දශක හතකට ආසන්න කාලයක් පුරා දිවෙන සිනමාව වෘත්තීය ජීවිතය කරගත් ආදරණීය චරිත, ක්‍රියාදාම චරිත සහ විකට චරිත නිරූපණය කරමින් බොලිවුඩයේ සුපිරි තරුවක් වූ නළු ධර්මේන්ද්‍ර පසුගිය නොවැම්බර් 24 වන දින මුම්බායිහිදී තම දිවි ගමනට සමු දුන්නේය. ධර්මේන්ද්‍ර මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 89කි. 24 වැනිදා උදෑසන මුම්බායි හි පිහිටි නිවසේදී ධර්මේන්ද්‍ර මිය ගිය බව නිවේදනය කිරීමෙන් පසු වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ඔහුට උපහාර දැක්වූ අය අතර විය.
“නළු ධර්මේන්ද්‍රගේ මරණය ඉන්දියානු සිනමාවේ යුගයක අවසානය සනිටුහන් කිරීමක්. ඔහු රඟපෑ සෑම චරිතයකටම චමත්කාරය සහ ගැඹුර ගෙන ආ අතිවිශිෂ්ට නළුවෙක්. ඔහු විවිධ චරිත නිරූපණය කළ නිසා ගණන් කළ නොහැකි ලෙස ප්‍රේක්ෂකයන්ගේ සිත් දිනා ගැනීමට ඔහු සමත් වුණා” මෝදි ඔ ගිණුමෙහි සටහන් තබමින් එලෙස පැවසීය.
බොලිවුඩ් සිනමාවේ එක් නිශ්චිත වූ ඓතිහාසික යුගයක සටහන් වන ධර්මේන්ද්‍ර බොලිවුඩ් සිනමාවේ පදනම කෙරෙහි දැඩි බලපෑමක් කළ රූපණවේදියෙකි. නිසගයෙන්ම සතු වූ ආකර්ෂණීය බව සහ රංග පෞරුෂය නිසාම “හී-මෑන්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ධර්මේන්ද්‍ර, වසර 65ක වෘත්තීය ජීවිතයෙහි චිත්‍රපට 300කට අධික සංඛ්‍යාවක රඟ පෑ අතර හින්දි සිනමාවේ වැඩිම ජනප්‍රිය චිත්‍රපට සංඛ්‍යාවක රඟපෑමේ වාර්තාව ඔහු සතුව පවතී. 1960 දශකයේ මුල් භාගයේදී කාන්තා ප්‍රේක්ෂකාගාරය (ජ්ඥථචතඥ ඒභඤඪඥදජඥ) ඉලක්ක කරගත් ආදර කතා තේමා කොටගත් චිත්‍රපටවලින් තම රංගන ගමන ආරම්භ කළ නමුත් ඉක්මනින්ම පුරුෂාධිපත්‍යය කේන්ද්‍ර කරගත් ක්‍රියාදාම සිනමාපට වෙත විතැන් වූ අතර එය හාස්‍යය (ඛ්ධථඥඤර) ශානරයට පිවිසීමේ දී ඔහුගේ ප්‍රධාන ප්‍රභේදයක් ලෙස පැවතුණි.
ඔහු රඟපෑ හොඳම සහ ප්‍රේක්ෂකාගාරයේ මතකයේ රැඳෙන චිත්‍රපට අතරට “පූල් ඕර් පත්තර්” (1966) ඇතුළත් වේ. එම සිනමාපටයේ ඔහු දුෂ්ට එහෙත් මෘදු හදවතක් ඇති අපරාධකරුවෙකුගේ චරිතය රඟපෑවේය. තුවාල ලැබූ කාන්තාවක් ඔසවාගෙන යන උඩුකය නිරුවත් ධර්මේන්ද්‍රගේ ප්‍රතිරූපය සංකේතයක් බවට පත් වූ අතර, පුරුෂ ශක්තියේ සංකේතයක් ලෙස ඔහු ජනප්‍රිය විය. ඒ සමඟම, අනුපමා වැනි චිත්‍රපට ඔහුගේ රංග පරාසය මැනවින් ප්‍රදර්ශනය කළේය. ධර්මේන්ද්‍ර ගැඹුරු, සංයමයෙන් හා සියුම් රංගනයන් කළ හැකි නළුවෙකි. මෙම ගුණය ඔහුගේ තරුවෙහි සාරය බවට පත් විය. “මේරා ගෝන් මේරා දේශ්” (1971) ඔහුගේ චරිතය සොරෙකුගේ සිට ගමේ ආරක්ෂකයෙකු දක්වා වෙනස්වනසූළු චරිතයක ස්වරූපය ගත්හ. “චුප්කේ චුප්කේ” (1975) චිත්‍රපටයේ ඔහු රියදුරෙකු ලෙස වෙස්වලා ගන්නා මහාචාර්යවරයෙකු නිරූපණය කළ අතර එය බ්ලොක්බස්ටර් පන්නයේ ප්‍රේම – විකට ශානරයේ චිත්‍රපටයක් විය. ධර්මේන්ද්‍රගේ සිනමාපට ලැයිස්තුවේ වැඩිම ජනප්‍රියත්වයක් හිමිකරගත් චිත්‍රපටය වනුයේ “ෂෝලේ” (1975) ය. එම චිත්‍රපටය ඔහු අපරාධකරුවන් දෙදෙනෙකුගෙන් එක අයෙකු ලෙස රඟපෑ ක්‍රියාදාම – ත්‍රාසජනක චිත්‍රපටයක් වූ අතර ඔහු සමඟ අනෙක් අපරාධකරුවාගේ චරිතය රඟපෑවේ නළු අමිතාබ් බච්චන් විසිනි. සියලුම චිත්‍රපට අතුරින්, “ෂෝලේ” ඔහුගේ වෘත්තීය ජීවිතයේ පමණක් නොව ඉන්දියානු සිනමා ඉතිහාසයේ පුරාවෘත්තයක් ලෙස වර්තමාන දක්වාම පවතින්නකි. එය “රිදී ජුබිලි” චිත්‍රපටයක් වූ අතර එය ඉන්දියාව පුරා සිනමාහල් 100කට වැඩි ප්‍රමාණයක සති 25 පුරා අඛණ්ඩව තිරගත විය.
1970 සහ 1980 දශකවල, ධර්මේන්ද්‍ර බොලිවුඩයට පිරිනැමිය හැකි වඩාත්ම බහුකාර්ය නළුවෙකු ලෙස ස්ථාපිත විය. ඔහු ආදර කතා, හාස්‍ය, ක්‍රියාදාම, ඓතිහාසික නාට්‍ය සහ සමාජ විවරණය කරන චිත්‍රපට යන සෑම ප්‍රභේදයකම පාහේ තම රංග පරාසය විදාහළේය. ආදරවන්තයෙකුගේ සිට දැඩි ක්‍රියාදාම වීරයෙකු දක්වා මාරු වීමට ඔහුට ඇති හැකියාව අනාගත තරුවක් සඳහා ගමන සකසන ලදී. තනි ආකාරයේ චරිතයක් සඳහා ප්‍රසිද්ධියට පත් වූ බොහෝ නළුවන් මෙන් නොව, ධර්මේන්ද්‍රගේ චිත්‍රපට ඉන්දියානු සිනමා පරිණාමයේ සිතියමක ආකාරයේ හැඩය ගත්තේය.
ඉන්දියානු සිනමාවේ ධර්මේන්ද්‍රට ඇති පිළිගැනීම, ප්‍රශංසාව සහ අතීතකාමී මතකය නිසාම දශක හයකට වැඩි කාලයක් ඔහු කෙරෙහි ආදරණීය තරුවක් ලෙස පවතී. පරම්පරා ගණනාවක් පුරා චමත්කාරජනක නළුවෙකු වූ හින්දි සිනමාවේ පදනම කෙරෙහි දැඩි බලපෑමක් කළ රංග පෞරුෂයකි. ධර්මේන්ද්‍ර කේවාල් ක්‍රිෂාන් ඩියෝල් වර්ෂ 1935 දෙසැම්බර් 8 වන දින බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ උපත ලැබූ අතර සරල ගොවි පවුල් පසුබිමකින් පැමිණි අයෙකි. ඔහුගේ පියා පාසල් ගුරුවරයෙකි. වර්ෂ 1960 දී චිත්‍රපට කුසලතා තරඟයකින් ජයග්‍රහණය කර ඉන්දියානු සිනමාවේ හදවත වන මුම්බායි වෙත තනිව පැමිණෙන්නේ නළුවෙකු වීමේ ආශාවේ අභිලාෂයෙනි.
වර්ෂ 1948 දී ඉන්දියානු නිදහස මධ්‍යයේ තිරගත වූ නළු දිලිප් කුමාර් රඟපෑ “ෂහීඩ්” චිත්‍රපටය නරඹන ළමා කාලයේ දී තමා සිනමාව කෙරෙහි දැඩිව ආසක්ත වූ බව ධර්මේන්ද්‍ර විසින් පවසා ඇත. එම චිත්‍රපටය ඔහුට නළුවෙකු වීමට දැඩිව ආශාවක් ඇති කළ පැවසේ. ධර්මේන්ද්‍ර වර්ෂ 1954 දී ප්‍රකාශ් කෞර් සමඟ විවාහ වූ අතර, ඔවුන්ගේ පුතුන් වන සනී ඩියෝල් සහ බොබී ඩියෝල් යන දෙදෙනාම බොලිවුඩ් නළුවන් බවට පත්විය. 1980 දී ධර්මේන්ද්‍රගේ දෙවන විවාහය, ඔහු රඟපෑ චිත්‍රපටවල නිතර සම නිළිය වූ හේමා මාලිනී සමඟ සිදු විය.
ධර්මේන්ද්‍රගේ උරුමය රංගනයට පමණක් සීමා නොවේ. ඔහු ඔහුගේ නිහතමානීකම, ත්‍යාගශීලීභාවය සහ ජනතාව සමඟ ඇති සම්බන්ධතාවය සඳහා ද ප්‍රසිද්ධ ය. තම ප්‍රතිරූපය ප්‍රවේශමෙන් ගොඩනඟාගත් ධර්මේන්ද්‍ර ඉන් අනතුරුව සාම්ප්‍රදායික දේශපාලනයට පිවිසියේය. ඔහු භාරතීය ජනතා පක්ෂයෙන් (ඕබ්ර්‍ථ) රාජස්ථානයේ බිකනර් මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් ඉන්දියාවේ 15 වන ලෝක් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.
ඔහු ඉන්දියානු සිනමාවට කළ දායකත්වය වෙනුවෙන් වර්ෂ 2012 දී ඉන්දියාවේ තුන්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබීය. වර්ෂ 1997 දී බොලිවුඩ් සිනමාවට ඔහු කළ සේවය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළෙහි යාවජීව සම්මානය (ජ්ඪතථටචපඥ ඹ්ඪටඥබඪථඥ ඒජඩඪඥමඥථඥදබ ඒඹචපඤ) හිමි විය. සුප්‍රකට නළු දිලිප් කුමාර්ගේ අතින් ධර්මේන්ද්‍ර වෙත සම්මානය ලබා දෙන විට, ඔහු මෙසේ අදහස් දැක්වීය.
“මට සර්වබලධාරී දෙවියන් හමුවන සෑම අවස්ථාවකම, දෙවියන් ඉදිරියේ මා සතුව පවතින පැමිණිල්ලක් ඉදිරිපත් කරමි. ඔබ මාව ධර්මේන්ද්‍ර තරම් කඩවසම් නොකළේ ඇයි?” යනුවෙන් දිලිප් කුමාර් පැවසීය. 1970 සහ 1980 දශකවල වඩාත්ම සාර්ථක නළුවෙකු වූ ධර්මේන්ද්‍ර 1968 සිට 1987 දක්වා “බොක්ස් ඔෆිස් නළුවන්” ලැයිස්තුවේ 18 වතාවක් ශ්‍රේණිගත වීමට තරම් ප්‍රබල නළුවෙකු බවට පත් විය. දශක ගණනාවක් පුරා ධර්මේන්ද්‍රට සම්මාන සහ ගෞරව රාශියකින් පිදුම් ලැබූව ද ඊට වඩා විශාලතම පිළිගැනීම ලැබෙන්නේ ඔහු දෙස බලා හැදී වැඩුණු නළුවන් සහ ප්‍රේක්ෂකයින්ගේ නොමඳ ආදරයෙනි. අද පවා ඔහුගේ චිත්‍රපට නිතිපතා රූපවාහිනියේ විකාශය වේ. ඔහුගේ ගීත ගුවන් විදුලියේ වාදනය වේ. ඔහුගේ ජායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වේ. එය ඔහුගේ තරු ගුණයේ (ඉබචප Qභචතඪබර) කල් පවතින බලය සනාථ කරන්නකි. තරුණ නළු නිළියන් බොහෝ විට ඔහුව ආශ්වාදයක් ලෙස උපුටා දක්වමින්, ඔහුගේ කැපවීම, විනය සහ අව්‍යාජභාවය ප්‍රශංසා කරති.
එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ජනප්‍රිය නළු සල්මන් ඛාන් පැවසුවේ තම පියාගෙන් පසු ඔහු නිරන්තරයෙන් අනුගමනය කළ එකම පුද්ගලයා ධර්මේන්ද්‍ර බවයි. 2007 දී “කෝෆි විත් කරන්” වැඩසටහනෙහි එක් කථාංගයක දී නිළි ජයා බච්චන් හෙළි කළේ ඇය ධර්මේන්ද්‍ර සමඟ සම්පූර්ණයෙන්ම ආදරයෙන් බැඳී සිටි බවත්, ඔහුව “ග්‍රීක දෙවියෙකු” ලෙස තමන් අදහන බවත් ය. ජනප්‍රිය නිළි මධුරි ඩික්සිත් ධර්මේන්ද්‍රව විස්තර කර ඇත්තේ “මම තිරයේ දැක ඇති වඩාත් කඩවසම් පුද්ගලයන්ගෙන් එක් අයෙක්” ලෙසිනි. එතරමින්ම ධර්මේන්ද්‍රගේ මුහුණ සතු ප්‍රසන්න බව, කැරිස්මාව ප්‍රකට කරන සාධක වෙති. ධර්මේන්ද්‍ර ඉන්දියානු සිනමාවේ වඩාත්ම බලගතු පෞරුෂයක් ලෙස සැලකෙන්නේ එම නිසා ය.
ඔහුගේ මුල් කාලීන වෘත්තීය ජීවිතය තුළ ලෝකයේ වඩාත්ම කඩවසම් පිරිමින්ගෙන් කෙනෙකු ලෙස හැඳීන් වූ අතර ඔහුගේ වෘත්තීය ජීවිතයේ මුල් අවධියේදී ලිංගික සංකේතයක් (ඵඥය – ඵරථඡධත) ලෙස සැලකෙන ධර්මේන්ද්‍ර සුප්‍රකට “ද නිව් යෝර්ක් ටයිම්ස්” පුවත්පත ඉන්දියාවේ “වඩාත්ම නිපුණ තරු (ධදඥ ධට ධ්දඤඪච’ඵ “ථධඵබ මඥපඵචබඪතඥ ඵබචපඵ)” වලින් කෙනෙකු ලෙස හැඳීන්වීය. සුප්‍රකට ඇමරිකානු “වෙරිටේ” සඟරාවට අනුව ඔහුව සිහිපත් කළේ “ඉන්දියානු සිනමාවේ වඩාත්ම ආදරණීය සහ කල් පවතින තරුව (ධ්දඤඪචද ජඪදඥථච’ඵ ථධඵබ ඡඥතධමඥඤ චදඤ ඥදඤභපඪදඨ ඵබචප)” ලෙසයි. 2017 වසරේදී ධර්මේන්ද්‍ර “ද සන්ඩේ ගාඩියන්” පුවත්පතට අපුරු කතාවක් පැවසුවේ ය. එනම් තමා කිසිදා මතක සටහන් හෝ චරිතාපදාන කෘතියක් රචනා කරන්නේ නැති බවත්, ඔහුගේ ජීවිතය පිළිබඳ චරිතාපදානයක් රචනා කිරීම පිළිබඳ අදහස ඔහු විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදි.
“මිනිස්සු ලේසියෙන් චිත්‍රපට අමතක කරන්න පුළුවන්. චරිතාපදානයක් කෘතියක් නොමැති වුවද මිනිස්සුන්ට ඔබව මතක තබා ගන්න පුළුවන් වෙන්න තරම් දක්ෂ වෙන්න ඕන.” ධර්මේන්ද්‍ර ඊට හේතුව සැපයුවේ එපරිද්දෙනි.
මලින්ත විතානගේ
