Home » දෙනෝදාහක්’ ගීතය රූගත කරද්දී මම ඇත්තටම ඇඬුවා

දෙනෝදාහක්’ ගීතය රූගත කරද්දී මම ඇත්තටම ඇඬුවා

by shanaka
November 13, 2025 1:00 am 0 comment

සුනිල් ආරියරත්නයන්ගේ ‘වජිරා’ චිත්‍රපටයට මම සම්බන්ධ වෙන්නේ මේ කාලය අතරතුරමයි. නැවත වතාවක් මට ගෝතමී, මැණික් සහ කලං අයියා සමඟ වැඩ කරන්න අවස්ථාව සැලසෙනවා වජිරා නිසා. සුනිල් ආරියරත්න මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ එවකට අතිශයින්ම ජනප්‍රිය වුණු ගුවන්විදුලි නාට්‍යයක් වුණු ‘වජිරා’ නාට්‍යය ඇසුරින්. එදා ගුවන්විදුලියට මේ නාට්‍යය රචනා කරන්නේ ප්‍රකට ගුවන්විදුලි නාට්‍ය ශිල්පී ආනන්ද සිරිසේන විසින්. ඔහුගේම පිටපතකට තමයි සුනිල් ආරියරත්නයන් විසින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. ‘වජිරා‘ චිත්‍රපටයේ ‘වජිරා‘ වෙන්නේ මම. අමරසිරි කලංසූරිය නැවත වතාවක් මගේ පෙම්වතා වෙනවා.

තාරකා එළි දිලේ (වජිරා)

තාරකා එළි දිලේ (වජිරා)

චිත්‍රපටයේ හැටියට නිමල් හා වජිරා පාසල් මිතුරන්. නිමල් මුඩුක්කු පරිසරයක දුප්පත් ජීවන රටාවකින් යුතු තරුණයෙක්. වජිරා ධනවත් පවුලක සුඛෝපභෝගි ජිවිතයක් ගෙවන තරුණියක්. මේ දෙන්නා අතර ඇතිවන සමීප සම්බන්ධතාවයට වජිරා ගේ නිවෙසින් කැමැති වෙන්නේ නෑ. ඇති නැති පරතරය තමයි මූලික වෙන්නේ. ඒ වුණාට වජිරා නිමල්ට හරිම ආදරෙයි. මේ තත්වය මත ඔවුන් දෙදෙනා දුරස් කරන්නට වජිරා ගේ අයියා මැදිහත් වෙනවා. ඔහු නිමල්ව කරෝල වාඩියකට පිටත් කර හරිනවා. වජිරාට මේ වියෝව කොහොමවත් දරාගන්න අමාරුයි. ඇය පාසල් ගමනත් නතර කරලා ගෙදරින් පැනලා යනවා. වජිරාගේ එකම බලාපොරොත්තුව වෙන්නේ නිමල්ව සොයා ගැනීම. අවසානයේ ඇගේ බාල සොහොයුරිය සමඟ එකතුවී වජිරා නිමල් ඉන්න තැන සොයාගෙන ඔහුව එතැනින් මුදා ගන්නවා.

මේ චිත්‍රපටයේදි නැවතත් මට සනත් ගුණතිලකව මුන ගැහෙනවා. ඔහු මෙහි රඟපාන්නේ මගේ අයියාගේ චරිතය. වජිරා දර්ශන තලයත් හරිම විනෝද ජනකයි. ගෝතමි, මම සනත් , මැණික්, කලං අයියා අපි ඔක්කොම හරිම සුන්දර කාල පරිච්ඡේදයක් ගෙවා දැම්මා. දැන් මකත් වෙනකොට හීනෙන් ගෑ සුවඳක් වගේ . වජිරා බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටයක් වුණේ නෑ. නමුත් යම් තරමකට ජනප්‍රිය වුණා. මම මේ චිත්‍රපටයේ වජිරා වුණාට මට හඬ දුන්නේ ගුවන් විදුලි නාට්‍යයේ වජිරාට හඬ කැවූ කුසුම් පීරිස් විසින්. ඒ කාලේ ගුවන් විදුලි ශ්‍රාවකයන්ට ඒ හඬ සමීප නිසා චිත්‍රපටයේ ජනප්‍රියත්වය වෙනුවෙන් ඔවුන් එහෙම හඬ පාවිච්චි කළා වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් විදියට බලන විට චිත්‍රපටය ඒ තරම්ම සාර්ථක වුණේ නෑ.

දෙනෝදාහක් නුවන් අතරේ

කවුරුදෝ මා තනිකළේ

තනිකළේ පාසල් බිමේ….

මට අදටත් මතක් වෙනවා මේ ගීතය රූ ගත කරපු ආකාරය. අපි ඔක්කොම හිටියේ හංවැල්ල පැත්තේ ඉස්කෝලෙක. ළමයි මේ ගීතය රූ ගත කරන ආකාරය බලාගෙන හිටියා. රූ ගත කරත්දි මමත් අඬනවා. බලාගෙන ඉන්න ළමයිනුත් අඩනවා. ඒ ගීතය අදටත් ප්‍රේක්ෂකයෝ අතරේ හරිම ජනප්‍රියයි. මේ ගීතය රචනා කළේ කුලරත්න ආරියවංශයන්. සංගීතවත් කළේ වික්ටර් රත්නායක විසින්. ගීතය ගායනා කළේ නන්දා මාලිනිය විසින්.

ඒ වගේම ආචාර්ය වික්ටර් රත්නායකයන් සමග නන්දා මාලිනිය ගායනා කරන ‘නිල්වලා පීරලා’ ගීතය මට කවදාවත් අමතක වෙන එකක් නෑ.

නිල්වලා පීරලා

ළතැවුලින් සඳ නැඟේ

තාරකා එළි දිලේ

කවුළු දොර හැර බලමි…..

කවුළු දොර හැර බලමි (වජිරා)

කවුළු දොර හැර බලමි (වජිරා)

කලං අයියාත් සමග දර්ශන ගත කරපු මේ ගීතය හරිම ප්‍රේමනීයයි. ඉතාම අලංකාර පරිසරයක් වුණු හෝර්ටන් තැන්න ආශ්‍රිතව තමයි මේ ගීතය රූ ගත වෙන්නේ මේ ගීතය විතරක් වර්ණයෙන් තමයි චිත්‍රපටයට ඇතුළත් කරලා තිබුණේ. වජිරා වෙනුවෙන් පසුබිම් හඩ මුසුකළේ විශාරද නන්දා මාලිනිය. නිමල් වෙනුවෙන් වික්ටර් රත්නායකයන් හඩ මුසු කළා.

මේ චිත්‍රපටයේ නන්දා මාලිනිය මා වෙනුවෙන් ගායනා කළ ‘දෙනෝ දාහක් නුවන් අතරේ’ ගීතයට එම වසරේ විශිෂ්ටතම චිත්‍රපට පසුබිම් ගායිකාව වශයෙන් සරසවිය සම්මානයෙන් පුද ලැබුවා. මගේ සිනමා ජීවිතේත් මට මුලින්ම ලැබුණු වසරේ හොදම නැඟී එන නිළිය සම්මානය ලැබෙන්නෙ වජිරා චිත්‍රපටයත් හේතුවුණා. ඒ සඳහා වජිරා, බැද්දේගම, සහ රිදී නිම්නය කියන එකම වසරේ තිරගත වුණු චිත්‍රපට ත්‍රිත්වයක්ම සලකා බලා තිබුණා.

එදා මේ ගීතය රූ ගන්වත්දි පාසල් ගේට්ටුවට අත් දෙක තබාගෙන කදුළු හලපු හැටි, කලං අයියාත් සමඟ පන්ති කාමරේ දර්ශන ගත කිරිම් මේ අදත් මට මැවිලා පේනවා වගේ දැන් ඒ හැම දෙයක්ම අතීතයට එකතු වෙලා ඉවරයි. කලං අයියත් අපි අතැර ගිහින් බොහෝ කාලයක් වෙනවා. එහෙත් මේ මතක තවත් පරම්පරා ගණනාවක් ඉදිරියට ගෙනියන සාක්ෂි විතරක් ඉතිරිවෙලා තිබේවි.

වජිරා හි වජිරා වුණා වගේම මම ඊළඟට රිදී නිම්නයේ ‘කුසලා’ වුණා. ඒකත් හරි අපූරු කතාවක්. කුසලා මට හිමි වෙන්නෙත් හරිම අහම්බයකින්. ඒ වෙනකොට ඩී. බි. නිහාල්සිංහයන් මාව දැකලා තිබුණේ නෑ. නමුත් මගේ අම්මත් එක්ක නිහාල් අයියගේ සමීප මිතුරු කමක් තිබුණා. නිහාල් අයියට තිබුණා එයාගේම ප්‍රඩක්ෂන් හවුස් එකක්. ඒ කාලේ මේ ප්‍රඩක්ෂන් හවුස් එක හරහා බොහෝ නිර්මාණ බිහිවුණා. වැඩිපුරම බිහිවුණේ වාර්තා චිත්‍රපට සහ වෙළෙ දැන්වීම්. මට කුසලා ලැබෙන්න කලින් මම මේ ප්‍රඩක්ෂන් හවුස් එකට යන්නේ වෙළෙ දැන්වීමක් සඳහා. නිහාල්සිංහයන් මාව දැකපු පළමු දැකීමෙන්ම තමයි තීරණය කරලා තිබුණේ ඔහුගේ රිදී නිම්නයේ කුසලා වෙන්නේ මම කියලා.

ලබන සතියේ රිදී නිම්නයේ අත්දැකීම්

 

හේමාලි විජේරත්න

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT