13 වැනි කොටස
විශ්වවිද්‍යාල ජීවිතය මට හිතූ තරම් සුව පහසුව ගෙන දෙන ජීවිතයක් වුණේ නෑ. ඒකට මූලික හේතුව වුණේ සිනමාව නිසා මම අතිශයින්ම කාර්ය බහුල විම. ඒ වුණාම උපාධිය අතහරින්නත් මගේ හිතේ කිසිම කැමැත්තක් තිබුණේ නෑ. මගේ බලාපොරොත්තුව වුණේ මොන දුක හෝ විඳගෙන උපාධියත් සම්පූර්ණ කරනවා යන අධිෂ්ඨානයයි.
දවසක් මම විශ්වවිද්‍යාලයට යනකොට ශිෂ්‍ය සභා ඡන්දය නිසා විශ්වවිද්‍යාලය ඇතුළත උණුසුම් වෙලා තිබුණා. බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තැන තැන කල්ලි ගැසෙමින් විවිධ සාකච්ඡා වල නියුක්ත වෙමින් හිටියා. මම දළුගම කන්ද නැගලා ලෙක්චර් එකට යන ගමන්, පාර අයිනේ හිටපු සීනියර්ස්ලා ටිකක් මෙහෙම කියන්න ගත්තා.
‘ ආ…… ඔය යන්නේ යූ එන් පී ඡන්දයක්…..?
මම ඔවුන් ළඟ නැවතුණා.
‘ඇයි ඔයාලා එහෙම කියන්නේ? මම ඇහුවේ බොහොම සන්සුන්ව.
‘නෑ… ඉතින් ඔය යන ඡන්ද ඔක්කොම යූඑන්පී ඡන්ද තමයි. ඕවා ධනපති ඡන්ද, …
ඔවුන් කියාගෙන කියාගෙන ගියා. මේක ඉතින් මට හරිම ප්‍රශ්නයක්. අපි ව බාහිරින් දුටු පමණින් ඒ අය කොහොමද එහෙම කියන්නේ කියන එක මගේ හිතේ ඇති වෙන්න පටන් ගත්තා.
‘‘ ඔයා මොනවද කරන්නේ? ජෙනරල් ඩිග්‍රියක්ද? ස්පෙෂල් ඩිග්‍රියක්ද?
එතන හිටිය මට චෝදනා කරපු පිරිමි ළමයාගෙන් මම ඇහුවා.
‘ මම කරන්නේ ස්පෙෂල් ඩිග්‍රියක්? ඇයි නංගී?…..
ඔහු මට උත්තර දෙමින් විමසුවා.
‘නෑ මම නම් කරන්නේ ජෙනරල් ඩිග්‍රියක්. ‘ඇයි ඔයා ස්පෙෂල් ඩිග්‍රියක් කරන්නේ? මම ආයෙත් සැරයක් ඔහුගෙන් ඇහුවා.
‘නෑ ඉතින් ක්ලාස් එකක් ගත්තම හොඳ රස්සාවක් හොයාගන්න පුළුවන්නේ…. ඔහු උත්තර දුන්නා.
‘ඔයා අපි ඔක්කොම සමානයි කියලා, සමාජවාදය ගැන කතා කරලා, මටත් ධනපතියා කියලා, ඔයා යන්න හදන්නේ එතැනට නේද? හැබැයි මම නම් ඉන්නේ හැමදාම මෙතන .
එහෙම කියලා මම යන්න ගියා. අර පිරිමි ළමයට කට උත්තරත් නැතුව ගියා. ඒ සිද්ධිය මගේ විශ්වවිද්‍යාල ජිවිතයේ මට අදටත් කවදාවත් අමතක වෙන්නේ නෑ. එදා එහෙම කියපු ඒ පුද්ගලයා පස්සේ කාලෙක මට මුණ ගැහෙනවා.
‘ නදීකා එදා මට හොඳවයින් දුන්නා නේද? කියලා ඔහු අතීතේ මතක් කරලා අපි හිනාවුණා.
කැම්පස් ජිවිතේ කවදාවත් මට මම නිළියක්ය කියන එක දැනුණේ නෑ. මගේ නිළිකම මම කාටවත් පෙන්නන්න ගියෙත් නෑ. අඳුරගෙන කතා කරපු කෙනෙකුට මගේ විස්තර කිව්වා හැරෙන්න. මම හැමදාමත් හිටියේ සාමාන්‍ය ශිෂ්‍යාවක් හැටියට. මම කැම්පස් එකට ආවේ ගියේ බස් එකේ. දළුගමින් බැහැලා පයින් දළුගම කන්ද නැඟලා ලෙක්චර්ස් වලට ගියේ. කවදාවත් ගෙදරින් කෑම ගෙනිච්චේ නෑ. යාළුවොත් එක්ක කැන්ටිමට ගිහින්කෑම කෑවේ.
එක දවසක් මට මතකයි දහ දෙනෙකුගෙන් විතර යුතු කණ්ඩායමක් ඇවිදින් තේ බොන්න යන් කියලා මාවත් අරගෙන කැන්ටිමට ගියා. මගෙන් ඉල්ලීමක් කළා බිල ගෙවන්න කියලා. ඇත්තටම මගේ අතේ සල්ලි තිබුණේ නෑ. මම පර්ස් එක ඇරලා පෙන්නුවා මතකයි සල්ලි නෑ කියලා. මම ළඟ තිබුණේ කැලණියේ අම්මගේ ගෙදරට යන්න බස් ගාස්තුව විතරයි. එහෙම වුණා කියලා ඒක කියන්න මම ලැජ්ජා වුනේ නෑ. ඇත්ත කියන්න ලැජ්ජ වෙන්න ඕන නෑනේ.
ඒ කාලේ මට මතකයි මගේ පළවෙනි චිත්‍රපටයටත් ගෙව්වේ රු 4000 යි. ඊට පස්සේ එක දිගටම චිත්‍රපට ලැබුණ නිසා ඒ හාරදාහත් මම ගත්තේ නෑ. ඒ සියල්ලටම වඩා ඒ කාලේ අපි වැඩ කළේ මුදල් මතම පදනම් වෙලා නොවෙයි.
මම දෙවැනි අවුරුද්දේ ශිෂ්‍යාවක් විදියට ඉන්න කාලේ පළවෙනි වසරට අලුතින් ළමයි විශ්වවිද්‍යාලයට ආවා. දවසක් අපි යාළුවෝ ටික බංකුවක් උඩ ඉඳගෙන ඉන්න විට පිරිමි ළමයෙක් මලකුත් අරගෙන මගේ ළඟට ආවා. ඒකාලේ වෙනකොට කාංචනා තිරගත වෙලා මම නිළියක් විදියට ජනප්‍රිය වෙලා. ඒ ළමයා අලුත් ළමයෙක්. ඔහු මගේ ළඟට ඇවිත් මල මගේ අතට දීලා ‘මම ඔයාට ආදරෙයි කීවා.‘. මම දැනගත්තා මේක සීනියර්ලාගේ වැඩක් වෙන්න ඕන කියලා. අර ළමයා මල දෙනකොට මම දැක්කා අත වෙව්ලනවා. ඒ තරම් බය වෙලා හිටියේ. මට එයාව දැක්කම හරිම දුකයි. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නම් බැනලා එලවා ගන්න එකනේ. ඒක බලාපොරොත්තුවෙන් තමයි ඔහු මගේ ලඟට එවලා තියෙන්නෙත්. නමුත් මම කිව්වා ‘ ඔයා ගිහින් කියන්න මම මල ගත්තා කියලා. ඒ ළමයාව ආපහු හරවලා ඇරියා.
ඔය වගේ සුන්දර අත්දැකීම් රාශියක් මට කැම්පස් එක ඇතුළේ තිබුණා . ආර්ථික විද්‍යාවයි, භූගෝලයයි , ජනසන්නිවේදනයයි තමයි මම විෂයයන් විදියට කැම්පස් එකකේදි හැදෑරුවේ. ඒ කාලේ අපේ අංශාධිපති වෙලා හිටියේ තිලක් රත්නකාර මහත්මයා.
මාත් එක්කම මගේ ඥාති සොයුරියක් වුණු චාරිකාත් විශ්වවිද්‍යාලයට ආවා කියලා මම මුලිනුත් කිව්වා මම හිතන්නේ. දවසක් මම ලෙක්චර් එකක් ඉවර වෙලා එනකොට චාරිකා එනවා බෝයි කෙනෙකුත් සමඟ . එයා මම දැක්ක ගමන්ම මගේ ළඟට ඇවිතත් අර බෝයිව මට අඳුන්වලා දුන්නා. මේ එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා. මම ත් චාරිකාගේ බෝයි ෆ්‍රෙන්ඩ් හඳුනා ගත්තා. නමුත් මේ බෝයි තමයි මම බණ්ඩාරවෙල මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මගෙන් යාළු වෙන්න අහපු තරුණයා වුණේ. මම කොයි විදියකින් වත් ඔහුව හඳුනන බවක් පෙන්නුවේ නෑ. චාරිකා නැති අවස්ථාවක ඔහු මාව මුණ ගැහිලා ඇහුවා
‘ ඔයා මම ගැන චාරිකාට කියනවද? කියලා.
මම මොකටද ඔයා ගැන කියන්නේ? ඔයා මගෙත් එක්ක යාළුවෙලා හිටියේ නෑනේ? …. අනිත් එක එහෙම යාළු වෙලා හිටියත් මම ඒක කවදාවත් චාරිකාට කියන්නේ නෑ….. කියලා මම ඔහුට කිව්වා.
ඒ දෙන්නා බොහොම ආදරෙන් කැම්පස් ජිවිතේ ගතකළා. බොහෝ වෙලාවට දෙන්නා දකින කොට මම මගඇරලා ගියා. කැම්පස් අවුට් වුණාට පස්සේ චාරිකා මේ සම්බන්ධය ගැන එයාගේ ගෙදරට කියලා තිබුණා. ඒත් චාරිකාගේ ගෙදරින් ඒකට කැමැත්ත හම්බවෙලා තිබුණේ නෑ. ඒ නිසා චාරිකා එයාගෙන් වෙන්වෙලා ගෙදරින් ගෙනාපු යෝජනාවකට අනුව විවාහ වුණා. විවාහයෙන් පසු විදේශයක පදිංචියට ගියා. පස්සේ කාලෙක මට අර පිරිමි ළමයා දවසක් මුණ ගැහෙනවා.
ජිවිතේ ඔහොම තමයි නදීකා…..
හමුවෙනවා වෙන්වෙනවා….. කිව්වා.
බොහොම යහපත් විදියකට ඔහු චාරිකා ගේ වෙන්වීම දරාගෙන තිබුණා කියලා මට හිතුණා.
එහෙත් මෑත භාගයේදි මට ලැබුණු ආරංචිවල හැටියට චාරිකා මීට වසර කීපයකට පෙර විදේශයකදි සිදුවුණ රිය අනතුරකින් මෙලොව හැර ගොස් තිබුණා.
ලබන සතියේ
සිංහබාහු රඟපැමට ගොස් විඳී දුෂ්කරතා….

