Home » චිත්‍රපට කියන්නේ කවදාවත් අමතක නොවන සිහින

චිත්‍රපට කියන්නේ කවදාවත් අමතක නොවන සිහින

by mavan
October 23, 2025 10:27 am 0 comment

මතකය (memory)) සියල්ලගේම ශ්‍රේෂ්ඨතම චිත්‍රපටය බව පැවසුවේ රුසියානු මහා සිනමාකරු ආන්ද්‍රේ තර්කොවිස්කි ය. මතකය සහ සිහින ඇසුරින් සෙලියුලොයිඩ් පටයට නැඟූ ලොව සිනමාකරුවන් නම් කෙතරම්ද? යන්න ගණනය කළ නොහැකිය. එතරමින්ම මතකය සහ සිහින සිනමාකරුවන් වෙත දැඩ් බලපෑමක් සිදු කර ඇත. හොලිවු⁣ඩ් සිනමාවේ ලෝ පුජිත සිනමාකරු ස්ටීවන් ස්පීල්බර්ග් ඔහු⁣⁣ගේ ජීවිතයේ සිදු වූ පෞද්ගලික අත්දැකීම් ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කර තිබේ. ඒ A ‘The Fabelmans’ ය. ‘The Fabelmans’ සිනමාවේ ආශ්චර්යය වෙත ලොබ බඳීන රසිකයන්ට අපුරු ආස්වාදයක් ගෙනදෙන සිනමා කෘතියකි. කලාකරුවෙකු හැඩගස්වන බලවේගය විදියට පවුල නමැති ආයතනය, ආදරය සහ සිනමාව පිළිබඳ ගැඹුරුතර පෞද්ගලික ප්‍රකාශනයක් ලෙස ‘ද ෆැබෙල්මැන්ස්’ ප්‍රේක්ෂකාගාරයට වැදගත් සිනමාපටයක් ලෙස නිර්දේශ කළ හැකිය. චිත්‍රපටයේ කතාව පශ්චාත් යුද සමයෙහි ඇමරිකාවේ නිව් ජර්සි පෙදෙසෙහි හැදී වැඩෙන පිරිමි ළමයෙකු වන ‘සැමී ෆැබෙල්මන්’ වටා ගෙතුණකි.

මේ 1952 වසරයි. සැමී විසින් තම දෙමාපියන් සමඟ සිසිල් බී. ඩිමිල් අධ්‍යක්ෂණය කළ ‘ද ග්‍රේටස්ට් ෂෝ ඔන් අර්ත්’ චිත්‍රපටය සිනමාශාලාවෙහි නැරඹීමෙන් පසු චිත්‍රපට නිර්මාණය කෙරෙහි දැඩි ඇල්මක් ඇති වෙයි. සෑම් නැරඹු ‘ද ග්‍රේටස්ට් ෂෝ ඔන් අර්ත්’ යනු එදවස වැඩිම ආදායමක් ඉපැයු ජනප්‍රිය චිත්‍රපටයකි. ඔහුගේ ආශාව දැල්වෙන්නේ පවුලෙහි කැලඹිලිසහගත පසුබිමක වර්ධනය වන පසුබිමක ය. ඔහුගේ මව පියානෝ වාදනයට අති දක්ෂ ය. ඔහුගේ පියාවන බර්ටි ඉංජිනේරුවෙකි. මොවුන් දෙපළගේ ප්‍රතිවිරුද්ධ ලෝක දෙකක දැක්ම සහ සැමීගේ සිනමාව වෙත දක්වන ලාලසාව විසින් ඔහුගේ ජීවිතය වෙත හෙළන බැල්ම අපුරුවට නිරූපණය වෙයි.

සැමී ෆැබෙල්මන්ට සුවපත් නොවු තුවාලයක් තිබේ. ඒ සැම්ගේ මව සහ පියාගේ යහළුවා අතර ඇති රහසිගත සම්බන්ධයයි. මවගේ මෙම අනියම් සම්බන්ධය සැමීට නිරික්ෂණය වන්නේ ඔහු තම 8mm කැමරාවෙන් රූපගත කළ වීඩියෝපට හරහායි. සැමි තම මවගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කරන්නේ නැත. නමුත් ඔහු තම මවට මුහුණ නොදී ඇතැම් අවස්ථාවලදි පළා යයි. එය ඇයව ප්‍රතික්ෂේප කරන බවට සංඥාවක් වැන්න. සැමීගේ අස්ථාවර පවුල අප ද සංවේදි වෙයි. සැමීගේ මව දික්සසාද වෙයි. තමන් පණ මෙන් ආදරය කරන මව සහ පියා දික්කසාද වීම කෙතරම් වේදනාජනක සිදුවීමක්ද? සැමී යෞවනයෙකු ලෙස මෙම වේදනාව යටපත් කරගන්නට උත්සාහ ගන්නේ තම විනෝදාංශය වන ජීවිතයට දෙසට කැමරාව හැරවීමෙනි. ඔහු කෙටි චිත්‍රපට රූපගත කොට සංස්කරණය කරමින් පාසලේ ප්‍රදර්ශනය කරයි. ඔහුගේ කැමරාවේ කාචය හරහා වේදනාකාරී සත්‍යයන් හමුවීම පිළිබඳ නරඹන අපි ද වික්ෂිප්ත වන්නෙමු. සිනමාව ඔස්සේ ජීවිතය විනිවිදව දැකීම පිළිබඳ ගෙතු මෙම සිනමා සිත්තම මෙම දශකයේදී වඩාත් අවධානයට ලක් ⁣වන්නේ සිනමාව මානව වර්ගයාගේ ඇට මිදුලු තුළට කාවැදුණු අවදියකයි.

යුදෙව් අනන්‍යතාවය පිළිබඳ පුළුල් තේමාවක් ද සිනමාපටය තුළ නිරූපණය වේ. විශේෂයෙන් සැමී විසින් උසස් අධ්‍යාපනය සඳහා පාසලකට යන විට, ෆැබෙල්මන් පවුල යුදෙව් විරෝධී හැඟීම්වලට මුහුණ දෙයි. ස්පීල්බර්ග්ගේ පවුල ද යුදෙව් සම්භවයක් සහිත ය. නිසැකවම ඔහු ද එයාකාරයෙන් සමාජ විරෝධයට එදවස මුහුණ පාන්නට ඇත. මෙම අවස්ථා කතාවට අමතර ස්තරයක් එක් කර තිබේ. මෙම චිත්‍රපටය පිළිවෙළින් වර්ෂ 2017 සහ 2020 දී මියගිය ස්පීල්බර්ග්ගේ දෙමාපියන් වන ‘ලියා ඇඩ්ලර්’ සහ ‘ආර්නෝල්ඩ් ස්පීල්බර්ගේ’ මතකයන් උදෙසා නිර්මාණය කර ඇති සිහිවටන සිනමා සිත්තමකි. 95වැනි ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ඇතුළුව නාමයෝජනා හතක් දිනාගත් ‘ඊඩඥ ජ්චඡඥතථචදඵ’ සිනමාපටය 80වැනි ගෝල්ඩන් ග්ලොබ් සම්මාන උලෙළෙහි හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබීය. හොලිවුඩයේ සම්මානනීය සිනමාකරුවකු වන කීර්තිමත් ඩෙනිස් විලෙනියුව් ‘The Fabelmans’ ප්‍රශංසා කරමින් පැවසුවේ මෙවැන්නකි.

“සිනමාවේ බලය පිළිබඳව මෙතෙක් නිර්මාණය වූ හොඳම චිත්‍රපටය’The Fabelmans’. එය ආශ්චර්යයක්. මෙම චිත්‍රපටය නරඹා මා දැඩි සේ සංවේගයට පත් වූවා. ‘The Fabelmans’ අපේ කාලයේ ශ්‍රේෂ්ඨතම චිත්‍රපට නිෂ්පාදකයෙකු විසින් නිර්මාණය කරන ලද කලාත්මක ත්‍යාගශීලීත්වයෙන් ආනුභාවය ලැබූ චිත්‍රපටයක්” බව ඩෙනිස් සඳහන් කළේය. ස්පීල්බර්ග් ඔහුගේ චිත්‍රපටවල මවන මායාව තුළින් අපට අපවම කැඩපතක ප්‍රතිබිම්බයක් සේ තැබීමට සලස්වයි. සිනමාව නම් සැබැවින්ම මායාවක් වැන්න. සෙලියුලොයිඩ් පටයකට රූපය සහ ශබ්දය කවා ආලෝක ධාරාවක පූළුල් තිරයක පතිත වීම සැබැවින්ම අරුමයක් සේ හැඟෙයි. ‘ඊඩඥ ජ්චඡඥතථචදඵ’ යහපත සහ අයහපත, වේදනාව සහ ප්‍රීතිය, මායාව සහ ව්‍යාකූලත්වය පිළිබඳ ගෙතු අපුරු සිනමා වියමනකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT