කුටුම්භය විෂය නොවූ -පාදක නොවූ සිනමාපටයක් කවර සිනමා කලාපයකදීවත් සොයා ගැනීම පහසු නොවේ. ඉන් කියවෙන්නේ කුටුම්බය යනු පොදු ජන දිවියේ එන බලවත් පුද්ගල එකඟතාවක් වන බවයි. සිනමාවෙන් සමකාලීන, අතීත හෝ අනාගත පොදු ජන දිවිය පිළිබිඹු කෙරෙන්නේ නම් කුටුම්බය මුළුමනින්ම අතහැර දැමීම අසීරුය. මෙයින් අදහස් කෙරෙන්නේ කුටුම්බය බැහැර කරමින් සිනමා නිමැවුමෙහි නියැළීම අනුචිත කටයුත්තක්ය යන්න නොවේ. මුළුමනින්ම කුටුම්බ දිවිය බැහැර කරමින් සිනමාවේ නව මං පත් විවර කළ සිනමාපට ජගත් සිනමා සයුරේ ඔබ මොබ පිහිනද්දී හසු නොවනවාම නොවේ.
මෙකරුණු සඳහන් කෙරෙන්නේ සමීර නාඔටුන්නගේ තෙවන සිනමා මෙහෙයුම -‘ වයිෆ්’ හඳුනා ගැනීමේ හා විනිවිද දැකීමේ පිළිවෙත් සහතික කර ගනු වස්ය. සමීර ‘වයිෆ්’ මහජන දැක්මට පමුණුවාලන්නේ කවර මාදිලියේ රසික පිරිස් අමතමින්ද යන්න පළමු කොටම විසඳා ගත යුතු පැනයක් වෙයි. බැලූ බැල්මට නම් ‘වයිෆ්’ සුපුරුදු පවුලේ සිනමා රසිකයන්ම ඉලක්ක කර ගන්නා අයුරු පෙනේ . එනමුදු මෙහිලා සමිර දක්වන අදහස් උදහස් මතු නොව ඒවා නිරූපිත පිළිවෙළ පවසන්නේ ‘වයිෆ්’ පවුලක වැඩිහිටි රසිකයන්ම අමතන බවයි. මෙතැනට කුටුම්බයේ එන අඹු සැමි සබඳතා සතු නා නා විධ ලකුණු හසු කර ගැනීමේ චේතනාවෙන් යුතු රසිකයන්ද පැමිණෙනු ඇත. කෙසේ වුවත් ‘වයිෆ්’ මුල සිට අග දක්වාම සැලකිල්ලෙන් නරඹන විට වෙසෙසින් සඳහන් කළ යුතු කරුණු ත්‍රයක් පෙරට එන වග දක්නට ලැබේ. ‘වයිෆ්’ පිළිබඳ සැබෑව ඥානනයට මෙකරුණු නිසැකවම විමසිය යුතු බව පැහැදිලිය.
මෙයින් පළමුවැන්න වනුයේ පරාරෝපිත චරිතයක් ගොඩ නැංවීමටත්, එය සිනමාපටයේ කේන්ද්‍රීය චරිතය සේ ඔසවා තැබීමටත් සමීර දරන තැතය. මේ මාධව නැමැත්තායි. අගනුවර තරමක සුවදායී තට්ටු නිවසක බිරිය සමඟ වෙසෙන ඔහු එකම විටෙක විධිමත් හා අවිධිමත් රැකියා නියුක්තිකයකු සේ හඳුන්වා දේ. සිනමාකරුවකු හා සිනමා තිරනාටක රචකයකු වශයෙනි. වෙළෙඳ දැන්වීම් නිමැවුම් පියසක යම් පමණක වගකිවයුත්තකු ලෙසිනි. වැඩි ආදායමක් උපයා ගනු පිණිස කුලී මෝටර් රථ රියදුරකු වශයෙනි.
තවදුරටත් මාධව පිළිබඳ කරුණු දක්වන්නට සමීර අදි මදි නොකරයි. ඔහු බිරිඳට අපමණ සෙනෙහසක් දක්වන්නෙකි. ඈ හා උණුසුම් රමණයකටද ඔහු සූදානම්ය. දරුවකු නැති සොවින්ද ඔහු පෙළේ. අන් රුවැති කතුන් ඇසුරට ඔහු යොමුව සිටී. එහෙත් ඔහු එවැන්නියන් හා යහන් ගත වන්නේද යන්න තරමක් සැක සහිතය. රැකියාවේ ස්වභාවයද නිසා මධු පානයටද ඔහු මනාපය.
සමීර විසින් මාධවයේ මෙම චරිත ලකුණු මීළඟ අදියරක් කරා රැගෙන යනු ලබන්නේ එහි පරාරෝපිත බව සහතික කරමිනි. මාධව සිය රථයට ගොඩවන අයවලුන් අරභයා දක්වන්නේ මහත්වූ දයානුකම්පාවකි. අනීතිකව ගැබ් ගත් තැනැත්තියකට පිහිට වන්නට ඔහු සූදානම්ය. සැත්කමක් සඳහා රෝහල් ගතවන්නට තනිවම යන වියපත් කතගෙන් ඔහු මුදල් අය නොකරයි. පියාගේ භෂ්මාවශේෂ රැගෙන එන්නාටද ඔහු දක්වන්නේ දයානුකම්පාවකි. හුදෙකලාවේ වෙසෙන ධනවත් වියපත් යුවළකට සතුට ගෙන දෙන්නටද ඔහු සූදානම්ය.
මාධව පරාරෝපිත අයකු සේ නොඅනුමානවම දත හැක්කේ ඔහු වෙසෙන සමාජ දේශපාලන පරිසරයේ ඵලයක් ලෙසිනි. අන්‍යයන් හා අනන්‍ය වීමට ඔහුට ඇති හැකියාව අල්පය. ඔහුගේ මෙම ලකුණු හසු කර ගැනීමේ අවස්ථා කරා සමීර නොපැමිණෙන බව පෙනේ. මෙනිසාම මාධව යනු වියුක්ත පරාරෝපිතයකු සේ දැක ගැනීමේ ඉඩකඩ දෙගුණ තෙගුණ වේ. නිපැයුම් ප්‍රමිතිය ඉහළ නංවා ගත් අනුවේදනීය අත්දැකීමක් බවට ‘වයිෆ්’ පත් කර ගැනීමේ සමීරගේ පිළිවෙත නිසයි මාධව එබන්දකු බවට පත් වන්නේ. මෙය සමීර සතු දුබලතාවක් සේ පැවසීම සපුරාම වැරදිය. එනම් සමීර සිනමාපටය නිමවන්නේ පෙර සඳහන් කළ පරිදි වන නිසාවෙනි. එහෙත් සුලබ තුරුණු නාගරික සැමියකු හදා වඩා ගන්නවාට වඩා සංකීර්ණ ඇවතුම් පැවතුම් සහිත වියුක්ත පරාරෝපිතයකු හදා වඩා ගන්නට ඔහු දරන තැත අගනේය.
හේමාල් රණසිංහ මහත් වෑයමක් දරමින් මාධවගේ වියුක්ත පරාරෝපිත බව හසු කර ගන්නා අයුරු පෙනේ. සිනමා මෙහෙයුමෙන් නොව තිරනාටකයෙන් ඔහු වෙත තව සානුබල ලැබුණේ් නම් මැනවිය යන අදහස විද්වත් රසිකයා තුළ උපදින්නේ නිරායාසයෙනි. සිනමාපටයේ අනෙක් පළමු පෙළ චරිතය නිරූපණයට බට උදාරි වර්ණකුලසූරිය වෙතින් ඔහුට ලැබෙන සහය අරභයා මතුවන්නේ සෑහීමකට පත් විය නොහැකි හැඟීමකි. උදාරි , හේමාල් හා නොබැඳෙන අයුරින් නිර්මලා නමැති නාගරික බිරියගේ චරිතය හසුරුවාලන වග දැකිය හැකිවේ. ඇයටද තිරනාටකයේ සානුබල ඇවැසි පමණට නොලැබී ඇති සැටියකි.
‘වයිෆ්’ විමසන කළ දිස්වන දෙවන කරුණ වනුයේ ඒක පුරුෂ – ඒක භාර්යා විවාහය සම්බන්ධයෙන් සමීර පවසන දෑය. ඔහු වැඩිපුර පවසන්නේ සම්මත කුටුම්බය පරිබාහිර ස්ත්‍රී – පුරුෂ ඇසුරු කිරීම් රහිතව පවත්වාගෙන යාම වැදගත් වන බවය. එනමුදු විවාහ දිවියේ වරින් වර මතුවන හා දිගු කාලීනව පවතින නීරස හා ඒකාකාර බව නිසා උපදින විකල්ප ස්ත්‍රී – පුරුෂ සබඳතා රැගෙන එන ආස්වාදය හා ප්‍රේමනීය බව පළවා හරින්නටද සමීර කටයුතු නොකරයි. පරිගණක තිරය ඔස්සේ දිවෙන මාධවගේ පර ස්ත්‍රී සමාගමය එක් නිදසුනක් පමණි. බිරිය නිර්මලා වරෙක සරාගී වුවද පරිගණක තිරයට එබෙන ස්ත්‍රීන් එහෙම පිටින්ම සරාගී ලකුණුම උද්දීපනය කරයි. තවමත් දරු සම්පත් නොලැබීමද මාධවගේ ස්ත්‍රී ලෝලී බව පසු පස පවතින සාධකයකි. නිර්මලාගේ කාර්යාල මිතුරියද සැමියා විදෙස් ගත වීම හේතුවක් කොට ගෙන පෙම්බරයකු ඇසුරු කරන්නියකි. මාධවගේ රථයට වරෙක ගොඩ වන්නේ අන් පුරුෂයකු ඇසුරට වැටුණු විවාහක ස්ත්‍රියකි. ඇය එම සබඳතාවෙන් අපමණ සතුටක් ලබන බවද පෙනේ.
සමීර සිනමාපටය නිමා කරන්නේ සුලබ ලකුණක් සහිතවය. එනම් මෙතෙක් සිදුවූ දෑ යළි සිදුවන්නට ඉඩ ඇතිය යන අදහස දල්වමිනි. විරසක වූ යුවළ යළි එක්වන්නේ මේ එසේ සිදුවන අවසන් අවස්ථාවය යන්න සන් කරමිනි. ඒ හාම මාධවගේ ජංගම දුරකථනය නාද වෙයි. යම් ස්ත්‍රියකගේ සරාගී ඇරියුමක් විය හැකි බව දනවමිනි. කෙසේ වුවත් මෙතැනදී සමීර කුටුම්බ දිවිය පිළිබඳ බහුතර කියවීම සමඟ ඒකාත්මික වන බව පෙනේ. එනම් කවර තතු මැද වුව සැමියා හා බිරිඳ ඔවුනොවුන් සමඟම රමාණයේ යෙදිය යුතු බවයි. එකම නිවහනක විසිය යුතු බවයි. දරුවන් බිහිකොට හදා වඩා ගත යුතු බවයි. පරිබාහිර අභියෝග හමුවේ එක්ව පිළිතුරු සපයා ගත යුතු බවයි.
සිනමාපටයෙන් මතු කෙරෙන තෙවන කරුණ වන්නේ ඉසුරුමත් යැයි පෙනී යන නාගරික මැද පන්තික දිවියේ අඳුර දැකීමේ කවුළු විවර කරලන්නට සමීර දක්වන කැමැත්තය. මාධව හා නිර්මලා කුලී නිවැසියන්ය. අගනුවර දිවිය බොහෝ විට රඳා පවතින්නේ මිල මුදල් විය පැහැදම් කිරීමේ හැකියාවට සාපේක්ෂවයි . මාධවගේ ආදායම් මඟ අවධිමත් බව සමීර දෙතුන් වරක්ම පවසා තිබේ. නිර්මලා වුව ඉහළ පෙළේ රැකියාවක නිරත වන සෙයක් නොපෙනේ. ඇය මාධව හා විරසකව ගිය පසු ඔවුනගේ දිවි අඳුර පෙරට වඩා දැක ගත හැකිය. සමීර දිගින් දිගටම නිපැයුම් ප්‍රමිතිය ඉහළ නංවා ගෙන බහුතර රසිකයා අමතන පිළිවෙතක රැඳී සිටින හෙයින් මාධව – නිර්මලා අත්දකින මෙබඳු තතු උපදින හා පැතිරෙන පසුබිම හසු කර නොගනී. යළිත් කිව යුතු වන්නේ මෙය සමීර අනුදත් නිමැවුම් පිළිවෙත වන බවය. සිනමා නිමැවුම් බහුතර රසිකයා ඉලක්ක කර ගැනීම අනුචිත නොවන වගය. සිය පළමුවැනි සිනමා මෙහෙයුම වූ ‘මෝටර් බයිසිකල්’ හිදී සමීර ඉඟි කරන්නේ දේශපාලනික තේමා විවරණයට ඇති උනන්දුවයි. එය පසුකාලීනව බැහැර වීම සම්බන්ධයෙන් කනස්සල්ලක් පළ නොකළ යුතු වන්නේ නිපැයුම් ප්‍රමිතිය කෙරෙහි දක්වන ඔහුගේ අවධානය නොබිඳී ඇති නිසාවෙනි.
සිනමාපටයේ ආනුෂංගික අංග ඕනෑවට වඩා පහතට ඇද නොවැටීම සමීරගේ වාසියට හේතු වී තිබේ. මෙතැන සංගීතය , කැමරාකරණය හා සංස්කරණය කැපී පෙනේ. පැරණි ප්‍රකට ගී ද්වයක් එක් නොකෙළේ නම් සුදුසුය යන හැඟීම වැඩි රසික පිරිසක් තුළ ඇති වන්නට නම් ඉඩ තිබේ.
‘වයිෆ්’ තිරගත කෙරන්නේ ඉහළ රසික ආකර්ෂණයක් දිනා ගනිමින් තිබෙන සිනමාපට දෙක තුනක් සමඟය. නිපැයුම් පිල මෙහිලා මතුවන අවදානම කෙරෙහි සැලකිල්ලක් නොදක්වන වගක් නොපෙනේ. කෙසේ නමුදු ඔවුනගේ නොපැකිළීම හා එඩිය සැබවින්ම දත හැක්කේ ‘වයිෆ්’ ලබන රසික ප්‍රතිචාර විවරණයෙන් අනතුරුවය.
