35 වැනි කොටස
යුගයෙන් යුගයට චිත්‍රපටය දර්ශන ගත කරන්න තෝරගෙන තිබුණේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දර්ශන තල කිහිපයක්. මේ කාලයේ අමතක නොවන සිදුවීම් රාශියකුත් අපේ මතක අතරට එකතු වුණා. විජය කුමාරතුංගයන් මේ කාලය වනවිට අසීමිත ජනප්‍රියත්වයක් දිනාගෙන හිටියේ. චිත්‍රපට රූ ගත කිරිමකටවත් ඔහුට සහභාගිවෙන්න අවස්ථාවක් මිනිස්සු දුන්නේ නෑ. ඔවුන් ඇවිත් වට කර ගන්නවා. හැබැයි විජය අයියත් කවදාවත් එහෙම මිනිස්සු වට කර ගත්තම කතා නොකර මග ඇරලා ගියේ නෑ. ඔහු තරම් මිනිස්සුන්ට ආදරේ කරපු මිනිසෙක් මම දැකලා තිබුණේ නෑ. ඔහු කොයි තරම් කාර්ය බහුල වුණත් ඔහු ළඟට ආපු මිනිසෙකුට කතා නොකර ගියේ නෑ.
යුගයෙන් යුගයට චිත්‍රපටයේ බොහෝ දර්ශන ගත කිරීම් කිබුණේ එළිමහනේ. මට තාම මතකයි විජය අයියා එළියට බැස්සම මිනිස්සු එයා බලන්න පිරෙන හැටි. එක දවසක් අපේ රූ ගත කිරිම් තිබුණේ එළිමහනේ ඇලක් අයිනේ. එතැන ඇඳුම් මාරු කරගන්න ගොඩනැගිල්ලක් වත් තිබුණේ නෑ. එදා මම ආවේ රතුපාට කොටු කොටු සායකුයි හැට්ටයකුයි තමයි ඇඳගෙන ආවේ. මම කෙළින්ම දර්ශන තලයට ගියා. දර්ශන තලයට ගියාම මම ඇදුම් මාරු කර ගන්න ඕන රෙද්දකටයි හැට්ටයකටයි. ඇත්තටම එතන ඇඳුම් මාරු කරගන්න පහසුකමක් තිබුණේ නෑ. එදා විජය අයියත් එක්ක දර්ශන කිහිපයකුත් තිබුණ නිසා ඔහුත් දර්ශන තලයට ඇවිත් හිටියා. එයා එන්නේ එයාගේ කැබ් එකේ. ඒ වෙලාවේ චිත්‍රපටයේ නිෂ්පාදක පද්මසිරි කොඩිකාර ඇවිත් වට පිට බැලුවා. ඇඳුම් මාරු කර ගන්න තැනක් නෑ.
“නදීකා ඔයා විජය අයියගේ කැබ් එකට නැගලා ඇඳුම් මාරු කර ගන්න…” ඔහු කිව්වා.
මමත් ඉතින් තැනේ හැටියට ඇණේ ගහන්න ඕනනේ කියලා හිතලා චිත්‍රපටයට අඳීන රෙද්දයි හැට්ටෙයිත් අරගෙන විජය අයියගේ කැබ් එකට නැග්ගා.
කැබ් එකේ පිටිපස්සේ සීට් එකේදි ඇඳුම් මාරු කරගෙන මම ඇඳගෙන ආව රතුපාට කෙටු කොටු සායයි හැට්ටෙයි නවල විජය අයියගේ කැබ් එකේ පිටුපස්සේ සීට් එකේ තියලා මම දර්ශන තලයට ගියා.
අපි දෙන්නගේ සීන් ඔක්කොම ගත්තා. විජය අයියා අතිශයින්ම කාර්ය බහුල නිසා ඔහුගේ දර්ශන ඉක්මනින්ම අරගෙන ඔහුව නිදහස් කරනවා. විජය අයියගේ සීන් ඉවර වුණු නිසා ඔහු යන්න ගියා. මගේ දර්ශන තව දුරටත් තිබුණ නිසා අපි දර්ශන තලයේ රැදී සිටියා. මගේ දර්ශන ඉවරවෙලා ගෙදර යන්න ලෑස්තිවෙලා ඇඳුම් මාරු කරන්න බලනකොට තමයි මතක් වුනේ මගේ ඇඳුම් ටික විජය අයියගේ කැබ් එකේ කියලා. දැන් ඉතින් මොනවා කරන්නද ඒ වෙනකොට විජය අයියා ගිහින් හුඟාක් වෙලා ගතවෙලා.
ඊළඟ දවසේ විජය අයියා කියනවා ගෙදර ගියාම වෙච්ච දේ. කැබි එක පිටිපස්සේ තිබුණ මගේ ඇඳුම දැකපු විජය අයියගේ ආදරණීය බිරිඳ චන්ද්‍රිකා මැඩම් අහනවලු මෙහෙම
ආ…. මේ කාගෙද මේ ඇඳුම…….
ආ…. අද රුගත කිරිම් තිබුණේ ඇලක් අයිනේනේනේ. නදීකාට ඇඳුම් මාරු කර ගන්න තැනක් නැතුව මගේ කැබ් එකේ ඇඳුම් මාරුකළේ…..
මගේ දර්ශන ඉවර වුණු ගමන් මම ආවා…. නදීකා තවම එහේ… ඔය ඇදුම එයාගේ……
හැබැයි විජය අයියා ඒ එක්කම කිව්වා හොඳ වෙලාවට ඒක නදීකාගේ වුණේ කියලා.
ඇත්තටම ඒ කාලේ වෙනකොට චන්ද්‍රිකා මැඩම් මා ගැන දැනගෙන හිටියා. යුගයෙන් යුගයට ෂුටිං යන මුල් කාලේ තමයි මම ඉස් ඉස්සරලම විජය අයියගේ ගෙදරට ගියේ ඔහුව එක්කන් යන්න. දවසක් අපි උදෙන්ම නාරාහේන්පිට ගෙදරට ගියා එයාව ගන්න. අපි යනකොටත් ඒයා සෙනඟ වට කරගෙන මොකක්දෝ සාකච්ඡාවක්. මට කිව්වා ගෙට ඇවිත් පොඩ්ඩක් වාඩිවෙන්න කියලා. ඔහුගේ සාකච්ඡාව ඉවර වෙනකම් මම ගේ ඇතුළට ගිහින් වාඩි වුණා. එදා තමයි මම ඉස්ඉස්සරලාම චන්ද්‍රිකා මැඩම්ව දකින්නේ. එයා එතකොට දේශපාලනයට ඇවිත් නැහැ. මම සාලේ ඉඳගෙන ඉන්නකොට එයා ඇවිත් හලෝ කියලා ගියා. ටිකකින් එයා මට බීම විදුරුවකුත් හදාගෙන ආවා. මට තාමත් මතකයි මම ජිවිතේ පළවෙනි වතාවට සන්කුවික් බීම එකක් බිව්වේ විජය අයියගේ ගෙදරින්. ඇය මට ලස්සන ලොකු වීදුරුවකට සන්කුවික් බීම එකක් හදාගෙන ඇවිත් පිරිනැමුවා. මමත් තෑන්ක්ස් කරලා ඒක අරගෙන බොන ගමන් අපි ටිකක් කතා කළා. ඒ වෙනකොට මම දැක්කා ගේ අයිනේ තැඹිලි වගයක් ගෙනත් ගොඩකරලා තියෙනවා.
“මම වත්තෙන් තැඹිලි අරන් ආවා … මේ ළඟදි මම වත්තක් විකුණුවා. ඒ සල්ලි බබාලගේ පොත්වල දැම්මා……
ඉතින් මේ විජය වැඩකළාට නිකම්මනේ වැඩ කරන්නේ…….
ඇය මාත් එක්ක සුහදව කතා බහ කරන්න පටන් ගත්තා. තමන්ගේ ජිවිතේ පෞද්ගලික දේ ගැන වුණත් මාත් එක්ක කතා කරන්න ඇයට මා ගැන විශ්වාසයක් ඇති වෙන්න ඇති කියලා එදා මට හිතුණා. ඒ සුහද හමුවිමට පස්සේ තමයි අර සිදුවිම වුණේ.
ඇත්තටම ඇය කියපු කාරණේ සහතිකයෙන්ම ඇත්ත. විජය අයියා බහුතරයකගේ වැඩ කළේ නිකම්ම තමයි. සමහර යාළු මිත්‍රයන්ගේ වැඩ වලට ඔහු සත පහක් අය කළේ නැහැ.
යුගයෙන් යුගයට ගීත රු ගත කරත්දි නම් පුදුම අපහසුතාවයක් ආවා. මේ සමහර ගීත දර්ශනවල තිබෙනවා විජය අයියගේ අත අල්ලගෙන ඉන්න. විජය අයියගේ එක අතක ලොකු පැච් එකක් තිබුණා. තුවාල කැලලක් වගේ දෙයක්. ඉතින් ඔහු මට කියනවා ඒ පැච් එක උඩින් මගේ අත තියන්න එතකොට පැච් එක වැහෙනවා කියලා. ඒ සීන් එක ලෙනින් අයියා ගියේ සමීප රූපයකට. ඔහු හරිම සරල, නිහතමානි පුද්ගලයෙක්. ඔහු වැඩ කරන වෙලාවට වටේම සෙනෙඟ පිරිලා. ඒ වෙන කවුරුත් බලන්න නොවෙයි, ඔහු බලන්න.කොයි තරම් කාර්ය බහුල වුණත් විජය අයිය. ඔහු ළඟට එන හැම කෙනාටමකතා කරලා තමයි යන්නේ. ඒ පෞරුෂත්වය අද නම් කාටවත් ගොඩනගා ගන්න බෑ.
ලබන සතියේ හොල්මනකට බයවීම
හේමාලි විජේරත්න
