නිල බලය අතට ගෙන මජර දේශපාලන ව්‍යාපාරයේ නියැළෙන ඇතැම් අමනෝඥ දේශපාලනඥයන්ගේ පිළිකුල් සහගත ක්‍රියාදාමයන් වටා මෙම චිත්‍රපටයේ කතා තේමාව ගොනුවී ඇත. දකුණු පළාතේ අවිහිංසක ගැමියන් බහුලව වෙසෙන නිස්කලංක ගම්මානයක, රාජ මාලිගාවක් බඳු සුවිශාල තෙමහල් නිවසක් තුළ රජෙකු සේ වෙසෙන ධනවත් සේම නිලයෙන් බලවත් ඇමතිවරයෙකු සිටී. මුළු සමාජයම පිළිකුල් කරන දූසිත මැර දේශපාලනඥයෙකු වන ඔහු,
බලය අවියක් කරගෙන නීති විරෝධී ව්‍යාපාරයන් රැසක් පවත්වාගෙන යන්නෙකි . ඒ අතර, මත්කුඩු ව්‍යාපාරය, ගණිකා මඩම්, හොර කසිප්පු ව්‍යාපාර, සූදූ පොළවල් සහ පාතාල ක්‍රියාකාරකම් විශේෂිත වෙයි. කිසිවකු ඔහුට විරුද්ධව කටයුතු නොකිරීම, ඔහුගේ කටයුතුවලට ආශිර්වාදයක් වී ඇත. දිනක් මෙම ඇමතිවරයාගේ නිවසේ අමුතුම ආකාරයේ සැමරුම් උත්සවයකි. ඒ, ඔහු විසින් තරුණියන් සිය දෙනකුගේ හිරි ඔතප් බිඳ දැමීම වෙනුවෙන් සතුට සැමරීමේ උත්සවයයි. මෙම උත්සවයට පක්ෂයේ වෙනත් මැති ඇමතිවරු මෙන්ම ප්‍රදේශය බාර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාද ප්‍රධාන අමුත්තන් අතර සිටි. පොලිස් නිලධාරියා උසස් වීමක් බලාපොරොත්තුවෙන් ඇමතිවරයාගේ නීති විරෝධී වැඩ සඳහා උදව් උපකාර කරයි. සිනමා ශාලාවක්, ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඇතුළු වෙනත් ව්‍යාපාර පවත්වාගෙන යන ඔහු තරුණියන් රවටන්නේ ඉතාමත් සූක්ෂම අයුරිනි. තම දූවරුන් ආරක්ෂා කර ගැනීම සඳහා ගම්මු එක්තරා උපක්‍රමයක් ක්‍රියාවට නංවයි.
එම උගුලට දේශපාලනඥයා අසූවේද යනු ඕ.අයි.සී.ගඩාෆි තුළින් දැනගැනීමට හැකිවනු ඇත.
රන්ජන් රාමනායකගේ අධ්‍යක්ෂණයෙන් යුතුව තිරයට පිවිසෙන පස්වන සිනමා නිර්මාණයයි ‘ඕ.අයි. සී. ගඩාෆි’ චිත්‍රපටිය. 1990 වසරේ තිරගත වූ ‘ජය කොතනද’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සහ එහි ඇතුළත් ‘මනමාලයි අපි වගේ කොල්ලෝ’ ගීතය ගායනා කරමින් රිදී තිරයට එක් වූ ඔහු, මීගමුව මාරිස්ටෙලා විදුහලේ ඉගෙන ගන්නා අවධියේ පටන්ම රංගනයට ඇලුම් කළ චරිතයකි. ජනප්‍රිය රංගන ශිල්පී විජය කුමාරතුංගයන්ගේ ඥාති පුත්‍රයකු වූ ඔහු, පසුවදී ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගනයේ හිණි පෙත්තටම ළඟා වූවේ ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම දිනා ගනිමින් ය. විශාල චිත්‍රපට ප්‍රමාණයක විවිධ ආකාරයේ චරිත නිරූපණයෙහි නියැළුණු ඔහු, රංගනය වෙනුවෙන් සම්මාන රැසකටම හිමිකම් කීමට සමත්විය. ඔහු රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය අතර ‘භාග්‍යා’, ‘චාරුලතා’, ‘නිල් මානෙල්’, ‘පිටගංකාරයෝ’, ‘විශ්ව ගමන’, ‘සාගරය පරදා’ ‘සත්සඳ කිරණ’ වැනි නිර්මාණ රැසක්ම විය. ‘රන් සමනළ ජෝඩුව වාගේ’ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව ඔහු ගායන ශිල්පියකු ලෙසද ඉමහත් ජනප්‍රියතාවයට පත්විය. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ (2002) එම වසරේ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපටය ද විය. අනතුරුව ‘වන් ෂොට් වන්’ ( 2005), ‘ලීඩර්’ (2009), ‘ඩොක්ටර් නවරියන්’ (2017) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් තිරගත කිරීමට ඔහුට හැකියාව ලැබුණි. ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට අතරින් ‘මැවිලා පෙනේවි රූපේ හදේ’, ‘අවරගිර’, ‘දුවට මවක මිස’, ‘අයදිමි සමා’, ‘බහුභාර්යා’, ‘යකඩ පිහාටු’, ‘රෝස වසන්තේ’, ‘නිලම්බරේ’, ‘පායා එන්න හිරුසේ’ වැනි නිර්මාණ ඔහුගේ රංගන දිවියේ වෙනත් මානයන් ප්‍රේක්ෂකයා හමුවට ගෙනයාමට සමත්වූ චිත්‍රපට විය.
රංගන දායකත්වය
රන්ජන් රාමනායක, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, ගිහාන් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, ජයනි සේනානායක, කුමාර තිරිමාදුර, වසන්ත මොරගොඩ, මහින්ද පතිරගේ, සමන් හේමරත්න, දිල්රුක්ෂි වීරපෙරුම, පියුමි බොතේජු, අසංක පෙරේරා, චතුර පෙරේරා, සරත් කුලාංග, වසන්ත මොහන්දිරම්, රුක්මන් තිලකරත්න, අනිල් ජයසිංහ, රවීන්ද්‍ර ප්‍රදීප්, රංග සම්පත්
කාර්මික දායකත්වය
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – රන්ජන් රාමනායක
විධායක නිෂ්පාදනය – ලකී වීරසිංහ
රේඛීය නිෂ්පාදනය- දමින්ද ඩී .මඩවල
කැමරා අධ්‍යක්ෂණය – ධම්මික රත්නායක
සංස්කරණය – අජිත් රාමනායක
ශබ්ද සැලසුම්කරණය- සසික රුවන් මාරසිංහල
සහය අධ්‍යක්ෂණය – ප්‍රසන්න විජේසිංහ
සංගීත අධ්‍යක්ෂණය – සුදත් ජයසිංහ
පසුබිම් සංගීතය- තිවංක ඩිල්ෂාන්
කලා අධ්‍යක්ෂණය – ජනක ප්‍රසාද්
ඇඳුම් නිර්මාණය- රමේෂා ඕෂිනි
අංග රචනය – ප්‍රියන්ත දිසානායක
වර්ණ සංයෝජනය- තිස්ස සුරේන්ද්‍ර
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග – කසුන් සංජය
නිෂ්පාදන කළමනාකරණය- කේ.කේ .සී. පුෂ්පකුමාර
නර්තන නිර්මාණය -ගයාන් ශශ්‍රීමාල්, සංක අබේසිංහ, රන්ජන් රාමනායක
සටන් අධ්‍යක්ෂණය- වසන්ත කුමාරවිල
සම්බන්ධීකරණ කටයුතු – ඉරේෂ් ලක්මාල්
නිශ්චල ඡායාරූපකරණය- ධම්මික පතිරත්න
ගීත රචනය – රන්ජන් රාමනායක, ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
ගීත ගායනය – රන්ජන් රාමනායක, ශානිකා වනිගසේකර
