නර්තන ශිල්පිනි දිලිනි චේතනා, රංගන ශිල්පිනි සහ හඬ කැවීම් ශිල්පිනි නයනා රඹුක්කනගේ, නිවේදන ශිල්පි සහන් මාධව සහ රෑන ක්‍රියේෂන්ස් කලා අංශ ප්‍රධානීන්. මේ අය තමයි විනිශ්චය මණ්ඩලයේ ඉන්නේ. අයදුම්පත් එවන ශිල්පීන් තෝරාගන්නේ ඉහත සඳහන් විනිශ්චය මණ්ඩලය මඟින්. අයදුම් පත් එවන ශිල්පීන් ඔවුන්ගේ දක්ෂතා ඇතුළත් වීඩියෝ පටයක් අප වෙත එවිය යුතුයි. පිටපත් රචනාත් අප වෙත එවිය යුතුයි. විනිශ්චය දීමෙන් පසු පස්දෙනෙකු තෝරා ගන්නවා. එයින් පසු එම ශිල්පින් පස්දෙනා ප්‍රවීණයන් යටතට යොමු කිරීමෙන් පසු අවසානයේ සම්මාන ලාභියා තෝරා ගන්නවා.

මේ දිනවල අපි සම්මාන උලෙළ සඳහා වෙහෙස මහන්සි වෙනවා. අපට ශ්‍රම දායකත්වය උපරිමයෙන් ලැබෙනවා. මේ වැඩ කටයුතු වලට මූල්‍ය දායකත්වය ලබා ගැනීම තමයි අපහසු වුණේ. ඩිජිටල් අංශයේ වැඩකටයුතු වලට අපට අනුග්‍රාහකභවතෙකු හමුවුණා. අපි නිතර රැස්වීම් තියමින් මෙම උලෙළ සාර්ථක කරගැනීමට වෙහෙසෙනවා. සම්මාන උලෙළ සඳහා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලින් හොඳ සහයක් ලැබුණා.

ඉදිරියේදී රෑන ක්‍රියේෂන්ස් මඟින් සම්මාන උලෙළ පමණක් නෙවෙයි නවක ශිල්පීන් සඳහා වැඩමුළු පවත්වන්නට සූදානමක් තියෙනවා. රංගනයේ යෙදෙන්නේ කෙසේද, හඬ පවත්වාගනු ලබන්නේ කෙසේද , කැමරාවට මුහුණ දෙන්නේ කෙසේද කියන කාරණා ගැන මනා පුහුණුවක් ලබා දෙන්න අපි සූදානම්. අපේ රෑන ක්‍රියේෂන්ස් ඔස්සේ කලා ක්ෂේත්‍රයට ආ නවකයන් බොහෝමයක් ඉන්නවා. සංජනා දෙව්මිණී කියන්නේ රෑන ක්‍රියේෂන්ස් වලින් ඉදිරියට ආ රංගන ශිල්පිනියක්. රෑන ක්‍රියේෂන්ස් ඔස්සේ රංගන ක්ෂේත්‍රයට පිවිසි ළාබාලතම ශිල්පිනිය ඇයයි. සංජානා දැන් ටෙලි නාට්‍ය නිළියක්. ඒ වගේම දෘශ්‍යාබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කරවීම සඳහා ඕඩියෝ ක්ලිප් එකක් හඳුන්වා දෙන්නත් රෑන ක්‍රියේෂන්ස් කටයුතු යොදා යොදා තියෙනවා. රෑන ක්‍රියේෂන්ස් වෙනුවෙන් මට උදව් උපකාර කරන සියලුම දෙනාට ස්තූතියි. රෑන ක්‍රියේෂන්ස් හැමදාම නවක ශිල්පීන්ට අත්වැලක් වෙනවා. එයට හොඳම සාක්කිය මෙම මස 17 වෙනිදා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන රෑන ක්‍රියේෂන්ස් සම්මාන උලෙළ.

සේයාරූ – දුෂ්මන්ත මායාදුන්න

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT