Home » අම්මා කෙනෙක් නොවූ මට ‘චාමිකා’ අභියෝගයක් වුණා

අම්මා කෙනෙක් නොවූ මට ‘චාමිකා’ අභියෝගයක් වුණා

රංගන ශිල්පිනී - අමන්දා ජයරත්න

by mavan
January 15, 2026 11:27 am 0 comment

මේ දිනවල ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් විකාශය වන ‘අම්මා’ ටෙලිනාට්‍යයේ ‘චාමිකා’ ඇයයි. ජීවිතයේ බොහෝ ඛේදජනක සිදුවීම් රැසකට මුහුණ දෙන අසරණ මවක් වන ‘චාමිකා’ විටෙක යකඩ ගැහැනියක් ද වන්නීය. අඩු වයසින් විවාහපත්ව දරුවකු ලබා එම දරුවාට ආදරය, සෙනෙහස දීමට නොහැකිව අසරණ වන ඇය වටා බොහෝ ප්‍රේක්ෂකයෝ පිරිසක් එක්ව සිටිති. අවුරුදු 03දී රංගනයට පිවිසෙන අමන්දා ජයරත්න නම් යොවුන් රංගන ශිල්පිනිය ‘අම්මා’හි ‘චාමිකා’ට ජිවය දෙන්නීය . ‘චාමිකා’ පිළිබඳත් , සිය නිර්මාණ දිවිය පිළිබඳත් කතා කිරීමට අමන්දා ජයරත්න මෙසේ සරසවිය හා එක්වූවාය.

මේ දිනවල ‘චාමිකා’ ලෙස අපට ඔබ හමුවෙනවා. කොහොමද ඒ චරිතය දැනෙන්නේ ?

චාමිකා කියන්නේ ගොඩාක් අසරණ තරුණ අම්මා කෙනෙක්. එයා අසරණ තත්ත්වයට පත්වෙන්නේ එයාගේ අවුරුදු 17 වගේ වයසේදී. ඒ වයසේදී ඇයට දරුවෙක් ලැබෙනවා. එහිදී ඇය දරුවා සමඟ තනිවෙනවා. දරුවා ඉදිරියේත් ඇය බොහෝ අසරණ වෙනවා. ඇයට දරුවාව දෙන්නත් වෙනවා. එය ශෝචනීය තත්ත්වයක්. මෙවැනි කාන්තා චරිත සමාජයේ ඕනෑතරම් අපට හමුවෙනවා. චාමිකා අසරණ කාන්තාවක් වගේම යකඩ ගැහැනියකුත් වෙනවා.

සැබෑ දිවියේ ‘චාමිකා’ට වගේ අත්දැකිමක් ලබන්න වුණොත් ?

සැබෑ ජීවිතයේ මම අම්මා කෙනෙක් නෙවෙයි. මවකගේ අත්දැකීම් මට නැහැ. මගේ සැබෑ දිවියේ මට චාමිකා මුහුණදුන් දේ වුණානම් මම ගොඩාක් අඬයි. අසරණ වෙයි..ඒත් දරුවානම් කාටවත්ම දෙන්නේ නැතිවේවි..දෙන්න වුණොත් මම බොහෝම සංවේදී වේවි. ඒවගේම මම සැබෑ දිවියේ නම් දරුවන් හදාගෙන ජීවිතයත් ගැටගහගෙන දියුණු වෙයි.

මේ චරිතය භාරගන්න විශේෂ හේතුවක් තිබුණාද ?

ඔව්, ඇත්තෙන්ම ඒකට විශේෂ හේතුවක් තිබ්බා. මම මීට පෙර මවකගේ චරිතයක් රඟපා තිබුණේ නැහැ. අම්මලා කිව්වත් එක් එක් චරිත ලක්ෂණ සහිත අම්මලා ඉන්නවනේ.. මේ චාමිකා කියන්නේත් එක අම්මා කෙනෙක්. මේ වගේ චරිත ලක්ෂණ සහිත චරිතයක් නම් මම මීට පෙර කරලම නැහැ. ඒ නිසා මේ චාමිකා කියන්නේ මට අභියෝගාත්මක වූ චරිතයක්. ඒ නිසාමයි මේ චරිතය භාරගත්තේ

‘චාමිකා’ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කීවොත් ?

ඔව්, චාමිකාට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. බොහෝ අය අහනවා ඇයි ඔරවගෙන ඉන්නෙ, කේන්තියෙන් ඉන්නේ කියලා. ඒක ඉතින් ටෙලිනාට්‍යය නරඹද්දි තේරුම්ගන්න පුළුවන්. චාමිකා ඉස්සර එහෙම හිටිය කෙනෙක් නෙවෙයි. පාරේතොටේදී, සුපර් මාර්කට් එකේදී හමුවෙන අයත් ඉතා හොඳ ප්‍රතිචාර දක්වනවා. මම හිතුවට වඩා ප්‍රතිචාර තිබෙනවා. අනික ‘අම්මා’ ටෙලිනාට්‍යය විකාශය වෙන වේලාව සවස 6:30නේ. ඒ වේලාවට ගොඩාක් අය ගෙදර නැහැ. සමහරු වැඩ ඇරිලා ගෙදර එන්න පාරේ ඉන්න වේලාව. රැකියා නොකර ගෙදර ඉන්න අයට තමයි ඒ වේලාවේ මේ ටෙලිනාට්‍යය නරඹන්න පුළුවන් වෙන්නේ. ගෙදර නැති අය වුණත් යූ ටියුබ් හරහා හෝ ‘අම්මා’ නරඹා හොඳ ප්‍රතිචාර දක්වනවා. ඒ ගැන සතුටක් දැනෙන්නේ ප්‍රේක්ෂකයෝ මාත් එක්ක ඉන්නවා නේද කියලා හිතෙද්දියි

‘අම්මා ‘ දර්ශනතලයේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති ?

මේ ළඟදී සිදුවීමක් තිබුණා, ජනේලයක ලොකු වීදුරුවක් බිඳීන්න තිබූ අවස්ථාවක්. එය විශාල අභියෝගාත්මක දෙයක් වුණා. මොකද එතනදි අපේ කෲ එකේ අයියලවත් මම පරිස්සම් කරන්න ඕනේ. ඒ අවස්ථාව මට ජීවිතයට අමතක වෙන්නේ නැහැ. එහිදී වීදුරුවට මගේ අතක් කැපුණා. අත නොකැපෙන විදිහට ඒ ජවනිකා රූගතකරන්න සියල්ල සූදානම් කර තිබුණත් මගේ අත ටිකක් කැපුණා. එහෙත් ඒ අවස්ථාව හරියටම රඟපෑ නිසා මට හරිම සතුටුයි සහ කවදාවත්ම ඒ අවස්ථාව නම් මට අමතක වෙන්නේ නෑ.

‘අම්මා’ ටෙලි නාට්‍යයට අමතරව රංගනයෙන් දායක වෙන වෙනත් නිර්මාණ ගැන කිව්වොත් ?

‘අම්මා’ ටෙලි නාට්‍යයෙන් පසුව ටෙලිනාට්‍ය 04ක් භාරගත්තා. එම නිර්මාණයන් ඉදිරියේදී විකාශය වේවි. ඒවගේ එකිනෙකට වෙනස් චරිත මට ලැබුණේ. එම නිර්මාණ රසවිඳීන්න කියා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

කලාදිවියේ ආරම්භය සිදුවූ හැටි සිහිකළොත් ?

මට අවුරුදු 03දී තමයි කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ. ඒ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් හරහායි. ඉන්පසු අධ්‍යාපන කටයුතු නිසා කලාවෙන් ඉවත් වෙනවා. පසුව අවුරුදු 17දී කලාවට සම්බන්ධ වුණා. ඒ ලලිත් වසන්ත හරහා. සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කළ ‘නීල පබළු’ හරහායි නැවත මම රංගනයට එන්නේ. ඒ ආ ගමන තමයි අද වෙද්දි මම මේ දක්වා ඇවිත් තියෙන්නේ.

පාසල් සමයේත් කලාකටයුතුවල යෙදුණාද ?

පාසල් කාලයේදී කොන්සර්ට් එකක වේදිකා නාට්‍යයකට රංගනයෙන් දායක වුණා. ගොඩක්ම කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ.

රංගනයේදී ප්‍රවීණයන්ගේ ගුරුහරුකම් එහෙමත් ලැබෙනවා ඇති ?

ඔව්, මට මුල ඉඳන්ම ප්‍රවීණයන්ගේ ගුරුහරුකම් ලැබී තිබෙනවා. මට අවුරුදු 17දී ඉඳන්ම මට ලැබුණේ ප්‍රවීණයන් සමග වැඩ කරන්නයි . ඔවුන් මට බොහෝ දේ කියාදුන්නා. ආපස්සට හැරී බලද්දී සිතනවා ප්‍රවීණයන්ගේ ගුරුහරුකම් නිසා තමයි අද මම යම් තැනක ඉන්නවා නම් ඉන්නේ කියලා. සෑම චරිතයක්ම කරද්දී මට ප්‍රවීණයන්ගේ අවවාද, උපදෙස් නොඅඩුව ලැබෙනවා. සියලු ප්‍රවීණයන්ට මං මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා .අද මා ඉන්න තැනට එන්න ලැබුණේ ඔවුන්ගේ ගුරුහරුකම් නිසා.

අද නිර්මාණය වන මෙගා ටෙලිනාට්‍ය රැල්ල ගැන ඔබේ අදහස මොන වගේද ?

මෙහෙමයි. මෙගා ටෙලි නාට්‍ය කරන එක හොඳයි. ඊට අමතරව කලාත්මක ටෙලි නාට්‍ය රැල්ලකුත් හැදුණා නම් හොඳයි කියා මා සිතනවා. පෞද්ගලිකවම මටත් ආසයි කලාත්මක ටෙලි නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න. ඒ නිර්මාණ තුළින් බොහෝ දේවල් ඉගෙන ගන්න සහ රංගනයේ පුළුල්, සංකීර්ණ අවස්ථාවන්ට අපට යන්න පුළුවනි. ඒ නිසා මෙගා ටෙලිනාට්‍ය රැල්ලත් එක්ක කලාත්මක ටෙලිනාට්‍ය රැල්ලකුත් බිහි වෙනවා නම් හොඳයි කියන මතයේයි මම නම් සිටින්නේ.

අද වෙද්දි නවක රංගන ශිල්පීන් ගැන විවිධ විවේචන තිබෙනවා ?

නවක රංගන ශිල්පීන්, ශිල්පිනියන් කැන තිබෙන විවේචන මම නම් වැඩියෙන් ඔළුවට ගන්නේ නැහැ. ඒවා මට කොහොමත් වැඩක් නැහැ කියා සිතනවා. අලුත් නංගිලා, මල්ලිලා දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුකරන දේවල්වලින් තමයි ඒගොල්ලන්ව විවේචනයට ලක්වන්නේ. ඔවුන්ට මම කියන්නේ ඔබලා අතින් සුළු සුළු හෝ දේවල් හෝ සිදුවෙන්න දෙන්න එපා කියලයි. විවේචනයට ලක්නොවී ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න කියා අලුත් නංගිලා, මල්ලිලාට කියන්න කැමැතියි.

නව තාක්ෂණයත් සමඟ අත්හදා බැලීම් කරමින් අද සිනමා නිර්මාණ බිහිවෙනවා. එය කොහොමද දකින්නේ ?

ඔව් අද වෙද්දි ඒධ් වලින් බොහෝ නිර්මාණ බිහිවෙනවා. සමාජමාධ්‍ය ජාලයේ ඒ පිළිබඳ බොහෝ දේවල් මමත් දකිනවා. නවීන තාක්ෂණය කියන දේත් අද කාලයේ කලාවට, සිනමාවට අවශ්‍යයි. මම නම් කියන්නේ ඒ දේවල් වැරදියට භාවිත නොකර ඒ තුළින් නිවැරදි දේවල් කරන්න කියලයි. නව තාක්ෂණය හොඳ විදිහට කලාවට, සිනමාවට යොදා ගන්නවනම් එය වටිනවා.

රංගනයෙන් මේ තාක් ආ ගමන්මඟ ආපසු හැරී බැලුවොත් ?

ඔව්, ඒ ගැන ආපසු හැරී බැලුවොත් නිහතමානී සතුටක් තිබෙන්නේ. ඒක මගේ පෞද්ගලික සතුටක්. අම්මත් ඒ ගැන සතුටු වෙනවා. අම්මා මේ ගමනේදි මගේ පිටුපසින්ම සිටියා. මා ආ දුරත් එක්ක අද ඉන්න තත්ත්වය ගැන බලද්දි පුදුමාකාර සතුටක් ලබනවා. තාමත් මම ඒ ගමන යනවා.

අමන්දා ජයරත්න නමින් ටෙලිනාට්‍ය, චිත්‍රපට නිෂ්පාදිකාවක් අනාගතේදී අපට දකින්න ලැබේවිද ?

එහෙම දෙයක් නම් අනාගතයේදී සිදු කරන්න සිතාගෙන ඉන්නවා. එය චිත්‍රපටයක් නම් නොවෙයි. ඒ ගැන දැම්ම කියන්න මම කැමැති නැහැ. මම ආසයි අලුත් තරුණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් එක්ක අලුත් වැඩක් කරන්න. ඒ ලස්සන වැඩේ එළියට එද්දී මම ඔයාලට කියන්නම්.

තිර රචනයක් ලියන්න අදහසක් නැද්ද ?

අදහසක් තිබෙනවා. ඉදිරියේදී තිර රචනයක් ලිවීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක අනාගතයේදී බලමු.

කලාවට එන නවකයන් අතර දක්ෂ පිරිසකුත් අපි දකිනවා. එහෙත් ඔවුන්ට හොඳ අවස්ථා නොමැති බවක් පේනවා ?

ඔව් , අලුත් නංගිලා මල්ලිලා අතර ගොඩක් දක්ෂ අයත් ඉන්නවා. මම කලින් කිව්ව විදිහට කලාත්මක ටෙලිනාට්‍ය රැල්ලකුත් ආවනම් ඔවුන්ගේ දක්ෂතා එළියට ගන්න හරිම ලේසියි. කලාත්මක ටෙලිනාට්‍යයක රංගන පරාසය වැඩියි. නවකයන්ට රංගනය ගැන ඉගෙනගන්න, පුහුණු වෙන්න හොඳ අවස්ථාවක් තමයි කලාත්මක නිර්මාණවලට දායක වීම. එනිසා එවැනි නිර්මාණ යළි බිහිවුණානම් මේ අලුත් නංගිලා, මල්ලිලාට කලාව, රංගනය තුළ බොහෝ දේ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා.

ඉදිරි නිර්මාණ ගැන කිව්වොත් ?

මා රඟපෑ ටෙලි නාට්‍ය 04ක් විකාශයට නියමිතයි . ඒ වගේ විවිධ විවිධ චරිතවලින් සහ ප්‍රධාන චරිත හරහා මම රංගනයේ යෙදෙන්නේ මට ඒ ගැන බොහෝ සතුටුයි. ච්ධභඡතඥ ඒජබඪදඨ කරන පළමුවැනි අවස්ථාව ලෙස ටෙලිනාට්‍යයකටත් දායක වුණා.

අවසන් වශයෙන් මතක් කරන්න පිරිසකුත් ඇති ?

ඔව් , අම්මාගෙන් මට ලොකු සහායක් ලැබෙනවා. අම්මා මෙතෙක් මාත් එක්ක මේ කලාලොවේ ආ ගමන ගැන සතුටුයි. ඇයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ‘අම්මා” ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ කපිල සුගත් අයියාත්, සහාය අධ්‍යක්ෂ රුචිත අයියා, නිෂ්පාදක මේනක රාජපක්ෂ අයියා ඇතුළු සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා ‘අම්මා’ හි මගේ චරිතය ගොඩනගන්න උදව් කරනවාට. තිර රචනය ලියන ගයනි අසිංසලා අක්කාටත් ගොඩාක් ස්තුතියි. ලස්සන තිර රචනයක් ඇය ලියා දෙනවා. ඒ වගේම ‘ අම්මා’ හි සියලුම නළුනිළියන්, කාර්මික ශිල්පීන් ඇතුළු පිරිසවත් මේ අවස්ථාවේදී මතක් කරනවා. ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT