Home » එක දිගට විකාශය වන ටෙලිනාට්‍ය 05ක රඟපාන එකම බන්ධනාගාර නිලධාරියා මමයි

එක දිගට විකාශය වන ටෙලිනාට්‍ය 05ක රඟපාන එකම බන්ධනාගාර නිලධාරියා මමයි

රංගන ශිල්පි සම්පත් දඩල්ලගේ

by mavan
March 19, 2026 11:13 am 0 comment

තරුණ බන්ධනාගාර නිලධාරියකු ලෙස රැකියාවේ නිරත වන ඔහු රංගනයෙන් දායක වන නිර්මාණ 05ක්ම මේ දිනවල නාළිකා කිහිපයකම විකාශය වේ. සේවා දිවිය තුළ ලද එක් එක් පුද්ගල අත්දැකීම්, හැසිරීම්, චර්යාවන් සිය රංගනයට අමුද්‍රව්‍ය වශයෙන් එකතු කර ගන්නා ඔහු තරුණ රංගන ශිල්පියකු වන සම්පත් දඩල්ලගේය. සිය කලා නිර්මාණ දිවිය ගැන කතා කිරීමට හෙතෙම සරසවිය හා මෙසේ එක් විය.

මේ දිනවල නිර්මාණ කිහිපයකම ඔබේ රංගනයන් අප දකිනවා?

ප්‍රධාන නාළිකා 04ක මම රඟපෑ ටෙලිනාට්‍ය 05ක් දැන් විකාශය වෙනවා. ජාතික නාළිකාවේ ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යයත්, ස්වාධීන රූපවාහිනියේ ‘ඹ්ඕඑ’ සහ ‘සිහින වර්ෂා’ ටෙලිනාට්‍යයත් , හිරු නාළිකාවේ ‘අම්මා’ත්, සිරසේ ‘කළු අහස’ ටෙලිනාට්‍යයත් ඒ ටෙලිනාට්‍ය 05යි.

‘දොරකඩ දෙවොල’ හි චමින්ද බේබිට හොඳ ප්‍රතිචාරත් ඇති?

චරිතය ගැන කතා කරන්න පෙර එවැනි වටිනා නිර්මාණයකට මාව තෝරාගත් අධ්‍යක්ෂ ලලිත් රෝහිත අයියාට මම ස්තුතිවන්ත වෙනවා . මේ ටෙලිනාට්‍යයට බැඳුණු වෙනම ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවා. ‘ඉර ගිනි මද්දහන’ නිර්මාණය කළ ලලිත් අයියගේ ඊළඟ නිර්මාණයනේ ‘දොරකඩ දෙවොල’. කලින් නිර්මාණයේ රසය විඳීන්නට බලාපොරොත්තු වුණු වෙනම පිරිසක් ‘දොරකඩ දෙවොල’ වටාත් ඉන්නවා . මෙහි චමින්ද බේබි කියන්නේ ඒ ගමේ ඉන්න මන්ත්‍රීගේ පුතයි. මේ චරිතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මෙහි මගේ රංගනය ගැන ප්‍රේක්ෂකයා තීරණය කරාවි.”

චරිතය භාරගන්න විශේෂ හේතුවක් තිබුණාද?

ඔව්, මම හරිම ආසයි මෙගා කියන කැටගරියෙන් මිදිලා නිර්මාණාත්මක දේවලට දායක වෙන්න. මීට පෙර වටිනා චරිත 03කට දායක වුණත් ඒ නිර්මාණ මේතාක් විකාශය වුණේ නැහැ . ‘දොරකඩ දෙවොල’ වැනි නිර්මාණයක් ලැබෙන තෙක් බලාගෙන හිටියේ . මෙවැනි නිර්මාණයකට දායක ලැබීම වෙනමම ආත්මතෘප්තියක් . මේ චරිතයට මම මගේ උපරිමය ලබා දෙනවා .

‘අම්මා’ සහ ‘කළු අහස’ ගැනත් කතා කළොත්?

මේ ටෙලිනාට්‍ය දෙකේම මගේ චරිතයේ නම අජී. මේ චරිත දෙකේ සමානකමකුත් බැලුබැල්මට තියෙනවා. එක් මොහොතක නපුරු චරිතයක් වුවත් , තවත් විටෙක ඒ නපුරු චරිතය තුළින්ම මනුෂ්‍යත්වය පිරි චරිතයකුත් ඉස්මතු වෙනවා . එවැනි සමානකම් චරිත දෙකේම තිබෙනවා. ‘අම්මා’හි අජී වෙනමම පැත්තකට ගෙනියනවා . ඒ චරිතය දක්ෂ තිර රචිකා ගයනි අසිංසලා මිස් හරි ලස්සනට ලියනවා. එහි දෙබස්වලට මම හරිම සංවේදී වුණා. මට එහිදී ඇඬුණා. මේ චරිතය තුළ රඟපාන්න දෙයක් ලියවී තිබුණා.

‘සිහින වර්ෂා’ සහ ‘ඹ්ඕඑ’ ටෙලිනාට්‍ය චරිත ගැනත් කීවොත් ?

ඹ්ඕඑ ටෙලියේ ප්‍රවීන් නමැති දූෂණ මර්දන නිලධාරියා මමයි. මම ආසා ක්‍රිකට් වෙනුවෙන්ම ලියවුණු ඹ්ඕඑ හි ප්‍රධාන චරිතයකට දායක වෙන්න ලැබීම ගැන සතුටුයි. අධ්‍යක්ෂ සුපුන් රත්නායක සමඟ මම කලිනුත් වැඩ කළා. මාව මේ තැනට ගෙනඒමට බොහෝ රුකුලක් වුණු කෙනෙක් තමා සුපුන් අයියා. ‘සිහින වර්ෂ’ හි දුමීර චරිතය කරන්නෙත් මම. මා මෙතෙක් රඟපෑ චරිතවලට වඩා හාත්පසින්ම වෙනස්, හරිම සංවේදී, අහිංසක චරිතයක්. වෙරළබඩ පරිසරයක මෙය නිර්මාණය වෙන්නේ. මෙහි තිර රචනය සමීර පියරත්න මල්ලිගේ බිරිඳ විදේශිනී නංගි ලියන්නේ. ඇය දුමීරව හරි ලස්සනට ලියා තිබ්බා

මේ චරිත 05න් ප්‍රේක්ෂකයා ගොඩක් සමීප කුමන චරිතයටද?

මේ චරිත 05ම එකිනෙකට වෙනස්. ඒ අතරින් දොරකඩ දෙවොලේ චමින්ද බේබි සහ අම්මා ටෙලියේ අජී ප්‍රේක්ෂකයා අතරට බොහෝ සෙයින් ගිහින් තිබෙනවා .

එකිනෙකට වෙනස් චරිත රංගනයේදී කොහොමද ඔබ එයට මානසිකව අනුගත වන්නේ?

චරිතයකට මානසිකව අනුගත වෙන්න බැරි නම් එතැන නළුවකු, කලාකරුවකු වගේම කලාවකුත් නැහැ කියා මම සිතනවා. අපි චරිතයක් බාරගන්නේ එයට උපරිම සේවයක් කරන්න බලාගෙනයි. රංගන ශිල්පියාට හෝ ශිල්පිනියට සිය රංගන පෞරුෂය ගැන පෞද්ගලිකව ඒ රංගන වපසරිය ගැන අවබෝධයක් තියෙනවා. තම රංගන වපසරියට අනුව චරිතයක් තෝරාගත යුතුයි. අපේ වපසරියට ඉහළ චරිතයක් ලැබුණම ඇත්තෙන්ම අපට එය කරගන්න බැරි වුණොත් මුලින්ම ඒ හානිය පෞද්ගලිකව සිදුවන්නේ මට. මා කරන දේනේ ප්‍රේක්ෂකයා දකින්නේ. මෙය හරියට නොවුණොත් ප්‍රේක්ෂකයා මාව රිජෙක්ට් කරනවා. අනික් හානිය මම නිර්මාණයට කරන හානියයි. තුන්වෙනුව මාව විශ්වාස කර චරිතය දුන් අධ්‍යක්ෂට මම කරන හානිය. ඒක හරිම විශාල හානියක්. මම නම් මගේ කැපෑසිටි එක තේරුම්ගෙනයි චරිතයක් බාර ගන්නේ. මානසිකව චරිතයකට අනුගත විය යුත්තේ ඒ චරිතයේ කැපෑසිටි එක ගැන අපි ස්වයං අධ්‍යයනයකින් පසුවයි. ඉන් පසුවයි එය භාරගන්න ඕනේ. ඒ භාරගැනීම තුළ අනිවාර්යයෙන් ඒ චරිතය සමඟ අපි ජීවත් විය යුතුයි. එසේ ජීවත් විය හැකිනම් පමණයි එතැන නළුවෙක් හෝ නිළියක් ඉන්නේ වගේම නිර්මාණයක් බිහිවෙන්නේ. එනිසා අපට ලැබෙන චරිතය දැනෙනවානම් විතරයි එය තෝරාගත යුත්තේ.

නිර්මාණයක් බාරගනිද්දී සලකා බලන කරුණු තිබේද?

