Home » කලාත්මක සිනමාවෙන් ජනපි‍්‍රය සිනමාවට

කලාත්මක සිනමාවෙන් ජනපි‍්‍රය සිනමාවට

33 වැනි කොටස

by mavan
March 12, 2026 12:58 pm 0 comment

වත්සලා අක්කා චිත්‍රපටය පුරාම ගලා ගිය අමුතු ආකාරයේ අපූරු රිද්මයක් තිබුණා. ඒ රිද්මය තුළ කිසිදු කලබලකාරිත්වයක් හෝ ගැටුමක් තිබුණේ නෑ. ඒ වගේම ඉතාම අලංකාර ගීත කිහිපයකුත් මේ චිත්‍රපටයට අන්තර්ගත වෙලා තිබුණා. මමයි, තිස්ස අයියයි රූප රාමුවලට පෙනී සිටපු ‘සඳ මෝරා උඩුගුවනට’ කියන ගීතය මේ අතර විශේෂයි. මේ අදටත් මගේ හිතේ කුමක්දෝ ශෝකී රාවයක් දෝංකාර දෙනවා ඒ ගීතය ඇහෙත්දි. ඒ තරමට මට ඒ ගීතය දැනුණා. මම ගිටාර් එකක් වාදනය කරමින් තමයි මේ ගීතයේ රූපරාමුවලට පෙනී සිටින්නේ.

‘සඳ මෝරා උඩුගුවනට එන කලට
ඔබෙ රුව පෙනෙනවා කවුළුව තුළින් මට
ඉකිළන හදින් තනි යහනේ ඉන්නවිට
හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට

පහන් දොරින් හිරු එබිකම් කරන සඳ
මා අසලින් නුඹ නැතුවා දුකකි…

සීතල හිල් තුඩින් මා හද රිදෙන සඳ
ඔබේ මුදු පහස මට නැතුවා දුකකි….

මේ ගීතය රචනා කළේත් තිස්ස අබේසේකරයන්මයි. මම හිතන්නේ මේ ගීතය තිස්ස අයියා චිත්‍රපටයකට රචනා කරපු එකම ගීතය වෙන්න ඕන. තිස්ස අයියා අසංකාට ආදරය කරන කාලේ ඇයට ලියපු නිසඳැසක් කියලත් ඒ කාලේ කතා වුණා මට මතකයි. වත්සලා අක්කා චිත්‍රපටය තිර රචනය කළෙත් තිස්ස අයියාගේ ආදරණීය බිරිඳ අසංකා මොණරවිල. මේ ගීතයට අමතරව තවත් ගීත කිහිපයක්ම මේ චිත්‍රපටයට ඇතුළත් වුණා. ‘සීනෙන් ගෑ සුවඳයි’ කියන ගීතය මොරිස් භානු විජේසිංහ සමඟ දමයන්ති ජයසුරිය ගායනා කළා මතකයි. ඒ ගීතය රචනා කළේ අධ්‍යක්ෂ සරත් ගුණරත්නමයි.

සඳමෝරා උඩුගුවනට ගීතය සඳහා එවර සරසවිය සම්මාන උළෙලින් දක්ෂතම ගායිකාවට හිමි සරසවිය සම්මානය මාලිනී බුලත්සිංහලට හිමි වුණා. චිත්‍රපටය නිෂ්පාදනය කළෙත් කාන්තාවන්ම දෙදෙනෙක්. වාග්දේවි ප්‍රනාන්දු සමඟ අසංකා මොණරවිල. වාග්දේවි කියන්නෙත් නුවර කාන්තාවක්. ඇය තමයි කැන්ඩි වීවින් මිල්ස් අධිපතිනිය වුණේ.

කොහොම වුණත් වත්සලා අක්කාගේ චරිතයට මම හරි කැමැතියි. මතුපිටින් ඇය සංගීත ගුරුවරියකගේ චරිතය රඟපෑවට ඇගේ භූමිකාව හරි සංකීර්ණයි. එක පැත්තකින් ඇය ප්‍රේම සබඳතාවයක් බිඳී ගිය ප්‍රේමවන්තියක්. අන්තිමේ ඇය තමන්ට වඩා වැඩිහිටි විවාහක පිරිමියෙකුට ප්‍රේම කරනවා. නමුත් ඇය විවාහයකට යන්න තරම් එඩිතර වෙන්නේ නෑ. අන්තිමේ මේ සියලු සබඳතාවයන් අතහැරලා කන්‍යා සොයුරියක් බවට පත් වෙනවා. මේ චිත්‍රපටයේ සමස්ත අර්ථය දිහා බැලුවම අධ්‍යක්ෂ සරත් ගුණරත්න සමාජයට ගේන්නේ ඉතාම වටිනා ගැඹුරු සමාජ අර්ථයන් සමුදායක්. ඔහු කිසිම කලබලයකින් තොරවම චිත්‍රපටය හරහා මේ සංකීර්ණ මිනිස් මානසික ස්වභාවයන් විග්‍රහ කළා. නමුත් අවාසනාවකටද මන්දා මේ චිත්‍රපටය ඒ කාලයේ හැටියට වැඩි අවධානයකට යොමු වුණේ නෑ. ඒත් මට මගේ ජිවිතේ ‘වත්සලා අක්කා’ කියන්නේ ඉතාම ආදරණීය මතකයක්.

වත්සලා අක්කාගෙන් පසුව මම රඟපාපු ‘ඩොරින්ගේ සයනය’ චිත්‍රපටයතිර ගත වෙනවා.. 1985 ජුනි මාසේ තමයි ‘ඩොරින්ගේ සයනය‘ තිර ගත වෙන්නේ.. ඩොරීන්ගේ සයනය අධ්‍යක්ෂණය කළේ නිශාන්ත ද අල්විස් විසින්. ප්‍රධාන චරිත නිරූපණය කළේ රවීන්ද්‍ර රන්දෙණිය සමඟ ස්වර්ණා මල්ලවාරච්චි. අමරසිරි කලංසූරිය නැවත වතාවක් මට මේ චිත්‍රපටයෙන් හමු වෙනවා.

ඊට පස්සේ තමයි සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ ‘කිරි මදුවැල්’ චිත්‍රපටය තිර ගත වෙන්නේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සනත් ගුණතිලක සමඟ සබීතා පෙරේරා. මිට අමතරව ලොකු කාස්ට් එකක් මේ චිත්‍රපටයට දායකත්වය දැක්වූවා. නිහාල් සිල්වා, විමල් කුමාර ද කොස්තා, මර්වින් ජයතුංග, විජේරත්න වරකාගොඩ, රෙක්ස් කෙඩිප්පිලි, එඩී ජුනියර්, එච්.ආර් ජෝතිපාල, සොමි රත්නායක, දමයන්ති ෆොන්සේකා ඇතුළු පිරිසක්. මේ චිත්‍රපටයේ තවත් සුවිශේෂිම කාරණාවක් වෙන්නේ මගේ අම්මා, මම සහ මගේ නංගි විද්‍යා ද සේරම් මේ චිත්‍රපටයේ රඟපෑවා.

ඊට පස්සේ මගේ චිත්‍රපටයක් තිරයට එන්නේ 1987 ජනවාරි මාසේදි. ඒ ‘යුගයෙන් යුගයට’ චිත්‍රපටය. මේ චිත්‍රපටයත් එක්ක මගේ රංගන ජීවිතේ වෙනස් පැත්තකට යොමු වෙනවා. චිත්‍රපටය 87 තිරගත වුණාට මේ චිත්‍රපටයේ රූ ගත කිරිම් අපි කරන්නේ මිට අවුරුදු කිපයකට කලින්. කොටින්ම කිවුවොත් මම ක්ෂේත්‍රයට පිවිසිලා අවුරුද්දක් වගේ කාලයක් ඇතුළතදි තමයි මේ චිත්‍රපටය රූ ගත කරන්නේ. යුගයෙන් යුගයට කියන්නේ වාණිජ සිනමාවේ පතාක යෝධයෙක් වුණු ලෙනින් මොරායස් ගේ චිත්‍රපටයත්. ඒ වනවිටත් ඔහු බොක්ස් ඔෆිස් වාර්තා තබපු චිත්‍රපට ගණනාවක් නිර්මාණය කරපු කෙනෙක්. මේ චිත්‍රපටයට මට කතා කරන කාලේ වෙනකොට මම කරලා තිබුණේ කලාත්මක සිනමාවේ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු සමඟ කරපු චිත්‍රපට කිහිපයක් විතරයි. වාණිජ සිනමාවට පය තබලා තිබුණේ නෑ. ඉතින් මේක මට අලුත් අත්දැකීමක් වුණා. සුගයෙන් යුගයට මුල් යුගයේ මම රඟපාපු චිත්‍රපටවලින් සපුරා වෙනස්. නිර්මාණයක්. ඒ සියල්ලන්ටම වඩා මට හිතා ගන්න බැරි කාරණාව වුණේ ලෙනින් මොරායස් වැන්නකු ගේ සිනමාවට මාව දායක කර ගැනීමයි. ආධුනික නිළියක් විදියට ඒකාලේ මට කිට්ටුවෙන්නවත් පුළුවන් විදියේ අධ්‍යක්ෂවරයෙක් නොවෙයි ලෙනින් මොරායස් කියන්නේ. ඔහු ඒ වනවිට ලංකාවේ හිටපු ජනප්‍රිය තලයේ නළු නිළියන් වට කරගෙන මෙරට නිර්මාණකරණයේ නියුක්ත වුණු නිර්මාණකරුවෙක්. කොහොමහරි ඔහු මට මේ චිත්‍රපටයට කතා කරනවා. යුගයෙන් යුගයට චිත්‍රපටයට සින්දු අටක් ඇතුළත් වෙනවා. ඒ කාලයේ හැටියට වාණිජ සිනමාවේ මේ තරම් සින්දු තියෙන නැටුම් තියෙන චිත්‍රපටයකට මම දායක වෙලා තිබුණේ නෑ. කාංචනා චිත්‍රපටයේ සින්දුවක් හෝ දෙකක් තියෙන්න ඇති. නමුත් ලෙනින් මොරායස් සතුවුණු ඒ දක්ෂතාවයෙන් මා වැනි ආධුනික නිළියකගෙන් ඔහුට අවශ්‍ය නිර්මාණයේ රංගනය මගෙන් ලබා ගත්තා.

ලබන සතියේ
ලෙනින් මොරායස් සමඟ යුගයෙන් යුගය මතක….

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT