Home » නන්දනී නිකම්ම නිකං පැතලි චරිතයක් නෙවෙයි

නන්දනී නිකම්ම නිකං පැතලි චරිතයක් නෙවෙයි

 - රංගන ශිල්පිනී මේධා ජයරත්න

by mavan
February 12, 2026 9:21 am 0 comment

මේ දිනවල විකාශය වන බැද්ද අද්දර ටෙලි නාට්‍යයේ නන්දනීගේ චරිතය පිළිබඳ කා අතරත් ඇත්තේ උනන්දුවක්. මේ චරිතය නිරූපණය කරනු ලබන මේධා ජයරත්න රංගන ශිල්පිනියගෙන් වුණත් මින් ඉහත මෙවන් චරිතාංග රංගනයක් දක්නට නොලැබුණු බවයි අපේ හැඟීම ඇයද සැබැවින්ම මේධා නොව නන්දනී වී ඇති බවයි මින් හැඟී යන්නේ. මේ කතාබහ නිසාම පසුගියදා අපේ කතාබහ සඳහා අප කැඳවා ගත්තේ බැද්ද අද්දර නන්දනී හෙවත් මේධා ජයරත්නය.

අපි නන්දනීට ලැබෙන ප්‍රතිචාරවලින්ම කතාව අරඹමු නේද?

ඒක තමයි. නන්දනී ගැන නම් කියලා වැඩක් නෑ. මේ දිනවල පුදුම තරමේ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. කොටින්ම කිව්වොත් මට පාරක බැහැලා යන්න බැරි විදිහට තමයි කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. මේ චරිතයට විවිධ ගණයේ අයගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වගේම ක්ෂේත්‍රයේ රැඳී සිටින බොහෝ ප්‍රවීණයින්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

නන්දනීගේ චරිතය ඔබ හඳුනා ගත්තේ කොහොමද?

ඇත්තටම කිව්වොත් මේ චරිතේ මම කළේ හරි බයකින්. මේක මගේ රංගන ජීවිතයට ලැබුණු ලොකු අභියෝගාත්මක චරිතයක්. මේ චරිතයේ සිප ගන්නා දර්ශන ආදියත් තිබෙනවා මේ වගේ සීන්ස් තිබෙන චරිතයක් මම මීට කලින් කවදාවත් කරලා තිබුණෙත් නෑ. නමුත් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වුණු බුද්ධික ලොකුකැටිය අයියා මට කතා කරද්දිම කිව්වා මේ චරිතයට මේ වගේ දර්ශන ටිකකුත් තිබෙනවා කියලා. හැබැයි තිර පිටපත අරගෙන කියවල බැලුවට පස්සේ මට මේ චරිතය අත හරින්න හරි ලෝභ හිතුණා. තිර පිටපත් රචක සමන්ත කුමාර ගමගේ අයියා පුදුම ලස්සනට මේ කතාව ලියලා තිබුණා. ඒ හින්දා බයෙන් බයෙන් වුවත් මේ චරිතය කරන්න බාරගත්තා. බයෙන් බාරගත්තත් දැන් ලැබෙන ප්‍රතිචාර දිහා බලනකොට මට සතුටුයි කවුරුත් මේ වනතෙක් නරක ප්‍රතිචාර නම් දක්වලා තිබුණේ නෑ.

නන්දනීගේ චරිතය ඇතුලේ ඔබට ඔබේ රංගනය විදහා දැක්වීමේ වපසරියක් තිබෙනවා නේද?

ඔව් ඒක තමයි එකම හේතුව මේ චරිතය මම අත නොහරින්න. නන්දනී ඇතුළේ මට රඟපාන්න දේවල් ගොඩාක් තිබුණා නන්දනී කියන්නේ නිකම්ම නිකන් පැතලි චරිතයක් නොවෙයි. මට හිතෙනවා වෙලාවකට අපි හැමෝම ඇතුලේ අඩු වැඩි වශයෙන් නන්දනීගේ චරිත ලක්ෂණ තිබෙනවා කියලා. එයා හරිම දුර්වල කෙනෙක් එක පැත්තකින් දුප්පත් හුඟක් දේවල් දරාගෙන ඉවසගෙන ඉන්නවා. එයා බොහෝ දේවල් කරන්නේ තමන්ගේ මනුස්සයව ආරක්ෂා කරන්න ඒක හින්දා තමයි එයා කියන්නේ මම ගමේ ඉන්න හැම එකාටම රෙද්ද උස්සන්නේ නෑ කියලා.

ඔබ හිතුවා මේ චරිතය නිසා ඔබට හොඳට බැනුම් අහන්න වෙයි කියලා නේද?

ඔව් ඇත්තටම මම හිටියේ බයකින් මම හිතුවා මට හතර වටෙන් වට කරලා ගහයි කියල සමහරු අපිව, අපි කරන චරිතෙනුත් මනිනවානේ. නමුත් ඇත්තටම කියන්න සතුටුයි එහෙම වුණේ නෑ. හැමෝම හොඳ රංගනයක් කියලා කියනවා දැන් අපේ රටේ ප්‍රේක්ෂක රස වින්දනයත් ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා කියලා මට හිතෙනවා.

ඔබත් සමඟ එකට රඟපාන නළුවන් ගැන මොනවද හිතෙන්නෙ?

ඇත්තටම ඔවුන් මට ලොකු සහයෝගයක් ලබල දෙනවා. මේ චරිතේ මේ වගේ සීන් කරන්න තියෙනවා කියලා කිව්ව ගමන්ම මම ඇහුවේ කවුද ඒ නළුවන් කියලයි. අධ්‍යක්ෂවරයා කිව්වා නිරෝෂන් කියලා. නිරෝෂන් කියන්නේ මගේ හොඳ යාළුවෙක් ඒ නිසා මට ඔහුත් එක්ක ඕන දෙයක් කතා කරගන්න පුළුවන්. සමීරත් සමඟ තිබෙන සීන්ස් වලදී තමයි මට පොඩි චකිතයක් ඇති වුණේ. ඔහු ඉතින් පොඩි කොල්ලෙක්නේ. මට වැඩිය හුරු නෑ නමුත් ඉතින් අපි රූගත කිරීම් කරද්දී ඒකට ඇජෙස්ට් වුණා.

මෙතෙක් ඔබ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කරන චරිත අතර නන්දනී හැරවුම් ලක්ෂ්‍යයක් වේවිද?

අනිවාර්යයෙන් වේවි කියලා මම විශ්වාස කරනවා. මටම දැනෙනවා මේ රංගනයේ වෙනසක්. ඒ වගේම තමයි බොහෝ දෙනා මට දක්වන ප්‍රතිචාර වලදිත් ඒක දැනෙනවා.

මේධා ක්ෂේත්‍රයට එන්නේ නිළියක් වෙන්න බලාගෙන නෙවෙයි නේද?

අනේ නෑ එහෙම වෙන්න මට ඒ කාලේ කොහොමටවත් ඕන කමක් තිබුණේ නෑ. මම කොළඹට එන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන විෂය හදාරන ශිෂ්‍යාවක් විදිහට. විශ්ව විද්‍යාලයේ හිටපු සීනියර් අයියා කෙනෙක් වුණු උපාලි දයාවංශ තමයි මාව නාට්‍ය පැත්තට යොමු කළේ. ඊට පස්සේ මටත් ආස හිතුණා. පළවෙනි නාට්‍යය කරලා ඉන්නකොට තමයි ස්වර්ණවාහිනියට නිවේදිකාවන් ගන්නවා කියලා අයදුම් කලේ. පළවෙනි සම්මුඛ පරීක්ෂණයෙන්ම මාව තේරුණා. එහෙම තමයි මේ ගමන ආවේ..

ඔබ කොළඹට එන්නේ ඈත දුෂ්කර ගම්මානයකින් නේද?

ඔව් මගේ ගම වවුනියාව ඒ කාලේ එල්ටීටීඊ තර්ජන. ඒ නිසා අපි අනුරාධපුරයට එනවා මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. තාත්තා විදුහල්පතිවරයෙක්. තාත්තා තමයි කලාවට කැමති කෙනා. මම කලාවට එනවට තාත්තා කැමති වුණාට අම්මාගේ කැමැත්තක් තිබුණේ නෑ.

ඔබ කාලයක් ලංකාවෙන් දුරස් වෙලා හිටියා නේද?

ඔව් එංගලන්තේ ගිහින් හිටියා. ඒ කාලෙ දරුවො දෙන්නා පොඩි කොහොමත් මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු තුනකින් විතර විවාහ වුණා. ඊට පස්සේ පුතා ලැබෙන්න හිටිය නිසා රඟපෑමෙන් සමු ගත්තා. ආපහු සැරයක් ක්ෂේත්‍රයට ආවේ වසූදා ටෙලි නාට්‍ය හරහා. දැන් මට අවුරුදු විසි දෙකක පුතෙක් ඉන්නවා. දුවට අවුරුදු දොළහයි.

දරුවෝ දෙන්නා ඒ දෙන්නාගේ මාර්ගවල යනවා.

බැද්ද අද්දර රූගත කිරීම් කරන්නේ කොහෙද?

ඇත්තටම අලි ඉන්න දුෂ්කර ප්‍රදේශයක. මහවැලියෙනුත් ගොඩක් ඈතට යන්න ඕන අපි උදෙන්ම නැගිටලා මේක් අප් කරනවා. මගේ ඇඟේ හැම පෙනෙන තැනක්ම මේක් අප් කරන්න ඕන. මොකද මගේ සාමාන්‍ය ඇගේ පාටට වඩා නන්දනීගේ චරිතයේ පාට ගොඩක් අඩු කරලා තිබෙන්නේ. ඒක නිසා ඒකට ලොකු වෙලාවක් යනවා.

අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?

බුද්ධික අයියා අපිට උපරිම නිදහස දීලා තියෙන්නේ මුලින්ම අපි තේරුම් ගත්ත විදිහට චරිතය කරන්න අපට ඉඩ දෙනවා. මොනවා හරි අඩුපාඩුවක් දැක්කොත් ඔහු ඇවිදින් නිවැරදි කරනවා. ඒ නිසා අපි ඔක්කොම එක පවුලක් වගේ මේ වැඩ කටයුතු කරගෙන යනවා.

ඔබ මේ දිනවල චංචල රේඛා ටෙලි නාට්‍යයටත් දායක වෙනවා නේද?

ඔව්. චංචල රේඛා ටෙලි නාට්‍යයට අලුතින් එක්වෙන චරිතයක් විදිහට තමයි මගේ චරිතය ඇතුළත් කරලා තිබෙන්නේ.

ඔබ වේදිකාවටත් ගොඩ වැදිලා කියලා ආරංචි යි.

මම ලොකුවට වේදිකාවට සම්බන්ධ වුණු කෙනෙක් නොවෙයි අනිත් එක වේදිකාව කියන්නේ ලොකු කැප කිරීමක් කරන්න ඕන තැනක්. ඉතින් ඒ කාලේ ඒකට මට විවේකයක් තිබුණේ නෑ. නමුත් පසුගියදා සරත් දික්කුඹුර අයියගේ කෝලම්කාරයෝ වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. අපි ඔක්කොම මාර්තු 10 වැනිදා ඉතාලි ටුවර් එකකුත් යනවා.

අනාගතේ කොහොම වෙයිද?

මම එහෙම ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නොවෙයි බොහොම සරලව ජීවත් වෙනවා. මම කැමති විදිහට ඉන්න අඳීන්න පලඳීන්න ජීවිතේ විඳීන්න කැමති කෙනෙක්. මම ආස නෑ හිරවෙලා ජීවත් වෙන්න ඉතින් සතුටින් සැහැල්ලුවෙන් ඉබේ ජීවිතේ ගෙනියනවා.

 

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT