Home » කුඩා කල සිට මගේ ජීවිතයම ගලාගියේ චිත්‍රපටයක් වගේ KM Film Academy නිර්මාතෘ

කුඩා කල සිට මගේ ජීවිතයම ගලාගියේ චිත්‍රපටයක් වගේ KM Film Academy නිර්මාතෘ

-කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ කමිල මේදිස්

by mavan
February 26, 2026 1:29 pm 0 comment

KM Film Academy යනු සිනමාවට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින පිරිස සඳහා සිනමාකරණය ඉගැන්වීමට ඔහු නිර්මාණය කළ ආයතනයයි. එතුළින් කෙටි චිත්‍රපට නිර්මාණය වෙනවා පමණක් නොව, ඒවාට නිසි ඇගයුම් ලබාදීමද සිදුකෙරේ. නමින් කමිල මේදිස් වන හෙතෙම මෙම ඇකඩමියේ අධ්‍යක්ෂවරයායි. මෙවර ද සිය ගෝලයන් විසින් නිර්මාණය කළ කෙටි චිත්‍රපට උලෙළක් ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණි. එයට සමගාමීව කලා ක්ෂේත්‍රයට සේවාවක් කළ කලාකරුවන් හය දෙනකු තෝරා ඔවුන්ට ගෞරව උපහාර දැක්වීමක් ද සිදුකෙරිණි. එකී කෙටි චිත්‍රපට උලෙළත් ගෞරව උපහාර පිදීමත් පිළිබඳ කතා කිරීමට KM Film Academy අධ්‍යක්ෂ කමිල මේදිස් සරසවිය හා මෙසේ එක්විය.

පසුගියදා ඔබේ KM Film Academy මඟින් සංවිධානය කියලා කෙටි චිත්‍රපට උළෙල ගැන පැහැදිලි කළොත් ?

ඔව්, KM Film Academy කියන්නේ සිනමාවට පා තබන්න ආසාවෙන් ඉන්න අය වෙනුවෙන් සෑදුණු නිවහනක්. මේ වෙද්දී එම නිවහනේ උගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50කට අධිකයි. මේ වසරේ ශිල්ප හදාරා සිනමාවට පා තබන්නේ 05 වැනි කණ්ඩායමයි. මේ ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ සිනමා ගමනේ ආරම්භය තමයි ඔවුන් විසින්ම නිර්මාණය කෙරුණු කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය සංවිධානය කිරීම. මේ සියලුම සංවිධාන කටයුතු සිදුවන්නේ එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතින් වීම විශේෂත්වයක්. රටේ පැවති කොරෝනා වසංගතය වැනි විවිධ ප්‍රශ්න මත කණ්ඩායම් දෙකක් සඳහා උත්සව පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. එහෙත් කණ්ඩායම් තුනක් විසින් අති සාර්ථකව මේ කෙටි චිත්‍රපට උලෙළ සහ ඊට සමගාමීව සිදුවන ගෞරව සම්මාන උලෙළ ද සංවිධානය වුණා.

මෙවැනි කෙටි චිත්‍රපට උලෙළක් පැවැත්වීමේ අරමුණු මොනවාද ?

කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනයට, මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වන ශිල්පය හරියාකාරව ඔවුන් තුළ පිහිටනවාද යන්නත්, ඔවුන්ගේ නිර්මාණ කුසලතාව එළිදැක්වීමට හැකි මූලික අඩිතාලමක් නිර්මාණය කිරීමත් තමයි උලෙළේ ප්‍රධානම අරමුණ. ශශ්‍රී ලංකාවේ පිළිගත් උගත් විනිශ්චය මණ්ඩලයක් තුළින් මේ චිත්‍රපට සඳහා විනිශ්චය ලබාදී, ඔවුන්ට ඇගයීමක් ලබාදීමත්, අඩුපාඩු ඇත්නම් ඒවා සකසාගෙන ඉදිරි නිර්මාණ කරන්නේ කොහොමද කියා පෙන්වා දීමත් මෙයින් සිදුවෙනවා. බොහොම සතුටින් කියන්න කැමැතියි මගේ ඇකඩමියේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යශිෂ්‍යාවන් කිහිප දෙනෙක්ම මේ වෙද්දී අන්තර්ජාතික මට්ටමේ සම්මාන පවා ලබාගෙන තිබෙනවා.

උලෙළට ඇතුළත් වූ කෙටි චිත්‍රපට මොනවාද?

උලෙළට චිත්‍රපට හයක් ශිෂ්‍යශිෂ්‍යාවන් හය දෙනෙක් විසින් තනි තනිව නිර්මාණය කළා. ඒවා නම් ‘Liminal Desire’ (කෞශල්‍යා විජේරත්න), ” Forgotten Birth Day” (නවීන් නෙත්මිණ), “ලෝකෝත්තර ” (චාමිනී චතුරංගි), ” කිරිබතුයි වටලප්පනුයි” (දුමිඳු අසංක) , “Silence Of the Decision ” (උෂාන් පෙරේරා ), ” 9.00″ (ලසිඳු රුක්ෂාන්)

මෙයට සමගාමීව සිදු කළ කලාකරුවන් ඇගයීමේ ගෞරව සම්මාන උලෙළ ගැනත් කියමු ?

වසර කිහිපයක සිට කෙටි චිත්‍රපට උලෙළට සමගාමීව මෙම ගෞරව සම්මාන උලෙළත් පවත්වන්නේ. කලා ක්ෂේත්‍රයට සේවාවක් කළ ශිල්පීන්, ශිල්පිනියන් ඇගයීමක් මෙහිදී සිදුවන්නේ. මෙවර ඒ සඳහා කලාකරුවන් හය දෙනෙක් තෝරා ගත්තා. ඔවුන් නම් වශයෙන් කිව්වොත් රිචඩ් වීරක්කොඩි, නිලන්ති විජේසිංහ, ප්‍රසන්නජිත් අබේසූරිය, නයනා හෙට්ටිආරච්චි, රහල් බුලත්සිංහල, දුලානි අනුරාධා යන අයයි. මොවුන් සිනමාවට කළ සේවය අගයා ඔවුන්ට ගෞරව සම්මාන ලබා දුන්නේ. ජ්‍යේෂ්ඨ රූපණවේදිනියක වන නීටා ප්‍රනාන්දු මහත්මියගේ සුරතින්.

කලාකරුවන් ඇගයීම් උලෙළේ ආරම්භයට ගියොත් ?

කලාකරුවන් ඇගයීම බොහෝ කාලයක සිට මා තුළ තිබූ සිතුවිල්ලක්. අතීත සිනමාවට අනූපමේය සේවයක් සිදු කළ බොහෝ පිරිසක් තවමත් අප අතර ඉන්නවා. බොහෝ අවස්ථාවල ආරාධනා මෙන්ම උපහාර හිමිවන්නේ ජනප්‍රිය තරුවලට පමණයි. එහෙත් මීට වසර ගණනාවකට පෙර මෙරට සිනමාව තුළ කැපී පෙනුණු , ක්‍රමයෙන් ප්‍රේක්ෂකයාට අමතක වී යන, සිනමාවට විශාල සේවයක් කළ, රිදී තිරය වර්ණවත් කළ කලාකරුවන්ව අද සමාජයට අමතක වී ගිහින්. සමහරු රිදී තිරයෙන් පුංචි තිරයට පැමිණියාම ඔවුන්ව කොටුවෙනවා. එවැනි චරිතවලට නැවත පණපෙවීමක්, ධෛර්යය ගැන්වීමක් සිදු කිරීමට මට ලොකු වුවමනාවක් තිබුණා. ඒ මම ලාංකේය සිනමා ඉතිහාසය ගොඩක්දුරට අධ්‍යයනය කළ කෙනෙක් නිසා. අදටත් චිත්‍රපට 25ක 30ක රඟපෑ වයෝවෘද්ධ රංගන ශිල්පීන්, ශිල්පිනියන් මහලු නිවාසවල, අනාථ නිවාසවල පවා සිටිනවා. හැමෝටම ඔවුන්ව අමතක වෙලා. පැරණි කලාකරුවන් ගැන මතකය අලුත් කරගන්න අපි දරපු පුංචි උත්සාහයක් තමයි මේ ගෞරව උපහාර උලෙළ කියන්නේ. මේක ආරම්භ කර තවම වසර 02යි. මේ උපහාර පිදීම දිගටම කරගෙන යන්න අපි උත්සාහ කරනවා. පසුගිය වසරේ ඇගයීම් උලෙළේදී සිනමා නිළි අනුෂා ගීතාංජලී, සුසිලා කෝට්ටගේ, සිනමා, ටෙලිනාට්‍ය නළු ජයසේකර අපොන්සු, ඩී.බී. ගංගොඩතැන්න, තිර පිටපත් රචක එස්. ඒ. අලගේෂන් වැනි කලාකරුවන් ඇගයීමට ලක්වුණා.

ඇගයුම් ලබන කලාකරුවන් තෝරා ගන්නා ක්‍රමවේදය කුමක්ද ?

නීත්‍යනුකූල ක්‍රමවේදයක් නම් නැහැ. ගෞරවයක් ලැබිය යුතු, ඒ සඳහා සුදුසු සියලු දෙනා ගැන අප සලකා බලනවා. ඔවුන්ගේ කැමැත්ත, අකැමැත්ත සහ ඔවුන්ට සහභාගි වීමට ඇති හැකියාව බලනවා. මේ උලෙළට සංවිධානයක් හෝ ආයතනයක් සම්බන්ධ නොවී පෞද්ගලික ධනයෙන් සිදුකරන නිසා දැරිය හැකි ප්‍රමාණයකට තමයි අපට මෙය සිදු කළ හැකි වන්නේ. ඉදිරියේදී මේ සඳහා සත්කාරකත්වයෙන් කවුරුන් හෝ ඉදිරිපත් වෙනවා නම් මීට වඩා දෙයක් කළ හැකි වෙයි කියා සිතනවා. නැතත් අපට හැකි අයුරින් එය සිදු සිදුකරනවා.

KM Film Academy ආරම්භය සිදුවූ අයුරු සිදු කළොත් ?

මෙය ආරම්භ වන්නේ 2021වසරේ. දැනට වසර 05කට ඉහතදී. සිනමාව පිළිබඳ මම අධ්‍යාපනය ලැබුවේ ඉන්දියාවෙන්. නමුත් අප රටේ තවත් දක්ෂ බොහෝ අය ඉන්නවා. අප රටේ තිබෙන ලොකුම අඩුපාඩුවක් තමයි සිනමාකරණය ඉගෙන ගන්න නිසි අධ්‍යාපනික ආයතනයක් නොමැති වීම සහ තිබෙන පෞද්ගලික ආයතනවලින් අය කරන බර පැන ග්‍රාමීය දුප්පත් දරුවන්ට ළඟා වීමට නොහැකි මට්ටමේ පැවතීම. මගේ මේ ඇකඩමිය මුලින්ම කළුබෝවිල, ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේ පුංචි ඉඩක තමයි ඇරඹුණේ. එහෙත් කැමරාව, තාක්ෂණය ආදී සියලු දේ ගැන අධ්‍යාපනය පළමු කණ්ඩායමේ සිටම සෑම සිසුවකුටම අවම පහසුකම් යටතේ වුවත් ලබාදුන්නා. ක්‍රමයෙන් පහසුකම් වැඩි වුණා. අදටත් ලොකු පහසුකමක් නැහැ. අපි අපට හැකි අයුරින් මෙය සංවර්ධනය කරගෙන යනවා.

ඔබ මේ ඇකඩමියේ අධ්‍යක්ෂවරයායි. එකී භූමිකාව ගැන කීවොත් ?

මම ඉගෙන ගත්තේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන්න. ඒ වෙනස් රටක, වෙනස් පරිසරයක. ඒ ආභාසය වෙනස්. ඒ ආභාසය එක්ක ලංකාවට එන මට මේ සිනමාව ඇතුළේ තිබෙන සුන්දර, අසුන්දර තැන් දෙකම හසුවෙනවා. ඒ අසුන්දර තැන්වල සමහර වෙලාවට මේක දාලා යන්න හිතුණු අවස්ථා අනන්තයි. අපි හැමෝම සේවයක් කළ යුතුයි. එනිසා මම සිතුවා කලා ක්ෂේත්‍රයට ඇවිත් ප්‍රශ්නවලට මුහුණ දී හැලෙන අයව රැක ගන්න තැනක් අවශ්‍යයි කියලා. තව කෙනෙකුට තිබූ ශක්තිය තව කෙනෙකුට නැති වෙන්න පුළුවන්. එහෙම අයට ශක්තිය ඇති කරන තැනක් හදන්න ඕනේ. තවමත් ගම්වල රඟපෑමට ආස, චිත්‍රපටයක් හදන්න ආස කොල්ලො කෙල්ල ඕන තරම් ඉන්නවා. එහෙම උනන්දුව, ආසාව තිබෙන අයට නිරන්තරයෙන් දොරවල් ඇරුණු තැනක් තමයි KM Film Academy කියන්නේ. මේ ඇකඩමිය අනාගත චිත්‍රපට නිර්මාණකරුවන්ට වෙන් වූ තෝතැන්නක්. ගතානුගතිකව ටියුෂන් පන්තියක වගේ ඉඳගෙන, නැත්නම් Online කරන්න පුළුවන් විෂයක් නෙවෙයි කලාව කියන්නේ. ඒකට මනස නිදහස්ව තිබිය යුතුයි. ලස්සන සිතුවිලි, ආකල්ප එන්න ඕනේ. ඒවා ඔපමට්ටම් කරන්න පුළුවන් දැනුම තිබෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. මේ සියල්ල සමඟ තමයි KM Film Academy ආරම්භ වන්නේ. මේකෙ ප්‍රධාන දේශකවරයාත් මමයි. ඒකට හේතුව ගුරුවරු කීපදෙනෙක්ම විෂයන් උගන්වද්දී ඒ ළමයින්ගේ ඔළුවට යන ප්‍රතිශතය ගුරුවරයාගෙන් ගුරුවරයාට වෙනස් වෙනවා. එනිසා පදනම් පාඨමාලාව සම්පූර්ණයෙන්ම මගේ යටතේ සිදුවන්නේ. පාඨමාලාව අවසානයේදී අතිරේක දේශකවරුන් කිහිප දෙනෙක්ම (ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්) පැමිණ ඔවුන් සමඟ දේශන පවත්වමින් කටයුතු කරනවා.

සිනමාකරණයට කුඩා කල සිටම ඇල්මක් දැක්වූවාද ?

කුඩා කල සිටම මගේ ජීවිතේම ගලාගෙන ගියෙත් චිත්‍රපටයක් විදිහට. ඉතින් චිත්‍රපටවලින් තොර ලෝකයක් මට නැහැ. කුඩා කල ටීවී එකේ නැරඹූ හින්දි චිත්‍රපට බලලා, ඒ චිත්‍රපට හදපු රටටම ගිහින් චිත්‍රපට ගැන ඉගෙනගෙන, ඒ චිත්‍රපටම හදපු දැවැන්ත ආයතනයකම සේවය කරන්න ලැබීමත් මා ලද ජයග්‍රහණයක්. උපාධිය හදාරන අතරේම අන්තර්ජාතික මෙන්ම ජාතික මට්ටමේ සම්මාන ලබා ගැනීමට හැකිවීමත් සතුටක්. අද මා වටා ගෝල පිරිසකුත් බිහිවෙලා. එහෙම සතුටක් ලැබෙන තැන තමයි මගේ ජීවිතය. සිනමාව කියන්නේ සරලවම මගේ ජීවිතයයි.

ලාංකේය සිනමාව ගැන ඔබේ දැක්ම කවරාකාර ද ?

එකල තිබූ ප්‍රේක්ෂකාගාරය අද කඩා වැටිලා. එයට ටෙලිවිෂනයේ ආගමනයත් බොහෝ විට බලපාන්න ඇති. ඉන්දියාවේ, අමෙරිකාවේ නව සිනමාහල් බිහිවෙද්දී තාක්ෂණය දියුණු වෙලත් අපේ රටේ සිනමා ශාලා වැසී යනවා. නියාමනයකින් තොර චිත්‍රපට උලෙළවල් මෙන්ම මුදලට විකිණෙන සම්මාන ඇතුළු බොහෝ ප්‍රශ්න මේ කලාව ඇතුළේ විකෘති වෙලා. රාජ්‍ය මට්ටමෙන් තිබෙන ජාතික චිත්‍රපට සංස්ථාව හා රැඟුම් පාලක මණ්ඩලය සඳහා රාජ්‍ය අනුග්‍රහය ඉදිරියේදී ලැබේවි කියා සිතනවා. පසුගිය වසරේ නම් සිනමාවේ යම් ප්‍රගතියක් දුටුවා. සිනමාව රැකගැනීම අපගේ වගකීමක්.

සිනමාකරණයට පිවිසෙන නවක තරුණ පිරිස ගැන මොකද සිතන්නේ ?

ඉදිරියට එන හැමෝටම මම කියන්නේ අත්හදාබැලීමකින් තොරව, අධ්‍යයනයකින් තොරව කලා ක්ෂේත්‍රයට ඇතුළු වෙන්න එපා කියලා. රූපය තිබූ පලියට නළුවෙක්, නිළියෙක් වෙන්න බැහැ. Social Media තුළ Followers ලා හිටියට තරුවක් වෙන්න බැහැ. හොඳට මතක තියාගන්න ඕනා හැම තැනකටම අදාළ වන Discipline කියා දෙයක් තියෙනවා. සෙට් එකක ඉන්න විදිහ, වැඩිහිටි ජ්‍යේෂ්ඨයන්ට ගරු කරන විදිහ, මුදලට නොවිකිණී කලාවට ආදරය කරන විදිහ ඉගෙන ගන්නම ඕනේ.

සිනමාව වැඩිදුර හදාරන්න අදහසකුත් ඇති?

ඔව්, සිනමාව යනු ඉගෙන ගෙන අවසන් කළ නොහැකි දෙයක්..මම තව ඉගෙන ගත යුතු බොහෝ දේ තිබෙනවා කියලා දිනෙන් දින වර්ධනය වන තාක්ෂණය එක්ක මෙන්ම කාලය ගෙවෙද්දී තේරුම් යනවා .

සිනමාකරණයට අදාළව ග්‍රන්ථයක් සම්පාදනයට අදහසක් නැද්ද ?

සිනමාවට අදාළ ග්‍රන්ථ රැසක් තිබුණත්, මොඩියුල් එකක් විදිහට කලාව ඉගෙන ගන්න පුද්ගලයෙක්ට Step By Step ඉගෙන ගන්න නිසියාකාර ග්‍රන්ථයක් සම්පාදනය කරන්න කියලා මගේ ළඟම හිතවතෙක් මට ආරාධනා කළා. ඉදිරියේදී ඒ ගැන බලමු.

KM Film Academyහි අනාගත සැලසුම් ගැන ඉඟියක් දුන්නොත් ?

ශිෂ්‍යශිෂ්‍යාවන් දැනුමෙන් පෝෂණය කරමින්, නිසියාකාරව ඔවුන් අදාළ මාර්ගයන්හි යොමු කරවීම KM Film Academy හි ප්‍රධානම අරමුණ මෙන්ම වගකීමයි. ඒ සඳහා අපි කටයුතු කරනවා. ලබන වසරට පාඨමාලාව අරම්භ වීම තරමක් ප්‍රමාද වේවි. නමුත් එය නමකට සීමා නොවී අලුත් ආරම්භක මුල් අඩිතාලම විය හැකියි.

පවුලේ විස්තර හා ඔවුන්ගෙන් ඔබේ ගමනට ලැබෙන සහාය මොන වගේද ?

අම්මාව මෙහිදී මතක් කල යුතුමයි..බැණ බැණ හරි තාමත් මාව පරිස්සම් කරන්නේ අම්මා. සිනමාව ගැන ලොකු අවබෝධයක් නැතත් ඇය හරි ආඩම්බරයෙන් මගේ ජයග්‍රහණ දිහා බලාගෙන ඉන්නවා..ලොකු අම්මාත් කුඩා කල සිට මාව රැක බලා ගත් ඇන්ටිලා බොහෝමයකුත් ඉන්නවා. මේ තාක් මාව අල්ලගෙන ආවට, තවදුරටත් මාව අල්ලගෙන ඉන්නවට ඔවුන්ට ස්තූතියි. මේ පවුලට අමතරව මට තව පවුලක් ඉන්නවා. ඒ තමයි අවුරුදු 05ක් පුරා මම හදපු මගේ ආදරණීය දරුවෝ ටික. ඔවුන් මගේ ශක්තිය වේ. මගේ නෑදෑයෝ, යාළුවෝ, වචනයකින් හරි මගේ කලා දිවියට උදවු කළ හැමෝටම බොහොම ස්තූතියි.

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT