24 වැනි කොටස
චංචල රේඛා ඒ කාලේ සිනමා ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වුණා කිව්වොත් මම හිතන්නේ මම නිවැරැදියි. මේ චිත්‍රපටය පැල් බැඳගෙන දුවන්න පටන් ගත්තා. චිත්‍රපටයට අඩංගු වුණු සියලුම ගීත නිර්මාණ රසිකයින් අතර අතිශයින්ම ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඒ ජනප්‍රියත්වය කොච්චරද කියනවා නම් පස්සේ කාලෙක සේන අයියා ‘චංචල රේඛා’ නමින් කැසට් පටයකුත් නිෂ්පාදනය කළා. චිත්‍රපටයෙන් පරිබාහිරව මිනිස්සු ගීත ටික වෙනම රසවිඳීන්න පටන් ගත්තා. මම හිතන්නේ ඒ රසිකත්වය අදටත් නොවෙනස්ව පවතිනවා.
චංචල රේඛා චිත්‍රපටය ආරම්භක සිනමා ශාලා 14ක මුල්වරට තිරගත වුණා. කෙටි කලක් ඇතුළත දිම මට පාරේ බැහැල යන්න බැරි තරමට ‘ දංචුටි’ ජනප්‍රිය වුණා. ඒකාලේ සිනමාපටවල වැඩිපුර ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ ගුවන්විදුලියෙන් සහ පුවත්පත් වලින්. එදා චංචල රේඛා සඳහා තිබුණ වෙළෙඳ දැන්විම් පාඨ මේ වගෙයි.
“ඔබේ නුවන් යුග නිවී ගියා යැයි නොහඩන් අයියණ්ඩී
දිවි ඇති තුරා මම ඔබේ දෙනෙත වෙන්නම්…..” මේ එක පාඨයක්. තව එකක් තිබුණා මෙහෙම,
“එක් රැයකින් මුළු දිවයින පුරා සිනමා රසකාමින්ගේ ආදරය ලබන්නට තරම් වාසනාවන්තියක වූ ‘දංචුටි – නදීකා මුල්වරට ගාමිණී සමඟ…..
චංචල රේඛා තිරගත වෙන කාලේ ඇත්තටම මට පාරේ බැහැල යන්න බැරි වුණා. ඒ කාලේ අම්මයි මමයි දෙන්නම පිටකොටුවට යනවා බඩු ගන්න අපි දෙන්න යන්නේ මොරිස් මයිනර් කාර් එකක් හයර් කරගෙන. ඒ කාලේ හරියට තිබුණා හයරින් කාර්. පිටකොටුවෙන් ගිහින් බැස්සම ඉස්සර කිසි කරදරයක් නැතුව අපි දෙන්න ෂොපින් කරනවා. නමුත් චංචල රේඛා ආවට පස්සේ පිටකොටුවෙන් බැස්ස ගමන් ‘ දංචුටී……. කියලා කෑ ගහනවා හතර වටින්. මම නැති දවසට අම්මා තනියම ගියාමත් ‘දංචුටිගේ අම්මා ඇවිත් කියලා වෙළෙන්දෝ බඩුත් අඩු කරලා දෙනවා. ඒ වගේ ලොකු ජනතා ප්‍රසාදයක් එදා සමාජයේ දංචුටි වෙනුවෙන් නිර්මාණය වුණා.
ඒ වගේම තමයි ඒකාලේ ප්‍රේක්ෂක ප්‍රතිචාර අපට දක්වන්න අද වගේ සමාජ මාධ්‍ය හෝ දුරකතන තිබුණේනෑ. අපට තිබුණ එකම මාධ්‍යය වුණේ ලියුම් සහ පෝස්ට් කාඩ් විතරයි. ඒ කාලේ අපේ ගෙදරට එන තැපැල් මහත්තයා වෙනම ලියුම් මල්ලක් අරගෙන එනවා. ඒ බෑග් එක පිටින්ම මට දීලා ඔහු යනවා. ඒ තරමට ඒ දවස්වල පාඨක ලියුම් ආවා. මේ සේරටම උත්තර ලියන්න තරම් විවේකයක් මට ඒ කාලේ තිබුණේ නෑ. ඒ වුණාට පුළු පුළුවන් විදියට මම උත්තර ලිව්වා.
දංචුටි මගේ ජීවිතේට කරපු වෙනස ගැන මතක් වෙනකොට මට පුදුමත් හිතෙනවා. ඉගෙන ගෙන ඉවර වෙලාවත් නැති පුංචි කෙල්ලෙක්ව ලංකාවෙම ජනප්‍රිය කළා. දංචූටිටට තාමත් මම මෙච්චර පෙම් බදින්නේ හින්දයි. මට තාමත් මතකයි අනුරාධපුරේ පැත්තේ රසිකයෙක් මට මෙහෙම ලියලා එවලා තිබුණා.
“ඔබ රඟපාන චංචල රේඛා චිත්‍රපටය මම අනුරාධපුරේ විජේන්ද්‍ර සිනමා ශාලාවෙන් 23 පාරක් නැරඹුවා….”
ඔහු මට එවපු පෝස්ට් කාඩ් එකේ එහෙම ලියලා තිබුණා. අදටත් මගේ හිතේ අපේ රසිකයෝ ගැන තිබෙන අසීමිත ආදරය වෙනස් වෙන්නේ නැත්තේ ඒ හින්දයි. එදා අපිට ආදරය කරපු මේ රසිකයෝ චිත්‍රපට නැරඹුවේ නැතිනම් මේ සා විශාල ජනප්‍රියත්වයක් වත්, සිනමාව මේතාක් දුර නැගී සිටින්නේවත් නෑ නේද?
චංචල රේඛා තිරයට එන්නේ 1981 දෙසැම්බර් 18 වැනිදා . 1982 වසරේ ආරම්භයත් එක්කම දංචුටි මුළු රටේම සිනමා ප්‍රේක්ෂකයන්ගේ දංචුටි බවට පත්වුණා. මම රඟපාපු අධිෂ්ඨානය, තනිතරුව, රිදි නිම්නය, බිත්ති හතර , යහළු යෙහෙළි වැනි චිත්‍රපට තිරගත වෙන්නේ චංචල රේඛා තිරගත වුණාට පස්සේ. චංචල රේඛා හරහා මට ලැබුණ ජනප්‍රියත්වය ඉන්පසුව තිරගතවුණු චිත්‍රපට සඳහාත් ලොකු සහයෝගයක් වුණා කියලා මම විශ්වාස කරනවා.
අධ්‍යක්ෂ සේන සමරසිංහයන් චංචලරේඛා රඟපාන්න අපට ලොකු නිදහසක් දුන්නා. රූගත කිරිම් කාලසීමවා පුරාම අපි රැඳී සිටියේ ඔහුගේ ගම් පියස වුණු රඹුක්කන, කෑගල්ල අවට ප්‍රෙද්ශයේ. මේ චිත්‍රපටයේ මගේ සහ ගාමිණී අයියගේ නිවෙස විදියට චිත්‍රපටයට අවශ්‍ය කරන ආකාරයේ නිවෙසක් හැදෙව්වා. ඒ නිවෙසේ තමයි අපේ රූ ගත කිරිම් කළේ. චිත්‍රපටයට අනුව එක්තරා අවස්ථාවක මේ නිවෙස ගිනිබත් කරනවා. ඒ දර්ශන පෙළ ඔහු ගත්තේ අපේ රූ ගත කිරිම් නිම වුණාට පස්සේ. ඇත්තටම මේ නිවෙස ගිනිබත් කරලා. පස්සේ කාලෙක සේන සමරසිංහයන් පිළිබඳ ජාතික රූපවාහිනිය කළ ‘ආලකමන්දාව’ වැඩ සටහන රූ ගත කරන්න ඔහුත් සමඟම අපි මේ ගිනිතියපු නිවෙස ආසන්නයට ගියා.
බන්දු සමරසිංහයන් මට මුලින්ම මුණ ගැහෙන්නේ ත් චංචල රේඛා චිත්‍රපටයෙන්. මට කලින් සේන සමරසිංහයන් ගේ චිත්‍රපට කණ්ඩායමේ බන්දු අයියා වැඩ කරලා තිබුණා. ඇත්තටම කිව්වොත් මේ කණ්ඩායමේ එවකට ආධුනිකයා වුණේ මම. ඒ වුණාට ඔවුන් කවුරුත් මට ආධුනිකයකු විදියට සැලකුවේ නෑ. හැම දෙනාම අති විශාල සහයෝගයක් දැක්වුවා. බන්දු අයියත් ඒ වගේ තමයි. චිත්‍රපටය අවසානයේ අපි දෙන්නා චිත්‍රපටයේ කතාව හැටියට පෙම්වතුන් වෙනවා.
නදිකා- ‘‘ හැමදාම මේ වෙලාවට ඇවිස්සෙනවා…….
බන්දු- ආ….. ඇවිස්සෙන්නේ නැත්ද ඉතින් ඔයා දැක්කම
නදීකා- මාලු ගොඩාා…යි මේ……. එන්ඩෝ…..
බන්දු – මේ එනවෝ….. මොකද?
නදීකා – මේං බලන්ඩ….. මාලු ගොඩායි……
බන්දු – ආ…. ඒ මාලුද?
නදීකා – දණ්ඩි
බන්දු- නෑ…. නැ… නැ… කාවයියෝ…. බලන්න…
නදීකා – ඔව් එව් … කාවයියෝ (සිනාසෙති) අර තමයි මං ඉස්සර ගිය ඉස්කෝලෙ….
බන්දු – ඒක ඉස්කෝලයක්ද? ඒක පරණ ඩිස්පැන්සරියක්නේ
නදිකා – ආ… ඔව් ඔව්.. ඔව්… ඔය අංගොඩ ගිය මිනිස්සුන්ට එහෙම නම් ඉස්කෝලෙ වෙන විදියකට පේනවා … ඔව් … ඇත්තමයි…
බන්දු – ආ… ඒකියන්නේ මට ලුස්….
නදීකා- ආන්න…..
බන්දු- අර අතනත් හරි ලස්සනයි නේද?
නදිකා- ඒ ඉස්සර අපේ ගේ තිබුණ වත්තනේ….. ඒ දවස්වල මල් පිරිලා හරි ලස්සනයි. ..
අම්මයි මමයි අයියයි ඉස්සර නාන්න එන්නේ මේ ඔයට තමයි. මේ ඔය ඉස්සර හරි ලස්සනයි.
බන්දු- ඒ දවස්වල මේ ඔක්කොම කැලෑවට තියෙන්න ඇති නේද?
නදීකා- ආ.. මේක කැලැවක් කියලා හිතුවද?
බන්දු- නෑ… මම කිව්වේ ගම වටේට ලස්සන කැලෑ මල් පිපිලා තියෙන්න ඇති කියලා..
නදීකා- ආ… එහෙම කියන්න.. ඇයි ඔයා හිනාවෙන්නේ…. අපේ අයියා කැලෑ කපන්න ගියාම මට කීන දං, මාදං, ඉති ඉති ගෙනත් දෙනවා. මම ඒවා කාපුවම කට රතු වෙනවා…. ඉතිරිවෙන ඒවා මම මැහුම් පෙට්ටියේ දාගෙන ඉස්කෝලෙ අරන් යනවා . මට ඉස්කෝලෙ ළමයි කියන්නේ ‘ දංචුටි‘ කියලා
බන්දු- යංචුටි…..
නදීකා- නෑ… නෑ…… දංචුටි…
බන්දු- ආ…. දංචූටී…. දංචුටි……
නදිකා – යන්න…. මං ගෙදර යනවා…..
බන්දු – දංචුටියෝ………… මාත් එනවෝ……
මේ ආදරේ හරිම පිරිසිදු පිවිතුරු , අහිංසක ආදරයක්. තවමත් මතක් වෙනවා මේ දෙබස් මේ එක්කෙම අපි කියන්නේ පාලමක් උඩ ඉඳගෙන. සුන්දර ගම්මානෙක උපන්න අහිංසක යුවතියකගේ ලස්සන ආදර කතාව තමයි ඒ පාලම අඩින් ආරම්භ වුණේ. මම හිතනවා මගේ තිබුණ ආධුනික ගති ලක්ෂණ සියල්ලම මේ චිත්‍රපටයේ ගැමි තරුණියගේ සුකොමල බවට හොඳීන් ගැළපුණා කියලා. මගේ ජීවිතේ ගෙවුණ හොඳම කාලේ මට ලැබුණ හොඳම චරිතයක් විදියට දංචුටි අදටත් මගේ හිතේ ආදරණීය මතක ගොඩාක් එක්ක තැන්පත් වෙලා තිබෙනවා.
ලබන සතියේ මුදිතලතා කියවමු
හේමාලි විජේරත්න