මං මූලිකව බලන්නේ මගේ චරිතයෙන් සහ ටෙලිනාට්‍යයෙන් සමාජයට යමක් දෙනවද කියන එකයි. ඒ වගේම අධ්‍යක්ෂ සහ තිර රචක කවුද කියා සලකා බලනවා. මම ආස නැහැ ආවට ගියාට නිර්මාණවලට දායක වෙන්න.

ඔබ සැබෑ දිවියේ බන්ධනාගාර නිලධාරියෙක්. රැකියාවේ අත්දැකීම් රංගන දිවියට භාවිත කරනවාද?

මම වැඩ කරන්නේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ. මගේ බන්ධනාගාර රැකියාව තුළ මගේ හැසිරීම් රටා සහ ක්‍රියාවන් සමඟ මගේ පෞරුෂය තිබෙන්නේ එතැනදී වෙනම තැනක. ඒ පෞරුෂය රංගනය කරන තැනට අරගෙන ආවොත් මේ කිසිම චරිතයක් රඟපාන්න මට බැරි වෙනවා. බන්ධනාගාර නිලධාරියා කියන තනතුර එහි තාප්ප 04 ඇතුළේ කියලා තමයි එන්නේ. ගෙදර එන්නේ සම්පත් ලෙස. රඟපාන්න එන්නේ බන්ධනාගාර නිලධාරියාවත්, සම්පත් විදිහටවත් නෙවෙයි, එදා දවසේ මම රඟපාන ටෙලිනාට්‍යයේ චරිතය විදිහටයි. ඉහත කී පෞරුෂ තුළින් දර්ශන තලයට ආවොත් ඒ චරිත තුළ තිබෙන ලක්ෂණ මට නොදැනීම එදා දවසේ රංගනයට ස්වාභාවිකවම එනවා. රැකියාවේ ලද අත්දැකීම් රංගනයට යොදාගන්නවා තමයි. බන්ධනාගාරයේ තමයි හොඳම නළුවො ඉන්නේ. ඔවුන් රියල් නළුවෝ. ඒ මිනිස්සුන්ගේ ජීවිත කතාව සහ චර්යාවන් බැලුවොත් එකිනෙකට වෙනස්. සැකකරුවෝ, සාමාන්‍ය සිරකරුවෝ, විශේෂ ගණයේ සිරකරුවෝ, මරණ දණ්ඩනය නියම වූවෝ ආදී ලෙස විවිධ කාණ්ඩවලට මේ අය වෙන්වෙනවා. ඔවුන් වැරදි කරපු ස්වභාවයන්ද එකිනෙකට වෙනස්. ඔවුන් එක්ක මම කතා කරනවා. ඔවුන්ගේ හැසිරීම් අධ්‍යයනය කරනවා. එයාලගේ ස්වරූපයන්, හැසිරීම් රටා මගේ රංගනයේදී අදාළ තැන්වලට උකහා ගන්නවා.

නිර්මාණයකදී අධ්‍යක්ෂ සමඟ ඔබේ මානසික ගනුදෙනුව කෙසේද?

මේකට මට තනි වචනයක් දෙන්න පුළුවන්. තාත්තා සහ පුතා අතර තිබෙන මානසික ගනුදෙනුව කිව්වොත් හරි කියා මා සිතනවා. තාත්තා කෙනෙක්ට පුතාගේ හැසිරීම් ගැන අවබෝධයක් තිබෙනවා. අධ්‍යක්ෂ කෙනෙක් කියන්නේ නළුනිළියන්ගේ ඇක්ෂන්, රිඇක්ෂන්, දෙබස් උච්චාරණය ගැන අවබෝධයක් තිබෙන කෙනා. අධ්‍යක්ෂවරයාට චරිතයකට කෙනෙක් තෝරා ගනිද්දී ඔළුවට එනවා මේ සඳහා සුදුසු අහවලා කියලා.

ක්ෂේත්‍රයට පැමිණි අයුරු සිහිකළොත්?

මගේ යාළුවෙක් ඉන්නවා චාමර තල්පාවිල කියලා. ඔහුගේ අයියා සාරංග තල්පාවිල. එයත් රඟපානවා. ඔවුන් දෙදෙනා හරහායි රංගන ශිල්පි නිරෝෂ් අනුරාධ අයියා මුණගැසෙන්නේ. ඔහු මට ජානක සම්පත් අයියාගේ ‘Qභඥඥද’ ටෙලියේ රංගනයට අවස්ථාව ලබා දෙනවා. ජනක සම්පත් නැත්නම් සම්පත් දඩල්ලගේ කියා කෙනෙක් නැහැ.

‘ගඩාෆි’ චිත්‍රපටයේ චරිතයක් කළා නේද?

ඔව්, රංජන් රාමනායක අයියාගේ ‘ර්‍ණධ්ඛ් ගඩාෆි’ චිත්‍රපටයේ මං පොලිස් රාලහාමි කෙනෙක්. ඉදිරියේදී එය දකින්න ලැබේවි.

වත්මන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ගැන ඔබේ දෘෂ්ටිය දැනගන්න කැමැතියි?

මෑතකාලීනව ටෙලි නාට්‍ය කලාවත් වෙනස් වෙලා තිබෙනවා. දැනට වසර කිහිපයකට පෙර මම දැක්කා ටෙලි නාට්‍ය කලාව සහ ප්‍රේක්ෂකයා අතර යම් දුරස්ථ බවක්. නිර්මාණාත්මක බවින් අඩු, එකම රැල්ලට පෙන්වන නිර්මාණ බිහිවුණා. ඒවා වැලඳගත් අයත් සිටියා. රසවින්දනය එකිනෙකාට සාපේක්ෂයි. රැල්ලට ආ ටෙලිනාට්‍ය අස්සේ ගුණාත්මක දේ නැතිවෙලාම තිබුණේ. එහෙත් වත්මනෙහි යම් රැල්ලක් හඹායනවා ගුණාත්මක නිර්මාණ පැත්තටත්.

රංගනය වැඩිදුර හැදෑරීමේ අදහසකුත් ඇති?

මම ප්‍රසන්න මහගමගේ සර් යටතේ රංගනය හැදෑරුවා. ඔහු මගේ ගුරුවරයා. නව නිර්මාණයක මම හෙට රඟපානවා නම් එහි සීන්ස් 05ක 10ක මම හිටියොත් ඉබේටම යම් හැදෑරීමක් වෙනවා. ක්ෂේත්‍රයට මම ආ දා දවසේ සිටම මේක ඇතුළේම ඉඳගෙනයි මම ඉගෙන ගන්නේ. ජ්‍යෙෂ්ඨයන්ගේ ඇසුර ලබමින්, ඔවුන් රඟපාන දිහා බලා යම් ඉගෙන ගැනීමක් කරනවා. අමතර පාඨමාලා කරනවට වඩා ප්‍රායෝගික පුහුණුව තමයි හොඳම රංගන පාසල.

පිටපතක් ලියන්න හෝ නිෂ්පාදනයට අතගසන්න අදහසක් නැද්ද?

තිර පිටපත් රචනයට නම් මගේ අදහසක් නෑ. ඒත් මම අනාගතයේ දවසක නිෂ්පාදකවරයෙක් වෙනවා. තාම එයට සුදුසු කාලය නොවෙයි. තවත් මට මෙහි ඉගෙන ගත යුතු දේ තිබෙනවා. රංගනය සහ නිෂ්පාදනය කියන්නේ වෙනස් විෂයයන් දෙකක්. නිෂ්පාදනය ගැනත් තිරය පිටුපස සිට ඉගෙන ගන්නවා. සුදුසු කාලයට එය සිදුවේවි.

ඉදිරි නිර්මාණ ගැන කීවොත්?

ටෙලිනාට්‍ය කිහිපයක්ම එන්න තිබෙනවා. තව නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා.

මතක් කළ යුතු පිරිසකුත් ඇති?

කලා කටයුතු කරගෙන යෑමට රැකියාවේ නිදහස ලබාදීම පිළිබඳව අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරි හෙන්නායක මහතාට සහ ප්‍රධාන ජේලර් මහතා වන ඉන්දික මහතාටත් ගෞරවය හිමි විය යුතුයි. පරිපාලන නිලධාරීන්, සෙසු නිලධාරීන් ආදී සියල්ලන්ම මට පුදුම සහයෝගයක් ලබා දෙනවා. බන්ධනාගාරයේ සියලුම රැඳවියනුත් මට සහාය දෙනවා, ඔවුනුත් මගේ රඟපෑම් අගය කරනවා.

පවුලේ විස්තර කිව්වොත්?

කලාව කිරීම පහසු දෙයක් නොවේ. මම ඉන්නේ ඇඹිලිපිටියේ. එහි සිට කොළඹ යන්න එන්නත් සෑහෙන කැපකිරීම් කරන්න වෙනවා කලාව සහ රැකියාව වෙනුවෙන්. මගේ බිරිඳ චතුරංගි කරන කැපකිරීමත් අගය කරනවා. මගේ දුව යුවීනා, පුතා යුවීන් දෙදෙනා නිවුන්නු. ඔවුන් දෙදෙනාගෙනුත් මගේ රංගනයට ප්‍රතිචාර ලැබෙනවා

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT