මෙරට සංගීත ක්ෂේත්රයේ දශක ගණනාවක අත්දැකීම් සපුරමින්. ගීත ක්ෂේත්රයට, චිත්‍රපට පසුබිම් ගීතයට මෙන්ම සංගීත කණ්ඩායම් ක්ෂේත්රයට තම දායකත්වය සපයමින් පැමිණි සුවිශේෂී ගමනක් ඔහුට හිමිය. එකී ගමන් මඟ ඔහු විසින් සකසා ගනු ලැබුවේ කාලාන්තරය තිස්සේ කරනු ලැබූ කැපකිරීම් රාශියක ප්‍රතිඵලයක් වශයෙනි. උත්පත්තියෙන් හිමි වූ දක්ෂතාවයත්, හැකියාවත් සමඟ සංගීත ලෝකයේ දිගු ගමනකට හිමිකම් කියූ ඔහු වර්තමානයේ අපට සිටින ප්රවීණතම සංගීතඥයන් කීපදෙනාගෙන් කෙනෙකි. ඔහු ප්‍රවීණ සංගීතඥ සරත් ද අල්විස් ය.
පසුගිය කාලයේ ඔහුගේ ගීත ඇතුළත් ප්‍රසංගයක් ඕස්ට්‍රේලියාවේදී ද පැවත්විණ. මෙරට ගීත ක්ෂේත්රයට ඔහු විසින් නිර්මාණය කරන ලද අලංකාර තනු කොතෙක්ද යන්න පිළිබඳව අද මේ මොහොත වනතුරු ද නිසි ඇගයීමක් හෝ නිසි ගණනයක් කර නොමැත. සැබවින්ම ඔහු විසින් මෙරට සංගීත ක්ෂේත්රයට කළ මෙහෙය අධ්‍යයනයකට හෝ ඇගයීමකට මෙතෙක් සිදු නොවී තිබීම කනගාටුවට කරුණකි.
“ ඇත්තටම ඕස්ට්‍රේලියාවේ සංගීත ප්‍රසංගය පැවැත්වුණේ පසුගිය 28 වැනිදා. ඒකට ලංකාවෙන් මම විතරයි සහභාගි වුණේ. ඉන්ද්‍රජිත් මිරිහාන ජීවත්වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල. ඔහු නිතරම වගේ ලංකාවෙන් ශිල්පීන් ගෙන්වලා මේ වගේ ප්‍රසංග කරන කෙනෙක්. ඉතින් ඔහු මේ පාර මට ආරාධනා කළා එහි ප්‍රසංගයක් කරන්න කියලා. ගීත රචකයෝ හෝ සංගීත නිර්මාණ ශිල්පීන් තමයි මේ ප්‍රසංග මාලාව යටතේ ඔහු ගෙන්වන්නේ මගේ තනු නිර්මාණ ඇතුළත් ගීත රාශියක් ඕස්ට්‍රේලියාවේ වෙසෙන අය විසින් ගායනා කරනු ලැබුවා. මේ සියල්ල සිදුවුණේ මගේ අධීක්ෂණය යටතේ.
ඔබේ සංගීත දිවිය දිහා ආපස්සට හැරිලා බලනවිට කොපමණ ගීත ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙනවාද?
ඔය කිසිම දෙයක් හරියට ගණන් තියාගෙන නැහැ. මං හිතන්න ගීත 4000ක් විතර ඉක්මවලා තිබෙනවා. ඊට අමතරව මෑත භාගයේ කරපු නිර්මාණයන් රාශියක් තිබෙනවා. ඉස්සර කැසට් නිර්මාණ කරන කාලයේ වුණත් එක කැසට් එකකින් ජනප්‍රිය වෙන්නේ ගීත කීපයක් පමණයි. ඉතින් රෙකෝඩ් බාර් අයිතිකාරයෝ ඒ ගීත ටිකම ගහනවා. නමුත් මට හිතෙන්නේ අපේ නිර්මාණකරණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඒ නිසා අපතේ යනවා කියලා. අපි හැම ගීතයක්ම නිර්මාණය කරන්න දරන්නෙ එකම වෙහෙසක්. ජනප්‍රිය නොවුණු ගීත ඒ අනුව හැංඟිලා යනවා. ඒ ගී තනු වෙනකෙනෙකුට දෙන්න අපි උත්සාහ කරන්නෙත් නෑ.
ජීවිතය දිහා ආපස්සට හැරිලා බලත්දි අද ඔබට මොකද හිතෙන්නේ?
මගේ සංගීත දිවියට දැන් දශක හයක් සම්පූර්ණ වෙලා තියෙනවා. මම මේ කලාවට එන්නේ කුඩා අවධියේමයි. නමුත් ගීත තනු නිර්මාණ කලාවට මං හිතන්නේ දැන් දශක පහක් පමණ වෙනවා. මේ කාලය ඇතුළත අති විශාල ගීත ප්‍රමාණයක් නිර්මාණය කරලා තිබෙනවා. අදටත් ඒ ගීත ජනප්‍රියත්වයේ ඉහළ තැනක තිබෙන එක ගැන මට අති විශාල සතුටක් තිබෙනවා. එදා මේ ක්ෂේත්රයට පිය මනින විට කවදාවත් හිතුවේ නෑ මේ තරම් දුරක් එන්න පුළුවන් වෙයි කියලා. නමුත් හෙමින් හිමින් මම ඒ ගමන ආවා. ඒ වගේම තමයි මේ ක්ෂේත්රයේ දීර්ඝ කාලයක් රැඳී ඉන්නවා කියන එකත් ලොකු අභියෝගයක්නේ. ඒ අභියෝගය මම ජය අරන් තියෙන්නේ. මට දැන් වයස අවුරුදු 77ක් තාමත් නිර්මාණ කටයුතුවල නියැළෙමින් සිටිනවා.
සරත් ද අල්විස් කියන නාමය මේ රටේ සුවිශේෂි සංගීතඥයන් අතරට එක් වී හමාරයි. මේ පෙරළියේ හැරවූම් ලක්ෂ්‍යය කොතැනද කියල ද ඔබ විශ්වාස කරන්නේ?
මම කරපු හැම දේකදිම මගේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වුණේ් මම මුලින් කරපු දේනුයි. ගීතයක් නිර්මාණය කළා නම් මුලින්ම කරපු ගීතයෙන් චිත්‍රපට සංගීතය අධ්‍යෂක්ෂණය පැත්තෙන් ගත්තොත් මුලින්ම කරපු නිර්මාණයන්ගෙන් ‘මංගල මධුසමය පතා’ තමයි මම නිර්මාණය කළ මගේ ප්‍රථම ගීතය. ඒක මගේ ගී තනු නිර්මාණයේ හැරුවුම් ලක්ෂ්‍යය වුණා. නොසිතූ විරූ ජනප්‍රියත්වයක් ඒ සඳහා ලැබුණා. චිත්‍රපට ක්ෂේත්රය ගත්තොත් ‘ඔබට දිවුරා කියන්නම්’ වලින් පස්සේ මගේ ‘ගමන් මගේ’ හැරවුම් ලක්ෂ්‍යයක් ආවා. පළවෙනි අවස්ථාවෙන්ම මම ගොඩක් දුර ගිහින් තියෙනවා. මම සෑහෙන දුරක් ඇවිත් තිබෙනවා. චිත්‍රපට කරන්න කලින් මම කළා කැසට් එකක්. එතකොට මායා – වික්ටර් විජයන්ත ජනප්‍රිය කාළේ. ඒගොල්ලන්ගේ නිර්මාණ කටයුතු බොහොමයක් මම කරලා තිබෙනවා. ඒ හරහා තමයි මම අනෝජා වීරසිංහ හඳුනා ගන්නේ. අනෝජාත් ඒ කාලයේ මගෙන් කැසට් එකක් කරවාගෙන තිබෙනවා. ඒ කැසට් පටයට යුග ගී ගායනා කළා. ක්ෂේත්රයේ ජනප්‍රිය ශිල්පීන් රාශියක් වික්ටර් විජයන්ත, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, ටී.එම්. ජයරත්න, විජය කුමාරතුංග ඇතුළු පිරිසක් එතැන හිටියා. එතැනින් තමයි මර්වින් ජයතුංග මම හඳුනා ගන්නේ. මම කරපු ගීත දැකල ඔහු මට කියනවා. උඹේ වැඩ මාරයි. උඹ කවදහරි දවසක චිත්‍රපට ක්ෂේත්රයට එන්න ඕන කියලා. ඒ ඇගයීමත් එක්ක එවකට නිෂ්පාදනය වෙමින් පැවතුණ චිත්‍රපට 4-5ටම මගේ නම යෝජනා වුණා. නමුත් ඒවා මට ලැබුණේ නෑ. ඒ කැපිලි සේරම ආවෙත් අපේ සංගීත ක්ෂේත්රයේ අයගෙන්ම තමයි. නමුත් මම උත්සාහය අතෑරියේ නෑ මේ හැම මොහොතෙම ඔහු මට ධෛර්යය දුන්නා. ඔබේ හැකියාව කවදාවත් යට යවන්න බෑ. දිය යට ඔබාගෙන ඉන්න රබර් බෝලයක් වගේ අතහැරියම උඩට එනවා. ඒ නිසා දුර්මුඛ වෙන්න එපා. කියන උපදෙස ඔහු මට දුන්නා. ඒක නිසාම බොහෝ දේවල් දරා ගැනීමේ ශක්තිය මට ආවා. මගේ පළවෙනි චිත්‍රපට ගීතය පාලු සුසානේ ප්‍රේම පුරාණේ සරසවිය සම්මාන උලෙළේදී හොඳම ගීත රචනයට ආචාර්ය අජන්ත රණසිංහ සම්මානය ලබද්දී හොදම ගායක විදිහට එච්.ආර්. ජෝතිපාලයන් සම්මාන ලබද්දීත් හොඳම ගීත තනු නිර්මාණයට මට සම්මාන ලැබුණේ නෑ. ඒක දරා ගන්න හයිය මට ඒ වෙනකොට තිබුණා. මුලින්ම මාව කැපුණු තැනක් ඕක. නමුත් මම ඒකෙන් තව තවත් මුවහත් වෙන්න ගත්තා. මට මතකයි සනත් නන්දසිරි මහත්මයා උත්සවය ඉවර වෙලා මට හමුවුණාම කියනවා. මල්ලි මාර වැඩක්නේ වුණේ් රෙද්ද තියෙනවා, අදින මිනිහත් ඉන්නවා. මහපු එකාට මොකුත් නෑනේ කිව්වා. එදා ඒ ගත්ත මුවහත අදටත් මං ළඟ තියෙනවා. භාවනායෝගීව ඉඳලා හිත එකලස් කරගත්ත මිනිහෙක් වගේ තමයි දැන් මම වැඩ කරන්නේ. දැන් මගේ හිත රිදෙන්නේ නෑ. බදාගෙන වැඩ කරන්න තණ්හාවත් මට නෑ. ගෙවුණු දශක ගණනාව පුරාම නිර්මාණය කරපු ගීත තවත් දශක ගණනාවක් යනතුරු මතකයේ තියෙන්න අපි ඉතුරු කරලා තියෙනවා. අපි නිර්මාණය කරපු ඒ ගීත මේ මෑත භාගයේ් ඉපදුණ දරුවන් පවා ගායනා කරනවා. නිර්මාණකරුවෙක් වශයෙන් කලාකරුවෙක් වශයෙන්. ඊටත් වඩා සතුටක් ලබන්න පුළුවන් දෙයක් තියෙනවාද? ඒවා දකිනකොට මම බොහොම අහිංසක සතුටක් ලබනවා. අපි යමක් මේ රටේ කලාවට කළා නේද කියලා. ඒ ඔක්කොටම වඩා පාර තොටේ යනකොට, තැනකට ගියාම අපිව දැක්කම අඳුනාගෙන කතා කරන ප්‍රේක්ෂක ජනතාවගේ ප්‍රතිචාර හරිම උණුසුම්.
එක්තරා යුගයක ඔබ මේ රටේ සංගීත කණ්ඩායම් ක්ෂේත්රයේ් නොමැකෙන නාමයක් වුණා නේද?
මුලින්ම මම හිටියේ සුසිල් පෙරේරා සමග ‘සුපර් සෙට්’ සංගීත කණ්ඩායමේ. ඊට පස්සේ සුනිල් ධර්මසේන ප්රමුඛ ‘ට්‍රෑන්ගල්’ සංගීත කණ්ඩායමේ හිටියා. ඊට පස්සේ ප්රැට්රික් දෙනිපිටිය සමඟ වැඩ කළා. ධර්මරත්න බ්‍රදර්ස්ලා සමඟ වැඩ කළා. ඔහොම ඇවිත් අවසාන කාලයේ ජයතිස්ස හෙට්ටිආරච්චිගේ ‘සත්සර’ සංගීත කණ්ඩයමේ හිටියා. ඒ කාලේ හැටියට අපි දවසට ෂෝ තුන හතරක් භාර ගන්නවා. අර්නස්්ට් සොයිසා වැන්නෝ මම හඳුනා ගන්නේ එතැනින්. ඊට පස්සේ තමයි ‘සුපර් ස්ටාර් සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණේ. සුපර් ස්ටාර් දිගට යනකොට තමයි ‘නන්දන වින්දන’ මධුරසාංග වැනි වැඩසටහන් රූපවාහිනියේ පටන් ගත්තේ. මේ වැඩසටහන් හරහා තමයි මෙතෙක් නාමිකව දැනගෙන සිටි සරත් ද අල්විස් රූපයෙන් දැනගන්න පටන්ගත්තේ.
චිත්‍රපට පසුබිම් ගීතය පැත්තෙන් බැලුවොත් ඔබ එහි කිසියම් සුවිශේෂී අනන්‍යතාවයක් සුරැකි අයෙක්. ඒ සඳහා ඔබට පූර්වාදර්ශ වුණේ මොනවාද?
කාලයක් යනකොට මම වාණිජ සිනමාවේ නැතුවම බැරි සංගීතඥයෙක් බවට පත්වුණා. ලංකාව පුරාම ඒ කාලේ ගහපු කටවුට්වල සංගීතය සරත් ද අල්විස්. කටවුට් එකකට සාමාන්‍යයෙන් යන්නේ නළුවා – නිළියනේ. ඒ කාලේ අලුත් ට්‍රෙන්ඩ් එකක් විදිහට සංගීතඥගේ් නමත් ආවා.
ඔබේ සංගීත ගමන ආරම්භ වෙන්නේ කුඩා කාලයේදීම නේද? අපි ඒ අතීතයත් සිහිපත් කරමුද?
පුංචිම කාලෙ ඉඳන් මම සංගීතයට කැමතියි. අපේ ගෙවල් අවට තිබුණු තැන් වලට ගිහින් මම සංගීත භාණ්ඩ වාදනය කරන හැටි බලන් ඉන්නවා. සමහර ඒවා උත්සාහ කරලා බලනවා. ඒ කාලෙ සංගීත සංදර්ශන බලන්න විහාර මහා දේවී ඒකට පයින් යනවා. අම්මයි පප්පයි දෙන්නම තේරුම් ගත්තා. මගේ කැමැත්ත තියෙන්නේ ඒ පැත්තට කියලා. ඊට පස්සේ ඒ දෙන්නම මට සහයෝගය දක්වන්න පටන් ගත්තා. පස්සේ කලෙක පප්පම තමයි සර්පිනා ඒක හදලා දුන්නෙත් ඒ අනුග්‍රහයත් එක්ක. මගේ තිබූ උපන් හැකියාවත් එක්ක තමයි මේ සා දිගු ගමනක් මට එන්න පුළුවන් වුණේ් කියලා මම විශ්වාස කරනවා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න
