මීට වසර හැත්තෑවකට පමණ ඉහත රචිත ගුවන් විදුලි ළමා ගීතයක් ගීත රචකයාගේ සහ ගායන ශිල්පිනියකගේ තැටියට නැගුණු මුල්ම ගීතය ලෙස එදා රස විඳී වැඩිහිටි ශ්‍රාවකයෝ අදත් සිටිති.
“සුරතල් පොඩි හාවා
මහ රෑටත්
පුන්සඳ තුරුලෙහි
ඉන්නේ ඇයි?
නීල්වන් වලා පෙළ හැමදාමත්
ගුවනේහි විසිරී යන්නේ ඇයි
සුදු පාට මල්වැල් හැන්දෑවේ
හැකිලී ඉබේ පරවෙන්නේ ඇයි
මහ සාගරයේ මුතු හංගාලා
රහසේම රළ පෙරලෙන්නේ ඇයි”
කරුණාරත්න අබේසේකර (කරු අයියා) මෙහෙය වූ “සරස්වතී මණ්ඩපය”ට මේ ගීතය රචනා කළේ අජන්තා රණසිංහය. ගායනා කළේ නන්දා මාලිනී පෙරේරාය. සංගීතය ඩී.ඩී ඩැනී ය.
මේ ගීතය ගැන ප්‍රවීණ සම්මානලාභී මඩවල එස්. රත්නායක විසින් ලියූ “ගී සින්දු සාහිත්‍ය” ග්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි.
“ළමා මනසක් තුළ නිරායාසයෙන් ඇතිවෙන අවංක හැඟීම් තත්ත්වාකාරයෙන් මේ ගීතයට ඇතුළත් වී තිබේ. ළමා ගීත රචකයෙකු වශයෙන් ලියන ලද ගීතයක් වූ මෙය විශේෂයෙන් අපේ සැලකිල්ලට ලක්විය යුතුය. ඇසට දකින දේත්, ඒ හා සිත් තුළ පිළිසිඳ ගන්නා හැඟීම් ප්‍රකාශ කිරීම ළමා රචනා තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේය. ළමුන් සඳහා නිර්මාණ කිරීමත් ළමා වැඩසටහන් මෙහෙයවීමත් තරමක් දුෂ්කර කාරණයකි. ළමයෙක් තුළ හටගන්නා හැඟීම් කෙබඳු ඒවාද ඒ දුෂ්කර කාරණයකි.
ළමුන් සඳහා වැඩිහිටියන් අතින් ලියැවෙන බොහෝමයක් නිර්මාණ අසාර්ථක වන්නේ අර මා මුලින් කී අඩුව පුරවා ගැනීමට අසමත් වීමේ හේතුවෙනි. ළමා ගීත රචයකයෙකු වශයෙන් අජන්තා විසින් ලියන ලද “සුරතල් පොඩි හාවා”ගීතය මගේ අදහස සනාථ කරවනු ඇතැයි මට සිතේ.”
ගුවන් විදුලි ගීතයෙන් චිත්‍රපටි ගීත රචනයට පිවිසි ආචාර්ය අජන්තා රණසිංහ තුන් පරපුරක ගායන ශිල්පි ශිල්පිනියන් සඳහා තුන් පරපුරක සංගීතවේදීන්ගේ සංගීත නිර්මාණුකූලව රචනා කළ ගීත සිංහල ගීත සාහිත්‍යයේ පෝෂණයට ඉවහල් විය. වසරේ විශිෂ්ට ගීත රචකයා වශයෙන් ජනාධිපති සම්මානයෙන් ද සරසවිය සම්මානයෙන් ද උපහාර ලද අජන්තා ඕ. සී. අයි.සී (ර්‍ණඛ්ධ්ඛ්) ප්‍රණාමයෙන්ද කුමාරතුංග සමරු සම්මානයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කලා ශිෂ්‍ය සංගමය සහ එම සාහිත්‍ය සංගමය වෙතින් පිරිනැමෙන ප්‍රණාම සම්මානයෙන් ද උපහාර ලබා ඇත.
ඔහු වෘත්තියෙන් ජනමාධ්‍යවේදියෙකි. ඉන්දියාව, පිලිපීනය, ජපානය, මලයාසියාව, නේපාලය, තායිලන්තය වැනි දේශයන් හි විවිධ වර්ෂයන්හි පැවති ජන සන්නිවේදන සම්මන්ත්‍රණවලදී ශ්‍රී ලංකාව ඔහු විසින් නියෝජනය කරන ලදී. ශ්‍රාවක පාඨක ප්‍රසාදයට පාත්‍ර වූ නවකතා පද්‍ය සහ ගීත එකතු කිහිපයක් පළ කර ඇති ඔහුගේ සාහිත්‍ය මෙහෙවර අගයමින් 1995 වර්ෂයේදී ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයෙන් මඟින් නවදිල්ලි නගරයේදී ඔහුට ආචාර්ය උපාධිය පිරිනැමිණ.
ආචාර්ය රණසිංහයන්ගේ පොත් වශයෙන් පළකැරුණු වෙනත් කෘති අතර “තිවංක රේඛා” (පද්‍ය) ‘මට ළඳුණි වරම් නැත’ ‘වින්කල් බාස්, ‘ක්‍රිස්තුනි කරුණා කළ මැනවි’ (නවකතා) ‘පහන් දොරින්’ ‘උඩුවියනක් සේ ඉරු රැස් දොරක්’ (ගීත රචනා) “සොල්දාදුවා පෙරේදා පැමිණියේදී” (කෙටිකතා) කැපී පෙනෙයි.
1940 වසරේ මැයි 30 වෙනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් සත්කෝරළයේ කටුකම්පල හත්පත්තුවේ තරම්මැහැර නම් සුන්දර ගම්මානයේ සේනානායක මුදියන්සේලාගේ රණසිංහ ආරච්චිලාගේ අජන්තා සරත් කුමාර රණසිංහගේ පියා බටහිර වෛද්‍යවරයෙකි. ගුරුවරියක් වූ මව පසුව තැපැල් ස්ථානාධිපතිවරියක ලෙස ද සේවය කර ඇත. පවුලේ වැඩිමහල් සොහොයුරියකි. ඊළඟට අජන්තාය බාල සොහොයුරියෝ දෙදෙනෙකි. බාල සොහොයුරෙකි.
2002 වසරේ මහාචාර්ය සමන්ත හේරත් හා සමුද්‍ර වෙත්වාසිංහ විසින් සංස්කරණය කළ ‘අජන්තා ගීතාවලිය” කෘතියේ මහාචාර්ය හේරත් ලියූ ලිපියකින් මේ තොරතුරු අනාවරණය වෙයි.
පන්නල රජයේ මිශ්‍ර පාඨශාලාවේ මූලික අධ්‍යාපනය ලබා ද්විතියේ අධ්‍යාපනයට නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට ඔහු ඇතුළත්ව ඇත. අජන්තා නුගේගොඩට අවතීර්ණ වන්නේ ඔහුගේ මවගේ සොහොයුරා වූ අශෝක පීරිස්ගේ නිවසේ නැවතී පාසල් යාමටය. රජයේ භාෂා පරිවර්තකයෙකු වූ මාමා දක්ෂ කෙටි කතා රචකයකු ලෙස ප්‍රකට විය. ඔහු විසින් ලියූ කෙටි කතා “සිළුමිණ” පුවත්පතේ නිතර පළවිය. “හරියට හරි”, “තහනම් ගෙඩිය” ඇස් ලැබීම හා ගලායයි ගඟ” (හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස රාජ්‍ය සම්මානය හිමිවිය. “බස්තියන් බෙනගම” නවකතාවද, වින්සන් චර්චිල් “සීතාවක රාජසිංහ” චරිත කතා ඔහු ලියා තිබුණි.
මාමාගේ ආභාසය නිසා කවි කෙටිකතා ලිවීමට හුරු වූ අජන්තා පුවත්පත්වලට සඟරාවලට ලිව්වේය. ගුවන් විදුලි ළමා ගීත රචකයකු ලෙස “සරස්වතී මණ්ඩපයෙන් “ දස්කම් පෑ අජන්තා පනහ දශකයේ ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන් ප්‍රචාරය වූ රේඩියෝ සඟරාවට සංස්කරණය කළ කේ.ඒ ඩබ්ලිව් පෙරේරා. (පසුව ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ) හමුවීමට අජන්තා ගියේ බණ්ඩාර කේ. විජයතුංග සමඟය. අජන්තාට සහ බණ්ඩාරට පැවරුණේ පිටපත් කියවීමටය. මේ කාලයේ අජන්තා “තිවංක රේඛා” නම් ප්‍රථම කාව්‍ය සංග්‍රහය නිකුත් කළ අතර එහි පිට කවර නිර්මාණය කළේත් බණ්ඩාරය.
අජන්තා ආධුනික පුහුණු පුවත්පත් කලාවේදියකු ලෙස ලේක් හවුස් හි ‘සරසවිය’ කර්තෘ මණ්ඩලයට එක් වන්නේ 1965 වසරේදීය. මේ කාලයේ ඔහුට අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය මෙරට සිටි විශිෂ්ට පැරැණි ගායන ශිල්පිනියක වූ කෝකිල දේවි වීරතුංග ගැන විශේෂාංගයක් ලිවීමට ඇගේ නිවසට ගිය අජන්තා රසවත් විශේෂාංගයක් ‘සරසවියට’ ලිවීය. මේ ගමනේදී ඔහුගේ සිත වඩාත් යොමු වුණේ ජ්‍යෙෂ්ඨ ගායිකාවගේ දියණිය සරෝජිනී අමාලිය වෙතය. ඇගෙන් අජන්තාට යහපත් ප්‍රතිචාර ලැබී එය ප්‍රේමයකට පෙරළිණි. එය ළැව් ගින්නක් වී කතුවරයාට නිර්නාමික ලිපි ගලා එන්නට විය. එහි ප්‍රතිඵල ලෙස අජන්තා ‘සිළුමිණ’ කර්තෘ මණ්ඩලයට අනුයුක්ත කළ අතර අජන්තා හා සරෝජනිගේ විවාහයද උත්සවාකාරයෙන් පැවැත්විය. අජන්තාට වූ අසාධාරණයට ප්‍රසිද්ධියේදී සටන් වැදුණේ සුමිතුරු සුනිල් මාධව ප්‍රේමතිලක පමණි. ගුවන් විදුලියට අජන්තා ලියූ සරල ගීත අතිශය ජනප්‍රිය විය.
“පාළොස්වක සඳ පායනු වැන්නේ” (ගායනය / අමරදේව හා නිලා වික්‍රමසිංහ) “බොල් වී අහුරු” (ගායනය අමරදේව) “මේ මැයි ගහ යට දවසක් දා” (ගායනය /මිල්ටන් මල්ලවාරච්චි)” “අපි ආයෙත් හමු නොවුණානම්” (ගායනය /සෝමතිලක ජයමහ)” “පුංචි දවස්වල නින්දට යද්දී” (ගායනය/ සුජාතා අත්තනායක)” “සිරිමා බෝ මැඩ” (ගායනය / වික්ටර් රත්නායක)” නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්” (ගායනය /සනත් නන්දසිරි)” “විකසිත පෙම් පොකුරු පියුම්” (ගායනය /අමරදේව) “නින්ද නේන රාත්‍රියේ” (ගායනය / එච්.ආර්. ජෝතිපාල)” “ගමේ කෝපි කඩේ” (ගායනය /සනත් නන්දසිරි)” “දුරස් වන්නට මේ ලෙසින්” (ගායනය / දයාරත්න රණතුංග) “රත්තරන් පෙම් පුරාණේ” (ගායනය /ජෝතිපාල) අජන්තා ගීතාවලියෙන් දිය දෝතකි.
අජන්තා රණසිංහල නම් චිත්‍රපට ගීත රචකයා දොරට වඩින්නේ 1976 තිරගත වූ කේ.ඒ ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ “වාසනා” චිත්‍රපටයේ “පොකුරු පොකුරු මල් සැණකෙළි“ ගීතය රචනා කිරීමෙනි. ඉන්පසු රචනා කළ චිත්‍රපට ගීත අතර
“රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැණින් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි
(ගායනය / නන්දා මාලිනී /දුහුළු මලක්)
“සුවඳ දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ මේ
අලුත් ඉරක් දෝ මේ”
(ගායනය / රූකාන්ත ගුණතිලක (සප්ත කන්‍යා චිත්‍රපටය)
“බොඳ මීදුම් කඳුරැල්ලේ
සුරංගනා රජ දහනේ”
(ගායනය / සුජාතා අත්තනායක / අබේවර්ධන බාලසූරිය)
“මී අඹ අත්තේ
කෝහෝ කොහෝ
දොළොස් මහේ මගුල් දොහේ
(ගායනය /නීලා වික්‍රමසිංහ –
මිල්ටන් මල්ලවාරච්චි (චංචල රේඛා)
සුවිශේෂී වෙයි.
අජන්තා “දිනමිණ” පත්‍රයේ කර්තෘ මණ්ඩලයේ සිටි කාලය මට අමතක නොවේ. තිලකරත්න කුªරුවිට බණ්ඩාර, සිරි රණසිංහ, බිනෝයි සුරේන්ද්‍ර, මෝහාන් ලාල් පියදාස, බන්දුල සරත්චන්ද්‍ර, ජී.ඇස්. පෙරේරා, ජයවිලාල් විලේගොඩ, එඩ්වින් ආරියදාස සමඟ ජනපි‍්‍රය චරිතය අජන්තා මේ අතර වෙති. ඔහු නොපැමිණි දිනවල සගයන් සිටින්නේ කනස්සල්ලෙනි. විහිළු කතා කියන්න ඔහු තරම් සමතෙක් නැති තරම්ය.
ඔහු මාධ්‍යවේදීන් සැම දෙනාගේම ආදරය දිනාගත් චරිතයකි. හැමෝටම එක හැන්දෙන් බෙදූ අජන්තා මුළු කාලයක් ඒ සඳහා කැප කළේය.
අජන්තා ජීවිතයේ සෙවනැල්ල වූයේ බිරිඳ සරෝජිනි දියණිය සහ පුතණුවන්ය.
ආචාර්ය අජන්තා රණසිංහ 2016 පෙබරවාරි 27 වැනිදා ජීවිතයෙන් සමුගත්තේය.
ඒ.ඩී. රන්ජිත් කුමාර