තමන්ට හා තම උගත්කමට නිසි තැන නොලැබ කල්මරමින් ළතැවුලට පත්ව සිටින තරුණ සිත් ප්‍රචණ්ඩත්වයට යොමුවීමට ගතවන්නේ නිමේෂයකි. දීර්ඝ කාලීනව විදි පීඩාව සහ අව වරප්රසාදිත බව තවදුරටත් දරාගන්නට නොහැකි වූ විට, එම තත්ත්වයන්ට එරෙහි වන්නට ඔවුන් පෙළ ගැසෙන්නේ නිරායාසයෙනි. පවතින මෙම තත්ත්වය වෙනස් කිරීම ආවේගශීලි ඔවුනගේ එකම අරමුණ වෙයි.
එලෙස සිතමින් පෙළ ගැසුණු යොවුන් වියේ පසුවන ශාරදාත් සම වයසේ සහෝදර සහෝදරියන් කණ්ඩායමක් සන්නද්ධව එක්වී, එක්තරා ප්‍රාදේශීය නගරයක පිහිටි කුඩා පොලිස් මුරපොළකට පහර දී එහි බලය අත්පත් කර ගැනීමටත්, එම පළාතේ පරිපාලනය සියතට ගැනීමටත් ඔවුන් බලාපොරොත්තු වෙයි. මෙලෙස අනපේක්ෂිත ලෙස රටපුරා එවැනි ප්රහාරයන් එල්ල කර රටේම බලය අත්පත් කර ගැනීම තරුණ විප්ලවාදීන්ගේ අරමුණයි.තම ඉලක්කය වැරදි ආරක්ෂක අංශයන්ගෙන් බේරීම සඳහා වනගත වීමේදී ඔවුන් මුහුණ දෙන අභියෝගයන් මෙන්ම , වනගත ආරණ්‍යයක වැඩ වසන තරුණ භික්ෂුවකගේ සම්මුඛයත් පිළිබඳව මෙයින් නිරූපණය වේ.
සහාය අධ්යක්ෂවරයකු ලෙසින් ක්ෂේත්රයට එක්වන අනුරුද්ධ ජයසිංහ, පසු කලෙක ‘අභිසමය’, ‘තට්ටු ගෙවල්’, ‘දහස් ගව්දුර’, ‘මීදුම’ , ‘ධවල කන්‍යා’, ‘විය සිදුර’, ‘සඳ දෙව් දියණි’, ‘මායා රංග’, ‘කවිය නුඹ’, ‘යකඩ පහන්තිර’, ‘මායා රූ’ ,‘මායා වාස’ ඇතුළු අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වූ ටෙලි නාට්‍ය රැසක් ප්‍රේක්ෂක රසවින්දනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, 2007 වසරේ දී තිරගත වූ ” සංක්‍රාන්ති “චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිස, ‘බෝම්බ සහ රෝස’ (2013), ‘එක් දවසක අපි’ (2018), ‘ගින්නෙන් උපන් සීතල’ (2019) වැනි විචාරක අවධානයට ලක්වූ සිනමා නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයා වෙත වඩාත් සමීප වන්නට ඔහුට හැකි විය. ‘ධවල දූවිලි’ නමින් ඔහු නිර්මාණය කළ මෙතෙක් තිරගත නොවූ, සම්මාන උලෙළයන් කිහිපයක්ම නියෝජනය කළ සිනමා පටයක් ද තිරගතවීමට ඇති අතර, ‘ධාරා’ ඔහුගේ නවතම නිර්මාණයයි.
රංගන දායකත්වය
තුමිඳු දොඩන්තැන්න, එන්.එම්.ඒ.නවරත්න, උමා අසේනි, ප්‍රියන්ත සිරිකුමාර, ජගත් මනුවර්ණ, චින්තක කුලතුංග, ධනුෂ්ක ඩයස්, සුරන් දසනායක, දසුන් ශශ්‍රී මධුසංක, අවන්ත ඉෂාන්, එරංග අමරසිංහ, නිවර්ථනා දේවගේ, වාසනා නවරත්න, මහේන්ද්‍ර වීරරත්න, නිශාන්ත ප්‍රියදර්ශන උපුල් ඩයස්, සුරංගා හික්කඩුව
කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය – අනුරුද්ධ ජයසිංහ
නිෂ්පාදනය – වික්ටර් ගමගේ, නිරන් පෙරේරා
තිර රචනය – නාමල් ජයසිංහ
කැමරා අධ්‍යක්ෂණය සහ වර්ණ සංයෝජනය – ක්‍රිස් සෙබස්තියන් ජෝයිස්
සංස්කරණය – චන්දන ලියනගේ
සංගීත අධ්‍යක්ෂණය – බිබිලාදෙණියේ මහානාම හිමි
ශබ්ද නිර්මාණය – තපස් නායක්
ශබ්ද මිශ්‍රණය – නන්දා නන්දි ජයකොඩි
කලා අධ්‍යක්ෂණය – ජනක බණ්ඩාර
අංග රචනය සහ කොණ්ඩා සැකසුම – ප්‍රියන්ත දිසානායක
විධායක නිෂ්පාදනය – දමින්ද ඩී.මඩවල
නිෂ්පාදන කළමනාකරණය – රන්ජන් ප්‍රසන්න
රේඛීය නිෂ්පාදනය – සසික හේරත්
සහය අධ්‍යක්ෂණය – සඳුනි කාවින්ද්‍යා ජයපත්ම
සටන් අධ්‍යක්ෂණය – අභීත රුවන්ජිත්
දෙවන සහය අධ්‍යක්ෂණය – නදීශානි පියතිලක
නිශ්චල ඡායාරූප – චින්තක සෝමකීර්ති
ඇඳුම් නිර්මාණය – සංජීව කරුණාරත්න
නිෂ්පාදන සැලසුම්කරණය -අනුරුද්ධ ජයසිංහ, නාමල් ජයසිංහ
දෘශ්‍ය ප්‍රයෝග – රුසිරු පන්නිලගේ,කසුන් සංජය
කැමරා සහය – නෙවිල් නිශාන්ත, සරත් ගුණතිලක
පසුබිම් හඬ ගායනය – බුද්ධික දයාරත්න, මීනා ප්‍රසාදිනී, නෙල්කා තිළිණි, රමීෂා ලක්ෂානි, දිනූෂි ඉමල්කා, ධනංජය ලක්ෂාන්, ආශි වික්‍රමගේ
