Home » දැනට ප්‍රවෘත්ති නිවේදිකාවක් වූ එකම හෙදිය මමයි

දැනට ප්‍රවෘත්ති නිවේදිකාවක් වූ එකම හෙදිය මමයි

නිවේදිකා - තිළිණි හෙට්ටිආරච්චි

by mavan
January 8, 2026 10:36 am 0 comment

දක්ෂතාවය සමඟ වාසනාව ගහට පොත්ත මෙන් නිරන්තරයෙන් ඈ පසුපස පැමිණියේ ඇයත් කිසිදා අපේක්ෂා නොකළ අයුරිනි. පාසලේ අට වසරේ ඉගෙනුම ලබන පුංචි දැරියකව සිටින අවධියේ පටන් ඈ සිහින මැව්වේ තමන් තුළ වූ දක්ෂතාවයෙන් කිසියම් හෝ දිනෙක මාධ්‍ය කලාවේ ඉදිරියට යාමටය. කුඩා කල පටන් ඈ සිහින මැවුවේ ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් වන්නටය. සැබැවින්ම එය යථාර්ථයක් බවට පත් වූයේ ඇයත් නොසිතූ මොහොතකය. වැඩසටහන් ඉදිරිපත් කරන්නියක, ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසින් පූරකවරියකගේ කාර්යභාරයේ අද වන විට නියැළී සිටින ඈ නමින් තිළිණි හෙට්ටිආරච්චි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෙදියක ලෙස කටයුතු කරන තිළිණි විද්‍යුත් මාධ්‍යයේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරන එකම හෙදිය වීම විශේෂත්වයකි. අපි කතා කරමු දක්ෂතාවය, වාසනාව එකට කැටි වූ දැනට මාධ්‍ය ක්ෂේත්‍රයේ රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරන එකම හෙද නිලධාරිනිය සමඟ.

මේ දවස්වල අලුත්ම තොරතුරුත් සමග අපි කතාබහ පටන් ගමු නේද?

රිජ්වේ ආර්ය ළමා රෝහලේ තත්ත්ව පාලන ඒකකයේ හෙදියක ලෙසට කටයුතු කරනවා. ඊට අමතරව ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසත් කටයුතු කරනවා. ඊට අමතරව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දිනුම් ඇදීමේ නිවේදිකාවක් ලෙසත් කටයුතු කරමින් ඉන්නවා.

තිළිණි මේ ගෙන්දගම් පොළොවේ පය ගහමින් මාධ්‍ය ක්ෂේත්‍රයට එක් වූ මල් කැකුලක් ?

නෑ. මගේ ගම ඇඹිලිපිටිය කොළඹින් බොහෝ ඈත දුෂ්කර ප්‍රදේශයක සාමාන්‍ය පවුලක පුංචි දැරියක්ව ඉපදුණ කෙනෙක් මම. මුල ඉඳලම මම පාසල් අධ්‍යාපන ලැබුවේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ.

ඔබ නිවේදන හැකියාවට දක්ෂයෙක් කියලා හඳුනා ගත්තේ කොහොමද?

මේ හැකියාව මට තියෙනවා කියලා මම මුලින්ම හඳුනාගත්තේ දහම් පාසලෙන්. ශශ්‍රී කාවන් තිස්ස රතනපාල දහම් පාසලේ 2008 වසරේ අට වසරේ ශිෂ්‍යාවක ලෙසින් අධ්‍යාපනය හදාරන අවධියේ දහම් පාසලේ මාධ්‍ය කවයක් පටන් ගත්තා. එහි මුල් සාමාජිකයන් අතරේ මමත් එක් තැනැත්තියක් මට මේ නිවේදන හැකියාව තියෙනවා කියලා මමවත් දැනගෙන හිටියේ නෑ. මගේ මේ හැකියාව මුලින්ම හඳුනා ගත්තේ එදා දහම් පාසලේ සිටිය මල්ලවාරච්ච ගුරුපියාණන්.

ඔබේ පාසල තුළත් අධ්‍යාපන කටයුතු කරන අතරේ නිවේදිකාවකගේ කාර්යභාරයට ඔබට අවස්ථා උදාවුණේ් නැද්ද?

උදා වුණා. පාසලේ මාධ්‍ය ඒකකයේ කැපී පෙනෙන චරිතයක් වෙන්න මට අවස්ථාව උදා වුණා. පාසල තුළ මාධ්‍ය ඒකකයක් කලක පටන් තිබුණත් මම ඇතුළු ශිෂ්‍ය කණ්ඩායමක් ඒ සඳහා සම්බන්ධ වීමත් සමඟ ක්‍රියාකාරීව මාධ්‍ය ඒකකය පාසල තුළ ගොඩනැඟෙන්න පටන් ගත්තා. පාසල තුළ විවිධ බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට ලැබීමත් සමඟ මගේ නිවේදන හැකියාව තව තවත් දියුණු වෙනවා. ප්‍රධාන ශිෂ්‍ය නායිකාව දක්වා මට ගමනක් යන්න හැකියාවක් ලැබෙනවා. පාසල තුළ විෂය බාහිර ක්‍රියාකාරකම් නිසාවෙන් මගේ හැකියාව තව තවත් දියුණු වුණා. පන්නරයක් ලැබුවා. පාසලේ මොනවද නිවේදනයන් පැත්තෙන් සිදුවෙන්නේ. ඒ හැම දේකටම මගේ දායකත්වයෙන් සිදු කෙරෙන තැනට නිරායාසයෙන්ම පත්වී තිබුණා.

කලා මාධ්‍ය තුළ අධ්‍යාපනයක් ලැබීමත් ඔබේ ආශාවක් තිබුණාද?

මම උසස් පෙළ කළේ ජීව විද්‍යාව අංශයෙන්. ඒ නිසාම උසස් පෙළ හදාරන අවධියේ නිවේදන කටයුතු මගෙන් දුරස් වීමත් සිද්ධ වුණා. උසස් පෙළෙන් පස්සේ මම 2018 වසරේ හෙද අධ්‍යාපන කටයුතු සඳහා රත්නපුර හෙද විද්‍යාලයට ඇතුළත් වෙනවා.

හෙද අධ්‍යාපනයට අමතර ඔබට නිවේදන කාර්්‍යයයේ කටයුතුවල නියැළෙන්නත් හෙද විද්‍යාලයේදී සිදුවෙනවාද?

හැකියාව තියෙන කෙනා ඉස්සරහට යනවා කියනවා වගේම නිවේදන හැකියාවට හෙද විද්‍යාලය තුළත් හොඳ පරිසරයක් පිළිගැනීමක් ඇති වුණා. රත්නපුර හෙද විද්‍යාලයේ මම අධ්‍යාපනය ලබන අවධියේ මගේ පන්ති භාර සිටි හෙද සොහොයුරිය නදීෂා මදුරප්පෙරුම විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි අමරසිංහ මහත්මිය දෙපළගෙනුත් මට විශේෂ සහයක් ලැබුණා මගේ නිවේදන හැකියාව වැඩිදියුණු කර කරගන්න.

හෙදියක ලෙස වෘත්තිමය ජීවිතයකට ඇතුළත් වන්නට අධ්‍යාපනය හදාරන ඔබේ හිතේ හීනයක් තිබුණද කවදා හෝ මාධ්‍ය ක්ෂේත්‍රයේ නිවේදිකාවක් වන්න.?

පාසල් කාලේ ඉඳලා මගේ හීනයක් තිබුණා මා තුළ තියෙන මේ හැකියාව යටපත් නොකර කවදා හෝ මාධ්‍යයට එනවා කියලා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු නිසාවෙන් එයින් පරිබාහිරව මාධ්‍ය කටයුතුවල නියැළෙන්න මට අවස්ථාවක් සොයා ගැනීම ගැටලුකාරී වුණා.

කුඩා අවධියේ පටන් ඔබ නිවේදිකාවක් වීමේ සිහිනය දකින හැඩයි?

ඔව්. මම පාසලේ අට වසරේ ශිෂ්‍යාවක හිඳීමින් මේ හීනය දකින්න පටන් ගත්තා. කුඩා කල පටන් මම හීන දැක්කේ ජාතික රුපවාහිනියේ නිවේදිකාවක් වන්න. දෛවයේ මොනයම් හෝ වාසනාවකට ඒ මම හිතපු හීන දැක්ක නාලිකාවේම නිවේදිකාවක් වන්න මම වාසනාවන්ත වුණා. හෙද විද්‍යාලයේ වසර තුනක අධ්‍යාපන කටයුතු අවසන් කර 2022 වසරේ රිජ්වේ ආර්යා ළමා රෝහලට පත්වීමක් ලැබුණා. හෙදියක ලෙස කටයුතු කරන්න. රාජකාරී කටයුතු අතරේ අර මම කුඩා කල පටන් දැකපු හීනය මගෙන් දුරස් වෙනව නේද කියලත් මට හිතුණා.

ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් වීමේ සිහිනය සැබෑවක් බවට පත්වන්නේ කොහොමද?

මම රිජ්වේ රෝහලට පත්වීම ලබා එන්නේ විකිරණ අංශයට 2022 වසරේ දෙසැම්බර් මස විකිරණ අංශයේ හිටපු ප්‍රධාන විකිරණ ශිල්පියා විශ්‍රාම ගියා. එතුමාගේ විශ්‍රාම ගැනීම උත්සවයේ නිවේදන කටයුතු කරන්න අහම්බෙන් මට පැවරුණා කවුරුත් ඒ සඳහා නොසිටි බැවින් මට නිවේදන කටයුතු කරන්න පුළුවන් කියන දේ මගේ ස්ටාෆ් එකේ අය කලින් දැනගෙන තිබුණා. නංගි මේ දේ කරන්න පුළුවන්ද කියල අහනකොට මම ඒ කටයුත්ත සතුටින් බාරගත්තා. මම ලොකු සූදානමක් නැතුව මගේ හැකියාව පෙන්වන කටයුත්තේ මම නියැළියා. ඔය උත්සව සභාවට ඇවිත් හිටියා වත්මන් රෝහල් තත්ත්වපාලන අංශයේ ප්‍රධානී වෛද්‍ය මහින්ද වික්‍රම ආරච්චි මහත්තයා. ඒ වන විට මම රෝහලේ වසරක පමණ කාලයක් රාජකාරී කටයුතු කරමින් හිටියත් එතුමාව මට හමුවෙලාත් නෑ. මම එතුමාව දැකලා තිබුණෙත් නෑ. අඩුම තරමින් කවුද කියලාවත් මම දැනගෙන තිබුණේ නෑ. නමුත් එතුමා කලාවටබර, සාහිත්‍යයටබර, නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වූ වෛද්‍යවරයෙක් කියලත් මම ඒ වන විට දැනගෙන තිබුණේ නෑ. එතුමන් සාමාන්‍යයෙන් හැම උත්සවයකටම සහභාගී වන කෙනෙකුත් නොවෙයි. නමුත් මගේ වාසනාවකටද කොහෙදෝ එතුමන් මේ උත්සවයට එක් වෙලා හිටියා. මගේ කාර්යය මම පුළුවන් හැටියට ඉටු කළා. උත්සවය නිමාවත් සමග එතුමා මම ළඟට ඇවිත් මට කිව්වා හොඳ ඉදිරිපත් කිරීමක් හොඳ කටහඬක් අපේ රෝහලට ආඩම්බරයක් කියලා. මගේ ඉදිරිපත් කිරීමට ප්‍රශංසා කළා ඒ වෙලාවේ මගේ හිතට දැනෙන්න ගත්තා මට සැලකිය යුතු මට්ටමකට හැකියාවක් තියෙනවා ඒකට වටිනාකමක් තියෙනවා කියලා මෙතුමාගේ ඒ අදහස් දැක්වීම සමඟ ඒ වෙලාවේ එතුමා මට කිව්වා මම 2002 වසරේ සිට ජාතික රූපවාහිනියේ වෙද නළාව කියලා වෛද්‍ය වැඩසටහනක් කරනවා. එහි වෛද්‍යවරයෙක් ලෙස පූරකගේ කර්තව්‍යයක් සම්පත් දායකත්වයත් සිද්ධ කරනවා කැමතිනම් අපිට ඔය දරුවාගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් දෙන්න පුළුවන්. කැමතිනම් අපි උත්සාහ කර බලමු කියලා මම එක පයින් හා කිව්වා. මගෙත් ආශාව තිබුණේ මේ හැකියාව නැතිවෙන්න නොදී ඉදිරියට ගෙනියන්න.

අහම්බෙන් ඔබට මුණගැහෙන වෛද්‍ය මහින්ද වික්‍රම ආරච්චි ඔබේ හීනය සැබෑවක් බවට පතකරන එකම පුද්ගලයාද?

මගේ පෙර වාසනාවකට තමයි මෙතුමාව මට අහම්බෙන් මුණගැහෙන්නේ. මම කවදාවත් හිතුවේ නෑ මෙතුමා හරහා මගේ ගමන මේ විදියට ගොඩනැගෙයි කියලා. වෛද්‍ය මහින්ද වික්‍රම ආරච්චි මහතා කියන්නේ මම දකින විදියට දක්ෂයෝ දැක්කම අහක බලාගෙන යන්නැති ඔවුන්ට අත දීලා තමන්ට වඩා ඉහළට ඔසවලා ඒ දිහා සතුටින් බලා ඉන්න කැමති අව්‍යාජ නිහතමානී පුද්ගලයෙක් හැටියට.

එවක ජාතික රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා වූ චන්ද්‍රසිරි තඹවිට මහතාට කතාකොට අපේ රෝහලේ දක්ෂ ළමයෙක් හම්බ වුණා අවස්ථාවක් දෙන්න පුළුවන්ද කියා කතා කරගෙන පහුවදාම මට දුරකථන ඇමතුමක් දුන්නා. ඇවිත් එතුමන්ව හමුවන්න කියලා මම අපේ විකිරණ අංශයේ ප්‍රධානියා සමඟ එතුමාගේ කාර්යාලට ආපුවහම මට උපදෙස් දුන්නා චන්ද්‍රසිරි තඹවිට මහතා හමුවී තිර පරීක්ෂණය සඳහා යන්න කියා. එදා ඒ තිර පරීක්ෂණය සඳහා තවත් පිරිස් ඇවිත් හිටියා. මගේ වාසනාවටද දෝ කොහෙදෝ එදා මාව ඒ තිර පරීක්ෂණයෙන් සමත් වෙනවා. එයින් පසු මම 2023 වසරේ පෙබරවාරි මස ජාතික රූපවාහිනීය හා අත්වැල් බැද ගන්නවා.

ඔබේ මුල්ම රූපවාහිනී වැඩසටහන වුණේ?

අපොස සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් කළ ජාතික පාසල ඉතිහාසය වැඩසටහන සජීවී ඉදිරිපත් කිරීමක්.

ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමේ විරල අවස්ථාව ඔබට උදාවුණේ් කොහොමද?

නිවේදිකාවක් වූ පමණින් හැම කෙනාටම ප්‍රවෘත්ති නිවේදන කටයුත්ත කරන්න ලැබෙන්නෑ. ඒ අවස්ථාවත් මට උදා වුණේ අහම්බෙන්. මුලින්ම මම තිර පරීක්ෂණයකට රූපවාහිනියට ආ අවස්ථාවේ ඔරියන්ටේෂන් එකක් මට ලැබුණා. ඒ අතර වාරයේ මට රූපවාහිනියේ ප්‍රවෘත්ති මැදිරියට යන්න ලැබුණා. ඒ ගිය විට මට කියවුණා මට ප්‍රවෘත්ති කියන ආසයි කියලා. මොකද මම පාසලේ උදේට මේ වගේ දේවල් කරලා තිබුණා. ඒ කීමට චන්ද්‍රසිරි තඹවිට මහත්තයා කිව්වා මේ දවස්වල රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදනය සඳහා තෝරගන්න අයදුම්පත් කැඳවලා තියෙනවා ඉල්ලුම් පතක් ඉදිරිපත් කරන්න කියලා. ඒ සඳහා වෙන්කර තිබූ අවසන් දිනයට තිබුණේ දවස් දෙකයි. මම එදාම අයදුම්පතක් ඉදිරිපත් කළා. මගේ ෆොටෝ එක පහුවදාට එවන පොරොන්දුව පරිදි. ඒ පරීක්ෂණයට අයදුම්පත් 2500 ක් විතර ඇවිත් තිබුණා. එයින් 1500කට පමණ පිරිසක් සම්මුඛ පරීක්ෂණයට ලංකාව පුරාවෙන් සහභාගී වී තිබුණා. ඒ අතරින් පහළොස් දෙනෙක් තෝරගත්තා. ඒ අය අතරට මාත් එක් සාමාජිකාවක් වුණා. මම ඒ වන විට මාස කීපයක් පුරා කරගෙන ආ සාමාන්‍ය පෙළ වැඩසටහනත් නතර වුණා. එතැන් පටන් මම ජාතික රූපවාහිනී සහන ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස අද දක්වාම කටයුතු කරනවා.

මේ වෙනකොට මොන වගේ වැඩසටහන් වෙනුවෙන්ද ප්‍රවෘත්ති නිවේදන කාර්ය හැරුණු විට සහභාගි වෙලා තියෙන්නේ ?

රූපවාහිනි අවුරුදු වැඩසටහන, ජාතික පාසල ඉතිහාසය වැඩසටහන ඊළඟ වසරෙත් කරන්න මට කතා කළා. නමුත් ප්‍රවෘත්ති නිවේදන කටයුත්තේ ඉන්නකොට සීමා සහිතව තමයි වෙනත් වැඩසටහන් සඳහා පෙනීසිටීම සිදු කරන්න වෙන්නේ. හැමදාම පේන කුකුළගේ වුණත් කරමල සුදට පේනවා කියලා කතාවක් තියෙනවානේ.

තිළිණි හා පුරා කියා ජාතික රූපවාහිනීයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වන ඔබේ ජීවිතයේ හැරවුම කොයි වගේ දවසකද සිද්ධ වෙන්නේ?

2023 ජූලි 12 වැනිදා දහවල් 12 නිවේදන කටයුත්තෙන් තමයි ඒ ගමන අරඹන්නේ. ජාතික රූපවාහිනී රාත්‍රී අට ප්‍රවෘත්ති නිවේදනය සඳහා ගොඩක් කාලයක් රැඳීලා ඉන්න සිද්ධ වෙනවා අවස්ථාවක් උදා වෙනකන්. නමුත් අපි පහළොස් දෙනාගේ කණ්ඩායමේ හැම කෙනෙක්ම වගේ රාත්‍රී අට ප්‍රවෘත්ති නිවේදනයට සම්බන්ධ වෙලා තියෙනවා. මුලින්ම මාස හයක් ඇතුළත අපේ කණ්ඩායමේ දෙන්නෙක් ඒ සඳහා තෝරා ගත්තා. මට ඒ අවස්ථාව වසරක් තුළ උදාවුණා. රාත්‍රී ප්‍රවෘත්ති කියන්න 2024 නොවැම්බර් 18 වෙනිදා දුෂාන්ත දර්ශන ප්‍රවෘත්ති නිවේදකයත් සමඟ තමයි මම ජාතික රූපවාහිනියේ රාත්‍රි අට ප්‍රවෘත්ති නිවේදනය මුලින්ම ඉදිරිපත් කරන්නේ.

රෝහල් ගතව සේවය කරන ඔබ ප්‍රවෘත්ති නිවේදන කාර්ය සඳහා කාලය කළමනාකරණය මොන අයුරින්ද සිද්ධ කරගන්නේ?

දහවල් දොළහ රාත්‍රී අට ප්‍රවෘත්ති විකාශනයන් තමයි මට රෝස්ටරයකට අනුව කරන්න තියෙන්නේ. රාත්‍රී අට ප්‍රවෘත්ති විකාශය සඳහා යොමුවන්න මට ප්‍රශ්නයක් නෑ. රාජකාරිවලින් පස්සේ නිසා මාසයකට නිවාඩු අටක් තියෙනවා. ඒ නිවාඩු බැලන්ස් කරගෙන දහවල් ප්‍රවෘත්ති නිවේදනය සඳහා සහභාගී වෙනවා. දැන් මම රෝහලේ තත්ත්ව පාලන ඒකකයේ වැඩ කරන්නේ ගිය වසරේ මැයි මාසයේ සිට.

රාජකාරිය කරමින් ඔබේ හැකියාවට ඉඩක් ලැබෙන්න රෝහල් කාර්ය මණ්ඩලයෙන් ඔබට මොන වගේ සහයක්ද ලැබෙන්නේ?

මෙතැනට එන ගමනේ මට රෝහලෙන් පුදුම සහයෝගයක් ලැබුණා. මේ වගේ දෙයක් කරනකොට අනිවාර්යෙන් රැකියාව කරන තැනින් සහයෝගයක් තිබිය යුතුමයි. හිටපු රෝහල් අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා, වත්මන් රෝහල් අධ්‍යක්ෂ ප්‍රදීප් විජේසිංහ මහතා, රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ සන්තුසිත සේනාපති මහතා, සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයේ වෛද්‍ය නිලධාරී අතුල විජේසුන්දර, ප්‍රධාන විශේෂ ශ්‍රේණි හෙදපාලිකා නිලධාරී අයේ්ෂා ගුණරත්න ඇතුළු සියලුම හෙදි පාලිකාවන් මට පියෙකු මවකසේ මේ දැවැන්තයන් මට සුවිශාල සහයක් ලබා දෙනවා. මගේ මේ හැකියාව යටපත් නොවී කරගෙන යන්න.

ඔබේ දක්ෂතාවය අගයමින් ඔබට පියෙකු සේ හීන සැබෑ කරගන්න මාර්ගය පෙන්නු වෛද්‍ය මහින්ද වික්‍රම ආරච්චි මහතා අද ඔබගේ අංශ ප්‍රධානි?

ඔව්. මට මේ ගමන යන්න ආශිර්වාදයක් එක්කළ වෛද්‍ය මහින්ද වික්‍රම ආරච්චි මහතා අද මගේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරනවා. අහම්බෙන් හමු වී අහඹු ලෙස මට ගමනක් යන්න පාරක් හදා දීලා. අද එතුමා විශ්‍රාම යන්නත් ආසන්නයි. එතුමා විශ්‍රාම යන්නත් කලින් මට එතුමන් සමඟ වැඩ කරන්නත් හම්බවෙනවා. ඒකත් ඇත්තෙන්ම විශ්මය ජනකයි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ හෙදියක් නිවේදිකාවක් ලෙස කටයුතු කරන එකම තැනැත්තිය ඔබද?

ඔව්. මේ වනවිට හෙදියක් ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරන එකම තැනැත්තිය මම. මීට කලින් රූපවාහිනියේ කෙනෙක් ඉඳලා තියෙනවා. මම දන්න තරමින් පෞද්ගලික මාධ්‍ය ඇතුළත් එහෙම කෙනෙක් නෑ.

ඔබේ පවුල් පසුබිම මේ ගමනට ආශිර්වාදයක් වෙනවාද?

අපේ පවුලේ කවුරුවත් මාධ්‍ය පැත්තට සම්බන්ධ නෑ. තාත්තා පියදාස හෙට්ටිආරච්චි ව්‍යාපාරිකයෙක්. අම්මා සුසිලා රංජනී ගෘහණියක්. මම පවුලේ වැඩිමලා මට බාල නංගි කෙනෙක් ඉන්නවා. හර්ෂනී හෙට්ටිආරච්චි කියලා. ඇය මේ වන විට රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය රසායනාගාර උපාධිය හදාරනවා. මේ කාටවත් මගේ ගමනට තල්ලුවක් දෙන්න බැරි වුණත් ඒ අය මගේ ගමන දිහා දෑස් දල්වාගෙන මට ආශීර්වාද කරනවා.

මාධ්‍ය ක්ෂේත්‍රය තුළත් මේ කෙටි කාලය තුළ ඔබට ශක්තියක් වූ පිරිසකුත් ඇති?

ජාතික රූපවාහිනී හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉන්දික මාරසිංහ මහතා, රූපවාහිනියේ වත්මන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂිකා විමුක්තිකා කාරියවසම් මහත්මිය, ජාතික රූපවාහිනියේ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂ චන්ද්‍රසිරි තඹවිට මහතා, ප්‍රවීණ මාධ්‍යවේදී චමින්ද ගුණරත්න මහතා මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරනවා.

නිවේදන කාර්යයෙන් බැහැරව මොනවගේ කටයුතු වෙනුවෙන්ද කාලය යොදවන්න අදහස් කරලා තියෙන්නේ?

රෝහල් අධ්‍යක්ෂතුමාගේ අවසරය පරිදි රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපනය අරමුණු කරගෙන ජනතාව දැනුම්වත් කිරීමේ කටයුතුවලට දායක වෙන්න කැමතියි. ඒ වගේම මගේ හිතේ ලියන්න ආශාවකුත් තියෙනවා. ඒ සඳහා මම දැනටමත් ප්‍රවිශ්ඨයක් අරන් තියෙන්නේ නවකතාවක් රචනා කරමින් ඉන්නවා ‘සිහින මං පෙත’ කියලා. ලබන අවුරුද්දේ එය ජනගත කරන්නත් සූදානමක් තියෙනවා. දක්ෂතාවය සමඟ වාසනාවත් ඇතුව මා මේ ආ ගමන වස්තු බීජයක් කරගෙන සමාජ උද්යෝගයක් දැනෙන කතාවක් ලෙස තමයි මගේ මේ කුළුදුල් ලේඛන ගතවීම සිද්ධ කරන්නේ කොළඹින් දුර බැහැර කෙනෙක් මාධ්‍ය ක්ෂේත්‍රයට එන එක හරි අමාරු කාර්යක් ඒක අභියෝගයක්. දක්ෂතාවය තිබූ පමණික් සමහරුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ. වාසනාවත් තිබිය යුතු දෙයක්. විවෘත විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා නීතිය හදාරන්නත් මගේ සූදානමක් තියෙනවා. චිත්‍ර ඇඳීමේ හැකියාවත් මට තියෙනවා. ගායනයට වගේම නර්තනයටත් මම කැමතියි.

ඔබ ලැබූ කෙටි කාලීන අත්දැකීම් සමගින් මේ ක්ෂේත්‍රයට එන නවකයෙකුට ඔබ දෙන පණිවිඩය?

ජීවිතයට අරමුණු හීන තියාගන්න හැම දවසකම ඒ අරමුණු වෙනුවෙන් පොඩි හරි දෙයක් කරන්න. තමන් අරමුණ ජයගන්න විශ්වාසයෙන් හැම මොහොතකම වැඩ කරන්න. අනිවාර්යෙන් දවසක ඒ හීනේ ඉෂ්ට වෙනවා. ඒ තමයි මගේ ජීවිතයේ මම දැකපු යථාර්ථය.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT