Home » අවුරුදු 04දී මම ගමේ තිබූ කංකාරි නැටුම් මැදට පැනලා නටනවා

අවුරුදු 04දී මම ගමේ තිබූ කංකාරි නැටුම් මැදට පැනලා නටනවා

ලේඛක, නර්තන ශිල්පි, කථිකාචාර්ය තිළිණ සූරියපති

by mavan
January 8, 2026 12:14 pm 0 comment

තාල නෘත්‍ය කලා කේන්ද්‍රය පවත්වාගෙන යමින් සිය ගෝල පිරිසගේ කලඑළි මංගල්‍යයේ මුහුරත් උලෙළ පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔහු , සම්භාව්‍ය ලේඛන ශෛලිය සේවනය කරමින් ග්‍රන්ථකරණයේ යෙදෙන තරුණ ලේඛකයෙකි. ‘ක්ෂණාශ්‍රව මාර්ගය’ සහ ‘ඉසිවර වෙදැදුරු’ ඔහු විසින් රචිත කෘති ද්විත්වයකි. එපමණින් නොනැවතුණු හෙතෙම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වශයෙන් විද්‍යාර්ථීන්ට දේශන පවත්වමින් සිය දැනුම ඔවුනට නොඅඩුව ලබාදීමට කැපවී සිටින්නෙකි. ලේඛනය, නර්තනය, කථිකාචාර්ය භූමිකා පිළිබඳවත් සිය නවතම ග්‍රන්ථ ද්විත්වය පිළිබඳවත් කතාකිරීමේ අරමුණින් ලේඛක, නර්තන ශිල්පි, කථිකාචාර්ය තිළිණ සූරියපති මෙසේ සරසවිය හා එක්විය.

ඔබේ ගෝලපිරිසගේ නර්තන කලඑළි මංගල්‍යයේ මුහුරත් උලෙළට කොහොමද සූදානම ?

අපේ තාල නෘත්‍ය කලා කේන්ද්‍රයේ 2026 වසර සඳහා පැවැත්වීමට නියමිතව තිබෙන කලඑළි මංගල්‍යයේ මුහුරත් උලෙළ සහ සරස්වතී පූජාව මේ මාසයේ පවත්වන්න කටයුතු සූදානම් කරමින් ඉන්නේ. මගේ ශිෂ්‍ය පිරිස් මෙයට ඉතා උනන්දුවෙන් සූදානම් වෙනවා.

තාල නෘත්‍ය කලා කේන්ද්‍රය පිළිබඳ හඳුන්වා දුන්නොත් ?

මගේ මූලිකත්වයෙන් තාල නෘත්‍ය කලා කේන්ද්‍රය ආරම්භ කළේ 2017 වසරේදී. ප්‍රමිතිගත, ගුණාත්මක නර්තනය ශිෂ්‍ය ප්‍රජාවට දායාද කිරීමේ අරමුණින් තමයි මෙය ඇරඹියේ. උඩරට, පහතරට, සබරගමු නර්තන, ඉන්දියානු භරත නාට්‍යම් නර්තනය ආදිය තමයි මෙහි උගන්වන්නේ. ඊට අමතරව බෙර වාදනය, මානව වංශ සංගීතය (ජන ගායනා) භරත නාට්‍යම් විශාරද විභාගයට පුහුණු කිරීමත් පදනම් කරගෙනයි මෙය ඇරඹියේ. දන්තුරේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනයි මුලින්ම තාල නෘත්‍ය කලා කේන්ද්‍රය පටන්ගන්නේ. නෙළුම්දෙණියේත් ශාඛාවක් ක්‍රියාත්මක වෙනවා. අද වෙද්දි ගුරුවරුන් දෙදෙනෙක් මා යටතේ මේ ශාඛා දෙක පවත්වාගෙන යනවා.

නර්තනාචාර්යවරයකු ලෙස ඔබේ භූමිකාව පැහැදිලි කළොත් ?

මුලින්ම කිවයුතුයි නර්තනාචාර්යවරයකු වීමට මංපෙත සැකසුවේ එවකට දන්තුරේ, වල්ගම්පාය සරසවි රජයේ කලායතනයේ අධිපති ධුරය දැරූ රාජ්‍ය කලාභූෂණ අමුණුගොඩ සුමනදාස රාජපක්ෂ ඇදුරුතුමායි. මගේ දක්ෂතාව දැක පසුකාලීනව එහි උප ගුරුවරයකු ලෙස කටයුතු කරන්න අවස්ථාව සලසාදුන්නා. එවිට මට අවුරුදු 17යි. එතැනින් තමයි මගේ නර්තන ගුරු භූමිකාව ආරම්භ වෙන්නේ. විෂය කටයුතුවලට අමතරව නර්තන ගුරුවරයකු සතු අධ්‍යයන ශිල්ප ක්‍රම එහිදී මා ඉගෙනගත්තා. 2017-2019 අතර මම වෙනත් නර්තන පාසල්වලත්, උසස් අධ්‍යාපන ආයතනයකත් නර්තන උපදේශකවරයකු ලෙසත් කටයුතු කළා. ඉන්පසු විශ්වවිද්‍යාලයට ඇතුළු වුණාට පසුත් ඉගැන්වීම් කටයුතු කළා උසස් අධ්‍යාපන ආයතනයක. බාහිර කථිකාචාර්යවරයකු ලෙස නර්තනය ප්‍රමිතිගතව ඉගැන්විය යුතුයි යන්න මගේ මතය වුණා. ගුරුවරයා කේන්ද්‍ර කරගත් ඉගැන්වීමට වඩා ශිෂ්‍යයා කේන්ද්‍ර කරගත් නර්තන අධ්‍යයනයේ නියැළිමයි මගේ ක්‍රමය වුණේ. කුඩා කල සිටම නර්තනයට ඇල්මක් දැක්වුවාද ?

ඔව්, මම කුඩා කල සිටම නර්තනයට බොහෝ ඇලුම් කළා. ඒකට හේතුව නුවර, උඩවෙල අපේ ගම. ගමේ ඉස්සර ඉඳන්ම යාතුකර්ම පැවැත්වුණා. ඒවා දකිද්දි මගේ නර්තන ආසාව වැඩිවුණා. ඒ නටන, ගයන විදිහට මට නටන්න, ගයන්න සිතුණා. එසේ නර්තනයට එද්දී මට අවු: 04යි. යක්දෙස්සන් නටන විදිහ බලමින් මමත් නැටුවා. කංකාරිමඩුවල නර්තන දකිද්දී මමත් ඒ වයසේදී ඒවට පැනලා නටන්න ගත්තා. මගේ ගමේ පරිසර පසුබිම මාව නර්තනයට ඇල්මක් ඇතිකරන්න හේතුවුණා කීවොත් නිවැරැදියි.

මෙරට නර්තන කලාවේ වත්මන් තත්ත්වය ගැන මොකද සිතෙන්නේ ?

පොදුවේ ගත්විට ලාංකේය නර්තනයේ සාධනීය හා නිශේධනීය ලක්ෂණ දක්නට ලැබෙනවා. අතීතයේ නර්තනය ඉගෙනුමට ආයතන නොමැතිවුණත් අද වෙද්දි බොහෝ ආයතන තිබෙනවා. බහුතර ආයතනවලින් ප්‍රමිතිගත නර්තනය උගන්වනවා. විශ්වවිද්‍යාලවල පවා එසේ නර්තන ඉගැන්වීම් සිදුවීම සාධනීය ලක්ෂණයක්. විශ්වවිද්‍යාලවලින් සාම්ප්‍රදායික නර්තනය ඉගෙනගෙන එළියට ගිහින් සමහරු එය විකෘති කරමින් තිබෙන බවකුත් පේනවා. ඉතා ඛේදනීය තත්ත්වයනම් මෙරට අද ඉන්න නර්තනයේ පුරෝගාමී සමහර චරිත ඒවාට උඩගෙඩිදීමක් සිදුකිරීමයි. නර්තන විෂයය පිළිබඳ සිටින විදග්ධයින් ඒ ගැන අවධානය යොමුකළ යුතුයි. ඒ වැරදි සෑදීම ඔවුන් කළයුතුයි. මේ නර්තන කලාව වෙනත් රටක නැහැ. අපටම ආවේණික දෙයක් මේ දේශීය නර්තනය. මෙරට රියැලිටි නර්තන තරග මුලදී යම් සාධනීය තත්ත්වයක තිබුණත් පසුකාලීනව එයත් විකෘතිසහගත තත්ත්වයට ගිහින් තියෙනවා. මේ ගැන නර්තනයේ විදග්ධයන් කතා කළ යුතුයි. සංවාද, කතිකාවන් ඇතිකළ යුතුයි.

ලාංකේය නර්තනය ජාත්‍යන්තරය තුළ තිබෙන ස්ථානය ගැන ඔබේ දැක්ම මොනවගේද ?

නිත්තවෙලගුණයා, ශශ්‍රී ජයනා, අමුණුගොඩ සුරඹා, පණීභාරතයන්, චිත්‍රසේනයන් ආදීන් නිසා මෙරට නර්තනය ගැන අන්තර්ජාතිකව කතාබහට ලක්වුණා. අපේ නර්තනයේ සුවිශේෂත්වය නිසා විදෙස් ප්‍රජාව එය අගයනවා. ඒ අතරින් උඩරට නර්තනයට ප්‍රමුඛස්ථානයක් ලැබෙනවා. අන්තර්ජාතික උලෙළවලට පවා අපේ නර්තනයන් ඉදිරිපත් කර තිබීමෙන් විදෙස් රටවල ලාංකේය නර්තනයට තිබෙන සුවිශේෂත්වය පැහැදිලි වෙනවා.

ලේඛකයකු ලෙස ආරම්භය සිදුවුණේ කොහොමද ?

ඒ මහනුවර ධර්මරාජයේ ඉගෙනගන්න කාලයේයි. එකල තිබුණා ප්‍රබුද්ධ පාඨක සම්මානය නමින් වැඩසටහනක්. ඒ සඳහා ශාස්ත්‍රීය ලිපි කැඳෙව්වා. එයට මම ලිව්වා “මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සභ්‍යාසභ්‍යවාදය” නමින් ශාස්ත්‍රීය ලිපියක්. එතැනින් තමයි මගේ ලිවීම් ඇරඹුණේ. එහිදී මට ප්‍රථම ස්ථානය ලැබී ‘ප්‍රබුද්ධ පාඨක සම්මානය’ ලැබුණා. පසුව ශාස්ත්‍රීය ලිපි රැසක්ම එකල ලිව්වා..ඊට පෙර පුවත්පත්වලට කොහොමත් ලිව්වා.

‘ක්ෂිණාශ්‍රව මාර්ගය’ වැනි ග්‍රන්ථයක් රචනයට බලපෑ සාධක මොනවාද ?

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි ගැන මම අධ්‍යයනය කරන්න ගත්තේ අවුරුදු 15දි වගේ. උන්වහන්සේ ගැන මගේ ලොකු ප්‍රසාදයක් තිබුණා. උන්වහන්සේ ගැන ලියවුණු පොත් රැසක්ම මම කියෙව්වා. ඉන්පසු මට සමුද්‍ර වෙත්තසිංහයන් මුණගැසුණා. ඔහුට මගේ අවශ්‍යතාව වැටහුණු නිසා ඔහු මට ආරාධනා කළා බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි ගැන ග්‍රන්ථයක් සම්පාදනයට. එහි ප්‍රතිඵලයක් තමයි ‘ක්ෂිණාශ්‍රව මාර්ගය’ කියන්නේ.

ඔබේ ලේඛනයේ යම් සම්භාව්‍ය ශෛලියක් දක්නට ලැබෙනවා ?

ඔව්, මගේ ලේඛනයට සම්භාව්‍ය ශෛලියක් සේවනය කරගත්තා කිවොත් නිවැරදියි. ධර්මරාජයේ මම උසස්පෙළ හදාරද්දි අපිට සිංහල භාෂාව ඉගැන්වූවේ වසන්ත රත්නායක නම් ඇදුරුතුමා. ඔහු ඉගැන්වීමේදී ලිඛිත භාෂාව පිළිබඳ ඉතාම ගැඹුරු, සම්භාව්‍ය භාෂා ශෛලියක් භාවිත කරන්නැයි අපට උපදෙස් දුන්නා. මාත් පැරණි සම්භාව්‍ය කෘති කියවන්න තමයි කැමැත්තක් දැක්වූයේ. එසේම බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි පරිභාවිත කළ භාෂා රටාවන්ට මා ඇල්මක් දැක්වුවා. ආචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල, ආචාර්ය නන්දසේන මුදියන්සේ, මහාචාර්ය සුචරිත ගම්ලත් වැනි විද්වතුන් භාවිත කළ භාෂා රටාවට මගේ සිත නිසර්ගයෙන්ම ඇදීගියා. පාසල් සමයේ සිටම මගේ ලේඛනයට සම්භාව්‍ය භාෂා ශෛලියක් ඇතුළත්වෙන්න හේතුව එයයි කියා සිතනවා. මම නිතරම සුමංගල ශබ්දකෝෂය , හරිශ්චන්ද්‍ර මහා සිංහල ශබ්දකෝෂය වැනි ශබ්දකෝෂ භාවිත කරමින් වචන සොයන්න පෙලඹුණා.

බෞද්ධ දර්ශනය කේන්ද්‍ර කරගනිමින් ග්‍රන්ථ රචනයට විශේෂ ඇල්මක් තියෙනවද ?

මෙහෙමයි, මම කැමැතියි විවිධ විෂය ක්ෂේත්‍ර සම්බන්ධ ග්‍රන්ථ රචනයට. පුරාවිද්‍යාව, නර්තනය, බෞද්ධ දර්ශනය, සිංහල භාෂාව ආදී වශයෙන්.. මා වඩාත් කැමැතියි පර්යේෂණ කෘති, ශාස්ත්‍රීය කෘති සම්පාදනයට. බෞද්ධ දර්ශනයට යම් කැමැත්තක් තිබෙනවා තමයි, එය ආධ්‍යාත්මික විෂයයක්නේ.

‘ක්ෂිණාශ්‍රව මාර්ගය’ රචනයේදී උපයුක්ත කරගත් අමුද්‍රව්‍ය මොනවාද ?

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිගේ පැරණි, විරල ගණයේ දේශනා මේ සඳහා උපයුක්ත කරගත්තා. ඒවාට එකතු කරගත්තා උන්වහන්සේගේ ආධ්‍යාත්මික ගමන්මඟ හා චරිතය ගැන මම උපයාගත් කරුණුත්. මේ ද්විත්වය සම්මිශ්‍රණය කරගනිමින් මේ ග්‍රන්ථය රචනා කළේ.

‘ඉසිවර වෙදැදුරු’ නවකතාව ලියන්න පෙලඹුණු අයුරු කීවොත් ?

මම කුඩා කාලයේ ආසාවෙන් නැරඹූ ටෙලිනාට්‍යයක් තමයි ‘ඉසිවර වෙදැදුරු’ කියන්නේ. ජාතික රූපවාහිනියේ විකාශය වූ ළමා වැඩසටහන් හොඳ පරමාදර්ශී වැඩසටහන් බව මා දන්නවා. කාලයක් යද්දී මේ ටෙලිනාට්‍යය නවකතාවකින් එළිදක්වන්න කියා මට සමුද්‍ර වෙත්තසිංහයන්ගෙන් ආරාධනාවක් ලැබුණා. අතුල රන්සිරිලාල් මහතාටත් ස්තූතිවන්ත වෙනවා. ඔහුත් මෙයට සහායක් ලබාදුන්නා. කුඩා කාලයේ මම හීනෙකින්වත් සිතුවේ නැහැ මේ ටෙලිනාට්‍යය මා අතින් නවකතාවකට පෙරළේවි කියලා

මෙය රචනයට පෙර කොරියන් සමාජය පිළිබඳ ඔබේ අධ්‍යයනය කවරාකාරද ?

කොරියාවේ තිබූ ජොසොන් යුගය පිළිබඳ මම සෑහෙන්න අධ්‍යයනය කළා. ඒ රාජාණ්ඩු පාලනය පැවති යුගයක්. මහා ශශ්‍රී යුව රජුගෙන් පසුවයි එම යුගය උදාවෙන්නේ. එකල පැවති රජ මාලිගයේ ස්වභාවයත් , එහි විවිධ ස්ථරත් , කොරියානු සමාජ ස්ථරයත් , ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණ ආදිය ගැනත් ගැඹුරින්ම අධ්‍යයනය කළා. එසේ අධ්‍යයනය කළේ මගේ සිතේ තිබූ කුතුහලය නිසයි. අවුරුදු 03ක් පමණ තිස්සේ කොරියන් ඉතිහාසය අධ්‍යයනය කළා. ඒ අධ්‍යයනයන් බොහෝදුරට උපකාරි වුණා මේ නවකතාව රචනයට. අන්තර්ජාලයෙන් බොහෝ තොරතුරු සොයාගත්තා

‘ඉසිවර වෙදැදුරු’ සිංහල හඬකැවීම් අධ්‍යක්ෂවරයා ගැන ඔබේ දැක්ම කවරාකාරද ?

අතුල රන්සිරිලාල් මහතා අපේ ළමා කාලය වර්ණවත් කළ යුග පුරුෂයෙක්. එතුමා නොවන්නට අපේ කුඩා කාලය එතරම් රසවත් වන්නේ නැහැ. ඔහුගේ නිර්මාණවලින් දුන් පරමාදර්ශ අපේ ජීවිතයට ඉතා වැදගත් වුණා. අපට අභියෝගයක් ආවම එයට මුහුණදෙන්න ඕන කොහොමද කියන දේ ඔහුගේ නිර්මාණ තුළින් අපට ලැබුණා. එතුමා සමඟ මගේ ගනුදෙනුව පටන්ගන්නේ ‘ඔෂින්’ නැරඹීමත් සමඟයි. අපේ ආදරණීය අතුල මාමා කියලා තමයි ඔහුට ඒ කාලයේ ආමන්ත්‍රණය කළේ. එතූමාගේ දැක්ම ඉතා පුළුල්. එතුමාගේ දැක්ම වුණේ “ළමයින්ට හොඳම දේ” යන කියමන ක්‍රියාත්මක කිරීම කියලයි මට සිතෙන්නේ. අතුල මහතාගේ නිර්මාණ දරුවන්ට පමණක් නොවේ වැඩිහිටියන්ටත් ආදර්ශ වූවා කියා මා සිතනවා

සමුද්‍ර වෙත්තසිංහයන් සමඟ ඔබේ ඇසුර ගැන කීවොත් ?

මගේ කුඩා කාලයේ වීරයෙක් වන ඔහු ලියූ “අප්‍රකට ලිපි” සහ “දින සටහන්” යන කෘති 02 මගේ ජීවිතයේ සදානුස්මරණීයයි. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි හා ඔහු අතර තිබූ ගුරු-සිසු ඇසුර මට ඉතා වටිනාකමක් එක් කළා. මම පාඨකයෙක් සහ ඔහු ලේඛකයෙක් ලෙස මුලින්ම අප හමුවුණත් අවසානයේ අපි දෙදෙනා හොඳම මිතුරන් වුණා. ශාස්ත්‍රකාමී බැඳීමක් වුණු අපේ ඒ හිතවත්කම සාහිත්‍යකරණ දිවියට ආලෝකයක් වුණා.

ඔබ ලියූ ග්‍රන්ථ ද්විත්වය දෙස ආපසු හැරී බැලුවොත් ? සහ පාඨක ප්‍රතිචාර ගැන කීවොත් ?

මා අපේක්ෂා කළාටත් වඩා පාඨක ප්‍රතිචාර ලැබුණා. ගෙදරටත් සෑහෙන ලිපි ලැබුණා. ළහිරු සම්පත් කියලා අවුරුදු 38ක ශ්‍රව්‍යාබාධිත තරුණයෙක් මට ලිපියක් එවා තිබුණා. ඔහු ශ්‍රව්‍යාබාධිත නිසා දේශන ඇසීමට නොහැකියි කියාත් ඒත් මේ කෘතිවල වටිනාකම අගයා, එහි විරලගණයේ කරුණු වෙනත් කිසිම තැනකින් කියවා තිබුණේ නැහැයි කියාත් මට ස්තුති කර තිබුණා. ප්‍රතිචාරවලින් මට ධෛර්යයක් ලැබුණා සේම එයින් තෘප්තිමත් වෙනවා

මෙරට සාහිත්‍ය සම්මාන උලෙළ ගැන ඔබේ තක්සේරුව මොනවගේද ?

ඒ ගැන අදහස් දැක්වීමට මට තිබෙන දැනුම සීමිතයි. මමත් මෙරට ජාතික මට්ටමේ ඇතැම් සාහිත්‍ය සම්මාන උලෙළවල විනිශ්චය මණ්ඩලයේ ඉඳලා තියෙනවා. ජ්‍යෙෂ්ඨයන් දක්වන අදහසුත් මගේ අදහසුත් බොහෝ පරස්පර වේවි. මගේ අත්දැකීම් අනුව කීවොත් එවැනි උලෙළවල බොහෝ සාධනීය දේ තිබෙනවා. ලේඛන කලාවට සම්මාන ලබාදීම ඔවුන්ව දිරිගැන්වීමක්. අවරගණයේ නිර්මාණ මේ උලෙළවල ප්‍රතික්ෂේපවෙලත් තියෙනවා. සම්මාන උලෙළ පැවැත්වීම අත්‍යවශ්‍යයි. එයින් සාහිත්‍ය කලාව සුපෝෂණයට දායකත්වයක් ලැබෙනවා වගේම වාණිජ රාමුවක් තුළ දිවයන සම්මාන උලෙළත් තියෙනවා. විනිශ්චය මණ්ඩලවලට පත්වීමේදී ඒ විෂයය පිළිබඳ අවබෝධයක් සහිතවූවන් පත්විය යුතුයි.

තිළිණ සූරියපති නම් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයාගේ භූමිකාව ගැන කීවොත් ?

මම ඉගැන්වීම් කටයුතු කළේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් ලෙස සිටි කාලයේමයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබද්දි මම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක බාහිර කථිකාචාර්යවරයෙක් ලෙසත් වැඩකළා. ඒ ලද දැනුම මගේ මිතුරන් අතරේත් බෙදාහැරියා. විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා වනාහි නව දැනුම් සොයායන්නකු විය යුතුයි. දැනුම් ගවේෂකයකු විය යුතුයි. විශ්වවිද්‍යාල ආචාර්යවරයා ඒ සඳහා විද්‍යාර්ථීන්ට මඟපෙන්විය යුතුයි. මම සිසුන්ට නව දැනුම සොයායෑමට පොලඹවනවා. මම පර්යේෂණවල නියැළෙන ගමන් ඔවුන්ටත් පර්යේෂණවල නියැළෙන්න උපදෙස් දෙනවා. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් තම දැනුම් මට්ටමින් සෑහීමකට පත්නොවිය යුතුයි. ඔහුත් පර්යේෂණ කළ යුතුයි.

ගායන,නිවේදන අංශයන්ට නැඹුරුව කොහොමද ?

මම සංගීත විශාරද විභාගය සමත්. කුඩා කල සිට අවධානය යොමුවුණේ මානව වංශ සංගීතය හෙවත් ජන සංගීතයටයි. ඉන් සෑහෙන වැඩ කොටසක් කළා. සමහර අවස්ථාවල මගේ නර්තනයට වඩා ගායන හැකියාවට සෑහෙන ප්‍රතිචාර ලැබී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන්ට, ගුරුවරුන්ට, ශිෂ්‍ය ප්‍රජාවට, විද්‍යාර්ථීන්ට මම ජන සංගීතය පිළිබඳ දේශන පවත්වනවා. නිවේදකයෙක් ලෙස වැඩසටහන් කිහිපයක් මෙහෙයවූවා

සාහිත්‍යකරණ දිවිය ගැන තෘප්තිමත්ද ?

ඔව්, සාහිත්‍ය දිවිය ගැන තෘප්තිමත්. ලේඛන කාර්යයේ නියැළීමෙන් සහ එතුළින් පාඨකයන් ලබන අස්වැසිල්ලෙනුත් මම විශාල ආත්මතෘප්තියක් ලබනවා. පාඨක ප්‍රතිචාරවලිනුත් තෘප්තිමත් වෙනවා

ලේඛකයා / නර්තනවේදියා / කථිකාචාර්යවරයා යන භූමිකා අතරින් වඩාත් කැමැත්තක් දක්වන්නේ කුමන භූමිකාවටද ?

මා වඩාත් තෘප්තියක් දක්වන්නේ කථිකාචාර්ය භූමිකාව තුළිනුයි. එයට හේතුව මගේ ලොකු පර්යේෂණකාමීබවක් තිබෙනවා. උගන්වන්නත් ආසයි. මා සිදුකරන පර්යේෂණ තමයි බොහෝදුරට කෘති වශයෙන් පාඨකයා අතරට යන්නේ. ලේඛකයා භූමිකාවත් එතැනදී එනවා. නර්තනයත් උගන්වනවනේ. එනිසා ඒ සියල්ල කථිකාචාර්ය භූමිකාව වටා ගෙතී තිබෙනවා කියා සිතනවා

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන කීවොත් ?

තාල නෘත්‍ය කලා කේන්ද්‍රයේ කලඑළි මංගල්‍යය මේ වසරේ මාර්තු මස අග හෝ අප්‍රේල් මාසයේ පැවැත්වෙනවා. මුද්‍රණ ද්වාරයෙන් නිකුත්වීමට නියමිත මගේ කෘති කිහිපයක් තිබෙනවා. මගේ ඒකපුද්ගල නර්තන ප්‍රසංගයකුත් පවත්වන්න සූදානමක් තිබෙනවා.

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT