Home » ජනපි‍්‍රය සිනමාවේ ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව

ජනපි‍්‍රය සිනමාවේ ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව

by mavan
February 5, 2026 10:44 am 0 comment

70 – 80 දශකයන්හි ලාංකේය සිනමාව සිය නැවුම් සිනමා ආකෘතීන්ගේ බැබළ වූ සිනමාකරුවකු වූ සේන සමරසිංහයන් පසුගියදා සිය ජීවිත සිනමාව අවසන් කළේය. අද ඔහු කයෙන් අප අතැර ගියත් එදා මෙදාතුර ඔහු දේශීය සිනමාවට තිළිණ කළ සිනමා නිර්මාණ කිසි දිනෙක මෙරට සිනමා රසවතුන්ගේ සිතෙන් නම් නික්ම නොයනු ඇත.

පසුගිය වසරේ පැවති සරසවිය සම්මාන උළෙලින් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන රණතිසර සම්මානයෙන් පිදුම් ලැබූ සේන සමරසිංහයන් එවර මා සමඟ පවසා සිටියේ මේ සම්මානය තමන්ට අලුත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සිත් වන තරමේ උත්තේජනයක් සැපයූ බවයි. ඔහු ඔහුගේ නිර්මාණ හරහා සිනමා කර්මාන්තයම පෝෂණය කළ අයෙකි. ඔහු නිර්මාණය කළ බොහෝ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වූයේය. ඒ හරහා ආර්ථිකමය ප්‍රතිලාභ කර්මාන්තය කරා රැගෙන ආ අතරම, මෙරට සිනමා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දක්ෂතා ඇති රංගන ශිල්පීන් ශිල්පිනියන්

සේන සමරසිංහ මූලික අධ්‍යාපනය ලබනුයේ මහනුවර මහමායා වෙනි ප්‍රාථමික අධ්‍යාපනය බණ්ඩාරවල ශාන්ත තෝමස් විද්‍යාලයෙන්ද අ.පො.ස සාමාන්‍ය පෙළ ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයෙන්ද ලැබුවේය. සේන සමරසිංහ පාසල් වියේ බෙහෙවින් ආශක්ත වූයේ ක්‍රීඩාවටය. ටෙනිස්, වොලිබෝල්, ක්‍රිකට්, පිහිනුම් වැනි ක්‍රීඩාවන්හි යෙදීමට ඔහු බෙහෙවින් ප්‍රිය කළේය. ඒ අතරම තමන්ගේ විනෝදාංශ ගොන්නේ සංගීතය සහ කැමරා ශිල්පය ද විය. පසු කලෙක සිනමාකරුවකු වීමේ මූල බීජය මතු වන්නට ඇත්තේ එතැනිනි. සේනට වයස අවුරුදු 13ක් වැනි ඉතාම ළාබාල වියකදී ඔහුගේ මව මියගිය අතර ඉන් ටික කලකට පසු පියාද වරින් වර අසනීප වූයෙන්, පියාගේ එකම ඉල්ලීම වූයේ තම වැඩිමල් දරුවා වූ සේනට සිය ව්‍යාපාර භාර ගන්නා ලෙසයි.

ඉතාම ළාබාල වියකදී ව්‍යාපාරයත්, පවුල්බරත් කරට ගත් සේන එතැන් සිට ගෙවූයේ දුෂ්කර කාලයකි. පවුලේ සියලු බර සහ ව්‍යාපාර සියල්ලම තනි හිසට දැරිය නොහැකි බව තේරුම් ගත් සේන විවාහ දිවියට ඇතුළත් වීමට තීරණය කළේය.

ඒ අනුව ඔහු හාල්පන්දෙණිය වලව්වේ ලීලා සමරකෝන් මෙනවිය සමඟ විවාහ වූවේය.

සේනගේ දිවි ගමන් මාවත සේම ව්‍යාපාර ලෝකයට ද ඇය නිබඳ සවියක් වූවා සේම පසු කලෙක ඔහුගේ සිනමා ජීවිතයේද ශක්තිය වූයේ ද ඇය ය.

සේන සිනමාවට සම්ප්‍රාප්ත වනුයේද අහම්බයකිනි. එය ඔහුගේම වචනයෙන් කියනවා නම් මෙසේය.

“1971 කාලේ මගේ ගෙදරට ගිනි තිබ්බා. ජීවිත බේරගන්න ඕන නිසා ලේක්හවුස් ආයතනයේ වැඩ කරපු මගේ මිතුරෙක් වන වැලිසර පදිංචිව සිටි ස්ටැන්ලි අබේරත්නගේ නිවසේ ටික දිනක් දරුවන් සමඟ නැවතුණා. ඔය කාලයේ මට වෙලාව තියෙන නිසා ඒ අවට පිහිටා තිබුණු චිත්‍රාගාරවලට ගිහින් චිත්‍රපට රෑ ගැන්වීම් කරන ආකාරය නිරීක්ෂණය කළා. ඒවා දැක්කට පස්සේ තමයි මටත් චිත්‍රපටයක් කරන්න ආස හිතුණේ.”

ටික කලකින් නැවතත් රඹුක්කනට පැමිණ ව්‍යාපාර බලාගත් සේනගේ සිතින් චිත්‍රපටයක් කිරීමේ සිහිනය නම් අත්හැරුණේ නැත. මේ අතරතුර කාලයේදී සේන සමරසිංහයන් හට මිල්ටන් ජයවර්ධන හමුවේ සේන සමරසිංහයන්ගේ පළවෙනි සිනමා නිෂ්පාදනය ‘සදහටම ඔබ මගේ’ නිර්මාණය වනුයේ ඒ හමුවේ ප්‍රතිඵලයක් වශයෙනි.

‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සේන සමරසිංහට සිනමා පාසලක් බවට පත් වූ අතර, සියල්ල පිටුපස සිට ඔහු නිර්මාණකරණය ඉගෙන ගැනීමට මෙහිදී උත්සාහ දැරුවේය. ව්‍යාපාරික වශයෙන් ආර්ථික හයියක් ද වූ බැවින් ඒ සඳහා ඇවැසි කැමරා උපකරණ ආදිය ද ඔහු නොයෙක් වර මිලදී ගත්තේය.

ඉන්පසු ඔහු ඔහුගේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වූයේය. ඒ ‘කස්තුරි සුවඳ’ චිත්‍රපටයයි.

1974 මාර්තු 05 වැනිදා ඇරඹී ‘කස්තුරි සුවද’ චිත්‍රපටය සඳහා ඔහු තෝරා ගන්නේ ගාමිණී – මාලිනී සමඟ එවකට නවක නිළියක වූ මානෙල් වානගුරුය. කුඩා කල පටන්ම සංගීතය ප්‍රිය කළ සේන සමරසිංහයන් සිය පළමු සිනමා නිර්මාණය වෙනුවෙන් ගීත හයක්ම ඇතුළත් කර ගත්තේය. එසේම චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පසු මෙකී ගීත මෙරට සිනමා ගීත සාහිත්‍යයේ නොමැකෙන සලකුණු බවටද පත් වූයේය.

පිඩීස් ඉල්ලා ගායනා කළ ගිහිරි ජගිරි හැඩවනා, ‘මල් වයසේ මදු සිහිනේ’ ලස්සන ලෝකෙක ඉපදීලා, ‘පෙම්වතියන්ගේ පෙම්වතියන්ගේ සහ, ගයන හද විමන් දොරින්’ යනු එම ගීතය. අද ද රියලිටි වැඩසටහන් හෝ සංගීත ප්‍රසංගයක් හෝ නර්තන ප්‍රසංගයක් හෝ ගත් කළ මෙකී ගීයක් නොඇසෙන වාරයක් තිබේදැයි ඔබම විමසා බලනු මැන.

සේන සමරසිංහයන්ගේ මීළඟ අධ්‍යක්ෂණය වූයේ ‘නිල්ල’ සොයා ය. මෙම චිත්‍රපටයේදී ඔහු ගාමිණී ෆොන්සේකා සමඟ මානෙල් වානගුරු ප්‍රධාන චරිතය සඳහා යොදා ගත්තේය. සේන සිය නිර්මාණ සඳහා නිර්භීතව ආධුනික හෝ වැඩිය ජනප්‍රිය තලයේ නොවුණ නළු නිළියන් භාවිතා කළේය. ඒ භාවිතයෙන් පසු ඔවුන් සියලු දෙනාම ජනප්‍රිය තලයේ හිණිපෙත්තටම නැග්ගේය ඔහුගේ නිර්මාණ මෙතරම් ජනප්‍රිය වීමට බොහෝ විට හේතු වන්නට ඇත්තේ ඔහු තෝරා ගන්නා ලද කතා වස්තූන් විය හැකිය. බොහෝ විට ඒ කතා අතර වූයේ දේශීය ගැම් කතා සංකල්පයන්ය.

නිල්ල සොයා හරහා ද ඔහු මෙරට සිනමා ගීත සාහිත්‍යයට අපූරු ගී නිර්මාණ 6ක් ඉතිරි කළේය. මිල්ටන් මල්ලවාරච්ච් සමග ඇන්ජලින් ගුණතිලක ගයන ‘යෞවන උයනේ පියුම් තටාකේ. මිල්ටන් මල්ලවාරච්චි ගයන “නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ” මිල්ටන් – – ඇන්ජලින් ගයන ‘පෙම් පෙම් පෙම්නද, පාවේ මිල්ටන් – ඇන්ජලීන් ගයන මියුරු පෙම් මදිරාවේ, ඇන්ජලින් ගයන, සිටු මැදුරේ හෝ පුංචි පැලේ මිල්ටන් මල්ලවාරච්චි ගයන ‘ කෙල්ල මා ආදර කෙල්ල එම ගීතයි.

සේන සමරසිංහ 1978 දී නිර්මාණය කළ චිත්‍රපටය වූයේ ‘ආශා දෑසින්ය. මෙවර ඔහු ප්‍රධාන චරිතය සඳහා යොදා ගන්නේ ගාමිණී ෆොන්සේකා සමග ශ්‍රියාණි අමරසේනය. සුපුරුදු ගීත ලාලිත්‍යය ‘ආශා දෑසින්” චිත්‍රපටයද ඇතුළත් කළ ඔහු ඒ සඳහා ගීත 05ක් ඇතුළත් කළේය. ඒ අතරින් අදටත් අප අතරේ රැව් පිළිරැව් දෙන මිල්ටන් මල්ලවරච්ච් ගයන කරන ‘මුව මඳහසේ සී පද රාවේ’ මිල්ටන් මල්ලවරච්චි සමඟ ඇන්ජින් ගුණතිලක ගයන “අනංග රන් ගී මල් සැරය වැදිලා”, මිල්ටන් මල්ලවරච්ච් ගයන ‘විකසිත පැතුමන් ඔබේ ළයේ වැනි ගීත ආශා දෑසින් අපට තිළණ කළ ඒවාය.

ගාමිණී සහ ශ්‍රියාණි යොදවා ඔහු නැවතත් ‘මල් කැකුළු’ චිත්‍රපටය 1980 දී නිර්මාණය කළ අතර ඒ හරහා ද ඔහු සිනමා ගී නිර්මාණ රාශියක් තිළිණ කළේය.

මල් මල් වරම් (මිල්ටන් ඇන්ජලින්), සුරංගනා කතා පුතේ (මිල්ටන් – ප්‍රියා) බිංදු බිංදු කඳුළු ගංගා – ශ්‍යාම් ෆොන්සේකා – බන්දු සමරසිංහ) ලස්සන දෑසක් ඉස්සර මා දුටුවා
(මිල්ටන් – ශ්‍යාම් ෆොන්සේකා)

ලා හිරුගේ සේයා නෑසූ කතා (ශ්‍රේෂන් ආනන්ද – ශ්‍යාම් ෆොන්සේකා) ප්‍රියා සූරියසේන, බන්දු සමරසිංහ) එම ච්ත්‍රපටය සදහා ඇතුළත් වු ගීත නිර්මාණය සේන සමරසිංහයන්ගේ සිනමා නිර්මාණ අතර මා වඩාත්ම ප්‍රිය කරන නිර්මාණ වූයේ චංචල රේඛාය. එය මෙරට සිනමා කලා ඉතිහාසය තුළ සොහොයුරු ප්‍රේමයේ නාමයෙන් තැනුණු අති සුන්දරම, අති සංවේදීම සිනමා නිර්මාණයයි. 1981 දී තිරගත වුණු චංචල රේඛා සඳහා ගාමිණි ෆොන්සේකා සහ නදීකා ගුණසේකර අයියා සහ නංගි ලෙසින් ඔහු යොදා ගත්තේය. සේනගේ සිනමාවේ අපට අතහැරිය නොහැකි අංගය වූ රසාලිප්ත සිනමා ගීත එකතු වේ දිගුවක් ඔහු මේ හරහාද නිර්මාණය කළේය.

කීන දං මිටක් කඩන් ආවා (මිල්ටන් – නිලා වික්‍රමසිංහ), මී අඹ අත්තේ කොහෝ කෝහෝ (මිල්ටන් – නීලා) හස කැලුම් උදාවේ (නීලා – වික්‍රමසිංහ) ඉරේ එළිය තැන උණුසුම (මිල්ටන් – කවි) අදිය ඒ සඳහා ඇතුළත් වුණු ගීත නිර්මාණ විය.

ඉන් පසුව ඔහු නිර්මාණය කළ ඈතින් ඈතට, යළි හමුවන්නයි බඹර කලාපේ වැනි චිත්‍රපට හරහාද මෙවැනිම ගීත නිර්මාණ රැසක් ඔහු ලාංකේය සිනමාවට දායාද කළේය. ‘කැන්දන් යන්නම් රන්මල් නෙලා දාලා, බෝධියේ විහාරයේ, ඔබයි මටයි මැවූ සිහින වැනි ගීත රාශියක් ඒ අතර විය. සේන සිය ස්වන්ත්‍ර නිර්මාණ හරහාද ආකර්ෂණීය කතන්දර කලාව රැගෙන යමින් සිනමා ශාලා රසිකයගෙන් පුරවමින් කර්මාන්තයක් ලෙස සිනමාව සුරැකීමට හවුල් නිෂ්පාදකවරයෙකු වශයෙන් පකිස්ථානය සමඟ එක්ව සදාකල් ඔබ රැඳේවා, සිංහ පැටව් දෝංකාරය, අයියා නගෝ, සෙබලියෝ, ඔට්ටුයි බැරුවට, සාගර පෙරළිය ඔක්කොම කනපිට වැනි චිත්‍රපට නිෂ්පාදනය කරමින් මෙරට විදේශ විනිමය රැගෙන එන්නටද කටයුතු කළේය ජඤ ඤමඤ හා කැසට් පටන් නිෂ්පාදකවරයකු වශයෙන් මෙරට බැබලුණ නිර්මාණකරුවෙක් වශයෙන් ඔහු හඳුන්වා දිය හැකිය.

සේන සමරසිංහයන්ගේ සිනමා නිර්මාණවලට වස්තු විෂය වූ ග්‍රාමීය අව්‍යාජයත්වයද මේ සිනමා පට අසීමත ලෙස ජනප්‍රිය වන්නට හේතුවක් විය දෙමළ හින්දි චිත්‍රපට කතා අනුසාරයෙන් නිර්මාණය වූ චිත්‍රපට කතා අතර ඔහුගේ කතා වඩ වඩා ජනප්‍රිය වූයේ ඒ ගැමි සරල කම හා ජීවන රටාව නිසාවෙනි.

මේ අනුව සිංහල සිනමාවේ කතා සංකල්පය අතර වූ වට්ටෝරු ක්‍රමයෙන් මිදී ග්‍රාමීය සුන්දරත්වය විදහා දක්වන කතා වස්තූන් කෙරෙහි නැඹුරු වීමේ ප්‍රයත්නයේ සිටි කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා, සතිස්චන්ද්‍ර එදිරිසිංහ නීල් රූපසිංහ, එච්. ඩී. ප්‍රේමරත්න අතරට සේන සමරසිංහයන්ගේ නාමය නාමයද පෙරටුවෙන්ම තැබිය හැකිය.

මෙවන් වූ අගනා නිර්මාණ රැසක් මෙරට සිනමා ඉතිහාසයට ඉතිරි කරමින් පසුගිය දිනක ඔහු නිහඬවම යන්න ගියේය ලාංකේය ප්‍රේක්ෂකයින්ගේ සිත් සතන් තුළ සදා නොමැකෙන මතක රැන්දු සිනමා සිනමාපට රැස ඉතිරි කරමින්, නිහඬ වූ ඔබට සදා නිවන් සුවය පතමු.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT