2026 වසර සිංහල සිනමාවේ ස්වර්ණමය වසර වන්නට බැරි නැත. කලාවට, සිනමාවට ආදරය කරන තරුණ ප්‍රජාවක් මේ වන විට සිනමා කර්මාන්තයට ප්රවිෂ්ටයක් ලබා තිබීම දකින විට අපිට ඒ ගැන බලාපොරොත්තු සහගත සිතිවිල්ල සිතේ දරා ගැනීමටද හැක. සිනමා කර්මාන්තය පිළිබඳ දැනුම්වත් වෙමින් ඒ පිළිබඳව හොඳ සිනමාත්මක අධ්‍යාපනයක් ලබමින් ඒ පිරිස් රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් නිෂ්පාදන අර්ථපතිත්වයෙන් මේ කර්මාන්තය හා බද්ධවන්නට උත්සුක වීම සැබැවින්ම ප්‍රශංසනීයයි.
මෙම වසරේ මුල් කාර්තුවේදී පමණ තිරගතවීමට අපේක්ෂිත අග්නි ජය චිත්‍රපටයේ අධ්යක්ෂවරයාද මෙම වසරේ හා පුරා කියා මෙරට සිනමා අධ්‍යක්ෂවරුන්ගේ නාමාවලියට එක්වන නවක අධ්යක්ෂවරයෙකි. ඔහු නමින් මාංචන තාරක පීරිස්.
රංගන ශිල්පියෙකු, චිත්‍රපට අධ්යක්ෂවරයකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු, නිරූපණ ශිල්පියකු, ව්‍යාපාරියකු ලෙස කටයුතු කරන මාංචන තාරක පිරිස් හා කතාබහට එක් වෙමු.
නමින් මාංචන තාරක පිරීස් කලා ක්ෂේත්රයේ කවුරු හැටියටද කලඑළි බහින්නේ?
මාංචන පිරිස් හැටියට මගේ නමේ තේරුම (ශයින් ස්ටාර්) බැබලෙන තරුව කියන අර්ථය ගැබ්වෙලා තියෙනවා.
2026 වසරේ සිංහල සිනමාවේ බැබලෙන තරුවක් ඔබ?
ඔව්. අනිවාර්යයෙන් බැබළෙන තරුවක් වෙයි. නමේ හැටියට එහෙම වෙයි කියලත් මට හැඟෙනවා.
කලාව නැමති මහා සාගරයට ඔබ මුලින්ම ප්‍රවිශ්ඨයක් ලබාගත්තේ?
රංග ශිල්පියෙක් හැටියට, ඊට පස්සේ මම නිරූපණ ශිල්පියෙක් බවට පත්වෙනවා. හැබැයි අද වෙනකොට මම චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වෙලත් ඉවරයි.
රංග ශිල්පියෙක් ලෙස සිනමාවට එන ඔබගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වන්නේ?
අග්නි ජය චිත්‍රපටය
මේ වසරේ ඔබේ සිනමා නිර්මාණය තිරගත කිරීම සිද්ධ වෙනවාද?
ඔව්. මේ වන විට චිත්‍රපටයේ බොහෝ වැඩ අවසන්. මම අදහස් කරලා තියෙනවා මේ වසරේ මුල් කාර්තුවේ මගේ මේ කුලුඳුල් අධ්‍යක්ෂණය ප්‍රේක්ෂක ප්‍රජාවට තිරගත කරන්න.
සිංහල සිනමාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ නාමාවලියේ නවක පුරුකක් බවට පත්වන මාංචන පීරිස් කවුරු හැටියටද ඔබ දකින්නේ?
කලාවට ආදරය කරන වෙනසක් කරන්න කැමති තරුණයෙක් විදිහට.
කවුරු හැටියටද ඔබ වෙනසක් කරන්න අදහස් කරන්නේ?
රංග ශිල්පියෙක් හැටියට, අධ්යක්ෂවරයෙක් හැටියට, ලංකාවට අලුත් ලස්සන සිනමා නිර්මාණ වගේම ටෙලි නාට්‍ය නිර්මාණවලින් ඒ මම අපේක්ෂා කරන වෙනස ඇති කරන්න සැලසුම් කරලා තියෙනවා.
මෝස්තර නිරූපණ ශිල්පියකු ලෙසින් කිරුළු පැලඳී ශිල්පියෙක් ඔබ?
ඔව් මම 2018 වසරේ මෑන්හන්ට් තරඟයේ මිස්ටර් යුනිවර්ස් කිරුළ දිනා ගනු ලැබුවා.
රංග ශිල්පියෙක් වශයෙන් හා අධ්යක්ෂවරයෙක් වශයෙන් සිනමාවට ප්‍රවිෂ්ට වී සිටින ඔබ මෙයින් වඩාත් ආශාවක් දක්වන්නේ?
රංග ශිල්පියාට.
රංග ශිල්පියාට ඔතරම් ඔබ ආදරෙයි නම් ඇයි අධ්යක්ෂවරයෙක් වෙන්න හිතුවේ?
මට හිතුණා ලංකාවේ සිනමාවට මම එනකොට අලුත් මූහුණුවරකින් එන්න ඕනේ කියලා. ආදරය, පවුල, සටන් කියන මේ තුන් ආකාරයට කැටි වූ ලස්සන කතාවක් තමයි. මගේ අග්නි ජය චිත්‍රපටය තුළ තියෙන්නේ. මම හිතුවා ඒ සඳහා මූලිකත්වය අරන් ඒ නිර්මාණය තුළ තියන රස තව වැඩි කරන්න ඒ විශ්වාසය මත මම අධ්යක්ෂණයට පිවිසෙන්න හිතුවා.
මුලින්ම ඔබ රංග ශිල්පියෙක් හැටියට සිනමාවට ප්‍රවිශ්ඨයක් ලබන්නේ?
ඩොනල් ජයන්ත අධ්‍යක්ෂණය කළ ‘සිහිනයකි ආදරේ’, උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘මධුර චාරිකා’ සිනමා නිර්මාණ ඔස්සේ.
සිනමා රංගනයේ ඔබේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ?
මම කුලුඳුලේ අධ්‍යක්ෂණය කරන එහි ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායකවන අග්නි ජය චිත්‍රපටය.
චිත්‍රපටය අධ්‍යක්ෂණය ඔබට අභියෝගයක් නොවුණේ ද?
අවදානමක් නැතුව අපිට කිසිවක් කළ නොහැකියි. මම හිතුවා ඒ අවදානම ගන්න හොඳම කාලය මේක කියලා. අග්නි ජය චිත්‍රපටය හොඳ පිරිසක් සමග මට කරන්න ලැබීම ඒ අභියෝගයම මට හොඳ ශක්තියක්.
කලාවට ආදරය කරන කලාවේ වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් ක්ෂේත්රයට එන ඔබ අග්නි ජය සිනමා නිර්මාණය හරහා මොන වගේ වෙනසක්ද ඇති කරන්නේ?
මම මේ චිත්‍රපටය සඳහා සම්බන්ධ කරගන්නවා ඉන්දියාවේ කොලිවුඩ් සිනමාවේ ජනකාන්ත නළු තලපති විජේයිගේ හා ඉන්දියාවේ ඉන්න සුපර් ස්ටාර් නළුවන්ගේ ෆයිටින් ඩිරෙක්ට සුරේෂ් මාස්ටර් ඔහුව මම ලංකාවට ගේනවා. මේ චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය සඳහා ලංකාවේ ප්‍රවීණ සටන් අධ්යක්ෂණයකු වූ වසන්ත කුමාරවිලගේ සහයෝගයත් මට ලැබුණා.
මට අවශ්‍ය වුණා. ජාත්‍යන්තර සටන් කලාවක් මගේ නිර්මාණයට එක් කරගන්න මට ඕන කළේ වෙනසක් ඇති කරන්න. ඒ වගේ අත්හදා බැලීමක් මට කරන්න ඕනෙ කියලා හිතුණ නිසා මම කළා. මේ චිත්‍රපටයට නැටුම් අධ්‍යක්ෂණය කළෙත් ඉන්දියාවේ සූර්යා චිත්‍රපටයේ වගේම. ඒ රටේ සුපිරි නළුවන්ගේ නැටුම් අධ්යක්ෂවරයකු වූ සිවරාජ් ඔහුවත් ලංකාවට ගෙන්වා මම මේ චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂණය සිදු කළා.
අග්නි ජය තුළ රංගනයේ නියැළෙන ශිල්පීන් ගැන කතා කළොත්?
මේ රඟපාන හැම ශිල්පියෙක් ශිල්පිනියක්ම ලංකාවේ අය. මිනිස්සු ආදරය කරන බොහෝ පිරිසක් මේ සඳහා දායක වෙනවා. ශ්‍රියාණි අමරසේන, සනත් ගුණතිලක, චරිත් අබේසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, කලණ ගුණසේකර, ශනුදි ප්‍රියසාද්, ශේෂාද්‍රි ප්‍රියසාද්, ලෝචනා ජයකොඩි, සංගීත් ප්‍රභූ, දුලීකා මාරපන, මීනා කුමාරි, ජගත් චමිල, ප්‍රියන්ත සෙනෙවිරත්න, දසුනි සිනෙත්මා ආදී ලංකාවේ විශාල කලාකරුවන් පිරිසකගේ දායකත්වය මේ සඳහා ලැබිලා තියෙනවා.
අධ්යක්ෂණයට නවකයෙක් වූ ඔබට රංගනය සමඟ අධ්‍යක්ෂණය කිරීමට ගැටලුකාරී වුණේ නැද්ද?
ලංකාවේ සිනමාවට මාව ආධුනිකයෙක් කියලා මට කොහෙත්ම දැනුනේ නෑ මොන පැත්තෙන්වත්. මගේ චිත්‍රපටයේ නළු නිළියන් කාර්මික ශිල්පීන් සියලු දෙනාගෙන් මට උපරිම සහයෝගයක් ලැබුණා.
මේ කාර්ය ඉටු කරන්න. මම රංගනයට නවකයෙක් අධ්යක්ෂණයට ආධුනිකයෙක් කියලා මට කොහෙත්ම හිතුණේ නෑ. මේ හැමෝම මට හැම ආකාරයෙන්ම සපෝට් එකක් දුන්නා. මේ චිත්‍රපටය සඳහා කැමරා අධ්‍යක්ෂණය සඳහා මම තෝරගත්තේ ඉන්දියාවේ සුපිරි නළුවන්ගේ කැමරා අධ්‍යක්ෂකවරයෙකු වූ විග්නේෂ් වාසූ රඟපාමින් අධ්‍යක්ෂණය කිරීමේදී කැමරා ශිල්පියා හැටියට විග්නේෂ් මට මාර සහයෝගයක් දුන්නා. අපි දෙන්නා යාළුවෝ කලක සිටන්.
සිනමා අත්දැකීමක් නොලබා සිටි කෙනෙක් රංගනයත් සමඟ අධ්‍යක්ෂණය කිරීමත් ගැටලු සහගතයි නේද?
තරුණයෙක් හැටියට ඒ අභියෝගය මම භාරගන්න ඕනේ. මම කලාවට ආදරෙයි. හැබැයි මගේ පවුල් පසුබිම කලාවට සම්බන්ධ නෑ. ඒත් මගේ අම්මාත් තාත්තාත් කලාවට ආදරෙයි. මගේ පියා ජ්‍යෝතිෂවේදියෙක්. මට නම වුණත් දාන්නේ මාංචන තාරක කියලා බැබළෙන තරුව කියලා තමයි ඒ නමේ අර්ථය. මගේ පියා දැනගෙන හිටියා මම කවද හරි ලංකාවේ රංගන ශිල්පියෙක් වෙනවා කියලා. ඒකට වෙන්න ඇති මට ඒ නම දැම්මෙත්. මම හැමදාම හිතුවේ චිත්‍රපටයක් බැලුවත් ඒක හදන්නේ කොහොමද කියලා. චිත්‍රපටයක් කියන්නේ ආට් එකක්. හිතකියවන ලස්සන ආට් එකක්. අපි යමක් ලස්සනට හිතුවොත් ලස්සනට කරන්න පුළුවන්. මට කොයිම වෙලාවකවත් දැනුණේ නෑ. මම මේ කලාවට නවකයෙක් කියලා මගේ වටේ හිටි කලාකරුවන්ගේ ලැබුණු සහයෝගයත් මේ චිත්‍රපටයේ සහාය අධ්යක්ෂ ඩොනල් ජයන්තගෙන් මගේ දෙවන සහාය අධ්යක්ෂ ප්‍රියන්ත පතිරගේ ගේත් තෙවන සහය අධ්යක්ෂ චාපා පෙරේරාගෙත් සහයත් ඇතිව මට මේ චිත්‍රපටය කරන්න හැකි වුණා. ඒක තමයි මම මේ අභියෝගය ජයගත්ත විධිය.
ඔබ ආපසු හැරිලා බැලුවොත් ඒ අභියෝගය ජය අරන් තියෙනවා කියලා ඔබට සන්තෝෂයක් ලබන්න පුළුවන්ද?
අපේ තාත්තා මට කියන දෙයක් තමයි ‘කතාව රිදී නම් නිශ්ශබ්දතාවය රත්තරං’ කියලා. මම හිතනවා ඒක මම කියනවට වඩා පේ්ර්ක්ෂකයෝ ඇවිත් මගේ නිර්මාණය බලලා තමන්ගේ ආකල්පය මට කියනවනම් මාව අගය කරනවා නම්. හැබැයි මම හිතනවා අපි හැමෝම එකම පවුලක් වගේ එක්වී ලස්සන නිර්මාණයක් කළා කියලා. ඒක මගේ පෞද්ගලික මතය.
මාංචන සටන් කලාවට අභිරුචියක් දක්වන කෙනෙක්ද?
මම කුඩා අවධියේ පටන් සටන් කලාවට ප්‍රිය කළ කෙනෙක්. මම සටන් කලාව හදාරලා තිබුණා. ඩාන්සින් කරලා තිබුණා. ලංකාවේ ඇක්ෂන් මුවි එකට මම ගොඩක් කැමති වුණේ ඔය කාරණා නිසා මම ජීවත්වන විදිහක් තිබුණා. මම දැනසිටියා මගේ ඇග ඇතුලේ තියෙන්නේ කලාව කියලා. ලස්සන ස්ක්‍රිප්ට් එකකින් ලස්සන කතාවකින් මිනිස්සුන්ගේ මනසට මම යමක් ලබා දෙනවා. එයින් මම තෘප්තියක් ලබනවා කියලා.
චිත්‍රපටයේ කතාව ඔබ අතට පත්වන්නේ?
ඉන්දියාවෙන් තමයි මට මේක ලැබෙන්නේ. සුනෙත් මාලිංග තමයි මේ තිර රචනය කළේ. හැබැයි කතාව ඉන්දියාවෙන් ලැබුණාට කොපියක් නොවෙයි. සුනේත් මාලිංග හා කණ්ඩාම ගොඩනැගුව ලස්සන කතාවක් මේ චිත්‍රපටයේ තියෙන්නේ.
ඔබත් සමඟ රඟපෑ නළු නිළියන්ගේ සහයෝගය කොහොමද?
දසුනි සිනෙත්මා, ශනුදි ප්‍රියසාද් දෙපළ තමයි මම සමග සමීපව රඟපෑවේ. මම හිතනවා මගේ ජීවිතයේ මම ලබපු ලොකුම භාග්‍ය ලංකාවේ විශාල නළු නිළියන් පිරිසක් සමග නිර්මාණයක් කරන්න ලැබීම.
රංගනයට පිවිසෙනකොට ඔබගේ වයස?
මුලින්ම මම රඟපාන්න එන්නේ අවුරුදු අටේදී ටීවී කොමර්ෂල් එකක් තමයි රඟපාන්නේ. ඊට පස්සේ මම සාමාන්‍ය පෙළ කරන කාලේ තමයි මුල්ම මියුසික් වීඩියෝ රඟපෑම පටන් ගත්තේ. කොහොම හරි මේ වන විට මියුසික් වීඩියෝ 15ක විතරක් මම රඟපාලා තියෙනවා. සිහිනයකි ආදරේ, මධුර ජවනිකා චිත්‍රපට දෙකේම මීට කලින් රඟපා තිබුණේ යාළුවෙක්ගේ චරිත.
කුඩා අවධියේත් සිනමා රසිකයෙක්ද ඔබ?
අම්මයි තාත්තයි මාව පුංචි දවස්වල මොරටුව එමෙස් සිනමා ශාලාවට එක්ක යනවා. චිත්‍රපට බලන්න. ඒ ගියාම මමත් හීන දැක්කා කවදහරි රඟපාන්න තිරයේ දැක්ක ලංකාවේ නළු නිළියන්ගේ ලොකු පින්තුර මාව ඒ සඳහා පෙලඹෙව්වා
ඔබ මුල්වරට සිනමා අත්දැකීමක් ලැබූ මොරටුව එමෙස් සිනමා ශාලාවත් ඔබේ මුල්ම සිනමා නිර්මාණයේ එක් රූප පෙළක් බවට පත්වෙනවා නොවෙයිද?
ඔව්. ස්ක්‍රිප් එකේ ඇති වූ වෙනස්කම් මත මට සිනමා ශාලාවක් ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේ මගේ මතකයට එන්නේ මම පුංචි සන්ධියේ චිත්‍රපට බලපු මේ හෝල් එක. දෛවයේ සරදමක්ද කොහෙද ඒ හෝල් එකේ මගේ කුලුඳුල් චිත්‍රපටයේ එක් දර්ශනයක් රූපගත කෙරෙනවා. මම හිතපු නැති වෙලාවක ස්ක්‍රිප්ට් එකේ තිබූ දෙයක් වෙනස්වීම නිසා මේ සීන් එක ගන්න පුළුවන් වුණා. මගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන්.
ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?
මගේ අග්නි ජය චිත්‍රපටය ලස්සන කතාවක්. මිනිස්සුන්ට මම ආරාධනා කරනවා ඇවිත් බලන්න මම වෙනසක් කරන්න උත්සාහ ගත්ත කෙනෙක්. කලාවට ආදරේ කරන කෙනෙක් විදිහට මගේ අනාගත බලාපොරොත්තුව ලස්සන නිර්මාණ ටිකක් බිහි කරන්න. මේ ක්ෂේත්රයේ ඉන්න දැවැන්තයිගෙන් මම ඉල්ලීමක් කරනවා. මම වගේ තරුණයන්ට උදව් කරන්න මේක මහා මුහුදක් වගේ නොදන්න දේ බොහොමයි.
දන්න දේ ස්වල්පයයි. උත්සාහ කරන්න මම කැමතියි සාර්ථකත්වය තියෙන්නෙත් එතන කියලා මම දන්නවා.
ඔබ බලාපොරොත්තු සහගතව බොහොම අභිරුචියෙන් කතා කරන අග්නි ජය චිත්‍රපටය යම් විදියකින් ප්‍රේක්ෂකයා වැලඳ නොගත්තොත් ඔබ ඉදිරියටත් මේ කර්මාන්තයේ නියැලෙනවාද?
මම හිතන්නේ මම කවදාවත් උත්සාහය අතහරින් නැති කෙනෙක් කිසිම කෙනෙක් පරදින් නෑ උත්සාහ කරනකන්. අපි උත්සාහය අතාහරින දාට තමයි පරදින්නේ නෑ. ඊළඟ මගේ ඉලක්කය තවත් චිත්‍රපටයක් කිරීම මේ වසරේ මැද භාගයේදී ඒ සඳහා කටයුතු කරන්න දැන් ඉදන්ම මගේ සූදානමක් තියෙනවා. ප්‍රේක්ෂකයා මම ඊළඟ නිර්මාණයෙන් දෙන්නේ මොකක්ද කියලා කුතුහලයක් දනවා තබන්නත් මම කැමතියි.
සිනමාව පමණ ද ඔබේ රංගන ජීවිතය ටෙලි නාට්‍ය වේදිකා නිර්මාණ අමතක කරලද?
ටෙලි නාට්‍ය සඳහා මගේ අකමැත්තක් නෑ හොඳ අවස්ථාවක් ලැබුණොත් සලකා බලනවා. මීට කලින් මට ආරාධනා ආවා මට කාලවේලා නැතිකමට ඒ අවස්ථා මගෙන් ගිලිහි ගියා. රිදී තිරයට මගේ විශේෂ ඇල්මක් තියෙනවා. මට ලැබෙන චරිත හා කතාමාලාව අනුව තමයි. ටෙලි නාට්‍ය මම තෝරා ගැනීම කරන්නෙත් වේදිකාවේ රඟපාන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ මට තියෙන අවිවේකීකමත් මේකට එක හේතුවක්.
ප්රේමවන්තයාටද ඔබ රංගනය තුළත් වැඩි අභිරුචියක් දක්වන්නේ?
අපි හැමෝම පේ‍්‍රමවන්තයෝ අපේ ජීවිතයේ අපි හැමෝම අන්තිමට බලාපොරොත්තු වන්නෙත් ඔච්චරයි. මම හිතන්නේ චිත්‍රපටයේ හරි ප්‍රේමවන්තයෙක් වෙලා නරඹන මිනිසුන්ගේ හිත සතුටු කරන්න පුළුවන් නම් ඒක තමයි නළුවෙක්ට කලාකාරයෙක්ට කරන්න පුළුවන් ලොකුම දේ.
සැබෑ ජීවිතයේ ඔබ මේ වන විට ප්‍රේමවන්තයෙක්ද?
තාම නෑ. හොඳ ගුණයහපත් කෙනෙක් හම්බ වුණොත් ඒ ගැනත් සිතනවා.
ඔබේ පාසල වුණේ?
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය කලා විෂයන්ගෙන් තමයි මම අධ්‍යාපනය ලබන්නේ. මට වයස අවුරුදු අටේදී මම කොමර්ෂල් එකක රඟපානවා. අපොස සාමාන්‍ය පෙළ අධ්‍යාපනය හදාරණ අවධියේ මම පාසලෙන් බැහැරව රඟපෑමේ කාර්ය සිද්ධ කරනවා.
ඔබට වයස අවුරුදු අට ඔබේ ජීවිතයේ සලකුණක්?
මගේ ජීවිතයේ ආරම්භය කියලා මම දකින්නේ මගේ වයස අවුරුදු අට. පුංචි කාලෙ මගේ කැමැත්තක් තිබුණ නිසානේ මම කැමරාවක් ඉදිරියේ රඟපෑමක් කරන්නේ ගී පද රචක ටෙලි නාට්‍ය නිෂ්පාදක ලලිත් වසන්ත කියන මගේ තාත්තගෙ යාළුවෙක් තමයි මට අවුරුදු අටේදී රඟපෑමට අවස්ථාවක් උදා කරලා දෙන්නේ වෙළෙඳ දැන්වීමකට හැබැයි මගේ ආශාවක් තිබුණා හිතේ කවද හරි ලස්සනම වැඩක් කරලා එළියට එන්න.
ඔබ ගැන ආපසු හැරිලා බලනකොට මොකක්ද හිතෙන්නේ?
මට මම ගැන හිතේ තියෙන්නේ නිහඬ ආඩම්බරයක්. ඒත් මම කැමති නෑ මං කරපු දේ ගැන මමම කියවන්න මම කරපු දේ දැකලා මිනිස්සු කියන දේ අහන්න තමයි මම කැමති ඒක තමයි මම දැන් අපේක්ෂා කරන බලාපොරොත්තුව. මගේ කාර්යය මං කරලා ඉවරයි. මම කොතරම් සාර්ථකද කියලා ප්‍රේක්ෂකයා කියන දේ තමයි දැන් මට වැදගත්.
මාංචන මේ ක්ෂේත්රයට පය තියන්නෙම අධ්‍යයනයක් කරමින් දැනුම්වත් ලබා ගැනීමෙන් පසුවද?
ඔව් ඉන්දියානු චිත්‍රපට අධ්යක්ෂවරයකු වූ සර්වන් තමයි මගේ රංගනයේ ගුරුවරයා. මම හිතනවා ඔහුගෙන් ලැබුණු ඒ පන්නරය තමයි මාව රඟපෑමට මෙතරම් පිබිදීමක් ඇති කළේ කියලා.
සර්වන්ගෙන් අධ්‍යාපනය ලබන්න ඇයි ලංකාවේ ඒ සඳහා සුදුස්සෙක් හිටියේ නැද්ද?
මේක මට ලැබුණු විශේෂ අවස්ථාවක්. මම සර්වන් සොයාගෙන ඉන්දියාවට ගියේ නෑ ඔහු ලංකාවට ආපු වෙලාවක තමයි මට මේ අනගි අවස්ථාව ලැබෙන්නේ එතුමාව හඳුනාගන්න. ලංකාවේ චිත්‍රපටයක් කරන්න සර්වන් ආපු මොහොතක මට ඔහුගෙන් ඉගෙන ගන්න ලැබෙනවා. එතැනදී තමයි නළුවෙක් හැටියට මගේ ඇඟ ඇතුලේ තිබුණු දේ එළියට ගන්න ඔහු උදව් කළේ. මගේ පළමු චිත්‍රපට රංගනය වූ සිහිනයකි ආදරේ චිත්‍රපටයේ කටයුතුවලට ලංකාවට එන එතුමන් ඒ හරහා මාව හඳුනාගන්නවා. ඊට පස්සේ එතුමන්ගෙන් මම ඉගෙනීමේ කටයුතු සිද්ධ කරනවා.
රඟපෑම අධ්‍යක්ෂණය හැරුණු කොට තවත් බොහෝ දේ වෙනුවෙන් උපදේශනය පවා දෙන්න ඔබ රුසියෙක් බවත් දැනගන්න තියනවා?
තාක්ෂණය පැත්තේ් දැනුමකුත් මම ලබලා තියෙනවා. සංස්කරණය කැමරාකරණය, කලර් ශ්රේඩින්, කැමරා කෝණ කැමරා කාච පිළිබඳ මට හොඳ දැනුමක් තියෙනවා. ඒ දැනුමත් මට අධ්‍යක්ෂණයේදී ලොකු ශක්තියක්. ලංකාවේ තිබූ හොඳම කැමරාව වගේම අලුත් තාක්ෂණය මම අග්නි ජය චිත්‍රපටයට යොදා ගත්තා මගේ දැනුම අනුව. තරුණයෙක් විදියට මම උත්සාහයක් අරන් තියෙනවා වෙනසක් කරන්න.
ඒ වෙනස කොහොමද කියල පේ්රක්ෂකයා කියනකං මං බලන් ඉන්නවා. ඩාන්සින් පැත්තෙන් වගේම ෆයිටින් පැත්තෙනුත් මට හොඳ දැනුමක් තියෙනවා. ඒ නිසා මේක කාලය ගොඩක් අරගෙන කරපු නිර්මාණයක්. හැබැයි මේ උත්සාහය මගේ තනි බූදලයක් නම් නොවෙයි සාමූහික ජයග්‍රහණයක්. ගොඩක් මේ ක්ෂේත්රයේ අත්දැකීම් ඇති බොහෝ දෙනෙක් සාමූහිකව කණ්ඩායම් හැඟීමෙන් මාත් එක්ක මේ ගමනේ අදටත් එනවා.
ලිපිනය මතක් කළොත්?
299/ 13, ඊ. ඩබ්ලිව් පෙරේරා මාවත, ජුබිලි කණුව හංදිය නුගේගොඩ.
