Home » අපි ලබපු අත්දැකීම් අපිත් සමඟ වලපල්ලට යනවා

අපි ලබපු අත්දැකීම් අපිත් සමඟ වලපල්ලට යනවා

ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී, අධ්‍යක්ෂ- සිරිල් ආරියපාල

by mavan
January 22, 2026 9:13 am 0 comment

මේ සොදුරු මිනිසාගේ ජීවිතයෙන් හරි අඩකටත් වඩා ගෙවී ගියේ කලාව වෙනුවෙනි. මහා කලා කෙතේ අතුපතර අතරේ වැඩිමනක් ඔහු වික්‍රමයන් පෑවේ වේදිකාව තුළ සිටිමින්ය. වේදිකා නාට්‍ය නළුවෙක්, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, වේදිකා කළමනාකරුවෙක්, වේදිකා නාට්‍ය නිෂ්පාදකයෙක්, වේදිකා සැලසුම් කරන ශිල්පියෙක් ලෙස වේදිකාවේ විවිධ දිසානතියන් ඔස්සේ පෙළහර පෑ ඔහු සිනමාවේ බොහෝ ඉසව් ස්පර්ශ කරනුයේ චිත්‍රපට නළුවකු, සහාය නිෂ්පාදන කළමනාකරුවකු, චිත්‍රපට සහාය නිෂ්පාදකයකු ලෙසිනි. තවද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ටෙලි නාට්‍ය නළුවෙකු, ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂවරයෙක්, ටෙලිනාට්‍ය සහාය නිෂ්පාදකයෙක් ලෙසින් ද මහා කලා කෙතේ අක්මුල් පතුරාලන ඔහු නමින් සිරිල් ආරියපාල අද අපි කතා කරමු. මේ සිංහල නාට්‍ය වේදිකාවේ සොඳුරු කලාකරුවා සමඟ.

මේ දවස්වල කලා කටයුතු එහෙම කොහොමද?

සුගත් සමරකෝන්ගේ උතුරේ රාහුල වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ මියගිය විජේවීරගේ චරිතය සඳහා රංගනයෙන් දායක වීමටත් එම නාට්‍යයේ වේදිකා පරිපාලකවරයා ලෙසත් කටයුතු කරන්න මට අවස්ථාව උදාවුණා.

මීට කලිනුත් ඔබ ඔය නාට්‍යයේ රංගනයේ නියැළියා නේද?

1982 වසරේ මේ නාට්‍ය ආරම්භයත් සමග එහි මුල් නාට්‍ය ශිල්පීන් අතර සිටි කෙනෙක් තමයි මම. එදා මම මේ නාට්‍යයේ රඟපෑවේ නාට්‍යයේ චරිතයක් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ලේකම්වරයෙක්ගේ චරිතයක්.

නාට්‍යයේ ආරම්භයේ ලේකම්වරයා වූ ඔබට එහි නව නිෂ්පාදනයේ මියගිය විජේවීරගේ චරිතය ලැබීමටත් හේතුවක් තිබුණාද?

අද මම වයසයි. එදා මම ලේකම්වරයාගේ චරිතය කරනකොට තරුණ කෙනෙක්. නාට්‍ය අධ්‍යක්ෂවරයා මගේ පෙනුම අනුව එදා ලේකම්වරයාට මාව ගත්තා. අද මම වයසට ගිහින් අද අධ්‍යක්ෂවරයාට හිතිලා තියෙනවා මම ලේකම්වරයාට සුදුසු නෑ කියලා. ඒකයි මට වයසට ගැළපෙන චරිතය දීලා තියෙන්නේ. මම ඉපදුණේ 1947 අද වෙනකොට මට වයස අවුරුදු 78ක්.

සිරිල් ආරියපාල හා පුරා කියා වේදිකාවට ප්‍රවිෂ්ඨ වන්නේ ?

1967 වසරේ වේදිකා පරිපාලකගේ සහායකයෙක් ලෙසින් තමයි. මම වේදිකාවට එක් වන්නේ හේන්රි ජයසේනයන්ගේ කුවේණි නාට්‍යය වෙනුවෙන්.

රංග ශිල්පියෙක් ලෙස හා පුරා කියා ඔබ වේදිකාවට අත්පොත් තබනුයේ?

1972 දී හෙන්රි ජයසේනගේ මකරා නාට්‍යයේ සුළු චරිතයක් කරමින් තමයි මම වේදිකා රංගශිල්පියකුගේ ගමන ආරම්භ කරන්නේ. ඒ වෙනකොට මගේ වයස අවුරුදු විසිඅටක් විතර ඇති. මගේ චරිතය වුණේ වන්දි බට්ටයකුගේ චරිතයක්.

අදත් මතකද ඔබේ මුල්ම නාට්‍ය දෙබස?

මකරා නාට්‍යයේ වන්දි බට්ටයෙක් හැටියට මම රඟපාන කොට මට කියන්න තිබුණ එකම දෙබස වුණේ “ගනිල්ලා තොපේ සල්ලි ගනිල්ලා” කියලා.

රංගනයට වඩා ඔබ ප්‍රියකරන්නේ වේදිකා පරිපාලනයටද?

ඇත්තෙන්ම එහෙම දෙයක් සිදුවුණා. මට හෙන්රි ජයසේනයන් රඟපෑම සඳහා සුළු චරිතයක් හරි ලබා දෙනකොට ටික කලක් ගියහම මම එතුමන්ට යෝජනා කළා මම ආසයි වේදිකා නාට්‍ය නිෂ්පාදනය ගැන, එහි පරිපාලන කටයුතු ගැන ඉගෙන ගන්න මට ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඒ වෙනකොට තෝමස් රූපසිංහ තමයි හෙන්රි ජයසේනගේ නාට්‍යවල වේදිකා පරිපාලක ලෙස කටයුතු කළේ මාව තෝමස්ට හෙන්රි ජයසේනයන් හදුන්වා දීමත් සමඟ මට වේදිකා නාට්‍ය පැත්තේ වැඩ කටයුතු ටිකෙන් ටික ඉගෙන ගන්න ලැබුණා. ඔහොම ඉන්නකොට හුණුවටයේ කතාව නාට්‍යයේ ශිල්පීන්ගේ අඩුවක් ඇතිවෙලා. හෙන්රි ජයසේනයන් මට යෝජනා කළා චරිතයක් රඟපාන්න පුළුවන් නේද කියල ඒ වෙනකොට හුණුවටය ලංකාව පුරා ජනප්‍රියයි. මම එක පයින් හා කිව්වා. ඒ පාර මට හෙන්රි ජයසේනයන් ඒ නාට්‍යයේ චරිත පහක් විතර දුන්නා. මාළිගාවේ හිඟන්නෙක්, නිර්මාණ ශිල්පියෙක්, සොල්දාදුවෙක්, වැල්පාලම හොල්ලන්නෙක් වගේ චරිත.

නාට්‍ය පරිපාලන කටයුතු අතරේ එකම නාට්‍යයේ චරිත කීපයක් රඟපෑවේ කොහොමද?

ඒ ඒ චරිත වලට අවශ්‍ය ඇඳුම් හම්බ කරල කලින් සූදානම් කරලා තියාගන්නවා. නාට්‍යයේ පොතේ ගුරාගේ කාර්ය අතරතුර ඊළඟ චරිතයට ඇඳුම් මාරු කළා. සමහර අවස්ථාවල ඇඳන් හිටිය ඇඳුමට උඩින් ඊළඟ චරිතෙ ඇඳුම ඇන්දා. මට මතකයි අපි ඒ කාලෙ හුණුවටේ කතාව නාට්‍ය වෙනුවෙන් හැත්තෑව දශකයේ සොල්දාදුවෙක්ගේ ඇඳුම් සඳහා රෙදි ගත්තේ නැහැ. ලුණු ගෝනියක් තමයි ඒ වෙනුවෙන් ගත්තේ. ඒවට ඩයිදමා පාටකර කලිසන් මැහුවා. කඩදාසි පල්ප් කරලා තොප්පි හැදුවා. ඒ වගේ අඩු වියදමින් තමයි මේවා කලේ.

ආරම්භයේ පටන් මේ දක්වා ඔබ රංග ශිල්පියෙක් හැටියට කොපමණ නාට්‍ය ප්‍රමාණයක් රඟපාලා ඇද්ද?

ප්‍රධාන වශයෙන් නාට්‍ය නිර්මාණ සියයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ නාට්‍ය බහුතරයකම මම වේදිකා පරිපාලකවරයා ලෙසත් කටයුතු කරලා තියෙනවා.

ලංකාවේ නාට්‍යකරුවන් අතරේ වේදිකා පරිපාලනයේ කිරුළ දිනා සිටියේ ඔබ?

එහෙම කාලයක් තිබුණා බොහෝ නාට්‍යකරුවන් අතරේ කතාබහක මම ඔය කියන තැන හිටියා. මම තමයි ප්‍රධාන වේදිකා පරිපාලක කියා. වරක් බුද්ධදාස ගලප්පත්ති මහතා මට කිව්වා උඹ තමයි දැන් ඉන්න නියම මිනිහා කියලා මට දුන්නා වේදිකා පරිපාලනය ගැන ලියවූ සටහනක් කියවල දැනුමක් ගන්න කියා.

හොඳම වේදිකා පරිපාලක ලෙසින් ඔබ සම්මානයට පවා පත්වන කලාකරුවෙක්?

1983 දිවයින පුවත්පත හා සාමපදනම එක්ව පවත්වන වේදිකා නාට්‍ය උලෙළේදී ජයලත් මනෝරත්නයන්ගේ පුත්‍ර සමාගම නාට්‍යයේ හොඳම වේදිකා නාට්‍ය පරිපාලනය වෙනුවෙන් මට සම්මාන ලැබෙනවා. ඊට අමතරව ජයන්ත චන්ද්‍රසිරිගේ අත් වේදිකා නාට්‍යයේ හොඳම වේදිකා පරිපාලක ලෙසින් 1982 දී මට රාජ්‍ය නාට්‍ය උලෙළේදී, රාජ්‍ය සම්මානය හිමි වෙනවා.

කලාවට ආදරය දක්වන්නෙක් ලෙසින් කටයුතු කරන්නට ඔබව පොලබවන්නේ මොන වගේ සිද්ධීන් සමුදායක් සමඟද?

1966 රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ රැකියාවට බැඳුණු දා පටන් තමයි මට කලාව ගැන ඇල්මක් ඇතිවන්නේ. නාට්‍ය ලෝකේ පතාක යෝධයකු වූ හෙන්රි ජයසේනයන් එතන රැකියාව කළා. කාර්යාල සහායකයෙකු ලෙස මෙම ආයතනයට සේවයට බැඳුණු මා උසස්වීම් ලැබ ලිපිකරුවකු ලෙස සේවය කළා. ලේඛනාගාරය තුළ ජීව වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු ලෙස වැඩ කළ හෙන්රි ජයසේනයන් මට එහිදී හඳුනාගන්න ලැබුණා. එතුමන්ව හඳුනා ගැනීමත් එක කාරණයක් වුණා මගේ කලාදිවියට ඒ වගේම තවත් කාරණයක් එයට බලපෑවා. මගේ ගේ ළඟ නැවතිලා හිටියා සුප්‍රකට කලාකරුවකු වූ ජී. ඩී. එල් පෙරේරාගේ නිෂ්පාදන කළමනාකරු ඔහු මට දවසක් කතා කළා ජී.ඩී. එල් පෙරේරා නිර්මාණය කළ සන්දර්ශනයක් බලන්න එන්න ඒක සංවිධානය කරලා තිබුණේ ටොරින්ටන් චතුරශ්‍රයේ. හැටේ දශකයේ මහ රැජන ලංකාවට පැමිණීම නිමිත්තෙන්. ඊට පස්සේ මම ජේ.ඩී.එල්. පෙරේරා නිර්මාණය කළ වෙස්සන්තර නාට්‍ය බලන්න ගෙදර ළඟ හිතවතාගේ ආරාධනයකට ලුම්බිණි රඟහලට ගියා. ඒ තමයි මම පළමු වතාවට බලපු වේදිකා නාට්‍යය මේ නාට්‍යයෙන් වෙස්සන්තර බිසවට රඟපෑවේ රුක්මණී දේවී. ඒ වෙලාවේ මට ආශාවක් ඇති වුණා කවදහරි මටත් රුක්මණී දේවී සමග රඟපාන්න තියෙනවා නම් කියලා. මගේ මිත්‍රයෙක් හිටියා වික්ටර් වික්‍රමගේ කියලා. ඔහු නාට්‍යයක් නිෂ්පාදනය කළා. සිවම්මා ධනපාල කියලා. අන්න ඒ නාට්‍යයේ මට පුංචි චරිතයක් රඟපාන්න ලැබුණා.

ප්‍රේක්ෂකයෙක් ලෙස නාට්‍යය නරඹන්නට යන ඔබ රසිකයෙක් ලෙස රුක්මණී දේවී සමඟ රඟපෑමට සිහින දකින අතරේ ඒ සිහිනය වසර කීපයකට පසු ඔබ උදාකර ගන්නේ සිවම්මා ධනපාල නාට්‍යය නිර්මාණය සමඟද?

රුක්මණී සමඟ රඟපාන්න හීනයක් දැක්ක මට ඒ නාට්‍යයේ ඇයත් සමඟ රඟපාන ලැබීම මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක්. සිවම්මාට රඟපෑවේ රුක්මණී දේවි. ඇගේ සහායට රඟපෑවේ එඩී ජූනියර් මට පුංචි චරිතයක් ලැබුණා කරන්න. සිවම්මාගේ සැමියා නිවසේ නොමැති අවස්ථාවක නිවසට පැමිණෙන සොර සැමියෙකුගේ චරිතයක්. ඒ චරිතය නිරූපණය වෙනුවෙන් මට රුපියල් 150ක මුදලක් ලැබුණා. ඊට පස්සේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ මගේ මිත්‍රයකු වූ ධර්මදාස කුරුප්පු සිරිසඟබෝ නාට්‍යය කළා. එහි මෛත්‍රී දේවීගේ චරිතයට ගත්තේ රුක්මණී දේවී. ඒ නාට්‍යයේ මම අතවැසියෙක්ගේ පොඩි චරිතයක් කළා. එහි වේදිකා පරිපාලනයට අමතරව.

වේදිකා නාට්‍ය විශාල ප්‍රමාණයක රංගනයේ නියැළි සිරිල් ආරියපාලට ඒ අතරින් විශේෂ කොට තැකිය හැකි නාට්‍ය නිර්මාණත් ඇති නේද?

නුඹ විතරක් තලඑළලුයි, කැලණි පාලම, අංගාරාගඟ ගලා බසි, සොක්කාණෝ රජාණෝ, ජුලියස් සීසර්, වැනීසියේ වෙළෙන්දා, තුං මංසල, යාත්‍රා, සිරිත් විරිත්, වෙල්ලස්සේ වෙඩි හඬ, උතුරේ රාහුල, දේශපාලුවා, කොමාන්ඩෝ දියසේන, රැල්ල, කැප්ටන් කූල්, කුරුල්ලා, මෑන් ද මෑන්, ටාසන් බබා මේ අතරින් කීපයක් පමණයි.

මෙරට ප්‍රධාන පෙළේ නළු නිළියන් සමඟත් ඔබට රංගනයේ නියැළෙන්න අවස්ථාව උදාවෙනවා.

හෙන්රි ජයසේන, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, එඩි ජයමාන්න, රුක්මණී දේවී, බී.එස් පෙරේරා, දොන් සිරිසේන, ෆ්‍රෙඩී සිල්වා ඇතුළු බොහෝ දෙනෙක් සමඟ රඟපෑමේ දුර්ලභ භාග්‍යය මට උදා වුණා.

ඇත්තද මේ වේදිකා පරිපාලකට නාට්‍ය අධ්‍යක්ෂකටත් නැති බලයක් තියෙනවා කියන්නේ?

ඔව්. නාට්‍යයක් පෙන්නන්න ආරම්භ කරන කලින් සම්පූර්ණ බලය තියෙන්නේ වේදිකාවේ පරිපාලකට. ඔහු කියනකම් කාටවත් නාට්‍ය පටන් ගන්න බෑ. මම නාට්‍ය සියයක රඟපෑවා නම් එයින් නාට්‍ය අසූවක විතර තිරය ඇරලා ඇති තිරය වහල ඇති. මුලින්ම ලුම්බිණි රඟහලෙන් තමයි මම ඒක පටන් ගත්තේ. ලංකාවේ තියෙන හැම හෝල් එකකටම මම ගිහින් තියෙනවා. පාසලක තියන හෝල්වලටත් එහෙමයි. හැම නාට්‍ය ශාලාවකම විස්තර මම ළඟ තිබුණා. ඒවායේ පහසුකම් මොනවද කියල කොළඹ ඉඳලා ලංකාවේ ඕනෙ හෝල් එකක විස්තර මට මතකයෙන් කියන්න පුළුවන්. කොච්චර ඒ මතකය තියනවද කියනවා නම් තිරයේ හැඩල් එක තියන තැනත් මට කියන්න පුළුවන්. නාට්‍යයේ තේමාව අනුව තිරය අරින විදියක් තියෙනවා. නාට්‍ය ශිල්පීන්ගේ පෙළගැස්මේ ඉඳලා පසුතල සූදානම ඇතුළු හැම දෙයක් ගැනම වගකීම වේදිකා පරිපාලක සතුයි. වේදිකා පරිපාලකගේ ඕකේ එක නැතුව අධ්‍යක්ෂටවත් බෑ නාට්‍ය පෙන්වන්න.

වේදිකාවේ සිටිමින් ඔබ සිනමාවට ප්‍රවිෂ්ඨයක් ලබා ගන්නවා නේද?

බැජටිස් ප්‍රනාන්දුගේ ‘අංගුලිමාල’ චිත්‍රපටයේ රඟමින් තමයි අසූව දශකයේ සිනමාවට එන්නේ. ඇමතිවරයෙකුගේ චරිතයක් හා සාමාන්‍ය වැසියකුගේ චරිතයක්, ශිෂ්‍යයකුගේ චරිතයක් තමයි මට කරන්න ලැබුණේ. ජෝ අබේවික්‍රම සමඟ තමයි මම ශිෂ්‍යයෙක් විදිහට රඟපෑවේ. මට දෙබස් කියන්න තිබුණෙ නෑ. ජෝ අබේවික්‍රමයන්ට පැන් භාජනයක් දී එකත් පසහිඳ ඔහු කියන දේ අහගෙන ඉන්න තමයි මට තිබුණේ. මුල්ම චිත්‍රපට රංගනයේදී මට චරිත තුනක්. අවස්ථා තුනකදී කරන්න සිදුවුණා විවිධ ඇඳුම් ආයිත්තම් වලින් සැරසී.

මේ වනවිට කොපමණ චිත්‍රපට ප්‍රමාණයකට ඔබ දායක වෙලා තියෙනවාද?

චිත්‍රපට පහළවකට විතර. ගාඩි, සැඟවුණු නගරය, පාර්ලිමන්ට් ජෝක්ස්, ඒ අතරින් කීපයක්. රන්ජන් රාමනායකගේ පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටයේ මම කළ විජේවීරගේ අනුකරණ චරිතයේ තමයි මම වැඩිම චිත්‍රපට දෙබස් ප්‍රමාණයක් කියලා තියෙන්නේ.

වේදිකා පරිපාලනය රංගනය හැරුණු විට ඔබ නාට්‍ය නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සිදු කළේ නැද්ද?

වේදිකා පරිපාලනය හා සහාය නිෂ්පාදනයෙන් සුකිරි බටිල්ලෝ නාට්‍ය සඳහා දායක වුණා. ගිවිසුම, සීමා නමින් වේදිකා නාට්‍ය දෙකක් මම නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළා. මේ නාට්‍ය දර්ශන වාර සියය ඉක්මවා වේදිකා ගත වුණා.

චිත්‍රපට සහාය නිෂ්පාදනයටත් ඔබ යොමුවෙනවා නේද?

ඔව් සුගත් සමරකෝන්ගේ මංකොල්ල කාරයෝ චිත්‍රපටයට තමයි මම දායක වීම සිද්ධ කරන්නේ. මේ චිත්‍රපටය තාම තිරගත වුනේ නෑ. වේදිකාවේ ඉඳලා තැලිලා පොඩි වෙලා, මම චිත්‍රපට සහාය නිෂ්පාදකයෙක් කියන තැනට එන එක මගේ ලොකු ජයග්‍රහණයක්. හැටේ දශකයේ කලාවට ඇවිත් පසුගිය වසරේ සහාය නිෂ්පාදකයෙක් බවට පත්වීම සැබවින්ම මගේ කලා ජීවිතයේ තවත් සන්ධිස්ථානයක්. මේ චිත්‍රපටයේ පිටපත ලියවුණේ වේදිකා නාට්‍යයකට පසුව. එය චිත්‍රපටයක් බවට පත් කළා. එකම තැනක දර්ශන තල වෙනස් කර රූපගත කිරීමක් සිදුකරමින් තමයි මේ චිත්‍රපටය රූගත කළේ. දෙපා නොලත් දෙපාදයෝ, අංගුලිමාල චිත්‍රපටවල මම නිෂ්පාදන කළමනාකරු ලෙස වැඩ කරලා තියෙනවා.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේත් ඔබ විවිධ කාර්යන් හි නියැළෙනවා නේද?

රංග ශිල්පියෙක්, කලා අධ්‍යක්ෂවරයෙක් වශයෙන් මම ටෙලිනාට්‍ය සඳහා දායක වෙලා තියෙනවා. දෙදහ දශකයේ තමයි මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ. ශශ්‍රීමති තිලකරත්න, පරාක්‍රම නිරිඇල්ල ජාතික රූපවාහිනියට කළ ළමා වැඩසටහන්වලට කළ ළමා ටෙලිනාට්‍ය සඳහාත් මම දායක වුණා. සාමයේ තරුව ඒකාංගික ටෙලි නාට්‍යයෙන් තමයි මම ටෙලි රංගනය අරඹන්නේ

වේදිකාව, පුංචි තිරය සිනමාව තුළ ඇසූ පිරූ තැන් බොහොමයක් හා ගනුදෙනුකරන ඔබ මේ මාධ්‍ය ත්‍රිත්වයෙන් වඩාත් ප්‍රියතාවයක් දක්වන්නේ?

වේදිකාවට ඒමට හේතුව අපට වේදිකාව තුළ ලබන්න පුළුවන් අත්දැකීම් අසීමාන්තිකයි. ඒ අත්දැකීම නිසාම තමයි එදා වේදිකාවෙන් සිනමාවට නළු නිළියෝ ගත්තේ. කාර්මික ශිල්පීන් ගත්තේ වේදිකාවේ අත්දැකීම් සදාකාලිකයි. ප්‍රතිචාර සජීවීව ලබන්න පුළුවන්.

සිරිල් ආරියපාල කියන්නේ කට්ට කාලා වැඩ්ඩෙක් වුණ චරිතයක්?

ඔව්. හැටේ දශකයේ ඉඳලා අසූව දශකය වෙනතුරු. හොඳට කටු කෑවා. හුඟක් දෙනෙක් එන්නේ රඟපාන්න. මම රඟපාන්න ගිහින් සොයාගෙන ගියේ වේදිකා පරිපාලනය ඒ වෙනුවෙන් මම රාජ්‍ය සම්මානත් දිනාගත්තා.

එදා කප් ගහපු සිරිල් ආරියපාල අද වත්මන් නිර්මාණකරුවන් අතරේ අවලංගු කාසියක්ද?

කොන් වෙලා සමහරු අපිව දන්නේ නෑ. දැන් නාට්‍ය කරන අය ඒ කාලෙ අපි නාට්‍ය කරන කාලේ ඉපදිලා නෑ. දැන් නාට්‍ය කරන අය ඉගෙන ගන්න තියරියෙන් එහාට දෙයක් දන්නේ නෑ. පරණ නාට්‍ය හදපු විදිය දන්නේ නෑ. අපි සැබවින්ම ඉගෙන ගන්න අයට සම්පතක්. අපි ලබපු අත්දැකීම් අපිත් සමඟ වලපල්ලට යනවා හැරෙන්න අපෙන් දෙයක් ඉදිරි පරපුරට එකතු කරගන්නෑ. දැන් තියෙන්නේ අනුකරණ චරිත අපි ඔරිජිනල් නාට්‍ය බලපු කරපු අය වගේම නාට්‍යවල මුල්ම ඔරිජිනල් චරිත අද ඒවායේ තිබුණු ජීව ගුණය හැදෙන නිර්මාණ වල කොහෙත්ම නෑ.

නාට්‍ය කලාව නිසාම ඔබට විදේශ ගතවීමේ අවස්ථාවක් උදාවුණා නේද?

එක් වරක් නෙවෙයි දෙවරක් ඒ අවස්ථාව උදාවුණා. ටෙනිසන් කුරේගේ කුරුල්ලා නාට්‍ය සමඟ මුලින්ම මට කොරියාවට යන්න ලැබුණා. ඊට පස්සේ මගේම නාට්‍ය අධ්‍යක්ෂණයක් වූ සීමා රැගෙන මට කොරියාවට යන්න ලැබුණා. ඒ රටේ නාට්‍ය පෙන්වන්න.

සිරිල් ආරියපාල නාට්‍යකරුවකු සේම ස්වේච්ඡා නාවික බටයෙක් කියලත් ආරංචියි?

1972 සිට වසර දහයක් පමණ මම නාවික හමුදාවේ ස්වේච්ඡා නාවිකයෙක් ලෙස සේවය කළා. රටේ පැවති අනාරක්ෂිත ත්‍රස්තවාදී ක්‍රියාවලිය මැඩලීම සඳහා ශශ්‍රී ලංකා නාවික හමුදාවට නාවිකයෙක් වශයෙන් බැඳී සේවය කිරීමක් ද සිදු කරනු ලැබුවා. පූර්ණ කාලීනව නාවික හමුදාවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන්න මට ආරාධනා ලැබුණත් නාට්‍යවල රඟපෑම හා වේදිකා පරිපාලන කටයුතු සඳහා මා තුළ තිබූ ආශාව නිසාම මම ඒකට කැමති වුණේ නෑ.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT