මේ දිනවල ‘අභීත’ චිත්‍රපටය සිනමාශාලාවල ප්‍රේක්ෂකයන්ගේ ඉතාමත් හොඳ ප්‍රතිචාර ලබමින් සාර්ථක ලෙස තිරගත වෙනවා. අභීත චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ලාංකේය සිනමාවට නවමු සිනමා අධ්‍යක්ෂවරයකු පිවිසෙමින් තම කුලුඳුල් චිත්‍රපටය ලෙස අධ්‍යක්ෂණය කළ ශ්‍රැති ප්‍රභා ය. ඔහු සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ඉන්දියාවේ චිත්‍රපට බොහෝමයක තම නිර්මාණ දායකත්වය සපයා ඇති අතර අභීත චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඔහු සතු සියලුම හැකියාවන් සහ අත්දැකීම් අනුසාරයෙනි. මෙවර සරසවිය අවකාශය හරහා ඉඩ හසර වෙන්වන්නේ අභීත චිත්‍රපටයේ අධ්‍යක්ෂ ශ්‍රැති ප්‍රභා සමඟ සිදු කළ සොඳුරු කතාබහ සමඟිනි.
අභීත චිත්‍රපටය නිර්මාණය වෙන්නේ කොහොමද?
2019 වසරේ තමයි අභීත චිත්‍රපටයේ වැඩ කටයුතු මුලින්ම ආරම්භ කරන්නේ. මම අභීතට කියුවා මේවගේ කතාවක් තියෙනවා අපි ෆිල්ම් එකක් කරමු කියලා. මේ අන්තර්ගතයත් තෝරා ගන්න හේතුව වෙන්නෙත් සමාජයට දෙන්නේ හොඳ පණිවුඩයක් නිසා. අම්මා ගැන හොඳ පණිවුඩයක් චිත්‍රපටයේ තියෙනවා. අද කාලේ අම්මලාව මහලු මඩම්වලට ගිහින් දානවා. ඒ වගේ සමාජ තත්ත්වයක් තියෙන නිසා අපි හිතුවා හොඳ පණිවුඩයක් ලබා දෙන්න ඔින කියන එක.
චිත්‍රපටයට නළු නිළියෝ තෝරද්දි කතාවට ගැළපෙන නළු නිළියෝ අවශ්‍ය වුණා. ඒ අනුව ප්‍රධාන නිළිය විදියට පබෝදාව තෝරාගත්තා. මම චෙන්නයිවල අවුරුදු 12ක් වැඩ කළා. චිත්‍රපට හතරක සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මම චෙන්නායිවල චිත්‍රපට ක්ෂේත්‍රයේ ශිල්පීන් සමඟ වැඩ කරලා අත්දැකීම් තියෙනවා. ඊටපස්සේ මම හිතුවා ඉන්දියාවේ කාර්මික ශිල්පීන් සම්බන්ධ කරගෙන ලංකාවේ නළු නිළියන් යොදාගෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්න.
අභීතව චිත්‍රපටයට සම්බන්ධ කරගන්නේ කොහොමද?
අභීත මිට පෙර ඉන්දියාවේ මලයාලම් චිත්‍රපට දෙකක රඟපාලා තියෙනවා. එයා ලංකාවේ හිටපු නිසා එයාට කතා කළා. අභීතම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නම් කියලා කියූ නිසා චිත්‍රපටය නිෂ්පාදනය කළා. මගේ අදහස වුණේ ජනප්‍රිය නළුවෙක් යොදා ගත්තොත් මේ කතාවේ වැදගත්කමට හානි වේවි කියලා. ගොඩක් පර්ෆෝර්ම් කළොත් චරිතයට හානි වෙව් කියන අදහස නිසා මම අභීතව තෝරාගෙන ප්‍රධාන චරිතය සඳහා ඔහුව යොමු කළා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න කලින් පර්යේෂණයක් කළාද?
ඔව්. මම හිඟන්නෙක්ගේ ජීවිතය ගැන රිසර්ච් එකක් කළා. විශේෂයෙන් කැලණිය වගේ ස්ථානයක් තෝරා ගත්තා මේ හිඟන්නන්ගේ ජීවිතය ගැන පර්යේෂණයක් කරන්න.
මෙහි රූගත කිරීම් සිදුවුණේ කොහොමද?
මෙහි රූගත කිරීම් කැලණිය, කොට්ටාව, ගම්පහ, පිළිකුත්තුව, ටවුන් හෝල් වගේ ප්‍රදේශවල, විශේෂයෙන් හිඟන්නන් වාසය කරන කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල රූගත කිරීම්ම් කළා.
චිත්‍රපට නිර්මාණය කරද්දී මුහුණ දෙන්න සිද්ධ වුණු අභියෝග මොනවාද?
ගොඩක් අභියෝග තිබුණා. අභියෝග විදියට කිව්වොත් චිත්‍රපටය සඳහා සටන් අධ්‍යක්ෂක, කැමරා අධ්‍යක්ෂක සහ සහාය කැමරා අධ්‍යක්ෂවරුන් ඉන්දියාවේ අය. වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය සඳහා ලංකාවේ ශිල්පීන් යොදාගත්තා. මේ අය සමඟ වැඩ කරද්දි විශේෂයෙන් දැනුන කාරණයක් තමයි කලා අධ්‍යක්ෂකවරුන් ඇඩ්වාන්ස් ලෙවල් එකට මදි කියන එක. ඒ නිසා ඊට මටත් මැදිහත්වෙන්න සිද්ධ වුණා මඟ පෙන්වන්න.
ඔයාගේ අදහසට අනුව සහ අත්දැකීම් අනුව ඉන්දියාවේ සිනමා නිෂ්පාදනයක සහ ලංකාවේ සිනමා නිෂ්පාදනයක් අතර වෙනස මොකක්ද?
මම ඉන්දියාවේ කැමරා අධ්‍යක්ෂවරයෙක් සමඟ වැඩ කරනකොට ඔහුට අවබෝධයක් තියෙනවා, ආලෝකකරණය සම්බන්ධ දැනුම. විනාඩි දහයක් පහළොවක් ඇතුළත ෂොට් එක රේඩි කියලා කියනවා. හැබැයි ලංකාවේ අය ලයිට් කරනකොට පැයක් ගන්නවා. සෑහෙන වෙනසක් තියෙනවා. ඉන්දියාවෙ අය කලාවට තමයි මුල්තැන දෙන්නේ.
අභීත චිත්‍රපටය තවත් චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක්ද?
“පිච්චෙක්කරන්” කියන දම්ළ චිත්‍රපටය ආභාසය කරගෙන තමයි අභීත චිත්‍රපටය නිර්මාණය කරන්නේ. ඒ චිත්‍රපටයේ කතාව මම ලංකාව සංස්කෘතියට ගළපා තිර රචනය සකස් කළා.
චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?
චිත්‍රපටයට හොඳ ප්‍රචාර ලැබෙනවා. බලන ගොඩක් අය කියන්නේ චිත්‍රපටයේ හොඳයි කියන එක. චිත්‍රපටය බලල හොඳ ෆීඩ්බැක්ස් දෙනවා ප්‍රේක්ෂකාගාරය. ඇත්තටම සතුටුයි. ඇත්තටම මම චිත්‍රපටයට මහන්සි වුනේ ඉන්දියානු චිත්‍රපටයකට තියෙන ප්‍රමිතියේ තියෙන්න ඕන කියන අදහසින්. ඉතින් මම හිතනවා ලැබෙන ප්‍රතිචාර එක්ක සාර්ථකයි කියලා.
ඔබ සිනමා නිර්මාණකරණයට පිවිසෙන්නේ කොහොමද?
මම සාමාන්‍ය පෙළ කරන කාලේ ශ්‍රෘතී කියලා බෑන්ඩ් එකක් පටන් ගත්තා. ඊට පස්සේ 1996 ගුවන් විදුලි සංස්ථාවේ සරල සරල ගීවලට තේරී පත්වෙනවා. සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස සින්දු සීයක් පමණ සංගීත අධ්‍යක්ෂණය කළා ඵතඡජ එකේ. ටෙලි නාට්‍යවල පසුබිම් ගීත නිර්මාණය කළා. වේදිකා නාට්‍යවලට සංගීත නිර්මාණය කරලා තියෙනවා සියයකට පමණ. ඊට පස්සේ මම ඉන්දියාවට ගිහින් සිනමාකරණය සම්බන්ධ වැඩමුළුවලට සහභාගී වෙලා අත්දැකීම් ලබාගත්තා. මම සහය අධ්‍යක්ෂවරයෙක් විදියට ඉන්දියානු චිත්‍රපට හතරක වැඩ කළා.
ඔබ අධ්‍යයනය කරන සිනමාකරුවන් සහ චිත්‍රපට මොනවද?
මම චාලි චැප්ලින්ට කැමතියි. තව මනිරත්නම්, භාරතිරාජ් වගේ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවලට කැමතියි.
අභීත චිත්‍රපටය සාර්ථක කරගන්න සහය දැක්වූ පිරිස පිළිබඳව මතක් කරමු…
විශේෂයෙන් චිත්‍රපටයේ නිෂ්පාදක වගේම ප්‍රධාන නළු අභීත ප්‍රකාශ චිත්‍රපටය සාර්ථක කරගන්න සෑහෙන උදව් කළා. ඒ වගේම මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියාණි අමරසේන, රොඩ්නි වර්ණකුල, ශ්‍රියන්ත මෙන්ඩිස්, පබෝදා සංදීපනි, මිහිර සිරිතිලක, චතුර ආදී සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන් වගේම කාර්මික ශිල්පීන් සියලු දෙනාම සෑහෙන්න උදව් කළා.
මලින්ත විතානගේ
