Home » අතීතයෙන් පළා යන්නට තැත් දරන මනුෂ්‍යයකුගේ දැවෙන හෘද සාක්ෂිය

අතීතයෙන් පළා යන්නට තැත් දරන මනුෂ්‍යයකුගේ දැවෙන හෘද සාක්ෂිය

by mavan
April 9, 2026 9:13 am 0 comment

ලතින් ඇමරිකානු කලාපය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් කලාපයකි. ලතින් ඇමරිකාව හෙවත් දකුණු ඇමරිකාවේ දේශපාලන පද්ධතියෙහි සැකැස්ම බහුල ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව සහ ජනතාව මර්දනය කරන ප්‍රවාහයක හැඩය ගන්නා බව ඉතිහාසය විසින් දරන සාක්ෂි ඕනෑ තරම් ය. ඒකාධිපතිවාදය නිසාම බොහෝ ජීවිත ප්‍රමාණයක අහිමි වීම, දකුණු ඇමරිකානු එක් එක් රටවල දේශපාලන ඉතිහාසය මැනවින් සොයා බැලු කල හඳුනා ගැනීමට හැකිය. වර්ෂ 1977 දී බ්‍රසීලය නමැති රාජ්‍යයේ පැවති හමුදා ඒකාධිපතිත්වය රජ කරන යුගයකි. එම ඒකාධිපතිත්වය මතින් නැඟි දේශපාලන කැලඹීම අතරතුර විශ්වවිද්‍යාලයක හිටපු පර්යේෂක “ආමන්ඩෝ” විසින් “රෙසිෆ් නගරය” වෙත සේන්දු වෙයි. එහිදී ඔහුගේ බාල පුතා වන ප්‍රනාන්දු තම බිරිඳගේ මරණයෙන් පසු නැන්දම්මා සමඟ ජීවත් වේ.

ආමන්ඩෝගේ ජීවිතය තුළ අම්හිරි අතීතයක් ඇත. ඔහුගේ බිරිඳ අහිමිව ඇති බව දැනෙන්නේ තම පුතා නැන්දම්මා සමඟ ජීවත්ව සිටින සිදුවීමෙනි. ආමන්ඩෝ යනු කවුද? සහ ඔහු “මාර්සෙලෝ” නමින් අනන්‍යතාවය වෙනස් කරගැනීමෙන් සමාජය තුළ පෙනී සිටින්නේ ඇයිද? යන්න ප්‍රේක්ෂකයා තුළ දැල්වෙන කුතුහලයයි. ආමන්ඩෝගේ චරිතයට සමගාමීව දූෂිත පොලිස් ප්‍රධානියකුවන යුක්ලයිඩ්ස් සහ ඔහුගේ පුතුන් වන සර්ජියෝ සහ ආර්ලින්ඩෝ විසින් අල්ලා ගත් මෝරෙකු තුළ තිබී කපා දැමූ මිනිසකුගේ කකුලක් සොයා ගැනීමට සමත් වේ. ආමන්ඩෝගේ රහසිගත ජීවිතය නිසා ම ඔහු පසුපස අදිසි හස්තයක් ලුහුබඳී. ආමන්ඩෝ අතීතය සමඟ සංහිඳීයාවකට පත්වන්නට නොහැකිවන්නේ ඇයි? ඔහු පසුපස හඹාඑන මෙම අදිසි හස්තය කුමක්ද? ආමන්ඩෝ පෙර විශ්වවිද්‍යාල ආචාර්යවරයකුව සිට වර්තමානයේ මාර්සෙලෝ ලෙස නම වෙනස් කර ගැනීමෙන් සැඟව ජීවත්වන්නේ ඇයි? මෙම සියලුම ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු “ද සීක්‍රට් ඒජන්ට්” සිනමාපටය නැරඹීමෙන් සොයාගත හැකියි.

සිනමාපටයේ නිරූපණය වන දේශපාලන පසුබිම පිළිබඳව ද යමක් සටහන් කළ යුතු ය. වර්ෂ 1964 සිට 1985 දක්වා බ්‍රසීලය හමුදා ආඥාදායකත්වයට නතු විය. එවකට ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් බ්‍රසීලයේ පාලනය සඳහා කළ අතපෙවීමේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රසීලයේ හමුදාව විසින් “Joao Goulart”ගේ පාලනය පෙරළා දමන්නේ බ්‍රසීලයේ පැවති ප්‍රජාතන්ත්‍රවාද පවුරු බිඳ දමමින්. බ්‍රසීලය අරාජික තත්ත්වයට ඇද දැමීමට ඇමරිකානු රජයේ අභිප්‍රාය විය. ලතින් ඇමරිකානු කලාපය තුළ පැතිර ගිය සමාජවාදයේ බල ව්‍යාප්තය වැළැක්වීම ඇමරිකානු රජයේ ප්‍රයත්නය විය. එහි අතුරු ඵලය ලෙස කලින් පැවති රජයේ සිටි දේශපාලඥයන්, විප්ලවකරුවන් සොයා මිනිස් දඩයමක නිරත වීම චිත්‍රපටයේ දැක්වෙයි. එක් කුටුම්භයකගේ පෞද්ගලික දිවිය සහ මිලිටරි දේශපාලනය විසින් ඇති කරන මානසික පීඩනය මැනවින් සංස්කරණය කරන ලද මෙම සත්‍ය සිද්ධි දාමය හරහා ඉස්මතු කරයි.

සිනමාප⁣ටයේ දැක්වෙන “රෙසිෆ්” යනු මෝරුන්ගේ ප්‍රහාරවලින් පීඩා විඳීන වෙරළබඩ නගරයකි. කතාවට සමගාමීව ජේදනය වන ඇතැම් දර්ශන නිරූපණය වන්නේ සිනමා ශාලාවක තිරගත වන රිචඩ් ඩොනර්ගේ ” The Omen ” (1976) චිත්‍රපටය සහ ස්ටීවන් ස්පීල්බර්ග්ගේ “Jaws” චිත්‍රපටය වේ. සිනමාපටයේ අප දකින තත්‍ය ලෝකයේ සිදුවිය නොහැකි අභූතරූපි “ලෝම සහිත නග්නව ඇවිදින තනි පාදයේ” කතාව වර්ෂ 1970 දශකයේ අග භාගයේ රෙසිෆ් නගරයේ මහජන උන්මාදයක් ඇති කළ සැබෑවට සිදු වී ඇත. එදවස බ්‍රසීලියානු හමුදා ඒකාධිපතිත්වය, පොලිස් ප්‍රචණ්ඩත්වය, දූෂණය සහ සමලිංගික භීතිකාව පිළිබඳ වාරණය කරන ලද ප්‍රවෘත්ති වසන් කිරීමට “ලෝම සහිත නග්නව ඇවිදින තනි පාදයේ” කතාව ගෙතු කතාවක් බව බොහෝ දෙනාගේ අදහසයි. බ්‍රසීල සිනමාකරුවන් නිරතුරුවම තම රාජ්‍යයෙහි අතීතයේ පැවති දේශපාලන පද්ධතියේ තිබූ මිලේච්ජසහගතබව සිනමානුරූපිව සාකච්ඡාවට ගෙන එන්නට පෙලඹෙයි. විශේෂයෙන් පුද්ගලයන් අතුරුදහන් කිරීම, මරා දැමීම, දඩයම් කිරීම ආදී සිවිල් වැසියන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සැහැසි ක්‍රියා පිළිබඳ මෙවැනි සිනමාපට ඔස්සේ ගෝලීය ප්‍රේක්ෂකාගාරයට සන්නිවේදනය කරයි.

“ද සීක්‍රට් ඒජන්ට්” චිත්‍රපටය 2025 වසරේ මැයි 18 වන දින කෑන්ස් චිත්‍රපට උලෙළේ දී ලෝක මංගල දර්ශනය පැවැත්වුණු අතර එහිදි වැඩිම සම්මානලාභී චිත්‍රපටය බවට පත්වීමට හැකි විය. බ්‍රසීල නළු “වැග්නර් මෝරා'” හොඳම නළුවා සම්මානය සහ “මෙන්ඩෝන්සා ෆිල්හෝ” සඳහා හොඳම අධ්‍යක්ෂණය සම්මානය කෑන්ස් සම්මාන උලෙළෙහි පිරිනැමිණ. එපමණක් නොවේ. 83වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී , හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ වූ පළමු බ්‍රසීලියානු චිත්‍රපටය බවට පත් වූ අතර, හොඳම නළුවා ලෙස “වැග්නර් මෝරා” සහ හොඳම විදේශ භාෂා චිත්‍රපටය යන සම්මාන ද්විත්වය දිනා ගත්තේය.

“ද සීක්‍රට් ඒජන්ට්” චිත්‍රපටය 2025 වසරේ හොඳම චිත්‍රපට සඳහා වන Sight & Sound ජාත්‍යන්තර මත විමසුමේදී පස්වන ස්ථානය හිමිවිය. “The Hollywood Reporter” හි “2025 හොඳම චිත්‍රපට 10” ලැයිස්තුවට අනුව වසරේ හොඳම චිත්‍රපටය ලෙස ද නම් කරන ලදී. “කැහියදු සිනමා සඟරාව” විසින් 2025 වසරේ හොඳම චිත්‍රපට 10 හි සිව්වන ස්ථානයට ද, BBC ආයතනය 2025 වසරේ හොඳම චිත්‍රපට 25 හි හයවන ස්ථානයට ද, The New York Times  හි “2025 හොඳම චිත්‍රපට” හි අටවන ස්ථානයටද, ජාතික සමාලෝචන මණ්ඩලය විසින් වසරේ හොඳම ජාත්‍යන්තර චිත්‍රපට 5න් එකක් ලෙස ද, එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ 2025 වසරේ ඔහුගේ ප්‍රියතම චිත්‍රපට ලැයිස්තුවට පවා ඇතුළත් වීමට “ද සීක්‍රට් ඒජන්ට්” චිත්‍රපටයට හැකි විය. නූතන බ්‍රසීලියානු සිනමාව ස්පර්ශ කිරීම ලාංකීකයන් ලෙස අතිශය වැදගත් ය. මන්ද ඔවුන් සතු ආඛ්‍යාන (Narratives) මඟින් සිනමානුරූපිව කතාවක් කියන්නේ කෙසේද? යන ඥානය නිසැකවම මෙරට අංකුර සිනමාකරුවන්ගේ ද සබුද්ධික ප්‍රේක්ෂකාගාරයේ ද දැනුමේ නිමි වළලු පුළුල් කරනු ඇත.

 

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT