ලාංකේය සිනමා පුවත්පත්කලා ඉතිහාසයේ ජ්‍යේෂ්ඨතමයකු වශයෙන් සැලකෙන ප්‍රවීණ පුවත්පත් කලාවේදී අර්නස්ට් වඩුගේ විසින් විරචිත ‘සිනමා රන් පොත’ පසුගියදා ජනගත වූයේය. මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම සිංහල චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුවේ’ සිට මේ දක්වාම සිනමාවේ බොහෝ සන්ධිස්ථාන සහ සුවිශේෂී පුද්ගලයන්, සුවිශේෂී සිදුවීම් පිළිබඳ මෙම ග්‍රන්ථය පුරා ඔහු විසින් සටහන් තබා ඇත. මේ හුදෙක් ලිඛිත ග්‍රන්ථයකට එහා ගිය ඡායාරූපමය ග්‍රන්ථයකි. මෙරට සිනමා ග්‍රන්ථකරණය තුළ නවමු මාවතකට පිවිසීමක් වැන්න. කවදත් තම නිර්මාණකරණය ඔස්සේ නැවුම් මාවත් සොයා යන්නට දක්ෂයෙකු වූ අර්නස්ට් වඩුගේ නමැති පත්‍රකලාවේදියා, මාධ්‍යකරුවා සමඟ මෙවර අපේ පිළිසඳර යොමු වූයේ ඔහුගේ නවතම ග්‍රන්ථය වූ ‘සිනමා රන් පොත’ වෙනුවෙනි.
‘සිනමා රන් පොත’ ඔබේ නවතම සිනමා ග්‍රන්ථයයි. මෙවැන්නක් රචනා කිරීමේ අරමුණ වුණේ කුමක්ද?
මේ පොත රචනා වෙන්නේ බොහොම සරල, සුගම භාෂාවකින්. ඒ වගේම තමයි පිටු ගණන් පරිච්ඡේද ගණන් මේ පොතේ කියවගෙන යන්න නෑ. කියන්න ඕන දේ කෙටි වාක්‍ය කිහිපයකින් සරලව සඳහන් කරලා තිබෙනවා. හැබැයි මේ පොතට මම විශාල වශයෙන් ඡායාරූප භාවිතා කරලා තිබෙනවා. වර්තමානය වන විට අපේ බොහෝ පාඨකයෝ මහාවංශය වගේ දීර්ඝ ලියවිලි කියවන්න කැමති නෑ කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ අදාළ පණිවිඩය නිවැරදිව, කෙටියෙන් දැනගන්න විතරයි. මොකද කියවීම වෙනුවෙන් ඒ තරම් කාලයක් වර්තමාන පරපුරට වෙන්කරන්න අමාරුයි. ඔවුන් ගෙවන්නේ ඒ තරම් කාර්යබහුල ජීවිතයක්. ඒ නිසා මම හෑලි සම්ප්‍රදායෙන් මිදිලා පින්තූර සම්ප්‍රදායට ආවා. මම හිතුවා මේ සම්ප්‍රදායෙන් අපේ සිනමා ඉතිහාසය මේ ග්‍රන්ථය හරහා සාකච්ඡාවට ලක් කරන්න. අනිත් පැත්තෙන් මේ ග්‍රන්ථය හරහා දුර්ලභ ගණයේ පැරණි ඡායාරූප රැසක් නැවත වතාවක් ජනගත වෙනවා. ඉතින් මගේ අරමුණ වුණේ වර්තමාන පරපුරට අපේ සිනමා ඉතිහාසයේ රසමුසු තැන් හඳුන්වා දීමයි.
‘සිනමා රන්පොත’ ජනගත වී දැන් සති කීපයක් ගත වෙලා මොනවද ලැබෙන ප්‍රතිචාර?
ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ ප්‍රතිචාර කොච්චරද කියනවා නම්, මේ වෙනකොට පළවෙනි මුද්‍රණය අවසන් වෙලා තිබෙනවා. ඒකට එක හේතුවක් තමයි මේ පොත එක හුස්මට කියවගෙන යන්න පුළුවන් වීම. ඒ වෙනුවෙන් වැඩි කාලයක් වැය වෙන්නේ නෑ. බොහෝ කරුණු කාරණා මේ පොතේ විග්‍රහ කරන්නේ පින්තූරවලින්. වසර ගණනාවක ඉතිහාසය වර්තමානයට කියලා දෙනවා. ඉතින් ඇත්තටම මම විශ්වාස කරනවා මේ ග්‍රන්ථය හරවත් රසවත් ග්‍රන්ථයක් කියලා. මගේ මාධ්‍ය ජීවිතේ හැමදාමත් මම රසවත් භාවයට මුල් තැන දුන්න කෙනෙක්.
ග්‍රන්ථයේ දොරට වැඩීමේ උලෙළකුත් ඔබ පැවැත්වූවාද?
පසුගිය 19 වැනිදා සුභ මොහොතින් මගේ නිවසේදීම තමයි මේ උත්සවය පැවැත්වූයේ. ඒ සඳහා සිනමාවට සම්බන්ධ හා පුවත්පත් කලාවට සම්බන්ධ මගේ මිතුරු මිතුරියන් රාශියක් සහභාගි වුණා. දිල්හානි අශෝකමාලා, අනූෂා දමයන්ති, අරුණ වීරසිරි, ෂෙරීන් කුමාරතුංග, උපුල් නිශාන්ත, නිරංජලා සරෝජනී, ප්‍රියනාත් රත්නායක ඇතුළු විශාල කලාකරුවන් පිරිසක් ඒ සඳහා සහභාගි වුණා. මගේ පැරණිම මිත්‍රයෙක් වෙන ශෂී විජේන්ද්‍ර මාතලේ සිට පැමිණ ඊට සහභාගි වුණා. මේ හැමදෙනාගේම පැමිණීම මට මහත් ශක්තියක් වුණා. ඔවුන්ගේ සුබ පැතුම් මාව තව තවත් දිරිමත් කළා.
දැන් ඔබ පුවත්පත් කලා ජීවිතයෙන් සමු අරන්ද?
නෑ. අපෝ නෑ මම කවදාවත් මාධ්‍ය ජීවිතයෙන් සමුගන්නෙ නෑ. මාධ්‍යවේදියෙකුට විශ්‍රාම ගන්න බෑ. මම හිතන්නේ මම පත්තර ලෝකේ පුංචි තැනකින් පටන් අරගෙන ඉහළටම ගිය කෙනෙක්. අන්තිමට රස ප්‍රකාශන ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධූරයත් දෑරුවා. ඊට පස්සේ මම ඒක මගේ දියණිය මධාරාට පැවරුවා. ඉන් නිර්මල, භාවනා ඇතුළු පුවත්පත් ගණනාවක් ප්‍රකාශයට පත් කළා. මගේ දියණිය ඔහුගේ ස්වාමි පුරුෂයා ප්‍රකට පුවත්පත් කලාවේදී, ලේඛක සුජීව ප්‍රසන්න ආරච්චි සමඟ ඒක කරගෙන යනවා.
කොහොම වුණත් මේ ළඟකදී මට කතා කළා මගේ පැරැණි මිතුරියක් වන සුනාලි රත්නායක. ඇය දැනට විදේශ ගතවෙලා ඉන්නේ. ඇයගේ ස්වාමියාත් සමඟ ළඟදී ලංකාවට පැමිණෙනවා කිව්වා. ඇගෙන් මට ආරාධනාවක් තිබෙනවා ආපසු පත්තර ආයතනයක් පටන් ගන්න. ඉතින් මගේත් පොඩි අදහසකුත් තිබෙනවා ඒ පැත්තට ආයෙත් නැඹුරු වෙන්න අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා.
මෙච්චර දුර ගමනක් පැමිණි ඔබේ ලේඛන ජීවිතයේ මූලාරම්භයට හේතු වෙන්නේ කුමක්ද කියලද ඔබ විශ්වාස කරන්නේ?
මූලිකම හේතුව මම ඉගෙන ගත්ත ගාල්ලේ මහින්ද විද්‍යාලය. ඉතාමත් විශිෂ්ට ගුරුවරු රැසක් අපට එහිදී ඉගැන්නුවා. අපේ සිංහල ගුරුතුමා වුණේ අරිසෙන් අහුබුදු ශූරීන්. අපේ ජාතික ගීය නිර්මාණය කළ ආනන්ද සමරකෝන් ඒ කාලේ අපේ ඉස්කෝලේ ඉගැන්නුවා. ඒ වගේම එඩ්වින් ආරියදාස, මාර්ටින් වික්‍රමසිංහ වැනි ශ්‍රේෂ්ඨයන් බිහිවුණ තැනක්. මම ඉස්කෝලෙන් අවුට්වෙලා ඉන්න කාලේ තමයි ලියන්න පටන් ගත්තේ. ඒ කාලේ පළවුණු හැම පත්තරයකටම මම ලියන්න පටන් ගත්තා. ඔහොම ඉන්න අතරතුරේ තමයි මට ලේක්හවුස් ආයතනයේ සරසවිය පත්තරේට අවස්ථාව ලැබෙන්නේ. මම හිතන්නේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න හේතු වුණේ ඒක තමයි. මේ රටේ බිහිවුණු විශිෂ්ටම කලාකරුවන් රැසක් මම හඳුනා ගන්නේ ඒ හින්දා. ඔවුන් ඔක්කොම පස්සේ කාලෙක මගේ හොඳම මිතුරන් වුණා. ඒ අතීතයේ ප්‍රතිඵල තමයි ‘රන් පොත’ කියන්නේ.
ඔබ නවකතා කලාවට යොමු වෙන්නේ කොහොමද?
ඒකටත් මම තරුණ කාලේ ඉඳලම යොමුවෙලා හිටියා. මම ලේක්හවුස් එකට එනකොටම ආවේ නවකතාවක් ලියාගෙන. ඒකේ නම ‘ආදරේ මිහිරක් නොවේ.’ ඒක තමයි මගේ මුද්‍රණය වුණු පළමු නවකතාව. ඊට පස්සේ ලේක්‍හවුස් ආවම කාර්ය බහුල වුණු නිසා කාලාන්තරයක් මට නවකතාවක් ලියන්න බැරි වෙනවා. දෙවැනි පොත මුද්‍රණය වෙන්නේ ලේක්හවුස් එකෙන් අයින් වුණාට පස්සේ. ඒක සුවඳ පත්තරේ කොටස් වශයෙන් ගිය නවකතාවක්. නම ‘පිනි කඳුළු’ ඒක ඒ කාලේ හරියට ජනප්‍රිය වුණා. සුවඳ පත්තරේ ලක්ෂයක් විකුණුනා මේ නවකතාව නිසා. ඊට පස්සේ ඉතින් දිගටම ලියන්න ගත්තා. ‘ගම ගාල්ලේ’ කියන පොතෙන් මම කිව්වේ මගේ ගම ගැන. ඒ පොත හරියට අලෙවි වුණා. මට මතකයි ගීතා කුමාරසිංහ මේ පොතෙන් පිටපත් 500ක් ගත්තා. ඊට පස්සේ මම ‘සාදාදරණීය සිනමාව‘ කියලා සිනමාව ගැන පොතක් ලිව්වා. නවකතා ගත්තොත් ‘මගේ මැණික, ඇය පූජනීයයි, දේවතාවියේ, සංකලනී, රාහුල් ඇතුළු පොත් 30ක් විතර දැනට ලියලා ඇති.
ඉස්සරහට මොනවද ලියන්නේ?
සිනමා රන්පොත පිටවුණාට පස්සේ සමහරු මට බැනලා දුරකතන පණිවිඩ දෙනවා. ඒකට හේතුව මේ පොතේ ඔවුන් ගැන සඳහනක් නැතිවීම. ඉතින් හැමදෙනාම මේ පොතින් නියෝජනය කරන්න බැනේ. ඒක නිසා මම හිතුවා මේ පොතේ දෙවැනි කොටසකුත් එළි දක්වන්න. ඒක මම අලුත් අවුරුද්දේ මැද විතර කරන්න බලාපොරොත්තු වෙනවා.
දැන් ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
වරදක් නෑ. ජීවිතේ හරිම සුන්දරයි. හොඳ සැමියෙක් විදිහට හොඳ බිරිඳක් ලැබුවා. ආදරණීය දියණියක් ලැබුවා. මිනිබිරියක් ලැබුවා. හොඳ පවුල් ජීවිතයක් ගත කළා. ඒ අතීතයට මං තවමත් ආදරෙයි. මගේ ජීවිතේ මම අඬල නෑ. හැමදාම සතුටින් ගත කළා. ඉදිරි ජීවිතෙත් ඒ වගේ සතුටින් ගෙවන්න බලාපොරොත්තු වෙනවා.

