Home » ඔස්මන්ඩ්ට වඩා හොඳීන් පිස්තෝලය ඇල්ලූ ඩෙස්මන්ඩ්

ඔස්මන්ඩ්ට වඩා හොඳීන් පිස්තෝලය ඇල්ලූ ඩෙස්මන්ඩ්

රංගන ශිල්පි පූජන දන්දෙණිය

by mavan
March 12, 2026 1:02 pm 0 comment

පසුගිය කාල වකවානුවේ තරමක් අඩපණ වී තිබූ සිංහල සිනමාවේ නව පිබිදීමක් 2025 වසරේදි දක්නට ලැබුණි. එය සිනමා වසන්තයක් බව ඇතැමෙක් හැඳීන්වූහ. තවත් සමහරෙකු සිනමාවේ ස්වර්ණ මය යුගය නැවතත් උදාවී ඇති බව පැවසූහ. කෙසේ වෙතත් සැබෑවටම සිනමාව නැවුම් වී ඇති බවක් සිනමාශාලා දෙස බැලීමේදී අපට කිව හැකිය. එය 2026 වසර ආරම්භ වීමත් සමඟ තව තවත් තීව්‍ර විය. එයට හේතුව සිනමා ප්‍රේක්ෂකාගාරය වෙනස්ම මාවතකට හැරවුණු සිනමාපටයක් තිරගත වන්නට පටන් ගත් නිසාය.

‘ ෆාදර්’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීමත් සමඟ සිනමා ශාලා ප්‍රේක්ෂකයන්ගෙන් පිරි ඉතිරී යන්නට විය. චමින්ද ජයසූරියගේ අධ්‍යක්ෂණයක් වූ ”ෆාදර්” චිත්‍රපටය ගැන කවුරුත් කතා කරන්නට පටන් ගත්හ. විශේෂයෙන් කතාබහ ඇතිවූයේ එහි රංගනයේ යෙදෙන තරුණ රංගන ශිල්පීන් පිළිබඳය. ඒ අතර නිතර අප සිනමාවෙන් නුදුටු අපූරු චරිතයක් ෆාදර් චිත්‍රපටයෙන් ඉස්මතු විය.

පූජන දන්දෙණිය. ඔහු ෆාදර් චිත්‍රපටයේ ප්‍රධාන භුමිකාවට පණ පොවන රංගන ශිල්පියාය. පූජන ෆාදර් හි ඩෙස්මන් විය. ෆාදර් නැරඹූ බොහෝ දෙනා කතා කළේ පූජන ගැනය. “කවුද ඒ”

“එයාගේ ඇක්ටින් මරු”

” සිනමාවේ ඉන්නම ඕන කොල්ලෙක්”

” පූජන නම් සුපිරියි”

ඒ ප්‍රේක්ෂකාගාරයෙන් ඇසුණ ප්‍රතිචාරය.

” අපිට ඊළඟ සුපර් ස්ටාර්ව හම්බ වුණා”

එසේ ප්‍රකාශ කෙළේ යොවුන් රංගන ශිල්පිනී නිරංජනී ශන්මුගරාජාය.

පූජන සිනමාවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ පළමු වතාව මෙය වුවත් ඔහු රංගනයට ආධුනිකයෙකු නොවේ. වේදිකාව තුළින් පන්නරය ලබා ටෙලි තිරය ඔස්සේ දස්කම් පාමින් සිටි පූජන ගැන මුළු රටම කතා වූයේ ෆාදර් තිරගත වීමත් සමඟය. අද වන විට පූජන දන්දෙණිය ශශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ජීවත්වන සිංහල චිත්‍රපට වලට ඇලුම් කරන සිනමා ලෝලීන් අතරද ජනප්‍රිය චරිතයකි. පසුගිය දිනෙක පූජන සරසවිය සමඟ එක්විය. ෆාදර් චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සමඟ එක්වී සිටින කාර්‍යබහුල මොහොතක ඔහු සරසවිය සමඟ එක්වූයේ ෆාදර් චිත්‍රපටය ගැනත් ඔහු නිරූපණය කළ රංගනය ගැනත් කතා කිරීමටය.

ඉතාමත් සතුටින් ඉන්නේ මේ දවස්වල. ෆාදර් චිත්‍රපටයටත් එහි ඩෙස්මන්ගේ චරිතය නිසා මට ලැබෙන ප්‍රතිචාරත් ඉතා ඉහළයි. මින් පෙරත් රසික ප්‍රතිචාර මට ලැබී තිබෙනවා. එහෙත් මෙවර මෙතරම් ඉහළ ප්‍රතිචාර ලැබෙන්නේ සිනමාවේ කළ රංගනය වෙනුවෙන්. එය වෙනස්ම විදිහේ අත්දැකීමක්. ෆාදර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මට ආරාධනාව ලැබුණේ චමින්ද ජයසූරිය අයියාගෙන්මයි . ඔහු මට චිත්‍රපටයේ කතාව පිළිබඳ දැනුම් දුන්නා. ඒ කතාව කියෙව්වහම නම් පිස්සු හැදුණා. ඒ තරමට එහි කතාවට මගේ හිත ඇඳී ගියා. මම වැඩේට කැමති වුණා. පටන් ගැන්මේ සිට අවසානය තෙක් කතාවේ ආකර්ෂණීයයි බවක් ගැබ්වී තිබුණා.

මම වේදිකාවෙන් පෝෂණය වූ රංගන ශිල්පියෙක්. පසුව ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ වූ චරිත මට ලැබුණා. සිනමාපටයක ප්‍රධාන චරිතයක් ලැබුණු පළමු වතාව. රංගනය ගැන මම නිතර පුහුණු වෙමින් සිටින කෙනෙක්. සිනමාවේ මෙවැනි අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටියා. ඕනෑම රංගන ශිල්පියෙකුගේ හිතේ එහෙම බලාපොරොත්තු තියෙනවා. නොසිතූ මොහොතක මගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණා.

මගේ අතට පිටපත ලැබුණු වෙලාවේ පටන් මම ඒ ගැන අධ්‍යයනය කළා. ගවේෂණයක යෙදුණා. ඒ සිද්ධිය වුණ කාල වකවානුවේ මම ඉතාමත් කුඩා දරුවෙක්. මේ සිද්ධිය ගැන මම විපරම් කර බැලුවත් එහි නඩු වාර්තා පිළිබඳ අධ්‍යයනය කරන්න ගියේ නැහැ. නමුත් එකල තරුණයන්ගේ හැසිරීම් රටා , ඔවුන්ගේ ස්වරූපය, ඔවුන් ඇඳුම් පැලඳුම් ඇදපු විදිහ මම අධ්‍යයනය කළා. මම එසේ තොරතුරු සොයා බැලුවේ අපේ වැඩිහිටියන් ළඟ තිබූ අතීත ඡායාරූප දිහා බලලා. එකල තිබූ දේශපාලන සංස්කෘතික පසුබිම සොයා බැලුවා.

ෆාදර් චිත්‍රපටයේ අපේ රටේ සිටින දක්ෂතම රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වුණා. මේක ටීම් වර්ක් එකක්. ඒ හැමෝම සිටියේ එකම අරමුණක. තිබුණේ එකම ඉලක්කයක්. කිසිම කෙනෙක් බොරු කළේ නැහැ. එකාවගේ හැමෝම කැප වීමෙන් තමන්ගේ චරිතවල ජීවත් වුණා. ක්‍රිකට් ටීම් එකක් වුණත් අසාර්ථක වන්නේ නිසියාකාරව සිදු නොකිරීම නිසා. ෆාදර් චිත්‍රපටයේ කණ්ඩායමේ කාගෙන් ඇහුවත් එහි කතාව ඕනෑම තැනකින් විස්තර කිරීමේ හැකියාව තිබුණා. අපි ඔක්කොම ෆාදර්’ කතාව හොඳීන්ම තේරුම් අරගෙන තමයි රංගනය පැත්තට යොමු වුණේ. ඒ නිසයි අවසන් ප්‍රතිඵලය සාර්ථක වුණේ.

චමින්ද ජයසූරිය කියන්නේ දක්ෂ තරුණ අධ්‍යක්ෂවරයෙක්. ඔහු මට නිදහසේ මගේ රංගනය කරගෙන යාමට උපරිම නිදහස දී තිබුණා. චමින්ද අයියා කලින්ම ඉදන්ම දන්න්වා අපේ ගතිගුණ, අපේ ස්ටයිල් එක, අපේ හැසිරීම් රටාව ගැන. ඔහු අපිට කිව්වේ සිදුවීමට අදාළ කාලයේ දේශපාලන, සංස්කෘතික වටපිටාව කොයි වගේද තිබුණේ කියා අවධානයෙන් ඉන්න කියලා. ඔහු කරන්නේ අපිව මෙහෙය වන එක පමණයි කියලා කිව්වා. ඔස්මන්ඩ් හමු නොවී මගේ චරිතය ගැන සිතන්න කියා උපදෙස් දුන්නා. ඇත්තටම ෆාදර්’ චිත්‍රපටය මෙතරම් සාර්ථක වෙන්න ඉවහල් වුණේ ඔහු. ඒ වගේම එහි නිෂ්පාදකවරයා වන ශාන්ත ගීතදේව මහතා ගැනත් යමක් කියන්නට අවශ්‍යයි. ඔහු ඉතාමත් ගුණයහපත් මානුෂීය හැඟීම් වලින් පිරිපුන් පුද්ගලයෙක්. ඔහුගෙන් හොඳ සහයක් ලැබුණා චිත්‍රපටයේ වැඩකටයුතු වලට.

ෆාදර්’ චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වලදි චිත්‍රපටයට පාදක වුණු සැබෑ චරිතය ඔස්මන්ඩ් මහතාව මුණගැසුණා. ඔහු ඔහුගේ අදහස් මා සමඟ පැවසුවා. ඔහු මුලින්ම චිත්‍රපටය නරඹද්දී තරමක චකිතයකින් ඉදලා තියෙන්නේ. මෙහි මා නිරූපණය කරන්නේ ඔස්මන්ඩ් කියන පුදගලයාගේ සැබෑ චරිතය. පළවෙනි වතාවට බලද්දී සැකයක් සිතට ආවත් දෙවැනි, තුන්වැනි වතාවෙදී ඒ සැකය පහව ගියා කියලා ඔහු පැවසුවා. ඔහුගේ දියණිය පැවසුවේත් මම මගේ චරිතය හොඳීන් කරල තියෙනවා කියලා. මම රඟපාන විටදී තුවක්කුව අල්ලන විදිහට පවා ඔහු ආස කළ බව මා සමඟ පැවසුවා. ඇත්තටම මගේ රඟපෑම ගැන ඔහු තෘප්තිමත් . ඒ වගේමඔහු සතුටු වුණා. ඔහුව මට මුලින්ම හමුවුණේ මුහුරත් උලළෙදි . පසුව ඔහු දර්ශන තලවලට කීපවතාවක් ආවත් මට කතාබහ කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ.

බොහෝ අය ෆාදර්’ චිත්‍රපටයට ඇලුම් කළේ එහි කතාවට සහ රංගන ශිල්පීන්ට. මුලින්ම පැවසුවා වගේ මෙහි සිටින්නේ අති දක්ෂ පිරිසක්. අද සමාජයේ නළුවා කියන චරිතය පිළිබඳ කතාබහක් ඇතිවී තියෙනවා. ලෝක සිනමාවේත් එසේමයි. එහෙත් ලංකාවේ නළුවා කියන චරිතය යාවත්කාලීන නොවීම ප්‍රශ්නයක්. නළුවා සංවේදී චරිතයක් විය යුතුයි. නළුවා කියන චරිතයට ඔහුගේ ස්වරූපය , ගතිගුණ, ඔහු සමාජය දෙස බලන ආකාරය මේ සෑම අංගයක්ම බලපානවා.

උදාහරණයක් විදිහට ගතහොත් ගිරිදේවි කියන ටෙලිනාට්‍යයේ ජාලිය කියන්නේ චරිතයක් නෙවෙයි. සමාජ පන්තිය නිරූපණය කිරීමක්. ඒ නිසා අපි නිතරම යාවත්කාලීන විය යුතුයි. මට නම් ලැබෙන සෑම පිටපතක්ම අධ්‍යයනයක්. වසර දෙකක පමණ කාලයක් මම හිටියේ ෆාදර්’ චිත්‍රපටය සමඟ. රංගන ශිල්පියෙකු වුණාම ලැබෙන නිර්මාණයේ රඟපැම පමණක් නෙවෙයි කළ යුත්තේ. නිර්මාණයේ පෙර නිෂ්පාදන කටයුතු , පසු නිෂ්පාදන කටයුතු සඳහාත් දායකත්වය ලබා දිය යුතුයි. ඒ වගේම චිත්‍රපටය තිරගත වූ පසුත් එහි ගුණාත්මකභාවය රැක හැනීම පිළිබඳ අප සැලකිලිමත් විය යුතුයි. අපි ඒ කාලය අතරතුර අනවශ්‍ය වැඩ කටයුතු කරන්නට ගියොත් එයින් හානිය සිදුවන්නේ නිර්මාණයට. ඒ නිසා චිත්‍රපටයට හානි නොවෙන විදිහට හැසිරෙන්න වගබලා ගත්තා. මට ටික කාලයක් ගියා ඒ චරිතයෙන් ඈත් වෙන්න. මා ඒ කාලය ඇතුළත වෙන වැඩක් භාර ගත්තෙත් නැහැ.

මට අවශ්‍ය වුණේ අන්තර්ජාතික අත්දැකීමක් සිංහල සිනමාවට ලබා දෙන්න. මම ෆාදර්’ චිත්‍රපටයේ මංගල දර්ශනයට කලින්ම සූදානම් වුණා. ඇඳුම් නිර්මාණ ශිල්පියෙකුගේ සහය පවා ලබා ගත්තා. ලෝක සිනමාව සූදානම් වන්නේ එසේද අපිත් එසේ වියයුතුයි.

මේ දිනවල ෆාදර්’ චිත්‍රපටය අතිසාර්ථකව තිරගත වෙනවා. ඒ සිනමාශාලා වලට අපි යනවා. ඒ අවස්ථාවල දි වෙනදාට නැති ප්‍රතිචාර අපට ලැබෙනවා. ප්‍රේක්ෂකයා අපේ ඉදිරියට ඇවිත් ලබා දෙන ප්‍රතිචාර වැදගත් නිවසේ ටීවී එකෙන් බලලා දෙන ප්‍රතිචාර වලට වඩා. සිනමා ශාලා වලට දැන් එන්නේ බුද්ධිමත් ප්‍රේක්ෂකයන්. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා වැදගත්. ඉදිරියටත් මම රංගනයේ යෙදෙනවා. තවත් රංගනයක් කළ හැකි අලුත් නිර්මාණයක් ලැබෙන තුරු පිපාසාවෙන් ඉන්නවා.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT