Home » හනිමූන් Tomorrow දර්ශන තලයේදී

හනිමූන් Tomorrow දර්ශන තලයේදී

by mavan
January 22, 2026 10:51 am 0 comment

මහේෂ් විදානපතිරණගේ සහ මාලිංග විජේසිරි යනු තරුණ සිනමා අධ්‍යක්ෂවරු දෙදෙනෙකි. හනිමූන්  Tomorrow චිත්‍රපටය ඔවුන් දෙදෙනා එක්ව අධ්‍යක්ෂණය කරන හාස්‍ය සහ කුතුහලය පිරි චිත්‍රපටයකි. ඔවුන් දෙදෙනා මට හමුවූයේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු අනූෂ් ඉඳුනිල් නිසාය. මීට මාස කිහිපයකට පෙර අනූෂ්ව මට මුණ ගැසුණේ ඔහු මා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ලේකහවුස් වෙත පැමිණි නිසාය. අනූෂ්ව මට හඳුන්වා දුන්නේ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙකු වන ශමාල් ඩිල්ෂාන් නිසාය. කිසිදු කුහක කමක් නැතිව කලා ක්ෂෙත්‍රයේ ඕනෑම කෙනෙකුට අතහිත දීම ශමාල්ගේ උතුම් ගතිගුණයකි. එදා ලේකහවුස් වෙත පැමිණි අනූෂ්ව නැවතත් මට මුණගැසුණේ හනිමූන් Tomorrow චිත්‍රපටයේ වැඩකටයුතු වලට ලක ලැහැස්ති වන අතෙර්ය. පසුගිය දිනෙක ඔහු මට ආරාධනාවක් කළේ හනිමූන් Tomorrow චිත්‍රපටයේ රූගත කිරීම් නැරඹීමට එන ලෙසටය. එදින රූගත කිරීම් තිබුණේ මොරටුව නගරයට ආසන්න පෞද්ගලක බැංකු සංකීර්ණයකය. උදේ නවයට පමණ මම එහි යාමට සැරසුණෙමි.

මොරටුව මට එතරම් දුර නැති නිසා සරසවිය පත්තරේට මෙය කදිම ලිපියක් නිසාත් මම මගේ ගමන යාමට අදිටන් කර ගතිමි.

මම එහි යන විටත් රූගත කිරීම් ආරම්භ කර තිබුණි. නිෂ්පාදන කණ්ඩායමේ තරුණයන් පිරිස මී මැසි රංචුවක් සේ කඩිසරය. ඔවුන්ගෙන් මට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

” good morning  අක්කේ”

“කොහොමද ඉතින්”

ඒ දයාබර වදන් අධ්‍යක්ෂවරයා වන මහේෂ් මල්ලීගෙනි. කාර්යාලීය ඇඳුමකින් සැරසී පසෙකට වී පිටපත කියවමින් සිටියේ අනූෂ් ඉඳුනිල්ය. සිනමාවට ඔහු අනූෂ් ඉඳුනිල් වුවත් ඔහුගේ සෑබෑ නම අනුෂ්කය. මා ඔහු අසලට ගොස් අසුන් ගත්තේ චිත්‍රපටයේ වැඩ කටයුතු කෙසේ දැයි දැනගැනීමටය.

” හැමදේම හොඳීන් කෙරීගෙන යනවා.

ඒ ඔහුගේ පිළිතුරයි. ඔහු පිටපත කියවමින් සිටි නිසා මම තවත් ඔහුට බාධාවක් නොවූයෙමි.

ඒ සමඟම අනේ අපේ මැණික ඇවිත් කියාගෙන මා වැලඳ ගත්තේ මේ දිනවල අතිශය ජනාදරයට පත් ප්‍රියන්ත සිරිකුමාර රංගන ශිල්පියාය. ප්‍රියන්ත අයියා කාටත් ප්‍රිය සිරියාවන්ත මිනිසෙකි.

” හරි අපි ඊළඟ සීන් එක ගමු”

ඒ විධානය මහේෂ් ගෙනි. ජනිත් මල්ලී තම ගෝලබාලයින් සමඟ කැමරාව සූදානම් කරගත්තේය. ඔහු ජනිත් ගුණසේකරය. ඔහුද දක්ෂ කැමරා අධ්‍යක්ෂවරයෙකි.

“එහෙනම් කට්ටියම නිශ්ශබ්ද වෙන්න”

නැවතත් විධානය මහේෂ් ගෙනි.

අනූෂ් තම යහළුවන් සමඟ කතාබහක යෙදි සිටියේය.

“ඊයේ රෑ පොඩ්ඩක් සප්පායම් වෙච්ච නිසා තාම ඇඟට අමාරුයි” එසේ කියාගෙන අනූෂ් අසළට ආවේ ගයාන්‍ ය.

“අන්න බොසා එනව”

සුරූපි හැඩකාර තරුණියක් සමඟ ඒ අසලට ආ ජගත්, තමා සමඟ ආ තරුණියව අනූෂ්ට සහ ගයාන් හඳුන්වා දුන්නේය. අනූෂ් මෙයා තමයි ඔයාගේ ඇසිස්ටන්ට්.

ජගත් එසේ කී විට

” සර් මට මොනවද මෙතන කරන්නෙ තියෙන්නේ” තරුණිය ඇසුවාය.

” ඔයාට කරන්න ගොඩාක් දේවල් තියෙනවා ළමයෝ ” කියමින් ඇය දෙස මනමාල බැල්මක් හෙලමින් ජගත් පැවසුවේය. එසේ පැවසූ ජගත් අලුත ආ තරුණිය සමඟ හැරී යාමෙදී ඒ දෙස කෙළිලොල් බැල්මක් පෑවේ ගයාන්‍ ය. කොල්ලන් කොහොමත් එසේය. හැඩකාර සුකුමාල කෙල්ලක් දුටුවිට ඇය ඈතට යන තෙක් බලා සිටීම දඟකාර කොල්ලන්ගේ හැටිය.

මෙතෙක් මා පැවසූවේ ඈතට වී මා බලා සිටි දේය. ඒ දර්ශනයේ පෙනී සිටි අනූෂ්, අනුෂ්ක ඉඳුනිල්ය. ගයාන් , අංජන ප්‍රේමරත්නය.ජගත්, ප්‍රියන්ත සිරිකුමාරය. තරුණිය ලෙස රඟපාන්නේ දුෂ්‍යන්තිය. එම දර්ශනය තුන් වතාවක් පමණ රූගත කෙරුණි. අධ්‍යක්ෂවරයා එයින් තෘප්තිමත් වන තුරු රඟපෑම රංගන ශිල්පීන් සතු වගකීමකි. අධ්‍යක්වරයා තෘප්තිමත් නම් වැඩේ සාර්ථකය. ඊළඟ දර්ශනයට සූදානම් වනතුරු රංගන ශිල්පීන් තම තමන්ගේ දෙබස් පුහුණුවීම් වල තිරත වන්නට විය. චිත්‍රපටයේ සම අධ්‍යක්ෂක නම් පැත්තකට වී බර කතාවකය. ඒ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයන් සමඟ නම් නොවේ. ඒ කතාව කාර්‍යාලයට අලුතින් එන තරුණියගේ චරිතය නිරූපණය කරන දුෂ්‍යන්ති සමඟය. කතාව කුමක් වුවත් මාලිංග නම් ඇයත් සමඟ කතා කළේ මුහුණේ මල් හිනාවක් රඳවාගෙනය. කාර්මික ශිල්පීන් කඩිසරව එහාට මෙහාට යමින් ඊලඟ දර්ශනයට සූදානම් වූහ. මම අසුන්ගෙන සිටි තැනම අසුන්ගෙන සිටියේ ඊළඟ දර්ශනය සූදානම් වන තුරුය. ඉන් ටික වේලාවකට පසු මා අසළින් ඇවිද ගිය රංගන ශිල්පියා ජනප්‍රිය ටෙලි තරුවකි. ඔහු දර්ශන තලයට ආවේ ඒ අවස්ථාවේය. ඒ අප කවුරුත් හොඳීන් හඳුනන කඩවසම් තරුණ රංගන ශිල්පියෙකු වන චානුක ප්‍රබුද්ධය. හනිමූන් Tomorrow චිත්‍රපටයේ සංජයගේ චරිතය රඟන්නේ චානුකය.

සංජය යනු අනූෂ්ගේ බොස්‍ ය. චානුකට ඇත්තේ කොහොමත් බොස් පෙනුමකි. චානුකව මට මුල්වරට හමුවූයේ මීට අවුරුදු දෙකකට පමණ පෙර සාදයකදීය. ඔහු වැඩි වශයෙන් රඟපාන්නේ ටෙලිනාට්‍ය වලය. මගේ මතයට අනුව නම් ඔහු ගැළපෙන්නේ සිනමාවටය.

ඔහු සමඟ චිත්‍රපටයේ චරිතය ගැන කතා කිරීමට මට උවමනා වුවත් මම ඔහුට බාධා නොකළෙමි. එහෙත් හැඩකාර සිනහවක් පාමින් කොහොමද අක්කේ යැයි ඇසීමට ඔහු අමතක නොකිරීම ගැන මම චානුකට ස්තුතිවන්ත වෙමි.

වේශ නිරූපණ ශිල්පියා ඔහුගේ කොණ්ඩය සකසන්නට විය. චානුක තමා අත තිබෙන පිටපතේ දෙබස් පුහුණුවන්නට විය. ඒ අතර තුර මම මගේ ජංගම දුරකතනයෙන් ඔහුගේ ඡායාරූප කිහිපයක් ලබා ගත්තෙමි. වේශ නිරූපණ ශිල්පියාගේ හැඩවැඩ කිරීමෙන් පසු ඔහු ටයි කෝට් පැලඳ රූගත කිරීමට මුහුණ දීමට පැමිණියේය. ඇත්තටම ඔහු තුළින් දිස්වූයේ ගාම්භීර පෙනුමකි. තරමක සෙල්ලක්කාර පෙනුමක්ද ඔහු තුළින් මට නොපෙනුණා නොවෙයි. හනිමූන් Tomorrow චිත්‍රපටයේ සංජයගේ චරිතයට එවැනි පෙනුමක් අවශ්‍යය.

චානුකත්, ප්‍රියන්ත සිරිකුමාර අයියාත්, අනූෂ් තිදෙනාම රූගත කිරීමට මුහුණදීමට සූදානම් ය. එම දර්ශනය රූගත කිරීමට සූදානම් කර තිබුණේ කාර්‍යාලීය කාමරයක් තුළය. මමත් කෙසේ හෝ ඒ තුළට රිංගා ගතිමි. රූගත කිරීම් ආරම්භ වීමට මත්තෙන් මම චානුක සහ ප්‍රියන්ත සිරිකුමාර අයියාගේ ඡයාරූප කිහිපයක් ඉක්මණින් මගේ ජංගම දුරකතනයේ රඳවා ගතිමි.

“හරි එහෙනම් අපි පටන් ගමු” කවුරුත් සූදානමින්ය.

සියලු විධානයන් ලැබුණි. සංජය හමු වන්නට ආවේ ජගත්‍ ය.

” සර් අපේ අනූෂ්ගේ ලෝන් එක”.

“කීයක්ද මිනිහා ඉල්ලන්නේ. ඒ සංජයගේ ගාම්භීර හඬයි”.

එවිට අනූෂ් ඉල්ලන ගාණ ජගත් විසින් පැවසූවත් මට නම් එය මතක නැත. ඒ මා තරුණ වුවත්, මතක ශක්තිය තරමක් හීන වී ඇති නිසාය.

” එන්න කියනව මිනිහට” ඒ සංජයගේ අණයි.

ඒ රංගනය එතැනින් අවසන් විය. ඉන්පසු තිබුණේ අනූෂ් ,සංජය ඉදිරියට එන දර්ශනයයි.

” මොකද්ද ප්‍රශ්ණේ”

සංජය ඇසුවේ අනූෂ්ගෙනි.”

අනූෂ් එයට පිළිතුරු දුන්නේය.

එච්චර දෙන්න විදිහක් නැහැ. තරමක් උස් හඬින් එසේ කීවේ සංජයය.

ඒ පුහුණු වීමකි. අධ්‍යක්වරයා පැමිණ චානුක සමඟ කතාබහ කරන අතරේ මම නැවතත් ඔවුන්ගේ ඡයාරූප කිහිපයක් ලබා ගතිමි. චානුක නම් සිටියේ බොස් කෙනෙක්ගේ මූඩ් එකේමය. පෙර පුහුණුවෙන් පසු රූගත කිරීම් ආරම්භ වනවාත් සමඟ මම ඒ කාමරයෙන් ඉවතට පැමිණ නිදහසේ හුස්මක් ගතිමි.

එවිට මා අසලට පැමිණියේ ප්‍රියන්ත සිරිකුමාර රංගන ශිල්පියාය. “ඉතින් කොහොමද නංගියේ ” කියමින් ප්‍රියන්ත අයියා ආගිය තොරතුරු කතා කරන්නට විය. ඒ අතර තුර මට අඹ යුෂ වීදුරුවකින් සංග්‍රහ කළේ නිෂ්පාදන කණ්ඩායමේ තරුණයෙකි. මද්දහනටද ළංවී තිබූ වෙලාවේ අඹයුෂ මට කදිම උත්තේජනයක් ලබා දුන්නේය. රූගත කිරීම් දිගටම සිදුකෙරීගෙන යද්දී එතැන සිටි තරුණියන් අසල අසුන් ගත්තෙමි. තරුණියෝ තිදෙනෙක් තම ජංගම දුරකතනයට පෙම් බඳීමින් සිටියහ.

මට කට වසාගෙන සිටීමේ පුරුද්දක් නැති නිසාවෙන් ඔවුන් සමඟද කතාවට සම්බන්ධ විය යුතුයැයි මට සිතුණි. ඔයාල මොකටද ආවේ.

” අපිට එන්න කිව්වා”

ඔවුන් පැමිණ සිටියේ අමතර චරිත සඳහාය. ඔවුන් ගේ වාරය එනතුරු ඔවුන් බලා සිටියේ ඉතාමත් ඉවසිලිවන්තවය. එය අගය කළ යුතුය. අද අමතර චරිතයක් කළත් කවදා හෝ ඔවුන් ප්‍රධාන චරිතයකින් සිනමාව ජය ගැනීමටද ඉඩ ඇත. රංගන ක්ශේත්‍රට එතරම් පහසු නොවන වග නම් ඔවුන්ට හොඳීන්ම තේරුම් යන්නට ඇත. ඒ අතරතුර මගේ ජංගම දුරකතනය නාද විය. ” දැන් දෙකයි වෙලාව. ඉවර නැද්ද ඔය වැඩේ” ඒ ඇමතුම ගෙදර පොලීසියේ ලොක්කාගෙනි.

බයිස්කෝප් පිස්සියක් වූ මට වෙලාව යනවා තේරෙන්නේ එවැනි දුරකතන ඇමතුමක් ආ විටය. මම මගේ රාජකාරිය නිම කිරීමට තීරණය කළෙමි. එහෙත් සැමටම කියා සමුගත යුතුය. මම නැවතත් කාර්‍යාලීය කාමරයට ඇතුළු වුනෙමි. එතැන සිටි සැමට ජය වේවා යැයි සුබ පතමින් මම ආපසු නිවස බලා ඒමට සැරසුනෙමි.

ඇත්තටම හනිමූන් Tomorrow රසවත් චිත්‍රපටයක් ලෙස මට සිතුණි. හනිමූන් Tomorrow කණඩායම ඉතා සහයෝගයෙන් උනන්දුවෙන් වැඩ කරන බව මට පෙනුණි. එදින යොදා ගෙන තිබුණේ කාර්‍යාලයේ දර්ශන බැවින් එහි සිටියේ අනූෂ්, අංජන, ප්‍රියන්ත සිරිකුමාර සහ චානුක ප්‍රබුද්ධ පමණි. එහෙත් හනිමූන් Tomorrow චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය වන ශෙෂාද්‍රි ප්‍රියසාද්, මහේෂී මධුශංකා, නිල්මිණි කෝට්ටේගොඩ ප්‍රවීණ රංගන ශිල්පිනියවද මෙහිදි මතක් කරන්නේ ඉතාමත් ආදරයෙනි. ඒ වගේම එදා නිෂ්පාදකයෙකු ලෙස මා හමුවට ආ අනුෂ්ක ඉඳුනිල් අද අනූෂ් ඉඳුනිල් ලෙසින් සිංහල සිනමාවේ නළුවෙකු ලෙස ගමන ආරම්භ කිරීමට සූදානමින් සිටී. ඔහු ඒ ගැන වෙන කැපවීමද අගය කළ යුතුයි. සිංහල සිනමාවට අලුතින්ම පැමිණෙන නිෂ්පාදකවරියටද ස්තූතියි කිව යුතුය. ඇය දිල්හානි ද සිල්වාය. කාන්තාවන් නිෂ්පාදකවරියන් ලෙස සිංහල සිනමාවට පිවිසීමද අගය කළ යුතුය. ඉතින් හනිමූන් Tomorrow සිංහල සිනමා තිරය මත දිග හැරෙන තෙක් අපි බලා සිටිමු.

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT