Home » අපි මිරිස්සේ මතකයේ රැඳෙන නිර්මාණයක් වේවි

අපි මිරිස්සේ මතකයේ රැඳෙන නිර්මාණයක් වේවි

යොවුන් ගායන ශිල්පී මරියෝ ආනන්ද

by mavan
February 12, 2026 10:19 am 0 comment

දරුවෙකුට තම මව්පියන් සතු හැකියාවන් උරුම වීම අරුමයක් නොවේ. ඇතැම් දරුවන්ට තම පිය උරුමයෙන් ලැබෙන ජන්ම හැකියාව හරි අපූරුවට පිහිටා තිබීම වාසනාවක්. ජනප්‍රිය, ආකර්ෂණීය හඬ පෞරුෂයකින් හෙබි ග්‍රේෂන් ආනන්දයන්ගේ ඒ සුමියුරු හඬ අපට කිසිදා අමතක කළ නොහැකිය. චිත්‍රපට ගණනාවක තම හඬ තිරය මත රැව් පිළිරැව් දීමට සැලැස්වූ ග්‍රේෂන් ආනන්දයන් ජීවිතයෙන් සමුගැනීම සංගීත ක්ෂේත්‍රයට මහත් පාඩුවක්. එහෙත් එ හඬ එලෙසින්ම තම ආදරණීය පුතුට දායාද කර තිබීම භාග්‍යයක්. මරියෝ ආනන්ද ඔහුගේ ආදරණීය පුතණුවන් ය. අද සරසවියේ සටහන් වන්නේ ඔහුගේ කතා බහය. දක්ෂ තරුණ ගායකයෙකු වූ මරියෝ කිසිදාක ජනප්‍රියතාවය පිටුපස හඹා නොගිය ගායකයෙකි. තම පියාගේ කරමතින් සංගීත ක්ෂේත්‍රයට පය තැබූ ගායකයෙකුද නොවේ. එනිසාම ඔහු පිළිබඳ කතා කළ යුතුමය. එහෙත් මරියෝ මෙවර සරසවිය සමඟ එක්වූයේ සංගීත ජීවිතය ගැන කතාබහ කිරීමට නොවේ. ඔහුගේ අලුත්ම වැඩ කටයුත්තක් පිළිබඳ කතා කිරීමටය. පසුගිය දිනෙක ඒ සුබ ආරංචිය රැගෙන ඔහු සරසවිය හමුවට පැමිණියේය.

මගේ ජීවිතයේ කඩඉමක් ගැන කතා කරන්න සරසවිය පුවත්පතෙන් ආරාධනා කිරීම ගැන මම පළමුවෙන්ම ස්තූතිවන්ත වෙනවා. මම ආවේ මගේ අතින් සිදුවෙන අලුත්ම නිර්මාණයක් ගැන කතා කරන්න.

” අපි මිරිස්සේ” . ඒ ගැන කතා කරන්න තමයි මම අද සරසවියට ආවේ. ” අපි මිරිස්සේ” ටෙලි නාට්‍යය පටන් ගත්ත තැන ඉඳන් මම විස්තර කියන්නම්. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලඑළි බසින්න මගේ සූදානම. 2024 අවුරුද්දේ යුනිසෙෆ් එකෙන් මට ආරාධනාවක් ආවා. මත්ද්‍රව්‍ය උවදුර ගැන නිර්මාණයක් කරන්න කියලා. ඊට අමතරව ඕර්‍ණඛ් සභාපති කාවින්ද ද සොයිසා මට ආරාධනාවක් කළා මත්ද්‍රව්‍ය ප්‍රශ්නය සම්බන්ධව ගීතයක් නිර්මාණය කරන්න කියලා. ඔහු මට ලෙන්ගතු කෙනෙක්. තාත්තා කෙනෙක් වගේ. මේ ආරාධනා දෙකම ගැන හිතලා මම තීරණයක් ගත්තා. මම ඔවුන්ට පැහැදිලි කරල දුන්නා කුමක්ද මේ ප්‍රශ්නය සම්බන්ධව කළයුතු හොඳම දේ කියලා. ගීතයක් කළොත් ඒක දවස් කිහිපයක් අහයි. ජනතාවගේ මතකයේ රැඳෙන දෙයක් මට කරන්න අවශ්‍ය වුණා. ඒ නිසා ටෙලි නාට්‍යයක් කරමු කියලා මම යෝජනා කළා. ඒ වගකීම මම භාර ගත්තා. මම ඒ කාලේ ටිකක් පීඩනයකින් හිටියේ. මගේ වෘත්තීය වුණේ සංගීතය. මට ගොඩක් හිතවත් අයියා කෙනෙක් ඉන්නවා. අනුෂ්ක ද සිල්වා. මන අනුෂ්ක අයියට කෝල් කරල කිව්වා මම ටෙලි නාට්‍යයක් කරන්න ඉන්න බව.

” මරියෝ මම ඕන උදව්වක් කරන්නම්”

ඒ ඔහුගේ හෘදයාංගම වචන. ඒත් මට ඔහුගෙන් මූල්‍යමය උදව්වක් ගන්න අවශ්‍ය වුණෙ නැහැ. මම ඉහතත් සඳහන් කළා මම ඒ වගකීම භාරගත් බව. මම ඔහුට ස්තුතිවන්ත වෙනවා මාව දිරිමත් කිරීම ගැන.

මුලින්ම රංගන ශිල්පීන්ව තෝරා ගන්න මම තීරණය කළා. මම මුලින්ම කතා කළේ රංගන ශිල්පී හර්ෂ තෙන්නකෝන්ට. එයා පිටපත කියවල කැමැත්ත දුන්නා. මම කතා කරපු පළවෙනි රංගන ශිල්පියා කැමැත්ත ප්‍රකාශ කිරීම ගැන මම සතුටු වුණා. ඒ නිසා බය නැතිව අනික් ශිල්පීන්ව මට තෝරා ගන්න හැකිවුණා. නෙතලි නානයක්කාර, ධර්මප්‍රිය ඩයස්, තුෂ්නි ප්‍රනාන්දු, සරත් කුලාංග, බුද්ධික ජයරත්න, රයන් වැන්රෝඩන්, අනුරාධා එදිරිසිංහ, අනුරාධ මල්ලවාරච්චි ඇතුළු නළු නිළියන් මම තෝරා ගත්තා.

මගේ යාලුවෙක් ඉන්නවා කාවිංග. ඔහු වූෂු ක්‍රීඩාවට දක්ෂයෙක්. පළමු දර්ශනය තිබුණේ සටන් ජවනිකාවක්. ඒ දර්ශනය තමයි මුලින්ම රූගත කරන්න තිබුණේ. ඒත් කාවිංග කිව්වා නෙතලි නානයක්කාර මහත්මිය පෙනී සිටින දර්ශනය මුලින්ම රූගත කරන්න කියලා. ඔහු කියූ අදහස මට මාර විදිහට හිතට වැදුණා. ඇය අපට ඉන්න ජ්‍යේෂ්ඨතම රංග වේදිනියක්. මම එතුමිය පෙනී සිටින දර්ශනයක් මුලින්ම රූගත කළා . එය ඉතා සාර්ථකයි. ඒ ඇයගේත් වාසනාව. ඒ නිසාම වෙන්න ඇති අනෙක් දර්ශනත් කරදරයකින් තොරව රූගත කරන්න හැකිවුණා. සෑම ශිල්පියෙක්ම සහයෝගය දුන්නා. රූගත කිරීම්වල මැද භාගයේදී මූල්‍යමය ප්‍රශ්න ආවා. ඒ අවස්ථාවේ දේවදූතියක් වගේ මගේ අක්කා මට ශක්තියක් වුණා.

” මල්ලී කාගෙන්වත් සල්ලි ගන්න එපා මම උදව් කරන්නම්. ඇත්තටම මගේ අක්කා මට අම්මා කෙනෙක් වගේ.ඒ නිසා “අපි මිරිස්සේ ” ටෙලි නාට්‍යය සාර්ථකව අවසන් කරන්න හැකිවුණා.

මෙයින් කියැවෙන්නේ මත්ද්‍රව්‍ය උවදුර ගැන. ළමා පරපුර ඒවාට ඇබ්බැහිවීම සහ ඒවායි වෙන ළමා අපචාර ගැන. මගේ එකම අරමුණ අපේ දරුවන් මේ විනාශයෙන් ඈත් කිරීමයි. අපිට වටිනා සංස්කෘතියක් තියෙනවා. කොහේ හෝ පන්සලක් , වෙනත් ආගමික ස්ථානයක් තියෙනවා නම් ඒ වටා ප්‍රදේශයේ සංස්කෘතිය රැකෙනවා. විදේශික බලපෑම් නිසා අපේ සංස්කෘතියට හානිවන අවස්ථා තියෙනවා. ඒ නිසා අපි අපේ දරුවන් රැකගත යුතුයි. මත් ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගත යුතුයි.

අපි මිරිස්සේ රූගත කිරීම් සිදුකළේ මුහුදුබඩ ප්‍රදේශ වල. මගේ හිතවත් අයියා කෙනෙක් වූ දමිත් අයියා මට උදව්කළා. රූගත කිරීම් වලදී කැමරාකරණයෙන් නෙවින්ද ජයසේන අයියත් වේශ නිරූපණයෙන් සහ නිෂ්පාදනයෙන් මගේ අක්කා වරුණි අල්පොන්සු දායක වුණා. අපි මිරිස්සේ රූගත කිරීම් කරන විට අපිට මුහුදේ යන්න වුණා. පීනන්න තිබුණා. මම වැඩිපුරම දායකත්වය ලබා දුන්නේ මා සතු ජවයෙන්. මම ක්‍රීඩා කළ කෙනෙක්. ඉතින් මේ ටෙලිනාට්‍යයේ සිටි ළමා පිරිසක් හරි ආසාවෙන් වැඩකළා. අභියෝගාත්මක දර්ශන තිබුණා. බයික් එකකින් බස් එකක් ලුහුබඳීන දර්ශනයක්. පාරත් පටුයි. බයික් එක පැදපු සම්පත් වාසලමුදලි අයියාගෙන් ඒ සඳහා හොඳ සහයක් ලැබුණා. අපේ කැමරා ශිල්පියා බෙල්ට් එකක්වත් දැම්මේ නැහැ. ඒ වගේම මට මොරගොල්ල මුහුදේ තුන්වතාවක් පිහිනන්න තිබුණා. රූගත කිරීම් කරල ඉවර වුණාට පස්සේ තමයි දන්නේ පිහිනලා තියෙන්නේ වාරකන් කාලේ කියලා. මේ ටෙලිනාට්‍යයේ තුෂ්නි ප්‍රනාන්දු රඟපානවා. ඇයගේ පළමු දර්ශනය තිබුණේ මොරගොල්ලේ. එදා අපි යනකොට බෝට්ටුවක ගිය තුන්දෙනෙක් මැරිලා. ඒක හරිම අවාසනාවක්. අපි මිරිස්සේ නාට්‍ය රූගත කරද්දී අපිට කිසිම කරදරයක් වුණේ නැහැ.

මේ ටෙලිනාට්‍යය රූගත කරද්දී අමතක නොවන සිදුවීම් තියෙනවා. එහි එක් දර්ශනයක් තිබුණා නුගේගොඩ පල්ලියේ. ඒ පල්ලියේ තමයි මාව භෞතීස්ම කරල තියෙන්නේ. ඒ තැනම ඉඳන් එදා මම අම්මා එක්ක ෆොටෝ එකක් ගත්තා.

අපේ අම්මාට හොඳට චිත්‍ර අඳීන්න පුළුවන්. තාත්තා නැති වුණාට පසුව අම්මා අපි වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළා. මට අවශ්‍ය වුණා ඒ වෙනුවෙන් ඇයට ගෞරවයක් ලබා දෙන්න. ඒ නිසා ” අපි මිරිස්සේ” ටෙලිනාට්‍යයේ ආරම්භක දර්ශනය පටන් ගන්නේ අම්මා අඳීන චිත්‍රයකින් මම ඇයව මෙහි කලා අධ්‍යක්ෂිකාව බවට පත්කළා.

” අපි මිරිස්සේ” ටෙලි නාට්‍යයේ ගීත අතරට මම තාත්තාගේ ගීතයක් ඇතුළත් කළා. “තරුයායේ ඈතින් ඈතට” කියන ගීතය. තවත් විශේෂ ගීතයක් ඇතුළත් වෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. අපි අතීතය අමතක කළ යුතු නැහැ. රෑ නිදි යහනේ” ගීතය ගයන්නේ අපේ රටේ ජනප්‍රියම සිනමා තරුවක් වූ විජය කුමාරතුංග. ඒ ගීතය සංගීතවත් කළේ අපේ තාත්තා. පද රචනය අපේ අම්මා. ඒ කාලේ විජය කුමාරතුංග දැඩි පීඩනයකට ලක්වෙලා හිටපු කාලේ තමයි මේ ගීතය ඔහුට නිර්මාණය කරදීලා තියෙන්නේ. මම ඒ ගීතය ඇතුළත් කලේ විජය කුමාරතුංග සිහිපත් කරන්න. අචල සොලමන්, මිත්‍ර කපුගේ, දුලාංජලී චාතුල්‍යා, නෙවින්ද ජයසෙන් සමඟ මම ගායනා කරන ගීතත් මෙහි ඇතුළත්. මිත්‍ර අයියා සංගීතවත් කළ ගීත පද රචනය කළේ සහන් රණතුංග.

“අපි මිරිස්සේ” ටෙලි නාට්‍යය විකාශය කරන්න රූපවාහිනී නාළිකා දෙකක් ගැන හිතාගෙන ඉන්නවා. එහෙත් ඒ කුමක්ද කියා තාම තීරණයක් නැහැ. මූල්‍යමය ලාභය නොබලා, ඉක්මනින් ජනතාව අතරට ගෙනියන්න පුළුවන් නාළිකාවක් ගැන තමයි තීරණය කරන්නේ. ඒ වගකීම කවින්ද ද සොයිසා මහතා භාර ගත්තා. ඒ නිසා විකාශය වෙන නාළිකාවත් ඔවුන්ගේ යුතුකම ඉටුකරයි කියා බලාපොරොත්තු වෙනවා.

පෙබරවාරි 20 දා විශේෂ දෙයක් සිදුවෙනවා. “අපි මිරිස්සේ” ටෙලි නාට්‍යය එළි දැක්වීමේ උත්සවය පවත්වන්න තීරණය කළා. ජාතික චිත්‍රපට සංසථාවේ තරංගනී ශාලාවේදි පෙබරවාරි 20 දා සවස හයට පැවැත්වෙනවා. එය සංවිධානය කරන්නේ අම්මා, මම සහ අක්කා. පැය කිහිපයක වැඩ සටහනක් විදිහට තමයි අපි සංවිධානය කරන්නේ. නාට්‍යයේ කොටස් කිහිපයක්ද එදිනට ප්‍රදර්ශනය කෙරෙනවා.

මගේ වෘත්තිය වෙන්නේ සංගීතය. මම එය පවත්වාගෙන යන රටාවක් තියෙනවා. අද ප්‍රසංගයක් කරල හෙට ආයෙමත් ප්‍රසංගයක් කිරීම මගේ විදිහ නෙවෙයි. සෑම දෙයකදීම විවේකයක් ගන්නවා. මට හිතෙනවා මාස හයකට පමණ මිරිස්සේ නතර වෙලා මුහුදේ පීන පීන ඉන්න. මම ආසයි ඵභපටඪදඨ වලට. වෙරළබඩ ප්‍රදේශයකට ගිහාම තමයි තේරෙන්නේ පුදුමාකාර දක්ෂතා තියෙන තරුණයන් සිටිනවාද කියලා. ඔවුන් අතිදක්ෂයි ඵභපටඪදඨ වලට. ඔවුන් විදේශිකයන්ව පුහුණු කරනවා. එහෙත් ඔවුන්ට ලැබෙන්නේ සුළු මුදලක්. පිටරටක නම් ඔවුන් ධනවතුන් වෙලා. මම කැමතියි සමාජයේ ජීවත්වන දරුවන්ට තිබෙන ප්‍රශ්න ගැන සොයා බලන්න. ඇත්තටම දුෂ්කර ජීවිත ගෙවන දරුවන් ඉන්නවා. අපි ඔවුන් ගැන සිතිය යුතුයි. කොටසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා. ඒ වෙනුවෙන් තමයි මම “අපි මිරිස්සේ” නිර්මාණය කළේ. මේ වෙලාවේ ගරු ජූඩ් පියතුමන්වත් ආදරෙන් මතක් කරනවා. මගේ තාත්තා ගැනත් විශේෂයෙන් යමක් කියන්න අවශ්‍යයි. තාත්තා අපිට දුන්නේ හොඳම දේවල්. චිත්‍රපටයක් බලන්න ගියත් ළමයින්ට සුදුසු උසස් නිර්මාණයක් තමයි අපිට තෝරා දුන්නේ. ඒ නිසා තමයි මමත් කරන දේ ගුණාත්මකව කරන්න පෙලඹෙන්නේ. ” අපි මිරිස්සේ” සාර්ථක කරගන්න සහය දුන් සෑම දෙනාටමත් ස්තූතියි. මට බලපැම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මම මත්ද්‍රව්‍ය උවදුර ගැන කතා කරන නිසා. ඒත් මම කතා කරන්නේ පෙනී සිටින්නේ අපේ රටේ දරුවන් වෙනුවෙන්. ඒ නිසා කවුරුත් මාත් එක්ජ තරහ වෙන එකක් නැහැ. “අපි මිරිස්සේ” වැනි ටෙලිනාට්‍යයක් මට අධ්‍යක්ෂණය කරන්න ලැබීම සතුටක්.

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT