1986 දී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී තම මව්බිම වෙනුවෙන් තම යුතුකම් ඉටුකළ අපූරු කලාකරුවෙකු වෙනුවෙන් සටහනක් තැබීමට සරසවියට හැකිවිය. ඔහු කරුණා ප්‍රේමලාල්ය. ඔහු දැනට සේවය කරන්නේ කටාර් රාජ්‍යයේය. ශ්‍රී ලංකා යුද හමුදාවට ආයුබෝවන් කියූ ඔහු දැන් කටාර් හමුදාවට සම්බන්ධ වී සේවය කරන්නේය. ඔහු කටාර් හමුදාවේ ඡායාරූප ශිල්පියෙකු සහ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටී. සයුරෙන් එහා රටක ජීවත් වුවත් ඔහු හදවතින් ජීවත් වන්නේ තම මව්බිම සමඟය. ඔහු ගායකයෙකි. ගීත රචකයෙකි. කරුණා ප්‍රේමලාල් හමුදා සේවයේ සිටියත් තම ගායන , ගීත රචනා හැකියාවට වියැකී යන්නට ඉඩ නොදුන්නේය. කලාවට සහ කලාවට අතහිත දෙන සරසවිය පුවත්පතට බෙහෙවින් ඇලුම් කළ එවැනි සැඟවුණු කලාකරුවන් ගැන සටහනක් තැබීම සරසවියේ යුතුකමකි. කටාර් රාජ්‍යයේ සිට දුරකතනය ඔස්සේ සරසවිය සමඟ එක්වූ කරුණා ප්‍රේමලාල් තමා කලා ලෝකයේ දක්වන දක්ෂතා ගැන අදහස් දැක්වූයේ මෙසේය.
මම උපන්නේ සඳලංකාව කියන ග්‍රාමීය ප්‍රදේශයක. මම ඉගෙන ගත්තේ කු/ නාපොකුණ පාසලෙයි. මාව කලාවට යොමු කළේ ඒ පාසලයි. මම කුඩා කාලයේ සිට මූර්ති ශිල්පයට දස්කම් දැක්වූවා. තුන ශ්‍රේණියේ ඉගෙන ගන්නා විට කුරුණෑගල මලියදේව පාසලේ පැවති කලාපීය තරඟවලට මම මූර්ති නිර්මාණ ඉදිරිපත් කළා. එහිදී මට ප්‍රථම ස්ථානය හිමිවුණා. පසුව මම සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. ද්වීතික අධ්‍යාපනය සඳහා. එහිදී මම සංගීතය වගේම ලෝහ වැඩ, ලී වැඩ වලට දක්ෂතාවයක් දැක්වූවා.
මම වඩාත් ප්‍රිය කළේ සංගීතයට. කුඩා කාලයේ පටන්ම පාසලේ රැස්වීම්, සමිති ආදියේ ගී ගැයුවා.
මම දැන් පදිංචි වී සිටින්නේ කටාර් රාජ්‍යයේ. රැකියාව කරන්නේ කටාර් හමුදාවේ. කටාර් හමුදා මාණ්ඩලික නිලධාරියෙකුගේ නිල ඡායාරූප ශිල්පියෙකු ලෙසත් ග්‍රෆික් නිර්මාණ ශිල්පියෙකු ලෙසත් කටයුතු කරනවා. මම මුලින්ම කැසට් පටයක් එළි දැක්වූයේ 1998 දී. එය නම් කළේ ‘ වරලස ‘ නමින්.එකල ගල්ෆ් රටවල ගුවන් විදුලියක මුල්වරට සිංහල ගීත ප්‍රචාරය කිරීමේ අයිතිය ලැබුණේ මට. මම ලංකාවේ ජීවත් වෙද්දී ප්‍රසංග වේදිකා වලත් ගීත ගායනා කර තිබෙනවා. හිරු මෙගා බ්ලාස්ට්, සිරස කඩමණ්ඩිය, හිරු සිංදු කාමරය, ජාතික රූපවාහිනියේ ලයිව් බෑන්ඩ් ෂෝ, ඉරිදා නුගසෙවණ, ලක්හඬ ගුවන් විදුලියේ ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මගේ ගීතයක් පටිගත කරලත් තිබෙනවා. මගේ ගීත සියල්ල එකතු කර ප්‍රසංගයක් පැවැත්වීමට බලාපොරොත්තුක් තිබෙනවා. එහෙත් කටාර් රාජ්‍යයේ එවැනි දෙයක් කිරීමට අපහසුයි. ප්‍රසංගයක් කිරීම සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම බාධක තිබෙනවා. අපේ ශ්‍රී ලාංකිකයන් මෙහි ජීවත් වුවත් එකමුතුකම නැහැ. මම කටාර් රාජ්‍යයේ ජීවත් වෙන්න පටන්ගෙන මේ වන විට අවුරුදු විස්සකට වැඩියි. ඒත් මට ගීත ගයන්න අවස්ථාව දුන්නේ මීට ටික කලකට පෙර මෙහි සේවය කළ තානාපතිවරයෙක්.
ගායනයට වගේම මට ගීත රචනා කිරීමේ හැකියාවත් තිබෙනවා. මම මේ වනවිට ග්‍රෆික් නිර්මාණකරුවෙකු ලෙසද කටයුතු කරනවා. එහි ආරම්භය සිදුවුණේ ශ්‍රී ලංකා යුද හමුදා යුදෝපකරණ රෙජිමේන්තුවේ සේවය කරන කාලයේ.
වර්තමානයේ ග්‍රෆික් නිර්මාණ ශිල්පියෙකු වීම විශේෂයි. වර්තමානයේ පත්තර කලාවට ග්‍රැෆික් අවශ්‍යම අංගයක් බවට පත්වෙලා. ඒ වගේම සිනමාවටත් එය වැදගත් දෙයක් බවට පත්වී තිබෙනවා. එහෙත් එහි හොඳ පැත්ත වගේම තවත් පිරිසකට ලොකු අසාධාරණක් සිදුවුණා. අතින් චිත්‍ර ඇන්ද චිත්‍ර ශිල්පීන්ට රැකියා අවස්ථා අහිමි වුණා. අතීතයේ චිත්‍රපටවල ප්‍රචාරක පුවරු ඇන්දේ අතින්. ඒත් දැන් ග්‍රෆික් මාධ්‍යයෙන් තමයි ඒ සියල්ල කෙරෙන්නේ. අද ඒධ් තාක්ෂණය ප්‍රබල වෙලා. ඒ මඟින් ලෝකයේ බොහෝ නිර්මාණ සිදුවෙනවා. ඒ නිසා ග්‍රැෆික් ක්ෂේත්‍රයේ නියුතු අයටත් රැකියා අවස්ථා ක්‍රමයෙන් අඩුවෙනවා.
මම ලංකාවේ ජීවත් වූ කාලයේ රංගන ශිල්පියෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. මගේ ප්‍රථම රංගනය වූණේ ජයලත් මනෝරත්නයන්ගේ රංසිරිගේ සංග්‍රාමය. එහි රඟපෑවේ සුළු චරිතයක් වුවත් එය මට ලැබුණ වටිනා අවස්ථාවක් විදිහටයි මා සලකන්නේ. ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු වන මොහාන් නියාස් මහතාගේ නිර්මාණයකට මට දායක වෙන්න අවස්ථාව ලැබුණත් එය අහිමි වුණේ මා හමුදාවේ සේවය කළ නිසා.
ඉදිරියේදී ලංකාවට ඇවිත් ටෙලි නාට්‍යයක් හෝ සිනමා නිර්මාණයක් කිරීමට ආසාවක් තිබෙනවා. එය මට තනිව කළහැකි කාර්යක් නොවේ. ලංකාවේ සිටින මා මිතුරු අධ්‍යක්ෂකවරුන්ගේ සහය සහ උපදෙස් ලබා ගනිමින් ඒ කටයුත්ත සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. කලකට පෙර මා මිත්‍ර කුමාර වඳුරැස්ස මට ආරාධනා කළා නිර්මාණ කටයුත්තකට. එය විශාල වගකීමක්. මා විසින්ම කතාවක් ලියා නිර්මාණයකට අඩිතාලමක් දමන්න බලාපොරොත්තු වෙනවා.
මම කටාර් රාජ්‍යයේ පදිංචිව සිටියත් මගේ හිත තිබෙන්නේ මගේ මව් රටේ. වර්තමානයේ අපේ සිනමාව යහපත් තැනකට ඇවිත් තිබෙනවා. එය සතුටට කරුණක්. නිර්මාණශීලී තරුණ පරපුරක් බිහිවෙන බව පෙනෙන්නට තිබෙනවා. ඔවුන්ට නිසි දැනුම ලබාදෙන ආයතන වල අඩු බවක් තිබෙනවා. ලෝකයේ දියුණු රටවල , රංගනය ඇතුළු සිනමාවට අවශ්‍ය සියලු අංග පිළිබඳ දැනුම ලබා දෙන්න ආයතන තිබෙනවා. ලංකාවටත් එවැනි ආයතනවල අවශ්‍යතාවය තිබෙනවා.මම කවදා හෝ ලංකාවට පැමිණෙන්නේ අපේ කලාවන්ට අතහිත දීමේ අරමුණින්.
ඒ වගේම මගේ ගීත එකතුවෙන් ප්‍රසංගයක් පැවැත්වීමටද ආසාවෙන් පසුවෙනවා. මගේ මේ හීන සැබෑ කරගන්න මට සෙවණැල්ලක් වෙන්නේ මගේ ආදරණීය බිරිඳ සුරේකා දීපානි දයාරත්න. මට ඉන්නේ දියණියන් දෙදෙනෙක්. ලොකු දුව රොශෙල් ෂෙහානි. පොඩි දුව පමලි මෙත්සඳී. ඔවුන් දෙදෙනාත් කලාවට ළැඳීයි. දුරු රටක සිටියත් මගේ මව් රටේ කලාවන්ට මම දැඩි ලෙස ආදරය කරනවා. මට හැකි අයුරින් ඒ කලා නිර්මාණයන් මෙරට ප්‍රචලිත කරන්න මට හැකි මම කරනවා.
නයනාංජලි දෙහිපිටිය
