මේ දිනවල සාර්ථක අන්දමින් තිරගත වන ‘ සූර්යා’ චිත්‍රපටයේ අර්ථපති ඔහුය. ඔහු දිනේෂ් මුතුගල. කුඩාකල සිට කලාවට ඇලුම් කළ ඔහු තුළ සිහින ගොන්නක් තිබුණි. මධ්‍යම පාංතික පවුලකට උරුමකම් කී දිනේෂ් මුතුගල තම සිහින සහ ඉලක්කයන් වෙත පියවරෙන් පියවර පියමං කළ පුද්ගලයෙකි. ඔහු අද වන විට රටම දන්නා පුද්ගලයෙක් බවට පත්වී හමාරය.
දස දහස් ගණන් සිසු සිසුවියන් පිරිසකට නැණස පහදමින්, කලාව ඇසුරු කරමින් ඔහු අද සිනමා අර්ථපතියෙක් බවට පත්ව ඇත. කුඩාකල සිට වේදිකාව ඇසුරු කළ ඔහු වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙස සම්මානනීය වී ඇත. නාට්‍ය වේදිකාව ඇසුරේ සිටි ඔහු පසුකාලීනව ටියුෂන් වේදිකාවට ගොඩ වී ගුරුවරයාගේ භූමිකාව රඟදක්වන්නට වූයේය. එහෙත් ඔහු තුළ සිටි සංවේදී කලාකරුවා ඉවත්ව ගියේ නැත. දිනේෂ් මුතුගල යනු කලාවට මෙන්ම කලාකරුවන්ටද දැඩි ලෙස ආදරය කරන චරිතයකි. ‘ සූර්යා’ චිත්‍රපටයේ අර්ථපති ලෙස ඔහු ගැන බොහෝ දේ ලියැවෙද්දී මෙම විශේෂ කාරණය ගැනද සඳහන් කළ යුතුයි.
අප රටේ සිටි ප්‍රවීණ ගායකයෙක් වූ අල්හාජ් මොහිදීන් බෙග් මහතාට ඔහු බෙහෙවින් ආදරය කර ඇත. පාසැලේ හතර පහ වසරේ සිට බෙග් මහතාගේ ගී ඔහු නිතර නිතර මිමිණුවේය. බෙග් මහතාට මෙන්ම ඔහුගේ පුතණුවන් වූ ඉෂාක් බෙග් මහතාටද ඔහුගේ ආදරය එසේමය. පසුගිය දිනවල ඉෂාක් බෙග් මහතා රෝගාතුර වූ මොහොතේ දිනේෂ් මුතුගල නොමසුරුව ඔහුට උදව් උපකාර කළ අයුරු මෙහිදී සිහිපත් කළ යුතුය.
ඉතාමත් කාර්ය බහුල මොහොතක ‘ සූර්යා’ චිත්‍රපටය වෙනුවෙන් සහ ඔහු සිනමාවට අවතීර්ණවීම පිළිබඳ කතා කිරීමට දිනේෂ් මුතුගල සරසවිය සමඟ එක්වූයේය.
මම කලාවට ඇල්මක් දැක්වූයේ පුංචිම සන්ධියේ සිටයි. මම පාසැල් ගියේ නාරම්මල මහා විද්‍යාලයට. දැන් නම් එහි නම වෙනස් වෙලා. මගේ අම්මා නර්තන ගුරුවරියක්. ඇයත් ඉගැන්වීම් කටයුතු කළේ ඒ පාසැලේමයි. එක වසරේ සිට පහ වසර දක්වා මම පාසැලේ කලා කටයුතු වල නිරත වුණා. මගේ පාසැල තමයි මගේ මුල්ම කලාගාරය වුණේ. කලාව කෙරෙහි මගේ හිත යොමු වුණේ මගේ අම්මා නිසා. ඇය තාලයට බෙර පද වයන සැටි, බෙර පද තාලයට පාද තබන සැටි මම බලාගෙන සිටියා. ඒ නිසා මමත් නිරායාසයෙන්ම කලාවට යොමු වුණා. වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. මට මතකයි පුංචිම කාලේ අන්දරේගේ කතාව නමැති වේදිකා නාට්‍යයේ මම රඟපෑවා. පසුව මම කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී එතරම් කලා කටයුතු වලට යොමු වුණේ නැහැ. එහෙත් විෂය බාහිර ක්‍රියාකාරකම් විදිහට රංගන කලාවට මම යොමු වුණේ ජාලිය රාජපක්ෂ ගුරුවරයා නිසා. ඔහු තමයි මාව වේදිකාවට හුරු කළේ. එතුමා මට ගුරුහරුකම් ලබා දුන්නා වේදිකාව හසුරුවන්නේ කෙසේද, වේදිකාවේ රංගනයක් ඉදිරිපත් කරන්නෙ කෙසේද කියන කරුණු පිළිබඳ එයින් මම වේදිකාව, රංගනය ගැන අත්දැකීම් රාශියක් ලබා ගත්තා.
ඒ කාලයේ මම වේදිකාවේ හොඳම නළුවා විදිහට සම්මාන හිමිකර ගත්තා. සමස්ත ලංකා මට්ටමින් රංගනය සඳහා විශිෂ්ට කුසලතා සම්මාන හිමිකරගෙන තිබෙනවා. ඒ තමයි මගේ ළමා කාලයේ ඉතිහාසය.
පසුව මම නාට්‍ය වේදිකාවෙන් ටියුෂන් වේදිකාවට ගොඩවුණා. එහෙත් මා තුළ සිටි කලාකරුවා මාරුවුණේ නැහැ. වේදිකාවෙන් ලබාගත් හුරුව උපයෝගී කරගෙන මම සිසුන්ට උගන්වන්න පටන් ගත්තා. ඒ අනුව තමයි ‘ නින්ද නොයෙන ඕඪධ පංතිය’ නමින් අමතර පංති පැවැත්වීම ආරම්භ කළේ.
කලාව සමඟ මා ජීවත් වූ නිසා නලුවෙක් වෙන්නත් අදහසක් තිබුණා. ඒ යමක් කමක් තේරුම් යාමට පටන්ගත් කාලයේ සිට. එහෙත් මගේ මව්පියන් විධිමත් අධ්‍යාපනයක් ලබපු අය නිසා අධ්‍යාපනය පැත්තෙන් ඉහළට යාමේ ඉලක්කය මගේ ඔළුවේ තිබුණා. මම කල්පනා කළා මගේ හීන එකිනෙක සම්බන්ධ කර ගන්නේ කොහොමද කියලා. එමනිසා ඒ සිහින සියල්ල යා වෙන පරිදි මම මගේ වට පිටාව සකස් කර ගත්තා. ඒ නිසා මම උගන්වන්නෙත් කලාවකට. සිත ඇඳගන්නා අයුරින්.
මේ ආකාරයට අමතර පංති කරමින් සිටින අතරතුර අහම්බයෙන් ‘සූර්යා’ චිත්‍රපටයට දායක වන්නට ලැබුණා. ඒ වන විට මම ‘අභඵඩ’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ මහේෂ් මුණසිංහව දැනගෙන සිටියා. මම අනතුරකට ලක්වූ අවස්ථාවක ඔහු මට පණිවිඩයක් තබා තිබුණා. ඔහුගේ කනගාටුව ප්‍රකාශ කරලා. ඒත් මට ඒ වෙලාවේ එයට ප්‍රතිචාර දක්වන්නට බැරි වුණා.
හදිසියේම එක්තරා දිනයක මහේෂ් මුණසිංහත්, ජනිත් වික්‍රමගේත් මාව මුණගැසෙන්නට පැමිණියා. එදා මම හිටියේ අතිශය කාර්ය බහුල මොහොතක. එදා මගේ දුවගේ උපන්දිනය. එදා තමයි ජනිත් සහ මහේෂ්ව සැබෑවටම මම දැක්කේ. ඔවුන් ඉතා සුහද ලීලාවෙන් මා ඉදිරියේ සිටි ආකාරය දැකල මට ඔවුන් වෙනුවෙන් කෙටි වේලවක් හෝ වෙන්කරන්න සිතුණා. දෛවය අපි තිදෙනා මුණ ගැස්වූ අවස්ථාවක් ලෙසයි මට එය දැනෙන්නේ. ඔවුන් එදා මා මුණ ගැසීමට ආ කාරණය ගැන සඳහන් කළ විට මගේ තිබූ උනන්දුව වැඩිවුණා. ඒ දෙදෙනා ‘ සූර්යා’ කතා පුවත ඉතාමත් අපූරුවට සිත් ඇඳගන්නා අයුරින් මා ඉදිරියේ විස්තර කළා. මගේ සිතත් එයට ඇඳී ගියා.
‘ සූර්යා’ කතාව සමාජ මාධ්‍යයට සම්බන්ධ කතා පුවතක් . මාත් සමාජ මාධ්‍යයේ ගැවසෙන කෙනෙක්. අනෙක් අතින් මා කටයුතු කරන්නේ තරුණ පිරිස සමඟ. ඔවුන් හැසිරෙන ආකාරය, ඔවුන්ගේ සිතුම් පැතුම් මට හොඳීන්ම තේරුම් ගත හැකියි. ඔවුන්ට ඉලක්ක තිබෙනවා. ඔවුනුත් ආසයි සමාජයේ ඉහළින් වැජඹෙන්න. ඒ හේතු නිසාම මම සූර්යා කතාවට පැහැදුණා. එය සමාජයට හොඳ පණිවිඩයක් සපයනවා.
ගුරුවරයෙක් විදිහට මම අකමැතියි දරුවන් නොමඟ යනවට. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ දරුවන්ව යහ මඟට ගන්න. ඉගැන්වීම් කටයුතු කරනා අතරේත් මම නිතරම ඔවුන්ට අවවාද අනුශාසනා කරනවා. ‘ සූර්යා’ ට කැමති වෙන්න තවත් කාරණයක් වුණේ ජනිත්. ඔහුත් ඔහුගේ පියා වන ආනන්ද වික්‍රමගේ රංගන ශිල්පියාට මම ඉතාමත් ප්‍රිය කරනවා. මහේෂ් අයියා, ජනිත් වගේ තරුණ පිරිස සමඟ වැඩ කරන්න මම ඉතා කැමතියි. ඒ වගේම මට මෙහි රංගනය සඳහා දයක වෙන්නත් ලැබුණා. අපි තිදෙනාම හොඳීන් ගැළපෙන තිදෙනෙක්.
මහේෂ් මුණසිංහ කියන්නේ ඉතාමත් හොඳ අධ්‍යක්ෂකවරයෙක්. මනුස්සකමින් පිරි චරිතයක්. මා මීට පෙර ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවුරු පිළිබඳ සොයා බලා තිබෙනවා. ඒ අතරින් මහේෂ් අයියා පිළිබඳ මගේ අදහස් බෙදා හදා ගන්නට පහසුයි. විනිවිද භාවය උපරිම තත්වයේ තිබෙනවා. ගුප්ත ගතිපැවතුම් නැහැ. මහේෂ් අයියා ක්ෂේත්‍රයේ සෑම කෙනෙක්ටම එක හා සමානව සලකන කෙනෙක්. එවැනි මනුසත්කමින් පිරි මිනිසුන් සමඟ මම වැඩ කරන්න කැමතියි වගේම මනුස්සකම නැති අය සමඟ වැඩ කිරීමට මම අකමැතියි.
මේ සෑම කාරණයක් ගැනම හොඳ අවබෝධයකින් යුතුව ‘ සූර්යා’ චිත්‍රපටය සඳහා මම ආයෝජනය කරන්න තීරණය කළා. චිත්‍රපටයකට මුදල් ආයෝජනය කිරීමේදී බොහෝ අය සිතන්නේ අවදානමක් ගැනීමක් විදිහට. එහෙත් කුඩාකල සිටම මම කලාවට ආදරය කළ කෙනෙක්. අපි කුමන හෝ කටයුත්තකට මුදල් ආයෝජනය කළ යුත්තේ එය අසාර්ථක වේදෝ කියන සිතිවිල්ල සිත් හි තබාගෙන නෙවෙයි. චිත්‍රපටයේ සාර්ථකත්වයට බලපාන්නේ එය නරඹන ප්‍රේක්ෂකයන්. ‘ සූර්යා’ චිත්‍රපටයත් ආදරණීය ප්‍රේක්ෂකයාට බාරයි.
මගේ ගෙදර උදවිය පවා දන්නවා මම කිසියම් කටයුත්තක් කරන්නේ එය සුබවාදී සිතුවිල්ලක් ඇතිව බව. මගේ බිරිඳ මගේ සිහින ගැන දන්නවා. ඒ නිසා ඒ ඇයගේ ආශීර්වාදය මට සැමදාමත් තිබෙනවා. ඒ වගේම මගේ අම්මා, අප්පච්චි මගේ ගමනට ශක්තියක්.
‘ සූර්යා’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන පිරිස ගැනත් කතා කළ යුතුයි. මම නිෂ්පාදක වූ පමණින් චිත්‍රපටයට දායක කර ගන්නා චරිත පිළිබඳ මම අධ්‍යක්ෂකවරයාට බලපෑම් කරන්නට ගියේ නැහැ. ජනිත් දක්ෂයෙක්. ඒ වගේම නිහාරි පෙරේරා නවක වුවත් ඇය රංගනයට දක්ෂයි.මට අවශ්‍ය වෙලා තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ තමාගේ නමට කැළලක් කරගෙන නැති පිරිසක් තෝරා ගන්න. මහේෂ් අයියාත් මමත් නිතර සාකච්ඡා කළා ඒ ගැන. අදාළ චරිත සඳහා සුදුසු අය හොඳයි කියා අපි දෙදෙනාම එක්ව තීරණ ගත්තා. ‘ සූර්යා’ හි රංගනයෙන් දායක වන සෑම ශිල්පියෙක්ගෙන්ම හොඳ සහයක් ලැබුණා.
‘ සූර්යා’ චිත්‍රපටයේ රූගත කිරීම් විවිධ ප්‍රදේශ වල සිදුකළා. රන්දෙණිගල, නුවර වගේ ප්‍රදේශවල රූගත කිරීම් කෙරුණා. මට ඒ හැම අවස්ථාවකට සහභාගී වෙන්න නොහැකි වුණා. තිබෙන කාර්‍යබහුලත්වය නිසා. නුවර රූගත කිරීම් තිබූ අවස්ථාවල මම ගියා. ‘ සූර්යා’ හි ශිල්පීන් සමඟ මමත් විනෝද වුණා. අපි එකතු වෙලා ගීත ගායනා කළා. මමත් විනෝදකාමී පුද්ගලයෙක්.
මේ වන විට ‘ සූර්යා’ චිත්‍රපටය ඉතා සාර්ථක ලෙස තිරගත වෙනවා. එ සඳහා ලැබෙන්නේ ධනාත්මක ප්‍රතිචාර. චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනය දා මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයන්ගෙන් ලැබුණෙත් යහපත් ප්‍රතිචාර. එය අපට විශාල ශක්තියක්. මට ලැබෙන ප්‍රතිචාර මට උත්තේජනයක් ඇති කරනවා. මම කලාවට දැඩිලෙස ආදරය කරන කෙනෙක් විදිහට මම දිගටම සිනමාවේ රැඳී සිටිනවා. නිෂ්පාදකවරයෙක් විදිහට. මගේ හීන අතර කවදා හෝ නළුවෙක් වෙනවාය යන සිහිනයත් ‘ සූර්යා’ නිසා සැබෑ වුණා. වෘත්තීය නළුවෙක් නූනත් ලැබෙන විවේකයේදී හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා.
ගුරුවරයෙක් වීම වගේම කලාකාරයෙක් වීමත් භාග්‍යයක්. කලාවෙන් සංවේදී හදවතක් ඇති කරන්න පුළුවන්. මම ගැටෙන්නේ දරුවන් සමඟ. මම ඔවුන්ට නිතරම උපදෙස් දෙන්නේ සංවේදී පුද්ගලයෙක් බවට පත්වෙන්න කියා. කලාව සමඟ ජීවත් වන විට මනස යහපත් වෙනවා. කලාවෙන් තමයි මනුෂ්‍යයාට මනුස්සකම කළවං කරන්නේ. බහුතරයක් සිතන්නේ වෛද්‍යවරයෙක් වෙන්න. වෛද්‍යවරයෙක්ගේ වුවත් වෘත්තියේම ඇලීගැලී සිටියහොත් සිදුවන්නේ කෘත්‍රිම මිනිසෙක් බිහිවෙන එක. ඇතැම් වෛද්‍යවරු ඉන්නවා සින්දුවක් අහලා, සින්දුවක් කියල, නාට්‍යයක්, චිත්‍රපටයක් නරඹලා විනෝදයෙන් සිටින. ඒනිසා මම තරුණ පිරිසට කියන්නේ මනුස්ස කය ඇතුළට යහපත් මනුස්සයෙක් ඇතුල් කර ගතහොත් සංවේදී පුද්ගලයෙක් බවට පරිවර්තනය වන්නට පුළුවන්. ඒ නිසා කලාව සමඟ ජීවත් වීම වැදගත් දෙයක් ලෙසටයි මා දකින්නේ.
අපි යහපත් විදිහට කයයුතු කළොත් අප වටා සිටින පිරිසගෙනුත් අපට ලැබෙන්නේ ඒ හා සමාන ප්‍රතිචාරයක්. ‘ සූර්යා’ චිත්‍රපටයේ වැඩ කටයුතු සිදු කරද්දී මා වටා සිටින මගේ කාර්ය මණ්ඩලයෙන් විශාල සහයෝගයක් ලැබුණා. විශේෂයෙන් මගේ කළමනාකරු වන භානු සේනාධීර මහතා, මගේ රියදුරු මහත්වරුන්, ආරක්ෂකයන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වුණා. විශේෂයෙන් මගේ රියදුරු මහතුන් ගැන සඳහන් කළ යුතුයි. ‘ සූර්යා’ චිත්‍රපටය සඳහා යොදා ගත්තේ මා සතු වාහන. රූගත කිරීම් වලදී ඔවුන් යන්නේ පාන්දර දිවා රෑ නොබලා ඔවුන් ඔවුන්ගේ රාජකාරිය මැනෙවින් ඉටුකළා. ඒ වගේම ‘ සූර්යා’ කණ්ඩායමේ සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනවා .