21 වැනි කොටස
මුළු රටටම මාව ‘දංචූටි’ කෙරෙව්වේ සේන සමරසිංහයන්. 1980 දශකයේ මුල් භාගයේ තමයි සේන සමරසිංහයන් ‘චංචල රේඛා’ නිර්මාණය කරන්නේ. ඒ වෙනකොට ඔහු තවත් ජනප්‍රිය චිත්‍රපට රැසක් සිනමාවට දායාද කරලා සිනමාවේ නමක් දිනා ගත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදියට ජනගත වෙලා හිටියා. මට ‘චංචල රේඛා’ සඳහා ආරාධනා ලැබෙනකොට ඇත්තටම මම සතුටු වුණා මේ වගේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙකුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබෙන අවස්ථාව ගැන හිතලා. අනිත් විශේෂ කාරණාව වුණේ මේ චිත්‍රපටයෙන් මට ගාමිණී ෆොන්සේකා මහතාව මුණ ගැසීම. චිත්‍රපටයට මාව තෝරගන්නකොට මම සේන සමරසිංහයන් දැකලාවත් තිබුණේ නෑ. ඒවුණාට අපේ පවුලත් සමඟ ඔහුට සමීප නෑ සබඳකමක් තිබුණා කියලා මම දැනගෙන හිටියා. සේන සමරසිංහගේ මල්ලි වුණු සෑම් සමරසිංහ විවාහ වෙලා හිටියේ මගේ අම්මගේ කුඩප්පච්චිගේ දුව සමඟ. ඒ නිසා අම්මා සහ සේන සමරසිංහ අතර සමිප සබදතාවයක් තිබුණා.
චංචල රේඛා ‘දංචූටිගේ චරිතයට මාව තෝරා ගැනීමට පෙර ඒ සදහා වසන්ති චතුරාණි තෝරාගෙන හිටියා කියලා පස්සේ කාලෙක කවුදෝ මට කිව්වා. කිසියම් පුවත්පතක මේ පිළිබඳ පළවී තිබුණ බව. නමුත් මාව තෝරගන්න විට ඒ ගැන මම දැනගෙන හිටියේ නෑ. මට ගාමිණි ෆොන්සේකාව මුලින්ම මුණ ගැහෙන්නේ චංචල රේඛා රඟපාන්න ගිය විටයි.
චිත්‍රපටයේ මුහුරත් උත්සවය තිබුණේ සිරිපා පාරේ තිබුණ සේන සමරසිංහගේ නිවසේදියි. මේ චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා (සිරිසේන) මම (දංචූටි) ෆරිනා ලායි, ස්වර්ණා මල්ලවාරච්චි (කමලා) තලතා ගුණසේකර, රෙක්ස් කොඩිප්පිලි, සේනක පෙරේරා, විමල් කුමාර් ද කොස්තා, (පොඩි මහත්තයා), බන්දු සමරසිංහ (කපිල) රිචාඩ් විරක්කොඩි (රාළහාමි) නන්දා ජයමාන්න, නිමල් සිටුගේ, සිසිර කුමාරතුංග, ජි ගුණවර්ධන ඇතුළු පිරිසක් රඟපෑවා. සේන සමරසිංහගේ අධ්‍යක්ෂණයට චංචල රේඛා තිර රචනය කළේ සෝමපාල ලීලානන්ද. මේ කතාවෙන් කියවුණේ අසීමිත සොහොයුරු ප්‍රේමයක් ගැන. සේන සමරසිංහයන්ටත් නංගි කෙනෙක් හිටියා කියලා මම අහලා තිබුණා. ඔහුත් ඔහුගේ නැගණියට අතිශයින්ම ප්‍රේම කරපු කෙනෙක්. ඒ ප්‍රේමනීය බව තමයි සෝමපාල ලීලානන්දයන් මේ තිර කතාවට නැගුවේ කියලා මම අහලා තිබුණා.
චංචල රේඛා නිෂ්පාදනය කළේ සමරසිංහ චිත්‍රපට වෙනුවෙන් පියසේන ද සිල්වා සහ සේන සමරසිංහ. චිත්‍රපටය තිර ගත වෙන්නේ 1981 දෙසැම්බර් මාසේ 18 වැනිදාවක. කැමරාකරණය කළේ ඩැනි ඩබ්ලිව් පතිරණ. සංස්කරණයෙන් ලාල් දිසානායක දායක වූවා. මේ චිත්‍රපටයේ සුවිශේෂිම දේ වෙන්නේ ගීත සහ සංගීතයයි. සංගීත අධ්‍යක්ෂණය කළේ සරත් දසනායකයි. චිත්‍රපටයට ගීත 4ක් අඩංගු වුණා. අද මේ මොහොත වනතුරුත් මේ ගීත ජනප්‍රියයි.
නාමාවලියත් එක්ක චිත්‍රපටයේ පසුබිම් ගීතය ගායනා කළේ ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි. ගී පද රචනය සෝමපාල ලීලානන්දගේ
ඉරේ එළිය නැත උණුහුම දැනේ දැනේ
සදේ කැලුම් නැත සිසිලස ගෙනේ ගෙනේ
මලේ පරව නැත සුවඳක් දැනේ දැනේ
දැවුණු මගේ නෙත දුක්ගිනිගෙනේ ගෙනේ
ලතා මුඩු තුරු සෙවණේ මල් සුවඳේ බැරුවා
ගලා බසින ඇළ දොළ ගි අසා සිටිනු බැරුවා
ඇස් නැති මා නුඹේ ඇසින් ඒ ලස්සන දුටුවා
ඒත් නුඹේ රුව දකිනට මදි මා පින් කෙරුවා
අල්ලා අතින් බෝවිටි දං පඳුරු යට
අයියා නඟෝ හිටි හැටි එයි මතකයට
නංගා අතින් අද බුදුරැස් දකින්නට
කැන්දාගෙන යන්න දලදා දකින්නට
ඉන්පසු මේ චිත්‍රපටයට ඇතුළත් වුණු ගීත 4ටම පෙනී සිටියේ මමයි ගාමිණී ෆොන්සේකායි. මේ හැම ගීතයක්ම රූගත කළේ සේන අයියාගේ රඹුක්කන ගේ අවට සහ නුවර පාරේ. අපේ ගේ විදියට රූගත කරපු ගේ අන්තිම දර්ශන සඳහා ගිනි තියෙනවා. සේන සමරසිංහයන් ඒ වෙනුවෙන් ගෙයක් වෙනමම හැදුවා.
ලබන සතියේ
චංචල රේඛා මතකය තවදුරටත්
